එච්.ආර්. ජෝතිපාල කිව්වාම අපි දන්නේ ශ්‍රී ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය ගායකයෙක් කියන කාරණාව. ජෝති මියගිහින් අවුරුදු තිස්හතක් ගතවෙලත් ඔහුගේ ජනප්‍රියත්වයට කිසිම අඩුවක් පාඩුවක් නෑ.Sri Lanka Latest News
එක්තරා කාලෙක මගේ කාර්යාලයේ සගයෙක් වෙච්ච රැන්ඩි වික්‍රමසූරිය ජෝති ඔහුගේ ජීවිතයේ සංගීතය තරම්ම ප්‍රිය කළ තවත් පැත්තක් ගැන කිව්වා.
‘කංචන දන්නවද ජෝති කියන්නේ නියම ක්‍රිකට් පිස්සෙක්. ඉස්සර ක්‍රිකට් මැච් එකක් වරද්දන්නේ නෑලු. අපේ තාත්තා ඒ කාලේ කෝල්ට්ස්වලට ගැහුවනේ. එයා මේ ගැන ගොඩාක් විස්තර දන්නවා’
එදා ජෝති කියන ක්‍රිකට් රසිකයා ගැන මොනව හරි ලියන්නම ඕනෙ කියල හිතුණත් දවසින් දවස ඒ වැඩේ කල් ගියා. ළඟදී දවසක මගේ මිත්‍රයාගේ තාත්තා ඒ කියන්නේ රැල්ස්ටන් බර්ක් මහත්මයාව සම්බන්ධ කරගන්න මට පුළුවන් වුණා ජෝති ගැන අහන්න.
‘මම මේ කියන්නේ 1974-75 කාලේ ගැන. එතකොට මම කෝල්ට්ස් ටීම් එකට සෙල්ලම් කරන්නේ. මයික් චන්මුගම් තමයි ජෝතිව කෝල්ට්ස් එකට එක්කගෙන ආවේ. පස්සේ ජෝතිට ඕනෙ වුණා කෝල්ට්ස් ක්ලබ් එකේ මෙම්බර්ෂිප් ගන්න. ඒ කාලේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හිටපු සමහර ලොක්කෝ ජෝති කෝල්ට්ස් එකට එනවට කැමැති වුණේ නෑ. ඒත් මයික් වැඩේ අතෑරියේ නෑ. ජෝතිට මෙම්බර්ෂිප් එක අරන් දීලාම තමයි පස්ස බැලුවේ. ඊට පස්සේ ජෝති කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට නැතිවම බැරි සාමාජිකයෙක් වුණා.
ඒ කාලේ මට හොඳට මතකයි ජෝති සති අන්තවල තිබුණ මියුසිකල් ෂෝස් පවා කැන්සල් කරන් කෝල්ට්ස් ගහන මැච් බලන්න එනවා. ඔය අපිට ලස්සනට සින්දු කියනවා ඇහුණට ජෝතිට තිබුණේ තරමක් අපැහැදිලි, ගොරහැඩි කටහඬක්. ජෝති කෑගහලා චියර් කරන කොට ඈත තියා ඒක පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. කෝල්ට්ස් මැච් එක දිනුවද පැරදුණාද ජෝතිට අදාළ නෑ එයා චියර් කර කර දවස් දෙකේම ග්‍රවුන්ඩ් එකේ.
ඒ අතරේ ඩේරසිං රූම් එක පැත්තට ගිහින් ක්‍රීඩකයන්ට සොෆ්ට් ඩි්‍රන්ක්ස් ගෙනැල්ලා දෙන්න, වෙන වෙන අඩුපාඩු තියනවද කියල හොයන්නත් ජෝති අමතක කළේ නෑ.
දවස තිස්සෙම චියර් කරන ජෝති ගානේ තමයි අපිට ලන්ච් ලැබෙන්නෙත්. මැච් එකක් දිනුවොත් ජෝති ගානේ බෝතල් පාටියකුත් ෂුවර්. මට හොඳට මතකයි එහෙම හවස තියන පාටිවලට ජෝති එන්නේ ලස්සන ගෑනු ළමයි දෙතුන් දෙනෙකුත් එක්ක. අපි ඉතින් පාටි එකට ඉඳල අන්තිම බස් එකේ නැගලා ගෙදර එනවා. ඒ කාලේ රටේ හැමෝටම අමාරුයි. ක්‍රිකට් බෑග් එකත් උස්සන්, කොන්දොස්තරලාගෙන් බැණුම් අහගෙන බස් එකේ තමයි යන්නේ එන්නේ. ගේම් එකට තිබුණ ආසාවට අපි ක්‍රිකට් ගැහුවේ.
ජෝති කෝල්ට්ස් සපෝර්ටර් කෙනෙක් වුණාට ජෝතිගේ තාත්තා සපෝර්ට් කලේ බ්ලුම්ෆීල්ඩ්වලට.
ඒ කාලේ අපේ ක්ලබ් මැච් එකක් බලන්නත් සෙනඟ වැහිවැහලා. ලේසියෙන්ම ඒ කාලේ ජාතික කණ්ඩායමට සමාන කණ්ඩායමක් හෝ දෙකක් ක්ලබ්වලින් හදාගන්න කිසිම අවුලක් තිබුණේ නෑ. පුංචිම කාලේ රැන්ඩි අම්මා අතේ එල්ලිලා එනවා මැච් බලන්න. එයාට චොක්ලට්, සොෆ්ට් ඩි්‍රන්ක්ස් එහෙම දෙන්නත් ජෝති කවදාවත් අමතක කරන්නේ නෑ.
ජෝති සහ ක්‍රිකට් ගැන කියද්දී අමතක නොවන කාරණාවක් තියෙනවා. මේක ඔයා ලියන්නම ඕනෙ එකක්. රෝයි ඩයස් ගැහුවේ කෝල්ට්ස්ලටනේ. එයා බැන්ද දවස්වල ජෝති අහල තියනවා ඉදිරි වැඩකටයුතු කොහොමද කරන්න හිතන් ඉන්නේ කියලා. ඒ ඇහුවේ ඉතින් හනිමුන් එක ගැන තමයි.
රෝයිට ඒ කාලේ තිබුණේ බයික් එකක්. ඒක ජෝති දැනගෙන හිටියා. ඒ දවස්වල ජෝති ගාව මට මතක විදියට බෙන්ස් එකක් තිබුණේ. ජෝති ඒ වෙලාවෙම වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ලෑස්ති කරල, තෙල් ගහලා, සතියකට හමාරකට හරියන්න ඩ්‍රයිවර් අතට සල්ලිත් දීලා ඇති තරම් විනෝද වෙලා එන්න කියල බෙන්ස් එක දුන්නා රෝයිට.
ජෝති කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන ආදරය කරපු හරිම සරල, නිරහංකාර මනුස්සයෙක්….’
1982 වසරේ ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගය බලන්නට ජෝති, ඔහු සේම ක්‍රිකට් පිස්සුව උග්‍ර මිල්ටන් මල්ලවආරච්චි සමග සරවනමුත්තු පිටියට පැමිණ සිටි බවකුත් පහුගිය දිනෙක මට දැනගන්නට ලැබුණා.

1972 වසරේ මැයි මස ගුවන්විදුලි ගායක ගායිකාවන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර පැවැති තරගයේ දුර්ලභ ඡායාරූපයක් මෙම ලිපිය සමග පළකර ඇත. එහි කේ.ඩී.කේ. ධර්මවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, එච්.ආර්. ජෝතිපාල සහ අධ්‍යක්ෂ ජනරාල් සුසිල් මුණසිංහ ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙනවා. කඩුලු රැකීමේ යෙදෙන්නේ අපේ කතානායක එච්.ආර්. ජෝතිපාල.
(The Papareවෙබ් අඩවියේ පළවූ ලිපියකි. ඡායාරූපය වෙනුවෙන් ස්තුතිය – අයෝම ජයසිංහ මහතාට.)










