පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු විපක්ෂයේ සුළු ජාතික පක්ෂ නායකයෝ පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.Sri Lanka Latest News
විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ රවී කරුණානායක මහතා වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් මෙම සුළු ජාතික පක්ෂ නායකයන් විපක්ෂ නායකවරයා හමුවී ඊට සිය විරෝධය පළකිරීමට කටයුතු කොට තිබිණි.
ඒ අනුව, තමිල් අරසු කච්චි පක්ෂයේ එස්. ශ්‍රීදරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ශානක්‍යන් රාසමානික්කම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමාන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් ඇතුළු උතුරු නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන පක්ෂ නායකයන් රැසක් මෙම හමුවට එක්ව තිබිණි.
එහිදී රවී කරුණානායක මන්ත්‍රීවරයා රැගෙනවිත් තිබූ යෝජනාවට එරෙහිව ලිපියක් අස්සන් කොට කතානායකවරයා වෙත භාරදීමටද විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් නව දෙනකු කටයුතු කොට තිබිණි.
එම ලිපියට අනුව වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට කතානායක ජගත් වික්‍රමරත්න මහතා සිකුරාදා දිනයේදී කටයුතු කොට තිබිණි.










