අයි.එම්.එෆ් සාකච්ඡා උණුසුම්
පසුගිය සතිය අවසාන වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණ සිදුකරනු ලැබූ ඉතා තීරණාත්මක සාකච්ඡාවලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සමගාමීව ලෝක බැංකුවද ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පසුගිය සතියේදී සිදුකරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සහ ලෝක බැංකුවේ ප්‍රකාශය නිකුත් වූයේ ඊට හරියටම දින කිහිපයකට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ අතිශය තීරණාත්මක නිවේදනයකින් පසුව වීම විශේෂත්වයකි.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරය කරද්දී විපක්ෂයේ නියෝජිතයන් මුණගැසීම දිගටම සිදුකරගෙන ආ සම්ප්‍රදායක් විය. නමුත් ඉකුත් වතාවේ ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මාලිමා ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුළු නියෝජිතයන් හමුවූවා විනා විපක්ෂයේ කිසිදු නියෝජිතයකු හමුවීමට කටයුතු කළේ නැත. ඒ අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායක් කඩකිරීම හේතුවෙන් ඒ මොහොතේදී සජබය ප්‍රමුඛ විපක්ෂය එම මූල්‍ය අරමුදලට සිය දැඩි විරෝධය පළකිරීමට කටයුතු කර තිබීමද විශේෂ සිදුවීමක් විය. ඒ නිසාමදෝ මෙවර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ප්‍රථම විපක්ෂයේ නියෝජිතයන් හමුවීමට තීරණය කර තිබිණි. ඒ අනුව අදාළ දැනුම්දීම සිදුකිරීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අදාළ සාකච්ඡාවන්ට සහභාගි වූ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේ ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සහ මූල්‍ය අරමුදලේ ස්ථාවරය පිළිබඳව දැඩිව ප්‍රශ්න කිරීමටය. ඒ හේතුව නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ විපක්ෂයේ නියෝජිතයන් අතර හමුව තරමක උණුසුම්කාරී එකක් වූ බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මේ ආකාරයට මූල්‍ය අරමුදල සමග පැවැති හමුව උණුසුම් වූයේ එක් පැත්තකින් ආචාර්ය හර්ෂ ද සිල්වාත්, අනෙක් පැත්තෙන් විපක්ෂ නායක සජිතුත් දිගින් දිගටම මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කිරීම හේතුකොට ගෙනය. එහිදී එක් අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරමින් සජිත් විමසා සිටියේ 2028 වසරේදී විදෙස් ණය නැවත ගෙවීම ආරම්භ කිරීමට නම් 5%ක ආර්ථික වර්ධන වේගයක් ලංකාව විසින් අත්පත් කරගත යුතු නොවේදැයි කියාය. එවිට ඊට ඍජු පිළිතුරක් නොදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කියා සිටියේ එය ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර අස්සන් කරන ලද ලියැවිල්ලේ සඳහන්ව පවතින බවකි. නමුත් සජිත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවී යළි යළිත් මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන් එම ප්‍රශ්නය විමසද්දී ඔවුන් දිගටම කියා සිටියේ දෙපාර්ශ්වය අතර අස්සන් කළ ලියැවිල්ලේ එම කරුණ අන්තර්ගතව ඇතැයි කියාය. ඒ අනුව මූල්‍ය අරමුදලේ නිලධාරීන් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමට මැළි වීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් සහ මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති කොන්දේසි සම්බන්ධයෙන්ද විපක්ෂයේ නියෝජිතයන් දැඩිව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
මේ ආකාරයට විපක්ෂ නියෝජිතයන් හමුවීමෙන් පසු ජනාධිපතිවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දෙපාර්ශ්වය සමග අස්සන් කළ ගිවිසුමේ ඇති කොන්දේසි මුල්කරගෙන වෙනදාට වඩා බලපෑමක් ජනාධිපතිවරයා වෙත එල්ල කොට ඇති බවක්ද ආරංචිය. එහිදී ඔවුන් ඍජුවම ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ මූල්‍ය අරමුදල මගින් යෝජනා කොට ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ බොහොමයක් තවමත් ලංකා රජය විසින් ඉටුකොට නොමැති බවකි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලබන වසරේ යම් කාලසීමාවකින් පසු මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති ඉලක්ක ඉතා ඉක්මනින් අවසන් කිරීමට රජය බලාපොරොත්තුවෙන් සිටින බවකි.
ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මූල්‍ය අරමුදල විශේෂ ප්‍රකාශ කීපයක්ම ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබීය. ඉන් ප්‍රධාන එකක් වූයේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමය. එය ඉතා ඉක්මනින් සිදුකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල විමසිල්ලෙන් සිටින බවත් එහි නියෝජිතයන් සඳහන් කර තිබිණි.
පිට පිට ප්‍රහාර 3ක්
මේ ආකාරයට මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කළේ අප මෙම ලිපිය ආරම්භ කරද්දී සඳහන් කළ ලෝක බැංකුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ අතිශය තීරණාත්මක නිවේදනයන් දෙකකින් පසුව වීම විශේෂත්වයකි. එහිදී ලෝක බැංකුව ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකරමින් කියා සිටියේ මෙරට ඍජු විදේශ ආයෝජින මේ වනවිට 1.5%ක මට්ටමේ පැවැතිය යුතු වුවත් තවමත් ලංකාව ළඟා කරගෙන ඇත්තේ 0.5%ක් තරම් වන ඉතා කුඩා අගයක් බවකි. එම නිසා ලෝක බැංකුව අවධාරණය කර තිබුණේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුව වහාම ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවකි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් ෆෝකර් කියා තිබුණේ 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට නම් ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් සිදුකිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. මෙම ඍජු විදේශ ආයෝජන අගය පෙරදී 1%ක් පමණ වුවත් එය මේ වනවිට තවදුරටත් පහළ ගොස් ඇති බවක්ද ෆෝකර් සිය ප්‍රකාශය මගින් පෙන්වා දී තිබිණි. එය 1.5%ක පමණ අගයක් විය යුතු බව පෙන්වා දුන් ෆෝකර් මැලේසියාව, වියට්නාමය වැනි රටවල් එම ඍජු විදේශ ආයෝජන අගය මේ වනවිට 3%ක මට්ටමේ පවත්වාගෙන යන බවත් පෙන්වා දුන්නේය.
මේ සඳහා බලපා ඇති ප්‍රධාන ගැටලු කීපයක්ද ෆෝකර් සිය ප්‍රකාශය මගින් පෙන්වා දුන්නේය. ඉන් ප්‍රධාන එකක් වී තිබුණේ විදේශ ආයෝජකයන්ට ලංකාවෙන් අවශ්‍ය භූමිය ලබාගැනීමට ඇති බාධාය. නිලධාරීවාදය සහ අමාත්‍යාංශ කීපයක් මගින් පාලනය වීම නිසා රටට පැමිණීමට නියමිත ආයෝජකයන් පවා අධෛර්යවත් වන බව ඔහු පෙන්වා දී තිබිණි. මීට අමතරව ලංකාවේ පවතින කම්කරු නීතිය දශක හයකට වඩා පැරැණි යල් පැනගිය එකක් වීම හේතුවෙන් ව්‍යාපාරිකයන්ගේ නම්‍යශීලීභාවය ඒ හරහා කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා වීම සිදුවන බවත්, එය ආර්ථික වර්ධනයට විශාල බාධාවක් බවත් හෙතෙම පෙන්වා දී තිබිණි.
‘මෙම ව්‍යුහාත්මක ගැටලු කඩිනමින් විසඳා නොගතහොත් තවදුරටත් විදේශ ආයෝජන සඳහා තරග කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වනු ඇති බව’ද ෆෝකර් වැඩිදුරටත් සිය ප්‍රකාශය මගින් අවධාරණය කොට තිබිණි.
ලෝක බැංකුව මෙම නිවේදනය නිකුත් කර තිබුණේ ඊට දින කීපයකට ප්‍රථම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීමේදී නොගැළපෙන බවක් දක්නට ලැබෙන බවට නිකුත් කළ අතිශය ආන්දෝලනාත්මක නිවේදනයෙන් පසුවය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම සම්බන්ධ වාර්තාවේ සඳහන් කොට ඇත්තේ ලංකාවේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම්වල අඩු බවක් පෙනෙන්නට තිබුණත්, විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරන බවය. එමෙන්ම මාලිමා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයන්ට සහතිකයක් ලබාදුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවැති එන බටහිර විරෝධී මාක්ස්වාදයේ බලපෑම් සහිත මතවාදය හේතුවෙන් ආයෝජකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවකින් පසුවන බවද එහි සඳහන් විය. එමෙන්ම ශ්‍රී ලංකා විදේශ ආයෝජන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අවධාරණය කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ආයෝජන මණ්ඩලය, ප්‍රධාන ආයෝජන නියෝජිත ආයතනය වුවත් ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බව පෙන්වා දී ඇති ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ කලින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම බවද පෙන්වා දී තිබේ.
මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගිනුත්, ලෝක බැංකුව මගිනුත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගිනුත් දින කීපයක් ඇතුළත ලංකාව සම්බන්ධයෙන් එකකට එකක් සම්බන්ධ වන ආකාරයේ අතිශය තීරණාත්මක ප්‍රකාශයන් තුනක් සිදුකිරීම විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකිය.
චන්ග් ලොකු ගේමක
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක නිවේදන නිකුත් කරද්දී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ලංකාව සම්බන්ධයෙන් වන සිය ක්‍රියාකාරකම් මේ වනවිට තීව්‍ර කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ජූලි චන්ග් මේ වනවිට ලංකාවේ සිය නිල කාලයේ අවසන් අදියරට පැමිණ සිටින අතර, ඇය ලබන දෙසැම්බරයේ හෝ ජනවාරි මුල් සතිවල හෝ සිය නිල කටයුතු අවසන් කොට ලංකාවෙන් පිටව යෑමට නියමිතය. ඒ අනුව මේ දිනවල චූලි චන්ග් නිතරම වොෂිංටනය සමග සම්බන්ධ වෙමින් ලංකාව පිළිබඳ කටයුතු ඉක්මන් කරන ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම එහිදී ශ්‍රී ලංකා රජය හම්බන්තොට වරාය තුළ චීනය විසින් සිදුකොට ඇති පිරිපහදුව ආරම්භ කිරීමේ කටයුතු අත්හිටුවීම සඳහා තිරය පිටුපස විශාල උත්සාහයක් දරමින් සිටින ආකාරයක් දැකගත හැකිය. චීන සිනොපෙක් සමාගම හම්බන්තොට තෙල් පිරිපහදුව ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, එය මෑත කාලයේ ලංකාවට ලැබුණු දැවැන්තම විදේශ ආයෝජනය ලෙස සැලකීමට පුළුවන. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මුල් අදියරේදී ලංකාව විසින් ලබාදී තිබූ 20%ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, එය 40%ක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් සිනොපෙක් සමාගම විසින් දැනුම් දී තිබීම නිසා මෙම ආයෝජන කටයුතු ආරම්භ කිරීම කල් ඇදි ඇදී තිබිණි. නමුත් මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ චීන සිනොපෙක් සමාගමේ ඉල්ලීම පරිදි ලංකාව තුළ සිදුකෙරෙන ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීමේ කෝටාව 40% දක්වා ඉහළ නැංවීමටය. ඒ අනුව සිනොපෙක් සමාගම නුදුරු දිනෙකදීම හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම චීන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු නැවැත්වීම සඳහා ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් පෞද්ගලිකවම විශාල උත්සාහයක් දරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එය හොඳටම පැහැදිලි වන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලංකාව ඉලක්ක කොටගෙන නිකුත් කළ නිවේදනයේ අඩංගු තොරතුරු දෙස බලන විට එය පැහැදිලිවම මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් ලබාදී ඇති බවක් පැහැදිලිවම දැකගන්නට තිබීමය. එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාව එළියට ආවේද ජූලි චන්ග් වොෂිංටනයේ සිටියදීය. කොරියානු සම්භවයක් සහිත කාන්තාවක් ලෙස ජූලි චන්ග් සැලකුණද, සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඇය දැඩි චීන විරෝධියකු ලෙසටය.
අබිරහස් කන්ටේනර් 4ක්
මෙවැනි පසුබිමක් මතුව තිබියදී ලංකාව තුළ සිදුකෙරෙන මෙම චීන – ඇමෙරිකානු ගැටුම තවත් ආකාරයකින් එළියට පැන්න කවුරුත් නොදන්නා තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, කොළඹ වරායට පැමිණ තිබෙන කන්ටේනර් බහාලුම් හතරක් මුල්කර ගෙනය. අතිශය රහසිගත ලෙස කොළඹ වරායට පැමිණ තිබූ මෙම කන්ටේනර් හතර මුල්කර ගෙන මේ වනවිට බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එම ගැටලුව ජනාධිපතිවරයා දක්වාම මේ වනවිට ගොස් ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මේ වනවිට ඊශ්‍රායලය මුල් කරගෙන ලොව රටවල් කීපයකම යුද්ධ කීපයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඉන් එකක් වී ඇත්තේ යේමනයේ හූති ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කොට ඇති ප්‍රහාරයන්ය. මෙහිදී ඇමෙරිකාවේ සහාය හිමිව ඇත්තේ යේමනයේ හූති ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලයටය. කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේ 14 වැනිදා ලයිබීරියා රජය යටතේ කන්ටේනර් බහාලුම් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර, එය සී.අයි.සී.ටී. පර්යන්තයේ නැවැත්වීමට කටයුතු කොට ඇත. ජූලි 15 වැනිදා මෙම ප්‍රශ්නගත කන්ටේනර් බහාලුම් හතර ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ ජේ.සී.ටී. පර්යන්තය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත. එහිදී සැලසුම වී තිබී ඇත්තේ අගෝස්තු මස 05 වැනිදා මෙම ප්‍රශ්නගත බහාලුම් හතර ලයිබීරියාවටම අයත් නැවකට පැටවීමටය.
නමුත් හිටිහැටියේම ලංකාවේ වගකිව යුතු අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරකින් කියැවුණේ මෙම කන්ටේනර් බහාලුම් හතර තුළ යේමනයේ හූති ගරිල්ලන් විසින් පවත්වාගෙන යනු ලබන යුද්ධයට අවශ්‍ය සැපයුම් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව ඇතැයි කියාය. බොහෝ දෙනා මේ වනවිට සැක පළකරන්නේ අදාළ අදාළ කන්ටේනර් බහාලුම් හතර සම්බන්ධයෙන් වූ රහස් ඔත්තුව ඇමෙරිකාවට සම්බන්ධ ඔත්තු සේවාවකින් ලැබී ඇති බවටය. ඊට හේතු වී ඇත්තේ යේමනයේ හූති ගරිල්ලන්ට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා චීනය යුද විසින් හූති ගරිල්ලන්ට අවශ්‍ය සැපයුම් ලබාදෙන බවට චෝදනාවක් එල්ල වී තිබීමත්, අදාළ කන්ටේනර් බහාලුම් හතර චීනයට අයත් නෞකා සමාගමක් හරහා පැමිණ ඇති බවට සැක වී තිබීමත්ය.
ඒ අනුව හම්බන්තොට පිරිපහදුව මුල් කරගෙන මේ වනවිට ලංකාව ඇතුළේ ගොඩනැගෙමින් පවතින චීන – ඇමෙරිකා යුද්ධයට අමතරව කොළඹ වරායේ දැනටමත් නවතා තිබෙන මෙම ප්‍රශ්නගත කන්ටේනර් බහාලුම් හතර මුල් කරගෙනද මේ වනවිට චීන – ඇමෙරිකානු යුද්ධයක් ආරම්භ වී ඇති බවක් දැකගන්නට තිබේ. ඇමෙරිකාව පැත්තෙන් ලැබී ඇති බුද්ධි තොරතුරුවලින් කියැවී ඇතැයි පැවැසෙන්නේ මෙම කන්ටේනර් බහාලුම් හතර තුළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබෙන බවත්, ඒ අනුව එම කන්ටේනර් බහාලුම් හතර වහාම පරීක්ෂාවට ලක්කළ යුතු බවත්ය. ඒ අනුව එම කන්ටේනර් බහාලුම් හතර වරායෙන් එළියට ගෙන මධ්‍යස්ථ තැනක තබා සම්පූර්ණ පරීක්ෂාවක් සිදුකළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි. ඊට ඇමෙරිකානු ඔත්තු සේවාවල සම්පූර්ණ සහාය ලබාදෙන බවටද දැනුම් දීමක් කොට තිබිණි. ඒ අනුව ලැබුණු මේ බුද්ධි තොරතුරෙන් පසු වරායේ වගකිව යුතු පාර්ශ්වයන් විසින් මෙම කන්ටේනර් බහාලුම් හතර පූර්ණ පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගැනිණි. එහිදී අනාවරණ වූයේ මෙම කන්ටේනර් බහාලුම් හතර තුළ පුපුරන ද්‍රව්‍ය නිපදවීමට ගන්නා නයිටි්‍රක් ඇසිඩ් විශාල ප්‍රමාණයක් පවතින බවය. එම කන්ටේනර් බහාලුම් හතර රතු මුහුදේ ඇති ඩීජේ බූටි වරායට රැගෙන යෑමට නියමිතව තිබූ බවද අනාවරණ විය.
ආණ්ඩුව පඹ ගාලක
මෙම තොරතුරු අනාවරණ වීමත් සමග මේ වනවිට මතුවී ඇති ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රශ්නගත මෙම කන්ටේනර් බහාලුම් හතර නිදහස් කරනවාද නැද්ද කියාය. ඇමෙරිකාව පැත්තෙන් ලංකාවට දැනුම් දී ඇත්තේ එක්කෝ මෙම ප්‍රශ්නගත කන්ටේනර් බහාලුම් හතර විනාශ කරන ලෙස හෝ එසේත් නොමැති නම් ඔවුන්ට එය භාරදෙන ලෙසය. එමෙන්ම වෙනත් පාර්ශ්වයකින් මෙම කන්ටේනර් බහාලුම් හතර නිදහස් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව කන්ටේනර් බහාලුම් හතර සම්බන්ධයෙන් වන ගැටලුව මේ වනවිට ජනාධිපතිවරයා දක්වාම ගොස් ඇති බවක්ද ආරංචිය. රජය මෙම කන්ටේනර් බහාලුම් හතර නිදහස් කරනවාද, එසේත් නොමැති නම් එය විනාශ කරනවාද, එසේත් නොමැති නම් ඇමෙරිකානු නියෝජිතයන්ට භාරදෙනවාද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රේගුව විසින් මේ වනවිට ජනාධිපතිවරයාගේ පැත්තෙන් තීන්දුවක් ලැබෙන තෙක් බලාසිටින බවක්ද ආරංචිය. පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවද තීන්දුවක් ගත නොහැකිව පඹ ගාලක පැටලී සිටින බවක් දැකගන්නට තිබේ.
ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි මෙම කන්ටේනර් බහාලුම් හතර නිදහස් නොකළහොත් ඇමෙරිකාව ලංකාව සම්බන්ධයෙන් බරපතළ ස්ථාවරයකට යෑම වැළැක්විය නොහැක. ඇමෙරිකාව පැත්තෙන් චෝදනා කරන්නේ මෙම කන්ටේනර් බහාලුම් හතරට චීනයේ සම්බන්ධයක් ඇතැයි කියාය. එම කන්ටේනර් බහාලුම්වලට චීනයේ සම්බන්ධයක් ඇත්නම් ඒවා නිදහස් නොකළහොත් චීනය පැත්තෙන් ලංකාව ඉලක්ක කොට බරපතළ තීන්දුවක් ගැනීමද වැළැක්විය නොහැක. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට පත්ව ඇත්තේ උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දාන්නත් බැරි තත්ත්වයකටය.
මේ අතර මීට සති කිහිපයකට ඉහතදී අප රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණ කළ තවත් තොරතුරක් තහවුරු කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රොයිටර්ස් පුවත් සේවය වෙත සඳහන් කර තිබුණේ හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු චීනයේ සිනොපෙක් සමාගමට පැවරීමට ආණ්ඩුව අවසන් තීන්දුව ගෙන ඇතැයි කියාය. බලශක්ති ඇමැතිවරයා විදෙස් මාධ්‍යයට එසේ ප්‍රකාශ කොට තිබුණද මේ වනවිට රට ඇතුළේ මතුවෙමින් පවතින චීන-ඇමෙරිකා යුද්ධය හේතුකොට ගෙන එම තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බොත්තම ජනාධිපතිවරයා විසින් තවමත් ඔබා නැති ආකාරයක් දැකගන්නට පුළුවන. ජනාධිපතිවරයා එම බොත්තම එබීමට සූදානමින් සිටියත් ඇමෙරිකාව පැත්තෙන් මතුවන දැඩි බලපෑම හේතුකොට ගෙන එම තීන්දුව සම්බන්ධයෙන් නැවත වතාවක් සලකා බැලීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින ආකාරයක් දැකගත හැකිය.
හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම නැවැත්වීම සඳහා ජූලි චන්ග් ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටියදීම ගනු ලැබූ දැඩි උත්සාහය පිළිබඳවද පසුගිය සතියේ අපි විශේෂ අනාවරණයක් සිදුකිරීමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ ජූලි චන්ග් විසින් ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු රජයේ පළමු ලේකම් අතර විශේෂ හමුවක් සූදානම් කිරීමට සැලසුම් කළ බවකි. නමුත් ජනාධිපතිවරයා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කළ ආකාරයත්, ජනාධිපතිවරයා වෙනුවට ඊට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වූ ආකාරයත් අපි එහිදී පෙන්වා දුන්නෙමු. මේ සාකච්ඡාවේදී ඇමෙරිකාවේ පළමු ලේකම්වරයා විසින් හම්බන්තොට පිරිපහදුව චීනයට ලබාදීම අත්හිටුවීමට විජිතට දැනුම් දුන් ආකාරයත්, විජිත එය ප්‍රතික්ෂේප කරමින් එම ආයෝජනය වත්මන් රජය යටතේ නොව, ඉකුත් රජය යටතේ තීන්දු කළ එකක් බවත්, මේ වනවිට එය අවසන් අදියරට පැමිණ ඇති බව දැනුම් දුන් ආකාරය අපි වාර්තා කළෙමු. එමෙන්ම තවමත් මාලිමා ආණ්ඩුවට විශාල ආයෝජන ලැබී නොමැති බව එහිදී කියා සිටි විජිත ඇමෙරිකාවෙන් පවා ලැබී ඇත්තේ සුළු ආයෝජන ප්‍රමාණයක් බවද පෙන්වා දී ඇති බවද අපි අනාවරණ කර සිටියෙමු. ඒ අනුව දැනට පහළ වෙමින් පවතින ලකුණුවලින් පෙනී යන්නේ තිරය පිටුපස සිදුකෙරෙන මෙම සටන නොබෝ දිනකින්ම කරළියට පැමිණ එළිපිටම ඇමෙරිකාව සහ චීනය ලංකාව ඇතුළේ යුද ප්‍රකාශ කරන තත්ත්වයකට පත්වනු ඇති බවය.
පළාත් සභා එනවා
මෙවැනි පසුබිමක් තිබියදී මීට සති දෙකකට ඉහතදී ආණ්ඩුව සහ පැලවත්ත යන දෙකම ඒකාබද්ධව විශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, කල් දමමින් පැවැති පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. මීට පෙර ආණ්ඩුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් රටට කියා සිටියේ මහ මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් යන තුනම ඉතාමත් ඉක්මණින් පවත්වා ඒ සියල්ලේම බලය තහවුරු කරගන්නා බවකි. ඒ සඳහා පෙරමග ලකුණු පහළ කරමින් මහ මැතිවරණය තුනෙන් දෙකක බලයක් ලබා ජයග්‍රහණය කිරීමට මාලිමාවට හැකි විය. නමුත් එම ජයග්‍රහණය ලබා මාස පහක් ඉක්ම යෑමට මත්තෙන් පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමකටය. එහිදී සියල්ල කණපිට පෙරළමින් මාලිමාවට ලැබී තිබූ ඡන්ද ලක්ෂ 20ක් මාස 5ක් ඇතුළත මාලිමාවට අහිමි වී ගොස් තිබිණි. එම ප්‍රතිඵලය ලැබීමත් සමග මැතිවරණ කාලසටහන වෙනස් වී සීමා නිර්ණය පිට දමා පළාත් සභා මැතිවරණය නොතියන තැනට ආණ්ඩුව පත්ව සිටියේය.
නමුත් මීට සති දෙකකට පමණ ඉහතදී මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී මාලිමාව සහ ජවිපෙ අතර පැවැති සාකච්ඡාවලදී එකී තීන්දුව වෙනස් කරමින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බවටත්, එය ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව පැවැත්විය යුතු බවටත් තීන්දු කොට තිබිණි. ඒ අනුව බොහෝ දුරට ලබන මාර්තුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවට වූ ඉඟියක් මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් නිකුත් වී තිබේ.
දින නියමයක් නොමැතිව කල්ගොස් තිබූ පළාත් සභා මැතිවරණය මෙසේ හදිසියේම මාර්තුවේ පැවැත්වීමට බලපෑ හේතු කිහිපයක්ම තිබේ. ඉන් ප්‍රධාන එකක් වන්නේ ආණ්ඩුවට රට ඇතුළේ යම් යම් විවේචන පැවැතියත් විපක්ෂය විසින් තවම ආණ්ඩුව ඉක්මවා ගොස් සිටින ජනප්‍රියත්වයක් ලබාගෙන නොමැති බවට වූ ආණ්ඩුවේ තක්සේරුවය. දෙවැන්න වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා අනුව ඉදිරි වසර මැදභාගය වන විට ජනප්‍රිය නොවන දැඩි තීන්දු තීරණවලට යෑමට ආණ්ඩුවට සිදුව තිබීමය.
විශේෂයෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලීකරණයට මෙන්ම යම් යම් රාජ්‍ය ආයතන වසාදැමීම වැනි බරපතළ තීන්දුවලට මෙහිදී ආණ්ඩුවට ගමන් කිරීමට සිදුවනු ඇත. ආණ්ඩුවේ වියදම් විශාල ප්‍රමාණයක් කපාහැරීමටද නියමිතව ඇති බැවින් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේදී ප්‍රබල මහජන විරෝධයක් එල්ල වීම වැළැක්විය නොහැකි වනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසය වී තිබේ. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට සැලසුම් කර ඇත්තේ ලබන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් කුමන හෝ ජයග්‍රහණයක් ලබාගෙන මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ කොන්දේසිවලට අනුව දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ තීන්දු ක්‍රියාවට නැංවීමටය.
කබීර් ගැන සැකයක්
පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ සජබය සහ එජාපය එකතු වීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් සජබ කළමනාකරණ කමිටුවේදී තීන්දු තීරණ රැසක් ගත් බව අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ පක්ෂ දෙක එකතු වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා සජිත් විසින් කබීර් හෂීම් හට භාරදුන් බවත්, එම කමිටුවට මුජිබර් රහුමාන් සහ එස්.එම්. මරික්කාර් නම් කළ බවත්ය. කෙසේ වෙතත් මෙම පක්ෂ දෙක එකතුවේදී දැඩි කොන්දේසි කිහිපයක්ම ක්‍රියාවට නැංවිය යුතු බව සජබ මන්ත්‍රීවරුන්ගේ දැඩි ස්ථාවරය වී තිබිණි. ඉන් පළමු වැන්න වූයේ පක්ෂ දෙක එකතු වන්නේ නම් එහි නායකත්වය සජබයට හිමිවිය යුතු බවකි. දෙවැනි කොන්දේසිය වූයේ දූෂණ චෝදනා සහිත කිසිවකුත් මෙම සන්ධානයට එකතු කරගත යුතු නැති බවකි.
අප කළ මෙම අනාවරණයෙන් පසුව පසුගිය සතිය වනවිට කබීර් මෙම පක්ෂ දෙක එකතු කිරීමේ මෙහෙයුමට බැහැලාම වැඩ කරන ආකාරයක් දැකගත හැකි විය. සාමාන්‍යයෙන් කබීර් සැලකෙන්නේ සජබය ඇතුළේ සිටින රනිල් හිතවාදී නියෝජිතයකු ලෙසය. සජබය ඇතුළේ රනිල්ගේ න්‍යායපත්‍රය මෙහෙයවන අයකු ලෙසටය. ඒ අනුව කබීර් පසුගිය සතියේ එජාපයේ ඉහළ මට්ටමේ නායකයන්ට මෙන්ම පහළ මට්ටමේ නායකයන්ටද විටින් විට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනිමින් තොරතුරු එකතු කරගන්නා ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම සජබයේ යම් යම් නියෝජිතයන්ටද කබීර් ඇමතුම් ලබාදී තිබූ අතර, ස්ථාන කිහිපයකදීම පක්ෂ දෙකේම පිරිස් හමුවී සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමටද හෙතෙම කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් සජබ කළමනාකරණ කමිටුවේදී පක්ෂ දෙක එකතු වන්නේ නම් එහි නායකත්වය සජබයට හිමිවිය යුතු බවට වූ යෝජනාව වෙනුවට කබීර් පක්ෂ දෙකටම සම නායකත්වයක් ලබා දීමට හෝ එජාපය ප්‍රධාන කොටගෙන සන්ධානය ගොඩනැගිය යුතු බවට වූ ස්ථාවරයේ සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් සජිත්ටද දුරකතන ඇමතුම් කීපයක්ම ලැබුණු අතර, ඒ ඇතැම් ඇමතුම්වලින් සජිත්ට වාර්තා කොට තිබුණේ කබීර් තැන් තැන්වල ‘රනිල් එළවනවා නම් සජිත්වත් එළවන්න ඕනේ….’ ‘පක්ෂ දෙක එකතු වෙනවා නම් සජබය නෙවෙයි එජාපයයි ප්‍රබල වෙන්න ඕනේ….’ යනුවෙන් ප්‍රකාශ කොට ඇති බවකි. එමෙන්ම තවත් ඇමතුමකින් කියා තිබුණේ රනිල් කබීර් ඩීල් එක මේ වනවිට හොඳටම වැඩකරමින් තිබෙන බවකි. රනිල් ජනාධිපතිවරයා වශයෙන් සිටින කාලයේදී කබීර් තම පවුලෙන් රජයට ගත් ඉඩම් වෙනුවට හන්තානෙන් ඉඩම් ඉල්ලා ලිපියක් යොමුකොට තිබූ බවට ජවිපෙන් හෙළිදරව්වක් කර තිබූ බවත්, මේ හරහා රනිල් කබීර් ගනුදෙනුව රටට හෙළිවූ බවත් ඒ ඇමතුමකින් සජිත්ට මතක් කර සිටීමටද එක් අයකු පියවර ගෙන තිබිණි.
නමුත් සජිත් මේ කිසිවකින් කලබලයට පත්වූයේ නැත. එහිදී සජිත් ඊට ප්‍රතිචාර දක්වමින් කළේ එකම එක දෙයකි. එනම් පක්ෂයේ ඉහළම මණ්ඩලය වන කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවා පක්ෂ දෙක එක්වීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුව ගැනීමය.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (09) දිනයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූ අතර, ඊට විශාල සහභාගිත්වයක් පැවැති බවද දැකගත හැකි විය. රැස්වීම ආරම්භයේ සිටම විශල අවධානයක් හිමිවූයේ පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් වූ මාතෘකාවටය. එහිදී කබීර් එළියේ කුමන මතයක් ප්‍රකාශ කළද රැස්වීමේදී කියා සිටියේ පක්ෂ දෙක එකතු වීමේ වැදගත්කමය. ඒ අනුව කබීර්ගේ සියලු අදහස් අසා සිටි සජිත් අවසානයේ පැහැදිලි ප්‍රකාශයක් කරමින් කළමනාකරණ කමිටුවේ අදහස් දැක්වූ ආකාරයටම සිය අදහස් දැක්වීමට පියවර ගත්තේය.
‘පක්ෂ දෙක එකතු වෙන එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ පක්ෂයේ ස්ථාවරයත් ඒක. එජාපයේ බොහෝ කොටසකුත් ඒ ස්ථාවරයේ ඉන්නවා. ජනතාවත් ඉන්නේ ඒ ස්ථාවරයේ. හැබැයි බොහොම පැහැදිලිව අපි කළමනාකරණ කමිටුවේදිත් මේ ගැන කතා කරලා ඒකමතික තීන්දුවක් ගත්තා. මෙතැන සම නායක, අර නායක මේ නායක කියලා වෙන වෙන කතන්දර නෑ. සජබය තමයි ප්‍රධාන පක්ෂය. සජබ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් තමයි මේ එකතු වීම වෙන්න ඕනේ. අපි මුලින් හිටපු පක්ෂය නිසා එජාපයත් අපි එකතු කරගන්න ඕනේ. හැබැයි මේක ඇතුළේ වෙන වෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා. මම කළමනාකරණ කමිටු රැස්වීමෙදි කබීර්ගේ නායකත්යෙන් කමිටුවක් දැම්මා මේ පක්ෂ දෙක එකතු වෙන්නේ කොහොමද කියලා වාර්තාවක් හදලා මට භාරදෙන්න කියලා. ඒ වාර්තාව බලලා ඒකට සංශෝධන ඉදිරිපත් කරලා අවසානයේදී තමයි අපි ඒ වාර්තාවට අනුමැතිය දෙන්නේ. මෙතැනදිත් මම පැහැදිලිව කියන්න කැමැතියි සජබ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් මේ සන්ධානය හදන්න මට අවශ්‍ය අනුමැතිය දෙන්න….’ යනුවෙන් සජිත් කියද්දී අතිබහුතරයක් ඊට වහාම සිය අත් ඔසවා අනුමැතිය ප්‍රකාශ කළ ආකාරයක් දැකගත හැකි විය. කබීර් තරමක් ප්‍රමාද වී අත් එසවූ අතර තවත් දෙතුන් දෙනකු දෙකට දෙවාරයේ අත් එසවූ ආකාරයක්ද දැකගත හැකි විය.
ඉන් අනතුරුව සජිත් කියා සිටියේ ‘හරි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවත් ඒක. දැන් එළියේ මීඩියාවලින් ඇවිත් ඉන්නවා. අපි හැමෝම ඒකට කතාකරන්න යන්න ඕනේ නෑ. පක්ෂ මහලේකම්තුමයි මමයි ඒ ගැන පක්ෂයේ ස්ථාවරය මාධ්‍යයට කියන්නම්. කතාකරද්දී වරද්ද ගන්න එපා.. හරියට පක්ෂය ගත්ත තීන්දුව කියන්න. අනවශ්‍ය ප්‍රකාශ කරන්න යන්න එපා…’ යනුවෙන් කී සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් කොට නිවසට ගොස් විශේෂ වීඩියෝවක් මගින් එදින ගත් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. එමෙන්ම පක්ෂයේ මහලේකම් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවේ සජබ – එජාප එකතුව ගැන පක්ෂ ස්ථාවරය සඳහන් කිරීමට පියවර ගත්තේය.
රංගට වටකොට ප්‍රහාරයක්
මේ අතර පසුගිය සතියේ අප රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ පිහිටි කලම්බෝ ස්විමිං ක්ලබ්හි පැවැති විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කළෙමු. එහිදී අප නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ජී.එල්. පීරිස්, තලතා අතුකෝරල, ටිරාන් අලස්, හරීන් ප්‍රනාන්දු ආදීන් එම රැස්වීමට සහභාගි වී සිටි ආකාරයද අනාවරණ කළෙමු. එමෙන්ම නොවැම්බර් 11 වැනි දින නාමල් හා රනිල්ගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී රැලියක් සංවිධාන කිරීමට තීරණය වූ බවද අප එහිදී සඳහන් කළෙමු.
ඒ අනුව මෙම හමුවෙන් පසු නාමල් මේ දිනවල වැඩේට බැහැලාම සිටින ආකාරයක් දැකගත හැකිය. නාමල් සැලසුම් කොට ඇත්තේ රට වටෙන්ම බස් රථ 100කින් පාක්ෂිකයන් එදින නුගේගොඩට රැගෙන ඒමටය. නමුත් එජාපයෙන් කොපමණ බස් ප්‍රමාණයක් ඊට ගෙන එනවාද යන්න තවමත් පැහැදිලි නැති නමුත් එජාපය පැත්තෙන් වැඩේ කරට ගෙන තිබෙන්නේ හරීන් ප්‍රනාන්දුය.
මේ අතර, හිටිහැටියේම අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඉලක්ක කොට ගෙන දැවැන්ත ප්‍රහාරයක් එල්ල වූ ආකාරයක් පසුගිය සතියේ දැකගත හැකි විය. රංග දිසානායක ඉලක්ක කොට මෙම ප්‍රහාරය එල්ල වූයේ එජාපයේ සහ පොහොට්ටුවේ ප්‍රධානීන් ඉලක්ක කොට ගෙන අල්ලස් කොමිසම දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින වකවානුවක වීම විශේෂ සිදුවීමකි. කෙසේ වෙතත් මෙහිදී දැකගත හැකි විශේෂම කරුණ වන්නේ අල්ලස් කොමිසම ඉදිරියේ විමර්ශනය වන 99%ක්ම චෝදනා පොහොට්ටුවේ සහ එජාපයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් වීමය. සජබයේ සිටින කිසිදු මන්ත්‍රීවරයකු මුල්කරගෙන අල්ලස් කොමිසමට මේ දක්වා කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොතිබීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව එජාපය සහ පොහොට්ටුව පැත්තෙන් රංග දිසානායක ඉලක්ක කරගෙන ප්‍රබල ප්‍රහාරයක් දියත් වුවද සජබය කිසිදු අවස්ථාවක ඊට සම්බන්ධ වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. සජබයේ පැහැදිලි ස්ථාවරය වී ඇත්තේ වැරැද්දක් සිදුකොට ඇති ඕනෑම කෙනකුට එරෙහිව විමර්ශන ආරම්භ විය යුතු බවත්, වැරැදි කර ඇති සියලු දෙනාටම නීතියට අනුව දඬුවම් හිමිවිය යුතු බවත්ය.
මේ ආකාරයට සජබය රංග දිසානායකට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමට සම්බන්ධ නොවීම නිසා එය අකාමකා ගැනීම සඳහා රනිල් විශේෂ උපක්‍රමයක් භාවිත කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව රංග දිසානායකට පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රහාර එල්ල කිරීම සඳහා උපයෝගී කොට ගත්තේ වෙනම පක්ෂයකින් වුවත්, සජබයෙන් පසුගිය මැතිවරණයේදී තරග කර පාර්ලිමේන්තු පැමිණි දයාසිරි ජයසේකරය. රංග දිසානායකට පාර්ලිමේන්තුවේ ප්‍රහාර එල්ල කිරීම දයාසිරිට භාරදුන් රනිල් ඉන් අනතුරුව සිය ‘නිවුස් ප්ලාන්ට්‘ කල්ලිය හරහා ඊට පසු දිනම තමන්ගේ පවුලේ පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පුවතක් පළකරමින් කියා සිටියේ සජබය පාර්ලිමේන්තුවේදී රංග දිසානායකගේ ප්‍රශ්නය දැඩිව විමසීමට සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ හරහා රනිල්ට අවශ්‍ය වී තිබුණේ රංග දිසානායකට ප්‍රහාර එල්ල කිරීම පසුපස සජබයද සිටින බව රටට පෙන්වීමටය. නමුත් දයාසිරි රනිල්ගේ කීමට අනුව රංග දිසානායකගේ පත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ප්‍රහාර එල්ල කළද සජබයේ කිසිවකුත් ඊට සම්බන්ධ වූයේ නැත.
කෙසේ වෙතත් මේ වනවිට අල්ලස් කොමිසමෙන් එජාපයේ රනිල් සමීපයේ සිටින සාගල, හරීන්, මනුෂ, වජිර ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනකුටම එරෙහිව දැවැන්ත විමර්ශන කීපයක්ම ආරම්භ කොට තිබේ. ඊට අමතරව පොහොට්ටුවේ නාමල් ඇතුළු කීප දෙනකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කොට ඇත. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අල්ලස් කොමිසමේ රංග දිසානායක ඉලක්ක කොටගෙන ඊට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන්ම මේ ආකාරයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවකි. එමෙන්ම මාලිමාවට හිතවත් දේශපාලන විග්‍රහයන් සිදුකරනු ලබන බොහෝ දෙනකුගේ අදහස වී ඇත්තේ රංග දිසානායක අල්ලස් කොමිසමෙන් එළවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් තිරය පිටුපස දියත් වී ඇති බවත්, ඊට කිසිවකුත් නොසිතන ආකාරයේ දැවැන්ත මුදලක් වීසිවෙමින් පවතින බවත්ය. ඒ කොයිහැටි වෙතත් ඉදිරි සති කීපයේදී රංග දිසානායක ඉලක්ක කොට එල්ල වන මෙම ප්‍රහාර තීව්‍ර වීමට ඉඩ ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
හරිනි මෝදි හමුවෙනවා
මේ අතර, අගමැතිනි හරිනි අමරසූරිය ලබන 17, 18 යන දෙදින නවදිල්ලියේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී. ලෝක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පටත්ව යෑමට නියමිතය. මෙම සංචාරය ඉතා විශේෂ එකක් වී ඇත්තේ හරිනි එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව ඇති නිසාය. මේ වසරේ පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයන් දෙදෙනා වන්නේ දැනට අගමැති ධුරයන් දරන මෝදිත්, හරිනිත්ය. මීට අමතරව බි්‍රතාන්‍යයේ හිටපු අගමැති රිෂී සුනාක් සහ ඔස්ටේ්‍රලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට්ද මෙවර එන්.ඩී.ටී.වී. සමුළුව ඇමතීමට නියමිතය. එමෙන්ම කලාපයේ ප්‍රබල ප්‍රතිපත්ති සම්පාදකයන්, දැවැන්ත ව්‍යාපාරිකයන්, විද්‍යාඥයන් සහ සංස්කෘතික විශේෂඥවරුන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතව ඇති අතර, ප්‍රධාන දේශනය මෝදි සහ හරිනි විසින් පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් හරිනිගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පළමු වරට තොරතුරු වාර්තා වීමත් සමග ඒ පිළිබඳ සොයා බලද්දී රාජ්‍ය රහස් තීරයට වාර්තා වූයේ ඉන්දීය සරසවියකින් ඇයට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමට සූදානම් කොට ඇති නිසා ඊට සහභාගි වීම සඳහා තමන් නවදිල්ලියේ සංචාරයක නිරත වීමට සැලසුම් කොට ඇති බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවකි. නමුත් ආණ්ඩුව ඇතුළෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලද්දී ඔවුන්ට වාර්තා වී තිබුණේ මෝදිත් සහභාගි වන එන්.ඩී.ටී.වී. ලෝක සමුළුවට සහභාගි වී සඳහා හරිනි නවදිල්ලිය බලා පිටත්ව යෑමට සූදානමින් සිටිනවා යැයි කියාය. පසුව මේ සම්බන්ධයෙන් හරිනි ආණ්ඩුව දැනුවත් කළාදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය රහස් තීරයට නැත.
කෙසේ වෙතත් සිය ඉන්දීය සංචාරයෙන් අනතුරුව හරිනි චීන සංචාරයක නිරත වීමටද නියමිතව ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට හරිනි සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
ඒ සමගම තවත් විශේෂ තොරතුරක්ද මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට සූදානම්ය. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ඉන්දියාවේ සංචාරය කරන ලෙස මෝදිගෙන් මේ වනවිට නිල ආරාධනාවක් ලැබී තිබීමය. ඉකුත් වතාවේ ඉන්දීය අගමැති මෝදි ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ සජිත්ව මුණගැසුණු අතර, එහිදී මෝදි සජිත්ට ඉන්දියාවේ සංචාරය කරන ලෙසට ආරාධනාවක් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මේ වනවිට මෝදිගේ නිල ආරාධනාව සජිත්ට ලැබී ඇති බව ද රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත.
පසුගිය කාලයේදී රනිල්ද මේ ආකාරයෙන් ඉන්දියාවේ සංචාරය කළද ඒ කිසිදු අවස්ථාවක රනිල්ට ඉන්දීය රජයේ නිල ආරාධනාවක් ලැබී තිබුණේ නැත. ඒ වෙනුවට රනිල් ඉන්දියාවේ සංචාරය කළේ සිය හිතවතුන්ගෙන් ලැබුණු පෞද්ගලික ආරාධනාවන්ට අනුවය. නමුත් අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රථම ඉන්දියාවේ සංචාරය කරන ලෙසට ඉන්දීය රජයෙන් නිල ආරාධනාවක් ලැබී තිබිණි. ඒ අනුව බරපතළ විවේචන මධ්‍යයේ අනුර සහ ජවිපෙ කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරය කිරීමත් සමග ඉන්දීය සහාය ජවිපෙට පවතින බවට යම් නොනිල මතයක් ඒ හරහා සමාජය තුළ තහවුරු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරණයේදී අනුරගේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් සපයා තිබුණේද ඉන්දියාව හරහා අනුරට ගොඩනැගුණු මේ ජාත්‍යන්තර ප්‍රතිරූපයය. ඒ නිසා කිසියම් රටක ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයකුට හෝ විපක්ෂ නායකවරයකුට ඉන්දීය රජය නිල වශයෙන් ආරාධනා කරන්නේ නම් ඒ ආරාධනාව පසුපස යම් ගැඹුරු අර්ථයක් පවතින බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
සුළු පක්ෂ සජිත් ළඟ
මේ අතර, පසුගිය කාලයේදී වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබිණි. මේ ආකාරයේම යෝජනාවක් 2009 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, ඊට එරෙහිව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කර තිබිණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළව නියෝගයන් කිහිපයක්ද නිකුත් කර තිබිණ.
ඒ අනුව මේ අවස්ථාවේදීද රවී කරුණානායක විසින් මෙම පෞද්ගලික යෝජනාවක් ගෙන ඒමත් සමග ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ සියලු සුළු ජාතික පක්ෂ නායකයන් සහ නියෝජිතයන් එක්ව සාකච්ඡා වටයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එම සාකච්ඡාවට තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන්, අඩෛක්කිලනාදන්, ශානක්‍යයන් රාසමාණික්කම්, ගජේන්ද්‍ර පොන්නම්බලම්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ජීවන් තොණ්ඩමන්, පලනි දිගම්බරම්, ඇතුළු පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. එහිදී තීන්දු වී තිබුණේ රවීගේ මෙම යෝජනාවට දැඩි විරෝධය පළකිරීමටත්, විපක්ෂයක් ලෙස එක්ව ඊට එරෙහිව කටයුතු කිරිමටත්ය. එමෙන්ම විපක්ෂ නායක සජිත් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද පිරිස තීන්දු කළහ.
ඒ අනුව සජිත් හමුවූ මෙම සුළු ජාතික නියෝජිත කණ්ඩායම රවී ගෙනා යෝජනාවට එරෙහිව සිය දැඩි විරෝධය පළකිරීමට පියවර ගත්හ. එහිදී මන්ත්‍රීවරුන්ගේ විරෝධයට සාවධානව සවන් දුන් සජිත් කියා සිටියේ ඊට එරෙහිව ලිපියකට අස්සන් කිරීමට සූදානම් කරන ලෙසත්, තමන්ද ඊට අස්සන් කරන බවත්ය.
‘ප්‍රතිපත්තියක් හැටියට අපි සුළු ජාතික පක්ෂවල පැවැත්ම පිළිගන්නවා. මේ සුළු ජාතික පක්ෂ බිහිවුණේ එදා ප්‍රධාන පක්ෂ කරපු වැරැදි හින්දා. ඒ පක්ෂ ජාතිවාදය මත පිහිටලා කටයුතු කරපු හින්දා මේ සුළු ජාතික පක්ෂ බිහිවුණා. ඔබතුමාලා ලියුමක් ලෑස්ති කරන්න. මමත් ඒකට අස්සන් කරන්නම්….’ යැයි කී සජිත් ඒ මොහොතේම රවී කරුණානායකට දුරකතන ඇමතුමක් ලබාදෙමින් බොහොම කාරුණිකව ඉල්ලා සිටියේ ඔහු විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙසයි. එහිදී කිසිවකුත් නොසිතූ පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු දෙමින් රවී කියා සිටියේ ‘අයි වොන්ට් (මට බෑ)’ යැයි කියාය. ඊට සජිත් පිළිතුරු දුන්නේ එසේ නම් තමන් සියලු සුළු ජාතිකයන් වෙනුවෙන් රවීගේ යෝජනාවට එරෙහිව පෙනී සිටිනවා යැයි කියාය. මේ ආකාරයට විපක්ෂය නියෝජනය කරන රවීගේ යෝජනාවට එරෙහිව විපක්ෂයේ සුළු ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග විපක්ෂනායක සජිත් ඍජුව සිටගැනීම නිසා එහිදී සජිත්ට මේ සියල්ලන්ගේම ප්‍රශංසාව හිමිවූ ආකාරය දැකගත හැකි විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව මෙම සුළු ජාතික මන්ත්‍රීවරුන් කතානායකවරයා හමුවී සිය ලිපිය භාරදීමට පියවර ගත්තේය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර ලබාදී ඇති තීන්දුව පිළිබඳවද කතානායකවරයා දැනුවත් කිරීමට මන්ත්‍රීවරු පියවර ගත්හ. ඒ අනුව කතානායකවරයා එම ලිපිය සිය නිලධාරීන්ට යොමු කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් විමසීමට තමන් කටයුතු කරන බව මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමිනි. කෙසේ වෙතත් සිකුරාදා සවස් වරුව වනවිට රාජ්‍ය රහස් තීරයට ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ලිබුණේ කතානායකවරයා විසින් රවි කරුණානායක විසින් ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවකි. එහිදී සුළු ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා මුඛයෙන් යුතුව කියා තිබුණේ රවී ගෙනා මෙම යෝජනාව පසුපස ආණ්ඩුවද සිටිනවා යැයි කියාය. එමෙන්ම සිකුරාදා දිනයේදී සජිත් සුළු ජාතික පක්ෂවල අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ විශේෂ අදහස් දැක්වීමක් කළ ආකාරයක්ද දැකගත හැකි විය.
කපිල පුංචිමාන්නගේ










