ජේ.ආර්. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ඉන්දියාව ලංකාවේ අගමැතිවරුන්ට එරටට නිල සංචාර සඳහා ආරාධනා කළේ අගමැතිට ආණ්ඩුව තුළ වෙනම බල කඳවුරු තියෙන අවස්ථාවලදී පමණි. ජේ.ආර්.ගේ අගමැති වූ ප්‍රේමදාස ඉන්දියාව සමග එතරම් යහපත් සබඳතාවක් නොතිබුණු නිසා ඔහු ඉන්දියාවට ගොස් එරට අගමැතිවරු හමුවූ අවස්ථා නැත. ප්‍රේමදාස ජනාධිපති වූ පසු අගමැති ඩී.බී. විජේතුංගත් ඉන්දියාවට ගොස් එරට රාජ්‍ය නායකයන් හමුවීමට අවස්ථාවක් ලැබුණේ නැත. 1994 චන්ද්‍රිකා ජනාධිපති වීමෙන් පසු ඇයගේ අගමැතිවරුන් වූ ඇගේ මව බණ්ඩාරනායක මහත්මියත් පසුව අගමැති වූ රත්නසිරි වික්‍රමනායකටත් ඒ අවස්ථාව ලැබුණේ නැත.Sri Lanka Latest News
නමුත් පළමුවරට 2002 රනිල් අගමැති වූ විට ඉන්දියාව රනිල්ට නිල සංචාරයක් සඳහා ආරාධනා කළේ එම ආණ්ඩුවේ ජනාධිපති චන්ද්‍රිකා සහ අගමැති රනිල් පක්ෂ දෙකක නායකයන් සේ බල පරාසයන් දෙකක් නියෝජනය කළ බැවිනි.
2005 මහින්ද ජනාධිපති වූ පසු මහින්දගේ ආණ්ඩුවේ අගමැතිවරුන් වූ රත්නසිරි වික්‍රමනායක සහ දි.මු. ජයරත්නටද ඉන්දියාවේ නිල සංචාර සඳහා හෝ ඉන්දීය අගමැති හමුවීමට අවස්ථාව ලැබුණේ නැත. 2007දී මහින්ද අගමැති රත්නසිරිව ඉන්දීය අගමැතිවරයා හමුවීමට යැව්වේ එල්.ටී.ටී.ඊ. සාම ප්රයත්නය ගැන දැනුවත් කරන්නටය. එය ලංකා ආණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමකි.
2015 මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට පත්වූ පසු ඉන්දියාව අගමැති රනිල්ට නිල සංචාරයක් සඳහා ආරාධනා කළේ මෛත්‍රී සහ රනිල් පක්ෂ දෙකක් නියෝජනය කළ බල කඳවුරු දෙකකට අයත් වූ නිසාය. 2019 ජනාධිපති වූ ගෝඨාභයගේ අගමැති මහින්දට ඉන්දියාව නිල සංචාරයක් සඳහා ආරාධනා කළේ ගෝඨා සහ මහින්ද අතර බල කඳවුරු දෙකක් තිබෙන බව අවබෝධ කරගැනීමෙන් පසුවය. ඔවුන් සහෝදරයන් වුවත් දෙදෙනාම ආණ්ඩුවේ සම නායකයන් බව ඉන්දියාව තේරුම් ගත්තේය.
2022 රනිල් ජනාධිපති වූ පසු ඉන්දියාව අගමැති දිනේෂ්ට ආරාධනා නොකළේ ඔහු වෙනත් පක්ෂයක වුවත් රනිල්ගේ බල කඳවුරම නියෝජනය කරන නිසාය. අනුර ජනාධිපති වූ පසු ඉන්දියාව පසුගියදා අගමැතිනි හරිනිට නිල සංචාරයක් සඳහා ආරාධනා කළේ නැත. නමුත් එන්.ඩී.ටී.වී. සම්මන්ත්‍රණයට ආ ඇයව අගමැති මෝදි ඉහළම සත්කාරයක් දී පිළිගත්තේය. මෝදි ඇයව හමුවූයේ චන්ද්‍රිකා සහ මෛත්‍රීගේ ජනාධිපති ධුර කාලයේ අගමැති රනිල් හමුවූ ලෙසට පිළිගැනීමක් දීලාය.
මෙයින් පේන්නේ ඇය අනුර සහ ජවිපෙ ආණ්ඩුව යටතේ බලතල නැති අගමැතිවරයෙක් ලෙස සිටියත් ඉන්දියාව ඇයව වෙනම බල කඳවුරක් නියෝජනය කරන අගමැතිවරයෙක් ලෙස අවබෝධ කරගෙන සිටින බවය.
ඉන්දියාව ඇයට දක්වන මේ ප්‍රතිචාරය ජවිපෙ කෙලෙස කියවා ගනීද කියා අපැහැදිලිය. එසේම ඇයත් මෝදිත් අතර පැවැති සාකච්ඡා ඇය ජවිපෙට කෙලෙස පැහැදිලි කරයිද කියා පැහැදිලි නැත.










