සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News
එම ලිපිය මගින් උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ රටක සංස්කෘතිය අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පාලනයෙහි උත්සාහ දරන්නේ නම් එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජයම බිඳවැටීමට හේතුවන්නක්ද වන බවය.
වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වැනි වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම එවන් බරපතළ සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බවද උන්වහන්සේලා එම ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසාර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරනු ඇති බවත් මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ලිපිය මගින් දන්වා තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අස්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.
‘වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම එවන් බරපතළ සාරධර්මමය අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමු.
සමාජ සංස්ථාවන්ගේ කාර්යභාරය මෙන්ම මෙරට සාරධර්මමය අනන්‍යතාව පිළිබඳ නොසලකා හරිමින් ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතා පූර්ණය කරගැනීමේ පටු පරමාර්ථ පෙරදැරිව නීති හා චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කිරීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අපගේ බරපතළ අප්‍රසාදය පළකර සිටිමු.
හිංසනය පිටුදැක ශික්ෂණයට මුල්තැනක් දීමේ පරමාර්ථයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා යෝජිත සංශෝධන හඳුන්වා දෙන බවට සඳහන් කළද මෙවැනි අදූරදර්ශි නීති මගින් සිදුවනුයේ ශික්ෂණයෙන් තොර ආචාරධර්ම පද්ධතියකට යටත් නොවන සමාජ සංස්ථා හා සමාජ වටිනාකම්වලට ගරු නොකරන නොහික්මුණු තරුණ පරපුරක් බිහිකිරීමය. සමාජ යහපැවැත්ම මෙන්ම පුද්ගල ආරක්ෂාව මත පදනම්ව නීති සකස් කිරීම හා ක්‍රියාත්මක වීම සිදුකළ යුතුය.
එසේම යම් ක්‍රියාවක් සිදුකිරීමේ චේතනාව එම ක්රියාවේ සද්භාවය තීරණය කිරීමෙහිලා මූලික වන බව බුදු දහමේ මෙන්ම නීතියේද මූලික සංකල්පයකි. ස්වකීය දරුවා ශික්ෂණය කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන මවුපියන් මෙන්ම ගුණධර්මයන්ගෙන් පෝෂිත නිසි විනයක් සහිත දරු පරපුරක් බිහිකිරීමට කටයුතු කරන ගුරුවරුන්ගේ භූමිකාව ද මේ තුළින් දැඩි අවමානයකට ලක්කර ඇත.
ළමා හිංසනය මෙන්ම අත්තනෝමතික ලෙස ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහය තුළ අඩංගු වන පසුබිමක අත්තනෝමතික ලෙස සිදුකරන මෙම නීති සංශෝධන මෙරට පවතින ඓතිහාසික සභ්‍යත්වයේ හා ඓතිහාසික අධ්‍යාපන සංස්කෘතියේ න්‍යෂ්ටිය බිඳදමමින් මවුපියන් හා දරුවන් අතර මෙන්ම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පවතින අන්‍යොන්‍ය සම්බන්ධය, අවබෝධය හා සුහදතාව විනාශ කිරීමේ ආරම්භය බව අප සැවොම අවබෝධ කරගත යුතු කරුණකි.
එහෙත් සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතතාවක් නිර්මාණය වීමට මෙන්ම සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වීමට හේතුවන මව, පියා, ගුරුවරයා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහානියට හේතුවන බව මහජන නියෝජිතයින් අවබෝධ කර නොගැනීම වර්තමාන ශ්‍රීලංකේය දේශපාලන ප්රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප්‍රදර්ශනය කරයි.
එසේම අධම්මරාගය හෙවත් මව, පියා, සහෝදරයා, සහෝදරිය ආදි බැඳීම් හා ඥාති සම්බන්ධතාවන් නොසලකා තිරිසන් සතුන් මෙන් ලිංගික ප්රීණනය සඳහා පුද්ගලයා යොමුකරවීමත් මිච්ඡාධම්ම හෙවත් සමලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම මගින් පුද්ගලයාගේ ආයුෂය හා වර්ණය පරිහානියට පත්වන ආකාරය මෙන්ම එය සමාජ බිඳවැටීමට හේතුවන ආකාරයත් චක්කවත්තී සීහනාද සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත.
ආර්ථික සංවර්ධනයට මුවාවෙමින් සදාචාර විරෝධී ක්රමෝපායන් ප්‍රවර්ධනය කිරීම රටක අරාජිකත්වය උදෙසා හේතුවන අදූරදර්ශී ක්‍රියාවක් බවත් එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් මත පිහිටා සදාචාර හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් තිරසර සංවර්ධනයකට යොමුවීමට රජය අවධානය යොමුකළ යුතු බවත් එසේ නොවන්නේම නම් මෙම අප්රතිකාරි සංශෝධනයන් සම්බන්ධ මහජන විරෝධයේ දැඩි ප්‍රතිවිපාක විඳීමට රජයට සිදුවන බවත් අවධාරණය කරමු.
බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ගරු ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර මෙම අප්රතිකාරී සදාචාර විරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍යය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.’
වනචාරි යුගයකට යන්න දෙන්න බෑ – කාදිනල් හිමි
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද මෙම කරුණ සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීමට කටයුතු කර ඇත. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මොනම රජයකටවත් ශ්‍රී ලංකාව වනචාරි යුගයකට ගෙනයෑමට ඉඩදිය නොහැකි බවයි.
රටේ සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා තීරණ රටේ ඉහළම තනතුරු දරන කෙනා දන්නේ නැතිව ඇතැයි කියා තමන් වහන්සේ විශ්වාස කරන බවද උන්වහන්සේ පැවැසූහ. අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ඒ බව පැවැසුයේ පසුගියදා පැවැති දිව්‍ය පූජාවකට සහභාගි වූ අවස්ථාවේය.
රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට දැඩි ලෙස හානිකර බව පැවසූ උන්වහන්සේ, ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළහ.
පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයන් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළද උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
එහිදී කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩපිළිවෙළවල් මගින් ‘වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න ඉඩ නොදෙන’ බවයි. ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදාදිය යුතු බවට වන යෝජනාව උන්වහන්සේ දැඩි ලෙස විවේචනය කළහ.
‘කවුද මේ පිස්සු කතා, මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ? මේ අපේ රට… මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඔස්ටේ්රලියාවද?’ යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.
මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ පවසා සිටියහ. යම් විදියකින් ඔහු මේ කාරණා නොදන්නේ නම් වහාම ඒවා නවත්වන ලෙස උන්වහන්සේ බලකර සිටියහ.
ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයන් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩදිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ අනාවරණ කර සිටියහ.
‘ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තබාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ’ යනුවෙන් උන්වහන්සේ පැවැසූහ.
විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමුකිරීම වැරදි බව කාදිනල් හිමිපාණෝ පවසා සිටියහ.
‘අපේ ඇඟ විකුණලා අපිට කන්න බොන්න හොයාගන්න ඕනෙකමක් නෑ’ උන්වහන්සේ අවධාරණය කළහ.
සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල සංස්කෘතිය මේ වනවිට විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් ලෙස ගතකළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා ‘විහිළු’ ලෙස උන්වහන්සේ හැඳින්වූහ.
රටේ සංස්කෘතිය පිරිහීමට ලක්කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම ඉවත් කළ යුතු බවත්, ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක්කිරීමට ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ පැවැසූහ.
විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බව උන්වහන්සේ කියා සිටියහ.
‘දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්නා ලෙස ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්…’ බවද උන්වහන්සේ එහිදී දැඩි ලෙස අවධාරණය කළහ.
නංගි පෙන්නලා ආච්චි දෙන්න හදන්නේ – ඕමල්පේ සෝභිත හිමි
සමලිංගික කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ගැනීමට සූදානම් වන බව කියන ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ දැඩි විරෝධය පළකර සිටියහ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ මෙම කටයුත්තට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීමට තමන් වහන්සේ සූදානම් බවයි.
‘මුළු රටම තේරුම් අරගෙන තිබිච්ච කාරණාව තමයි, රටක් මේ තරම් බරපතළ ලෙස බංකොලොත්භාවයට පත්වෙන්න ප්‍රධානතම හේතුව තමයි රාජ්‍ය දේපළ මංකොල්ලකෑම. රාජ්‍ය දේපළ පෞද්ගලික අයිතියට පවරා ගැනීම. විවිධ දූෂණ ක්‍රියා මගින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම. මේ චෝදනාව අපි පුළුල් වශයෙන් 76 වසරක සාපය වශයෙන් හැඳින්නුවා. ඒක අපට මැනැවින්ම කියා දුන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා ඇතුළු දේශපාලකයෝ. රටක් මේ තත්ත්වය පිළිගත්තා. රටේ ජනතාවට අවශ්‍ය වුණේ හැකි ඉක්මනින් මේ රටේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනගන්න, බිඳවැටුණු ආර්ථිකය ගොඩනගන්න, බිඳවැටුණු සංස්කෘතිය ගොඩනගන්න, බිඳවැටුණු දේශපාලන ස්ථාවරය යළි ගොඩනගන්න. මේක තමයි මූලික බලාපොරොත්තුව.
නමුත් මේ ආණ්ඩුව අවුරුද්දක් තිස්සේ කළ කී ක්‍රියාකාරකම්වලින් ඒ තත්ත්වය ඒ ආකාරයෙන් ඉටුවන විදියේ පෙරනිමිති පහළ කරලා නැහැ. යම් ප්‍රමාණයකට දූෂණයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග අපි අතිශයින්ම අගය කරනවා. ඒකට හැමදාමත් අපේ ආශීර්වාදය, මුළු රටේම ආශීර්වාදය හිමිවෙනවා. මං රජයේ දූෂණයට එරෙහිව, දූෂිත දේශපාලන ක්රියාකාරිකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග.
නමුත් ජනතාව ඉල්ලුවේ නැති දේවල් මේ දෙන්න හදන්නේ. කිසි කලෙක මේ රටේ මිනිස්සු ඉල්ලුවේ නැහැ ටුවරිසම් දියුණු කිරීමට අපේ ජනතාවගේ ඇඟ විකුණනවා කියලා. ටුවරිස්ලාට ආරාධනා කරන්න ඕනෑම ලිංගික කාර්යයකට ඇවිල්ලා අපේ රටේ පහසුකම් ලබන්න. ඒවා ජනතාව ඉල්ලුව ඒවා නෙමෙයිනේ. අපේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා ගංජා වගා කරන්න කියලා ජනතාව ඉල්ලුවේ නැහැනේ. ජනතාවගෙන් ඇහුවා නම් කියයි. ජනතාව සමග සම්මන්ත්‍රණයක යෙදුණා නම්, අදහස් උදහස් විමසීමක් කළා නම්, මේ රටේ ජනතාව පැහැදිලි කරලා දෙයි. අදූරදර්ශී හෝ වෙනත් ප්රයෝගකාරී, කුමන්ත්රණකාරී විදේශීය බලවේගයන්ට ගොදුරු වෙලා ක්‍රියාත්මක කරන, අද ජනමතය අමතක කරලා ඉන්න දේශපාලන නායකත්වයට, අග්‍රාමාත්‍යවරයා ඇතුළු, ජනතාව කියා දේවි, ‘ඔබ මොන තරම් වැරදිද?’ කියලා.
හැබැයි මේ කිසිම වැඩකට ජනතාවගේ අදහස් විමසලා නැහැ. හිතන්න එපා, ඇමැති මණ්ඩලයට අයිතිය තියෙනවා මුළු රටේම සදාචාරය වෙනස් කරලා, තමන්ට හිතුමතේ නින්දිත සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න. ඇමැති මණ්ඩලයට බලයක් දීලා නැහැ. මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා, අධිකරණ කරන ක්‍රියාමාර්ග ගන්න. කෙසේ වෙතත්, තවදුරටත් පාලක පිරිසට අවස්ථාව තියෙනවා ජනතාව දැනුවත් කරලා ජනතාවගෙන් අදහස් අහන්න, ‘අපි මේ අනුගමනය කරන වැඩපිළිවෙළට ජනතාව කැමැතිද?’ කියලා. එතකොට අවස්ථාව ලැබෙයි.
කෙසේ වෙතත්, මිනිස්සු ඉල්ලපු දේ නෙමෙයි දෙන්නේ. අර සමහරු කියනවා, නංගි පෙන්නලා අක්කා දෙන වැඩපිළිවෙළක් ගැන ආප්තෝපදේශ තියෙනවා. අපට පේන්නේ නංගි පෙන්නලා ආච්චි දෙන්න හදනවා වගේ වැඩපිළිවෙළක්. මහජනතාවට එකක් කියලා වෙනත් දෙයක් ක්‍රියාත්මක කරන්න ගන්නා මේ දූෂිත උත්සාහය අපි ප්‍රතික්ෂේප කළ යුතුයි.
අපි මේ සියල්ලම, අපි හැමදෙනාම, අතිපූජ්‍ය මහානායක මහහිමියන් වහන්සේලා ඉදිරිපත් කළ මේ ලේඛනයට අනුගත වෙනවා. කිසිම සැකයක් නැහැ. මේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා සිවුනම ඒකාබද්ධව නිකුත් කළ නිවේදනය. මේ නිවේදනය තුළ වර්තමානයේ ආණ්ඩුව බලාපොරොත්තු වන සියලු දුෂ්චරිත ක්‍රියා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ගංජා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්න බලාපොරොත්තු වුණු, කරගෙන යන, දැනටමත් ආරම්භ කරලා තියෙන වැඩපිළිවෙළ ව්‍යවස්ථා විරෝධීයි. ගංජා මත්ද්‍රව්‍යයක් හැටියට නීතිගත වෙලා තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, අපනයනය කිරීම සපුරා තහනම්. මේ නීතියවත් මේ ඇත්තෝ හරියට හදාරලා නැහැ කියන බවයි පේන්නේ. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අපි සලසා ගන්නවා, ඒකාන්තයෙන්ම. මේ දිනවල අපි ඒ පිළිබඳ කරුණු කටයුතු සූදානම් කරගෙන යනවා. ගංජා ප්‍රවර්ධනයට රජය ගන්නා උත්සාහයට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාගැනීමට අපි කටයුතු කරනවා. අනිත් කාරණා සම්බන්ධයෙනුත් මේ දිනවල නීතිමය අංශය සමග සාකච්ඡා කරගෙන යනවා. අපට අවසානයේ අධිකරණයේ පිහිට පතන්න සිදුවෙනවා, ඒක කිසිම සැකයක් නැහැ. අධිකරණය මේ සම්බන්ධයෙන් නිගමන ගනීවි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා.
අංක එක, ජනමතය සකස් කිරීම. ජනමතය තුළින් වත්මන් රජයට කරුණු දැක්වීම. ඒ සමගම අධිකරණ ක්‍රියාවලියකට ඉදිරිපත් වීම.’










