වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසල සඟවා තිබියදී සොයාගත් අවි ආයුධ තොගය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සඟවා තබන ලද්දක්ද, එසේ නැතිනම් ප්‍රදේශයේ කිසියම් අපරාධ කල්ලියක් විසින් සඟවා තබන ලද අවි ආයුධ තොගයක්ද යන්න දැනගැනීමට විධිමත් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි කතරගම පොලිසිය පවසයි.Sri Lanka Latest News
රට තුළ එසේ සඟවා තබන ලද අවි ආයුධ අතරින් මෙය මෑතකදී හමුවූ විශාලම අවි ආයුධ තොගය බවද කතරගම පොලීසිය කියයි.
වෙහෙරගල ජලාශ සොරොව්වේ සඟවා තිබියදී සොයාගනු ලැබූ ටී 56 මැගසින් 74ද, ටී 56 එල්.එම්.ජී. මැගසින් 36ද, ටී 81 උණ්ඩ පතොරම් බහාලන පෙට්ටි දෙකක්ද ඇතුළුව හමුවී ඇති අවි ආයුධ තොගය තුළ පවතින ඇතැම් අවි ආයුධ මෙන්ම උණ්ඩවල ඇතැම් කොටස් යම් මට්ටමක දිරායාමකට ලක්ව ඇති නිසා හඳුනා ගැනීම පවා අපහසුව පවතින බවද පොලීසිය කියයි.
මෙම අවි ආයුධ තොගය ප්‍රදේශයේ අපරාධයක් සිදුකිරීම සඳහා ගෙනැවිත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.
කෙසේ වෙතත් මෙම අවි ආයුධ තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බවද පොලිසියේ ප්‍රකාශකයෙන් ‘මව්රට’ට කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










