ගම කියන්නේ අපේ සමාජයේ, සංස්කෘතියේ හර පද්ධතිය. මූල බීජය. එහෙම නැත්නම් මෙරට සංස්කෘතියේ අක්මුල් කිඳාබැසගත්ත තැන. එහෙම ගමක ජීවත් වෙන්නත් මේ සංකීර්ණ සමාජයේ කෙනෙක්ට පිනක් තියෙන්න ඕනේ. තලංගම වැව ආශ්‍රිත අවරිහේන වැවහේන අන්න එහෙම ගමක්. අපේ ගමේ සත්පත්තිනි ශාන්තිකර්ම උත්සවය පසුගිය සතිය අන්තයේ තලංගම වැව් ඉස්මත්තේ හරි අපූරුවට ආරම්භ වුණා.Sri Lanka Latest News

ලෝකය කොච්චර තාක්ෂණය අතින් දියුණු වුණත්, අපේ ගැමි විශ්වාස, ඇදහිලි, බලිතොවිල්, ශාන්තිකර්ම, නැටුම් ක්‍රම, කවි, ස්තෝත්‍ර, බෙර වාදන, කලා ශිල්ප, තාමත් අපේ ගම්වල නොනැසී පවතිනවා. ඒවායෙහි හරි අපූර්වත්වයක් තියෙනවා. ඒවා විශ්වාස කරන නොකරන එක තම තමන්ගේ කැමැත්ත. ඒ අපූර්වත්වයට, අව්‍යාජ ගැමි සුන්දරත්වයට කැලෑ කොලම තාමත් ළෙන්ගතුයි. මේ මහඟු කාර්යය සංවිධාන කරන පැරකුම් ගොවි සමාජය, ගමේ තරුණ ප්‍රජාව හා ගම්වාසීන් නියෝජනය කරමින් අප හා සම්බන්ධ වූයේ මෙකී කර්තව්‍යයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන පාල ගොවි මහතා.
පාල අයියා අපිට කියන්න මේ සත්පත්තිනි ශාන්තිකර්මය ගැන විස්තර ටිකක්?
මේ පත්තිනි ශාන්තිකර්මය කරන්න මූලිකම ආරම්භය වුණේ, මීට ප්‍රථමත් මේ ප්‍රදේශයේ මේ වගේ වැඩ කරනවා. අවුරුදු කීපයකට ඉහතදී මේ ප්‍රදේශය කොරෝනා වසංගතයට මුහුණ දුන්නා. ඒ තමා තුන්බියවලින් එකක් වන රෝග බිය. ඒකට ගමේ කීප දෙනෙක් මැරෙනකොට, අපේ පුංචි ගොවි මහත්තුරු තුන්දෙනෙක් හැමෝගෙම අවවාද, අනුශාසනා, උපදෙස් ඇතුව අපි කොහොමත් කවදත් පත්තිනි දේවාලය සමග රන්කඩු දේවාලය, කොරතොට දේවාලය ගාව අවුරුදු පතාම ඒ දේවාලවලට අපි සහභාගි වෙනවා. ඒවට පුද සත්කාර කරනවා. මේ වසංගතයෙන් බේරෙන්න පිරිත් කිව්වා, පිරිත් පැන් ඉහගෙන ගියා පාරවල්, නිවාස ගාව. සත්පත්තිනි දේවතාවුන් වහන්සේගේ ප්‍රධානම දේවාලය තියෙන්නේ බස්නාහිර පළාතේ හේවාගම් කෝරළේ නවගමුව ප්‍රදේශයේ. එම නිසා අපි සත්පත්තිනි ගම්මඩුවක් පවත්වලා උන්වහන්සේට පුදසත්කාර කරලා උත්සවයක් පවත්වන්න පොරොන්දු වුණා.
මම දන්න විදිහට මේ හරියේ කොළඹට කිට්ටු වුණාට, හුඟාක් ඉන්නේ ගොවි ජනතාව. එහෙම පිරිසක් එක්ක එකතු වෙලා නේද මේ ගොවි සමිතිය හැදිලා තියෙන්නේ?
මේ ගම් පියස කොළඹ කොටුවේ සිට කිලෝමීටර් දහසයක පමණ දුරකින් පිහිටා තියෙන්නේ. අපේ ගොවිතැනට මූලිකම අත්තිවාරමක් වුණේ තලංගම වැව. තලංගම වැව කෝට්ටේ යුගයේ මා දන්නා පරිදි බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ කාලේ අලකේස්වරන් නමැති පොඩි ප්‍රාදේශීය රජ කෙනෙක් ඉඳලා තියෙනවා. එතුමා සමග හිත මිත්‍රකමින්, රටට ආදරයෙන් වැඩ කරපු අමාත්‍යවරයෙක් ඉඳලා තියෙනවා ජයපාල කියලා. මේ දෙපළ පායන කාලෙක තමා මේ වැව හදන්න කටයුතු කරලා තියෙන්නේ. මේ ගම හේන් හතක් එකට එකතු කරපු පැරණි නම් ටිකක් තියෙනවා. කපුහේන, එගොඩ හේන, අවරිහේන, කජුහේන, වැවහේන, හේන, හෙට්ටියහේන. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා පංච බලවේගයක්. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු. ඒ බලවේග පහ තමා මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙන්නේ. ඒ මුතුන් මිත්තෝ අපි මතක් කරන්න ඕනේ. අපේ තාත්තලා, අපේ සීයලා අපිට කියලා තියෙනවා, සීයලාගේ වයසේ අය මේ ගමට හරි ආදරයෙන්, දැන් වගේ පහසුකම් නැතුව, හරකා බාන යොදාගෙන ගොවිතැන් කරලා, සශ්‍රීක කරලා, තුන් වේල බත් කන්න පුළුවන් විදිහට මේ ප්‍රදේශය රැකගෙන තියෙනවා. මේ ගමේ මූලිකයෙක් ඉඳලා තියෙනවා. ප්‍රදේශයේ ඕනෑම හොඳ වැඩකට ඔහු උර දෙනවා. ඔහුගේ නම නානායක්කාර ලොකු වෙද මහත්තයා.
ඒ කියන්නේ අපේ සර්ප විෂ වෙද මහත්තයා?
ඔව්, ඒ එතුමාට මේ ගම්පියස්වල පුදුමාකාර ගරු බුහුමනකමක් තිබුණා. ඔහු සහ සේරම් වෙද හාමිනේ දෙපළ කොයි ගෙදරක මළ ගෙයක් වුණත් කොයි ගෙදරක මඟුල් ගෙයක් වුණත්, කොයි ගෙදරක අසනීපයක් වුණත් ගිහිල්ලා ඒ අයට උදව් කරලා, මොකද වෙන්න ඕනේ කියලා අහලා, අඩුපාඩු බලලා කටයුතු කළා. එතුමා තමයි මේ වැව ඒ කාලයේ පාලනය කරලා තියෙන්නේ.
දැන් මේ ගොවි සංවිධානයෙන් මේකට දෙන සහයෝගය කොහොමද?
හරි සතුටුයි, ආඩම්බරයි. මේ ගැන මගේ සහෝදරයත් මීට මුල්වුණු දෙතුන් දෙනාත් එක්ක අපි ඥාති සහෝදරයෙනුත් කතා කළා, අපි සාමාන්‍ය විදිහට මේක කරමු, අපි භාරය ඔප්පු කරන්න ඕනේ කියලා. එහෙම සාකච්ඡාව යමින් ඉන්නකොට, අපිට උදව් කරන තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් ඇවිල්ලා මේ කටයුත්තට විශාල සහයෝගයක් ලබාදුන්නා.
මේ සත්පත්තිනි ශාන්තිකර්මය කොළඹ නගරය කිට්ටුව මෑත කාලේදී සිදුවෙන්නේ පළමු වතාවට නැත්නම් දෙවැනි වතාවට. ඒ ගැන මේ මොකක්ද ජනතාවට කියන්න තියෙන්නේ?
මේ වගේ ශාන්තිකර්මයක් පත්තිනි මෑණියන්ට පොරොන්දු වුණා නම්, ඒක කරන්න මුදල් විතරක් තිබිලා මදි. ශ්‍රමය, දක්ෂ ශිල්පීන්, කපුමහත්වරු වගේ විශාල සම්පත් ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍යයි. එවැනි පිරිසක් සමග තමයි මෙවර අපි මේ ශාන්තිකර්මය විචිත්‍රවත් විදියට පවත්වන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා හැම දෙනාටම මේ ගම්මඩු ශාන්තිකර්මය දැකබලා ගන්න එන්න කියලා.






සමන් හල්ලොලුව










