ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙලක් රජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක ද අභිබවා යාමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ආර්ථික පුනර්ජීවනයක් අත්කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයින් තවදුරටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කළේය.
බිද වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අගය කළ අතර ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichael ඇතුලු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





මේ අතර ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.
ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථායීතාව වෙනුවෙන් හරිත බලශක්තිය, හරිත ප්‍රවාහන පහසුකම් ආදි ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරි සහාය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
පොලී අනුපාත පහත හෙළීම, උද්ධමනය පාලනය ඇතුළු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
එහිදී රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරමින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ සැලසුම්ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයිමේදී කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද පැවසීය. ඒ අනුව ජනතාවට සේවා සැපයීමේදි ගම සහ නගරය අතර දුරස්ථභාවය අවම කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ගනුදෙනු පහසු කර ගැනීමේ හැකියාවද සාකච්ඡාවට ලක් විය.
පිරිවැය අවම වූ විදුලි සැපයුමක් සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විදේශ ආයෝජන කැඳවා ගැනීමේදී දත්ත මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්, කෘෂිකර්ම, ධීවර ආදි ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කළේය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.










ජනාධිපති මාධ්‍ය අංශය
2025-10-07










