එජාපය වැටිච්ච තැනක්..
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කිරීමට කටයුතු කළෙමු. එහිදී එජාප සංවත්සරය පැවැත්වීමේ යටි අරමුණු මොනවාද, එම අරමුණු ඉටුවූවාද නැද්ද යන්න පිළිබඳව සියුම් විග්‍රහයක් එහිදී අපි සිදුකළෙමු. කෙසේ වෙතත් අවසානයේදී එජාප සංවත්සරය පැවැත්වීමෙන් අනතුරුව බොහෝ දෙනකු ප්‍රසිද්ධියේම කී කරුණ වූයේ එදා එළියේ ඡන්ද මිලියන ගණන් තිබූ අතිදැවැන්ත පක්ෂයක් අවසානයේදී ලක්ෂ දෙකක්වත් ඡන්ද ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව, ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවටවත් පැමිණීමට නොහැකි පරාජිත නායකයන් කිහිප දෙනකු ඉදිරි පේළිවල අසුන්ගන්වා 2000ක පමණ පිරිසක් ඇතුළු කරවිය හැකි මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේ මංගල උත්සව ශාලාවක එජාප සංවත්සරය පැවැත්වීමට එහි නායකයන් කටයුතු කොට ඇතැයි කියාය. 2000ක් දැමිය හැකි වුවත් එම ශාලාවට එදා රට වටෙන්ම පැමිණ තිබුණේ 1600කටත් අඩු පිරිසකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගයටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවටත් ආරාධනා කරමින් සහ එම පක්ෂ දෙක පෙන්වමින් විශාල පිරිසක් එජාප සංවත්සරයට ගෙන්වා ගැනීමට එහි නායකයන් දැඩි උත්සාහයක් දැරුවද එය සම්පූර්ණයෙන් අසාර්ථක වී තිබීමය. එමෙන්ම මෙම 1600ක පමණ පිරිස ඇතුළේ විපක්ෂයේ සෙසු පක්ෂ සහ සංවිධාන 40ක පමණ පාක්ෂිකයන් පිරිසක් සිටීමද විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News
මර්වින්ගේ යෝජනාව
මෙම සම්මේලනයේදී තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් ප්‍රධාන එකක් වූයේ එජාපය ප්‍රධාන කොටගෙන ගොඩනැංවීමට සූදානම් වන විපක්ෂ සන්ධානයේ නායකත්වය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමිවිය යුතු බව මේ වනවිට ඇප මත සිටින මර්වින් සිල්වා මහතා විසින් යෝජනා කිරීමය. එහිදී මර්වින් කියා සිටියේ විපක්ෂයේ අනෙක් සියලු පක්ෂ රනිල්ගේ නායකත්වය යටතේ එකමුතු විය යුතු යැයි කියාය.
කෙසේ වෙතත් පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙම එජාප සම්මේලනයට විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවන බවකි. අප මෙම තොරතුර අනාවරණ කිරීමත් සමග කෙසේ හෝ එජාප සංවත්සරයට ජනතාව ගෙන්වා ගැනීම සඳහා රනිල්ගේ ‘නිවුස් ප්ලාන්ට් කල්ලිය’ තමන්ට හිතවත් මාධ්‍ය කිහිපයක පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ නාමල් රාජපක්ෂ මහතා එජාප සංවත්සරයට පැමිණෙන බව කියමින් පුවතක් පැලකිරීමට කටයුතු කළහ. එම පුවතට තමන්ට හිතවත් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදීමටද ඔවුහු පියවර ගත්හ. එම පුවත තවත් තහවුරු කිරීම සඳහා ඊට පෙර සතියේ මාධ්‍ය හිමිකරුවකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියදී රනිල් සහ නාමල් එකට සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල පළකිරීමටද මෙම පිරිස කටයුතු කළහ. ඒ හරහා පොහොට්ටුවේ සාමාජිකයන්ට රනිල් සහ නාමල් අතර විශාල සම්බන්ධයක් ඇති බව පෙන්වීම එම පිරිසේ සැලසුම වී තිබිණ. නමුත් අවසානයේදී නාමල්ද එජාප සම්මේලනය වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ වෙනුවට පොහොට්ටුවෙන් ඊට සහභාගි වී සිටියේ එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පමණි.
නාමල් ආවේ නැත්තේ ඇයි?
නාමල් මෙසේ එජාප සංවත්සරය මගහැරීමට බලපෑ විශේෂ හේතුවක් තිබිණි. ඒ, රනිල් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී එජාපය කොළඹ හෝටලයක සංවිධාන කළ මාධ්‍ය හමුවකට සහභාගි වීමෙන් පසු නාමල්ට මුහුණ දීමට සිදුවූ අලකලංචියය. පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටුව 2.5%ක් දක්වා සිය ඡන්ද ප්‍රතිශතය පහත දමාගත්තද මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී සිය ඡන්ද පදනම 10% දක්වා ඉහළ නංවා ගැනීමට පොහොට්ටුව සමත් විය. ඊට හේතු වී තිබුණේ ගමින් ගමට යමින් නාමල් සිදුකළ ප්‍රචාරක මෙහෙයුම් හේතුකොට ගෙන පොහොට්ටු පාක්ෂිකයන් තුළ නාමල් සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් නැවත වතාවක් ගොඩනැගෙමින් පැවැතීමය. නමුත් රනිල් බේරාගැනීම සඳහා එජාපය විසින් කොළඹ හෝටලයක පැවැත්වූ මාධ්‍ය හමුවට නාමල්ද ගොස් අසුන් ගැනීමත් සමග ඒ ගොඩනැගෙමින් පැවැති ජනප්‍රසාදය එක්වරම කඩා වැටුණු ආකාරයක් නාමල්ටම දැකගත හැකි විය. විශේෂයෙන්ම කිසිදු ජන පදනමක් නොමැති, මැතිවරණ දිගින් දිගටම පරාජයට පත්වූ කණ්ඩායමක් සමග නාමල් එසේ අසුන් ගැනීම නිසා නාමල්ද ඔවුන්ගේ තත්ත්වයටම වැටුණු බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. එහිදී බොහෝ දෙනා නාමල්ට පෞද්ගලිකවම කියා තිබුණේ ඊට නාමල් සහභාගි නොවී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සහභාගි කරවූවා නම් හොඳ යැයි කියාය. ඒ ලැබුණු ප්‍රතිචාරයත් සමග නාමල් තීන්දු කොට තිබුණේ එජාප සංවත්සරයට සහභාගි නොවී සිටීමටය. කෙසේ වෙතත් පොහොට්ටු පාක්ෂිකයන් හෝ පක්ෂ සම්මේලනයට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව නිසා එජාපය පාර්ශ්වයෙන් නාමල් පැමිණෙන බව කියමින් විශාල ප්‍රචාරයක් සමුළුවට පෙර සිටම ගෙන යෑමට කටයුතු කොට තිබිණි.
වැඩේ බාරගත්තේ හරීන්
අනෙක් අතට මෙම එජාප සංවත්සරයේ සියලු සංවිධාන කටයුතු සැලසුම් කළ පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යයට වාර්තා වී තිබුණේ නැත. සංවත්සරය පැවැත්වීම සඳහා මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේ මංගල උත්සව පවත්වන ශාලාව වෙන්කිරීමේ සිට ඊට සෙනග ගෙන්වා ගැනීම ඇතුළු සියලු කටයුතු තිරය පිටුපස සිටිමින් සංවිධාන කළ විශේෂ පුද්ගලයකු සිටියේය. ඒ, වෙන කවුරුවත් නොව හරීන් ප්‍රනාන්දුය. අවසානයේදී හෝටලයේ බිල පවා ගෙවා තිබුණේද හරීන් ප්‍රනාන්දු විසිනි. හරීන් විසින් මේ ආකාරයට එජාප සමුළුව අප්‍රසිද්ධියේ සංවිධාන කිරීමට බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. ඒ, වත්මන් රජය යටතේ පසුගිය රජයේ හිටපු මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් විමර්ශන රැසක්ම ආරම්භ වී තිබීමය. එම විමර්ශනවලට බියේ බොහෝ දෙනකු එජාප සමුළුව ප්‍රසිද්ධියේ සංවිධාන කිරීම භාරගැනීමට අදිමදි කොට තිබිණි. ඒ අනුව වැඩේ බාරගත්තේ හරීන්ය. එම නිසා මේ වනවිට සක්‍රීය දේශපාලනයේ නොමැති හරීන් එය සංවිධාන කළ බව ඇතැමුන් එක්තරා මාර්ගයක් හරහා ආණ්ඩුවට දැනුම් දීමටද කටයුතු කොට තිබිණි.
ගමේ සජබය කඩන්න ලෑස්තියි
කෙසේ වෙතත් මෙම සමුළුවට බලාපොරොත්තු වූ ආකාරයේ පිරිසක් සහභාගි නොවීම පිළිබඳවත් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගි නොවී නියෝජිතයන් තිදෙනකු පක්ෂය වෙනුවෙන් නම්කොට එවීම පිළිබඳවත් සමුළුවෙන් පසු එජාප නායකයන් අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී බොහෝ දෙනකු පෙන්වා දුන්නේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගිය යුතු බවට මර්වින් සිල්වා සංවත්සරයේදී කළ දැනුම් දීම තවදුරටත් රට ඇතුළට ගෙන යා යුතු බවය. එමෙන්ම අතිශය සූක්ෂ්ම ලෙස සජබය දෙකඩ කිරීමේ මෙහෙයුමද තවදුරටත් ගෙන යායුතු බවද ඔවුන්ගේ ස්ථාවරය විය. එහිදී සජබ මන්ත්‍රීවරුන් ඍජුවම එජාපයට එක්කර ගැනීමට උත්සාහ කරනවාට වඩා සජබ ගම් මට්ටමේ ජාලය කඩා බිඳදැමීමට මෙහෙයුමක් දියත් කළ යුතු බව ඇතැම් එජාප ප්‍රධානීන්ගේ සැලසුම වී තිබිණි. ඒ අනුව සජබයේ ආසන සංවිධායකවරුන් අතර ගැටුමක් ඇතිකිරීම සඳහා රැස්වීම් දහසක් රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමෙන් පැවැත්විය යුතු බවත්, එය විපක්ෂයේ එකමුතුවෙන් කෙරෙන දේශපාලන ව්‍යාපාරයක් බව පෙන්වමින් ඊට ගමේ සජබ පාක්ෂිකයන් සහ සජබ ආසන සංවිධායකවරුන් සහභාගි කරවා ගැනීමටත් එහිදී තීරණය විය. ඒ අනුව මෙහෙයුම භාරදුන්නේද හරීන් ප්‍රනාන්දුටත්, වජිර අබේවර්ධනටත්ය. ඒ අනුව මෙම රැස්වීම්වලට සජබ සහ පොහොට්ටු පාක්ෂිකයන් මෙන්ම ආසන සංවිධායකවරුන් සහභාගි කරවා ගැනීමේ වගකීම හරීන් විසින් භාරගනු ලැබීය.
රනිල් රට යයිද?
කෙසේවෙතත් රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමේ රැස්වීම් 1000ක් සංවිධාන කළ යුතු බව කියවුණද ඊට මේ දක්වා එජාප පාක්ෂිකයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මේ වනවිට එම වැඩසටහනද ඇත්තේ පවත්වනවාට වඩා නොපවත්වන තත්ත්වයකය. ඒ නිසාදෝ මෙම වැඩසටහන මගහැර සිටීම සඳහා රනිල් සති කිහිපයකට විදේශගත වීමේ සූදානමකින් පසුවන බවද ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබිණ.
වජිරලා ඇවිත් නෑ
සෙනසුරාදා දිනයේ එජාප සම්මේලනය පැවැත්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් සඳුදා දින විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබිණි. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එජාපය නියෝජනය කරමින් කිසිදු නියෝජිතයකු ඊට සහභාගි වී නොසිටීමය. එමෙන්ම කිසිදු ඡන්ද පදනමක් නැති අනුර ප්‍රියදර්ශන යාපා වැනි කණ්ඩායම්වලටද එජාපය පැත්තෙන් පණිවුඩ යවමින් සජිත් කැඳවා ඇති රැස්වීමට සහභාගි නොවන ලෙස දැනුම්දීමක් කිරීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව එජාප නියෝජිතයන් සහ අනුර ප්‍රියදර්ශනලා නොමැතිව රැස්වීම ආරම්භ වුවද පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ නායකයන් වූ රවුෆ් හකීම්, ගජේන්ද්‍ර පොන්නම්බලම්, අර්චුනා රාමනාදන් වැනි ඡන්ද පදනමක් සහිත දේශපාලනඥයන් රැසක් ඊට සහභාගි වීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ. එහිදී සුපුරුදු පරිදි සජිත් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ හමුවේ විපක්ෂයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළද එජාපයෙන් ඊට කිසිවකුත් සහභාගි නොවීම සම්බන්ධයෙන් කිසිදු කතාබහක් හෝ එහිදී සිදු නොවීම විශේෂ සිදුවීමක් විය.
බල කඳවුරු දෙකක්
මේ සිදුවීම් සියල්ල හරහා පෙනීයන ප්‍රධාන කාරණයක් වන්නේ තිරය පිටුපස දේශපාලන ගේම් ගසමින් විපක්ෂයේ බලය අල්ලන්න ගිය එජාප ප්‍රධානීන්ගේ කුපාඩි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම කඩාවැටුණු ආකාරයය. ඒ අනුව මේ වනවිට විපක්ෂය ඇතුළේ කඳවුරු දෙකක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. ඉන් එක් කඳවුරක් වන්නේ රටේ ජන පදනමක් සහිත, ජන ප්‍රසාදයක් සහිත සහ දූෂණ චෝදනා නැති දේශපාලන නායකයන්ගේ සහභාගිත්වයෙන් සජිත්ගේ නායකත්වය යටතේ ගොඩනැගෙන ජන සන්ධානයය. අනෙක් කඳවුර වන්නේ මිලියන ගණන් ඡන්ද විනාශ කොටගත්, ඡන්දයක් දිනනවා තබා ඡන්දයකට ඉදිරිපත් වීමට පවා හැකියාවක් නොමැති, දූෂණ චෝදනා සහිත කුඩා කුඩා කණ්ඩායම්වල එකතුවකින් රනිල්ගේ නායකත්වයෙන් ගොඩනැගෙන සන්ධානයය. එජාපයේ 79 වැනි සංවත්සරය හරහා සිදුවූ එකම දේ වූයේ මේ කණ්ඩායයම් දෙක අතර පැහැදිලි බෙදුම් රේඛාවක් සනිටුහන් වීමය.
මරික්කාර් ෆයර් වෙයි
සඳුදා පෙරවරුවේ පැවැති විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් අනතුරුව සඳුදා සවස සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි. එජාප සමුළුව සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතා, මාධ්‍ය වාර්තා කොට තිබූ බොරු ප්‍රවෘත්ති සියල්ල අවසන් වීමෙන් අනතුරුව සජබ මන්ත්‍රීවරුන් පවා මේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීන්දු තීරණ මොනවාද යන්න සම්බන්ධයෙන් දැනගැනීමේ විශාල උනන්දුවකින් යුතුවය. කෙසේ වෙතත් මෙහිදී කණ්ඩායම් රැස්වීමක් ආරම්භ වී සුළු මොහොතකට පසු කිසිවකුත් නොසිතූ ආකාරයෙන් අදහස් දැක්වීමට පටන් ගත්තේ එස්.එම්. මරික්කාර් මහතාය. එහිදී සජබ-එජාප සන්ධානය සම්බන්ධයෙන් සහ සජබය ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් දැඩි ආවේගශීලී දේශපාලන කතාවක් සිදුකිරීමට මරික්කාර් කටයුතු කළේය.
‘දැන් තවදුරටත් මේ දේශපාලන විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. දැන්වත් මේක නවත්තන්න ඕනේ. රනිල්ව අත්අඩංගුවට ගත්ත වෙලාවේ මොන ප්‍රශ්න තිබුණත් මොන කකුලෙන් ඇදීම් කළත් අපි ඒ ඔක්කොම අමතක කරලා රනිල්ව එළියට ගන්න සටනට මැදිහත් වුණා. අපේ නායකතුමා වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තයා බොක්කෙන්ම ඒකට සපෝට් කළා. පක්ෂයක් විදියට ඒ සටනට අවශ්‍ය හයිය ලබාදුන්නා. හැබැයි දැන් ඒක ඉවරයි. දැන් අපි තීරණය කරන්න ඕනේ පක්ෂයක් විදියට සජබය හිටගන්න ඕනේ කා එක්කද කියලා…
අපි සජබය ඇතුළේ හදාගත්ත නමක් තියෙනවා. රටේ ඉන්න හැම දෙනාම දන්නවා සජබය ඇතුළේ ඉන්නේ හොරු නෙවෙයි කියලා. ඒ හින්දා අපි අපේ අනන්‍යතාව තියාගෙන තමයි ඉස්සරහට කටයුතු කරන්න ඕනේ. මේ පහුගිය ආණ්ඩුවල ඉඳලා එහෙට මෙහෙට පැනලා නන්නත්තාර වෙලා මිනිස්සු මූණවත් බලන්න අප්පිරිය අයත් එක්ක අපි යන්න ඕනෙද සන්ධාන හදන්න? යූ.ඇන්.පී.යට සන්ධාන හදන්න ඕනෙ නම් ඒගොල්ලන්ට කියන්න අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙන්න කියලා. අපි ගිහින් ඒ අයත් එක්ක වාඩිවෙලා සන්ධාන හදන එක ගැන කතාකරන්න ඕනෙද? ඒගොල්ලෝ මොනවද මේ හදන්න යන සන්ධාන? කා එක්ක එකතු වෙලාද ඒ අය සන්ධාන හදන්න යන්නේ..?
පහුගිය කාලේ මම රට ගිහින් හිටියෙත් මේවා මගහරින්න ඕනෙ නිසාමයි. ඒ අයත් එක්ක ගිහිල්ලා සන්ධාන ගහන්න හැදුවොත් මිනිස්සු අපිවත් ප්‍රතික්ෂේප කරන එක අනිවාර්යයි. අනික නායකතුමා පැහැදිලිව කියලා තියෙනවා සජබයයි එජාපයයි එකතු වෙන්න ඕනේ, ඒ ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දී අපි එක එක තැන්වලට ගිහිල්ලා සාකච්ඡා කරන්න ඕනේ නෑ. පක්ෂයක් විදියට පක්ෂය ගත්ත ස්ථාවරයට අනුව නිල වශයෙන් ඒ සාකච්ඡා හරි විදියට කරන්න අපි කටයුතු කරන්න ඕනේ….’ යනුවෙන් මරික්කාර් දිගට හරහට දීගෙන යද්දී අජිත් පී. පෙරේරා ඇතුළු විශාල පිරිසක්ද මරික්කාර්ගේ ස්ථාවරයට අනුව යමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ හරහා සජබ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේ අතිබහුතරයක් අයාලේ යන සහ අගුපිල්වල පවත්වන සන්ධාන සාකච්ඡා ප්‍රතික්ෂේප කළ යුතු බවත්, සජබය සමග කෙළින් සිටගෙන සජබය ප්‍රධානත්වයෙන් සහ සජබ නායකයාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගන සන්ධානය සමග කෙළින් සිටගත යුතු බවට වූ මතයේ සිටින බවත් දැකගත හැකි විය.
අලුත්ම මඩේ
අත්අඩංගුවේ පසුවූ රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටියදීම සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට මඩ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කොට තිබූ ආකාරය පිළිබඳ සියලු තොරතුරු පසුගිය සති කීපයේම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් රටට අනාවරණ කිරීමට අපි කටයුතු කළෙමු. එහිදී රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධන මහතාට අයත් සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් උපයෝගී කොටගෙන සජිත්ට එරෙහි මඩ මෙහෙයුම දියත් කළ ආකාරය සාක්ෂි සහිතව අපි පෙන්වා දුන්නෙමු. වරෙක විපක්ෂයේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ‘ලංකාදීප’ පුවත්පත බොරු පුවතක් පළකළ ආකාරයත්, සජිත් නිවාස අමාත්‍ය ධුරය දරන සමයේ සිරිකොත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට සූදානමින් සිටින බවටත්, අල්ලස් කොමිසම සජිත්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සජිත්ව කැඳවා ඇති බවටත් යනුවෙන් අසත්‍ය පුවත් පළවූයේ ඒ අනුවය. නමුත් අප කී ආකාරයටම මේවා රනිල්ගේ ‘නිවුස් ප්ලාන්ට් කල්ලිය විසින් පළකරන බොරු පුවත් බව හෙළිවූයේ ඒ කිසිවක් සිදු නොවීම නිසාය.
අප කළ එම අනාවරණයන්ගෙන් පසු ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ‘බයි තක්සලාව’ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේද මෙම අසත්‍ය පුවත් රනිල්ගේ පාර්ශ්වය විසින් පළකරන ඒවා බව අනාවරණ කොට තිබිණි. එහිදී ඔවුන් දෙදෙනාම එම වැඩසටහන ඔස්සේ පෙන්වා දී තිබුණේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්ව පරාජය කොට අනුරව ජයග්‍රහණය කරවීම සඳහා රනිල් – අනුර දේශපාලන ඩීල් එකක් පැවැති බවත්, අවසානයේදී සජිත්ව පරාජය කොට රනිල්ට අනුරගෙන් හොඳ පරිප්පුවක් කෑමට සිදුවූ බවත්ය.
ගමගෙදර කරපු දෙයක්
කෙසේ වෙතත් රනිල් මේ ආකාරයට සජිත්ව ඉලක්ක කොටගෙන සිය මස්සිනා වූ රුවන්ට අයත් පුවත්පත් ඔස්සේ පසුගිය දිනවල මඩ මෙහෙයුමක් දියත් කළේ වෙන කිසිවක් නිසා නොව සජිත්ව බියගන්වා කෙසේ හෝ එජාප සමුළුවට ගෙන්වා ගැනීමට සඳහාය. නමුත් රනිල්ගේ මේ මාධ්‍ය මෙහෙයුම් ගැන ඒ වනවිට හොඳින් දැන සිටීම නිසාම සජිත් එම පුවත් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුකළේ නැත. එම පුවත්වලට ප්‍රතිචාර දක්වන්නට ගියේත් නැත. ඒ වෙනුවට සජිත් කළේ තමන් එජාප සමුළුවට සහභාගි නොවී ඊට සිය නියෝජිතයන් තිදෙනකු පමණක් යැවීමට තීන්දු කිරීමය. අවසානයේදී සිදුවූයේ සජිත්ව සමුළුවට ගෙන්වා තමන් යටතේ තබාගෙන ලොකු ෂෝ එකක් දැමීමට මෙහෙයුම් දියත් කළ රනිල්ගේ සියලු සිහින බිඳවැටී එජාප සමුළුව බිමටම කඩා වැටීමය.
මේ හේතුවෙන් රනිල් හතරගාතෙ දා බිම වැටී සිටියදී රනිල්ට ඔක්සිජන් දෙන මෙහෙයුමක් ආණ්ඩුව පැත්තෙන් දියත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, හිටිහැටියේම ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ගමගෙදර දිසානායක මහතා විසින් සජිත් අමාත්‍ය ධුරය දරන සමයේ සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන ගණනක මූල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීමය. එහිදී ගමගෙදර දිසානායක කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වත්මන් ආණ්ඩුව කමිටුවක් පත්කළ බවත්, එම කමිටුව මගින් මේ තොරතුරු අනාවරණ කොටගෙන ඇති බවත්ය. ඒ අනුව ගමගෙදර කළ මෙම ප්‍රකාශයට ආණ්ඩුවේ මාධ්‍ය පමණක් නොව, රනිල්ගේ මාධ්‍යද විශාල ප්‍රචාරයක් ලබාදී තිබූ ආකාරයක් දැකගත හැකි විය.
පට්ට පරණ මඩක්
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාවක් සජිත්ගේ සමයේදී සිදුව ඇති බවට වූ චෝදනාව එල්ල වූයේ අද ඊයේ නොවේ. 2015 යහපාලන ආණ්ඩුව පරාජයට පත්වීමත් සමග මෙම චෝදනාව එල්ල කිරීම ආරම්භ කළේ වෙන කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ විසිනි. 2019 ජනාධිපතිවරණයෙන් සජිත් පරාජය කොට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු ඒ ආණ්ඩුවේ බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය භාරවූයේ මහින්ද රාජපක්ෂටය. මහින්ද සහ රනිල් අතර අතීතයේ සිටම විශාල හිතවත්කමක් පවතින බව දේශපාලනයේ රහසක් නොවේ. ඒ අනුව රනිල් කළේ තමන් හා මහින්ද අතර පණිවුඩ ගෙනයන එක්තරා විශේෂ පුද්ගලයකුට කතාකොට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ලිපිගොනු කිහිපයක් ඔහුට ලබාදී එම ලිපිගොනු සියල්ල මහින්දගේ අතටම දෙන ලෙසට දැනුම් දී සිටීමය. එම ලිපිගොනුවල සජිත්ව ඉවර කිරීමේ තොරතුරු ඇති බවත්, ඒ අනුව ඉතා ඉක්මනින් සජිත්ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ මෙහෙයුම ආරම්භ කරන ලෙස මහින්දට දැනුම් දෙන ලෙසත් රනිල් එදා එම පණිවුඩකරුට දැනුම් දී තිබිණි.
රනිල් ෆයිල් එක මහින්දට දෙයි
ඒ අනුව මෙම අතරමැදියා අදාළ ලිපිගොනු සියල්ල ගෙනගොස් රනිල් විසින් එම ලිපිගොනු මහින්දට දෙන ලෙස දැනුම් දුන් බවත්, එහි සජිත්ගේ දේශපාලනය අවසන් කිරීමේ තොරතුරු ඇති බවත් මහින්දට දැනුම් දී සිටියේය. ඒ අනුව මහින්දද අදාළ ලිපිගොනුව ගෙන පෙරළා බලා ගත් කටටම ඒ අතරමැදියාට කියා සිටියේ, ‘මේ මනුස්සයට පිස්සුද? සජිත් කියන්නේ රට ඇතුළේ ඡන්ද පදනමක් තියෙන කෙනෙක්. මොන පෞද්ගලික ප්‍රශ්න තිබ්බත් සජිත්ගේ තාත්තා මේ රටට සේවයක් කරපු හිටපු ජනාධිපති කෙනෙක්. අනික අපි කොහොමද කියන්නේ සජිත් සංස්කෘතික අරමුදලෙන් මේ සල්ලි හොරකම් කළා කියලා? මේ මනුස්සයා කරලා තියෙන්නේ සංස්කෘතික අරමුදලේ සල්ලි අරන් රටේම තියෙන පන්සල් පල්ලි හදන්න උදව් කරලා තියෙන එක. ඉතින් ඒක කොහොමද හොරකමක් වෙන්නේ? මම නම් මේක කරන්න යන්නේ නෑ. ඉතින් ඒකෙ හොරකමක් වෙලා තිබ්බා නම් රනිල්ටම තිබ්බනේ මේක කරන්න….’ යන්න එහිදී මහින්ද කී කතාව විය.
ගෝඨාත් ට්‍රයි කළා
කෙසේ වෙතත් මහින්ද මේ ආකාරයට අදාළ විමර්ශන සිදුකිරීමේ සාධාරණ පදනමක් නොමැති බව කියමින් එය ප්‍රතික්ෂේප කළද රනිල් කෙසේ හෝ ගෝඨාභයට පින්සෙන්ඩු වී සංස්කෘතික අරමුදලේ වියදම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරවා ගැනීමට කමිටුවක් පත්කරවා ගත්තේය. නමුත් එම කමිටුවේ අවසන් වාර්තාවෙන්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බව සොයාගත නොහැකි විය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් සිදුකිරීමටද පියවර ගැනිණි. නමුත් ඉන්ද සජිත්ගේ කාලයේදී සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවක් අනාවරණ කරගැනීමට නොහැකි විය.
රනිලුත් ට්‍රයි කළා
ගෝඨාගෙන් පසු බලයට ආ රනිල්ද සජිත්ට මඩ ගැසීම සඳහා නැවත වතාවක් කෝප් කමිටුව මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත්තේය. සජිත්ට මඩ ගැසීම සඳහාම මහින්දානන්ද අලුත්ගමගේ වැනි චරිත කෝප් කමිටුවට ඇතුළත් කිරීමට රනිල් කටයුතු කළේය. පාර්ලිමේන්තුවේදී ඇතිවන තුරු මේ සම්බන්ධයෙන් සජිත්ට මහින්දානන්ද ලවා මඩ ගැසුවේය. නමුත් අන්තිමේදී කෝප් කමිටු වාර්තාවෙන්ද සජිත් සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කොට ඇති බවක් සොයාගැනීමට නොහැකි විය. අවසානයේදී අල්ලස් කොමිසමට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණද අල්ලස් කොමිසමද කියා සිටියේ විමර්ශනයක් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති වීම හේතුකොට ගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නොකරන බවකි.
එවැනි පසුබිමක් පැවැතියදී පසුගිය කාලයේ රනිල් හා මාලිමා ආණ්ඩුව අතර, රනිල් හා හරිනි අතර යම් යම් ගනුදෙනු සිදුවන බවට තිරය පිටුපස ගිය රාවයන් සනාථ කරමින්දෝ හදිසියේම මාලිමා ආණ්ඩුවද මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ සඳහා විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව හරිනි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. ඊට එකල ආණ්ඩුවේ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදීමටද පියවර ගැනිණි.
කෙසේ වෙතත් එජාප සමුළුව අසාර්ථක වී රනිල් හතරගාතේ දා ඇදවැටීමත් සමග ආණ්ඩුව පැත්තෙන් හදිසියේම වාගේ නැවත වතාවක් මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් එළියට ආවේය. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කර තිබූ අතර, එය අණ්ඩුවේ පුවත්පතක් වන ‘දිනමිණ’ පුවත්පත පසුගිය 21 වැනි සඳුදා සිය මුල් පුවත මගින් වාර්තා කර තිබුණේ මෙසේය.
‘මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8,000කට අධික ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ කමිටුව, එම තොරතුරු අනාවරණය කළ බවත් බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියොජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහතා පවසයි.
ඒ අනුව එම කමිටුවේ අවසන් වාර්තාව ලැබීමෙන් අනතුරුව මහජන මුදල් එලෙස අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියොජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහතා අවධාරණය කරයි.’ යනුවෙන් එහි සඳහන්ව තිබිණ.
අජිත් අභියෝග කරයි
මේ ආකාරයට ගමගෙදර දිසානායක අවසන් කමිටු වාර්තාවක් පිළිබඳ සඳහන් කළද අපට දැනගන්නට ඇති ආකාරයට නම් මෙම කමිටුව තවම අදාළ සිදුවීම සම්බන්ධයෙන් නියමිත පරිදි සාක්ෂි විමසීම හෝ ආරම්භ කර නොමැත. එවක සිටි අමාත්‍යාංශ ලේකම්වරයාගේ හෝ ප්‍රකාශයක් තවම සටහන් කරගෙන නැත. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නේ අවසන් විමර්ශන වාර්තාවක් තවමත් නිකුත් වී නොමැති බවකි. තවමත් විමර්ශන කටයුතු ආරම්භක අවධියේ ඇති බවකි. ඒ අනුව බොහෝ දෙනාට සැක මතුවී ඇත්තේ රනිල් සහ ආණ්ඩුවේ ඇතැමුන් අතර ඇති ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ප්‍රකාශයක් ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූවාද කියාය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊට පසු දින සජබයේ අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එවැනි කමිටු වාර්තාවක් නිකුත් කර තිබේ නම් එය වහාම සභාගත කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකට අභියෝග කර සිටියේය. නමුත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාද එවැනි වාර්තාවක් තවමත් නිකුත් වී නොමැති බව පිළිගැනීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව අජිත් පී. පෙරේරා සජිත් ඉලක්ක කොටගෙන සිදුකරන මෙම මඩ මෙහෙයුම පිළිබඳ සියල්ලන්ටම වැටහෙන පරිදි පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේ මෙසේය.
අජිත් කියපු දේ
සංස්කෘතික අරමුදලේ මිලියන 8000ක වංචාවක් වී ඇති බවට රජය විසින් පත්කළ කොමිෂන් සභාවක් මගින් සොයාගෙන ඇති බවට නියෝජ්‍ය සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක මහතා විසින් ප්‍රකාශයක් කර ඇති බවත්, මේ චෝදනාව පසුගිය රජයත්, මේ රජයත්, පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් දිගින් දිගටම මතු කළ බවත්, ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රකාශය අනුව මේ කාරකසභාව 2025 ජූලි 15 වැනිදා අ.ම.ප./25/1154/802/018 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බවත්, ඒ අනුව 2007 සිට 2020 දක්වා කාලසීමාවේදී ආගමික ස්ථානවල විවිධ කටයුතු සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය ආධාර ලබා දීමේ දී සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට පත්කර ඇති බවත් සජබ මන්ත්‍රී අජිත් පෙරේරා පැවසීය.
මෙම කමිටුව මාස 2ක් තුළ වාර්තා ඉදිරිපත් කළ යුතු බවත්, එවැනි වාර්තාවක් ඇත්නම් සභාව දැනගත යුතු නිසා මේ කමිටුව මාස 2ක් ඇතුළත වාර්තාවක් සකස් කර ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බවත්, එසේ නොවන්නේ නම් මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය අනුව දඬුවම් ලැබිය යුතු වරදක් බවත්, මේ ගැටලුව ගැන වසන්ත ජිනදාස මහාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා පරීක්ෂණයක් සිදුකළ බවත්, එම පරීක්ෂණ වාර්තාව ඇති බවත්, එම නිසා වැරදි නොකරන අයට අසත්‍ය චෝදනා නොකරන ලෙසත් මේ වාර්තාවේ පවා එය සඳහන් බවත් හෙතෙම පැවසීය.
මීට පෙර ගාමිණී සරත් එදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්තා රෝහණධීර කමිටුව මගින්ද පුද්ගල ඉලක්ක චෝදනාවක් හෝ වංචාවක් සොයාගෙන නැති බවත්, අල්ලස් කොමිසමට යොමුකළ පසු 2022.11 දින දරන නියෝගය අනුව අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඉදිරි කටයුතු සිදු නොකිරීමට තීරණය කර ඇති මොහොතක කමිටු පිට කමිටු දැමුවත් අද වනතුරු වරදක් සොයාගත නොහැකි වී ඇති බවත්, වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස හෝ එසේ නොහැකි නම් සමාව ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
මාලිමා වත්කම්
නව වත්කම් හා බැරකම් පනතට අනුව මේ වනවිට සියලු මැති ඇමැතිවරුන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ වත්කම් ප්‍රසිද්ධියට පත්කිරීම හේතුකොට ගෙන පසුගිය සතිය වනවිට දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් වී තිබුණේ මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන මැති ඇමැතිවරුන් රැසකගේ වත්කම් ප්‍රසිද්ධියට පත්වීමත් සමගය. ඒ අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හට රුපියල් කෝටි 27ක වත්කම් ඇති බවට හෙළිවීමත් සමග විපක්ෂය දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ මේ ආකාරයේ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත වහාම රටට කරුණු කිව යුතු බවකි. එමෙන්ම ඔහු සතුව ‘ක්‍රිප්ටෝ කරන්සි’ පැවැතීම සම්බන්ධයෙන්ද රටට කරුණු කිව යුතු බවද විපක්ෂය සඳහන් කර සිටියේය.
පසුගිය සතිය වනවිට මාලිමා මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ වූ මෙම විවාදය උග්‍ර අතට පත්ව තිබීම නිසා ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී විපක්ෂය නගන මෙම චෝදනාවට පිළිතුරු ලබාදිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා වී තිබිණි. එහිදී බොහෝ දෙනා කියා තිබුණේ විපක්ෂය එම චෝදනාව නැගුවද ආණ්ඩුව ඊට ප්‍රතිචාර නොදක්වා සිටිය යුතු යැයි කියාය. එසේත් නොමැති නම් වත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් ඊට අදාළ තැන්වලට පැමිණිලි කොට එම ගැටලුව විසඳාගන්නා ලෙස පිළිතුරු දිය යුතු යැයි කියාය.
මාට්ටු වුණේ හඳුන්නෙත්ති
ඒ අනුව මෙහි පළමු පරීක්ෂණය පැවැත්වුණේ දෙරණ 360 වැඩසටහනේදීය. එදින ඊට සහභාගිව සිටියේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිය. 360 මෙහෙයවන මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න එක් අවස්ථාවකදී හඳුන්නෙත්තිගේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවාත් සමග ඊට පිළිතුරු ලබාදීම මගහැරි හඳුන්නෙත්ති දිගින් දිගටම කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කලිඳුට ගැටලුවක් ඇත්නම් අල්ලස් කොමිසමට හෝ ඊට අදාළ තැන්වලට පැමිණිලි කරන ලෙසය. නමුත් කලිඳු ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමත් සමග තරමක් කෝපයට පත් හඳුන්නෙත්ති තමන් ඊට පිළිතුරු නොදෙන බවද දැඩිව කියා සිටියේය.
ඒ අනුව වත්කම් ප්‍රශ්නයේදී ඊට ප්‍රතිචාර නොදැක්වීමට ආණ්ඩුව පැත්තෙන් ගත් තීරණය විමර්ශනයට ලක්වුණු පළමු අවස්ථාවේදීම ඊට සමාජ මාධ්‍යයෙන් සහ විපක්ෂය පැත්තෙන් දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී බොහෝ දෙනා කියා තිබුණේ හඳුන්නෙත්ති එම ප්‍රශ්නයට පිළිතුරු නොදී මගහැර ගොස් ඇනගත්තා යැයි කියාය.
අනුරගේ අයවැය තුරුම්පු
2026 වසර සඳහා වූ අයවැය ලේඛනය ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය සිකුරාදා දිනයේදීය. ඒ අනුව මෙවර අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පැවැති දීර්ඝ සාකච්ඡාවකදී එක් විශේෂ තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කොට තිබිණි. ඒ, මෙවර අයවැයෙන් ජනතාව මත අමතර කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමටය. මෙම තුරුම්පුවට අමතරව මෙවර අයවැයෙන් තවත් තුරුම්පුවක් ගැසීමට ආණ්ඩුව මේ වනවිට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, පළමු වරට අයවැය පරතරය විශාල වශයෙන් අඩුකර ගැනීමට මෙම අයවැයෙන් සමත්ව තිබීමය. එසේ ආණ්ඩුව අයවැය පරතරය අඩුකොට ගෙන තිබුණේ අනවශ්‍ය වියදම් අඩුකිරීම නිසාද, වියදම් නොකර සිටීම නිසාද, ප්‍රාග්ධන වියදම් අඩුකොට ඇති නිසාද, සංවර්ධන කටයුතු තවම ආරම්භ කොට නොමැති නිසාද යන්න කියන්න දන්නේ නැත.
එමෙන්ම අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පැවැති සාකච්ඡාවේදී තවත් විශේෂ තීන්දුවක්ද ආණ්ඩුව විසින් ගෙන තිබේ. ඒ, සක්‍රීය මට්ටමේ නොමැති සහ පාඩු ලබන තවත් රාජ්‍ය ආයතන 40කට ආසන්න ප්‍රමාණයක් වසාදැමීමට තීන්දු කිරීමය. දැනටමත් ආණ්ඩුව පාඩු ලබන සහ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති රාජ්‍ය ආයතන 30කට ආසන්න ප්‍රමාණයක් වසාදැමීමට පියවර ගෙන තිබේ. මෙම අලුත් ආයතන 40 වසාදැමීමට අදාළ කැබිනට් පත්‍රිකාව මීට සති දෙකකට කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමට නියමිතව තිබුණද කිසියම් හේතුවක් මත එය එදින ඉදිරිපත් වූයේ නැත. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ස්ථිරවම අයවැය සම්මත කිරීමට පෙරාතුව මෙම ආයතන 40 වසාදැමීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවය. එහිදී ඇතැම් ක්ෂේත්‍රවලට අයත් ආයතන වසාදමා එක උපදේශන ආයතනයක් පමණක් පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවක්ද ආරංචිය.
උතුර අනුර හමුවෙන්න සූදානමින්
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයේ දෙමළ ජාතික සන්ධානයේ ශානක්‍යන් රාසමානික්කම් මහතා සහ ජනාධිපතිවරයා අතර සිදුවූ මුහුණට මුහුණ සාකච්ඡාවක තොරතුරු රටට අනාවරණ කළෙමු. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ගැටලු විසඳීම ඇතුළු කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා වූ බව අපි සඳහන් කළෙමු. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පක්ෂ මට්ටමින් නොව, පෞද්ගලික මට්ටමින් සිදුවූ එකක් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සමයේදී අවස්ථා කිහිපයකදීම යාපනයේ සංචාරය කොට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පොරොන්දු ගණනාවක් ලබාදී තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් උතුරේ ජනතාව පෝලිමේ ඇවිත් අනුරට ඡන්දය භාවිත කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව උතුරේ ප්‍රධාන දෙමළ පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරයා බලයට පත්ව මාස 3කට පසු, එනම් දෙසැම්බර් මාසයේදී පළමු වරට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා බලයට පත්වූ අලුත නිසා එම සාකච්ඡාවේදී උතුරේ ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් ආකාරයක් දැකගන්නට නොලැබිණි.
මේ අතර තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේ දේශපාලන අර්බුදයක් හටගනිමින් කණ්ඩායම් දෙකක් වශයෙන් නිර්මාණය වෙමින් පැවැති ආකාරයක් දැකගන්නට තිබිණි. පක්ෂ නායකයා වූ ශ්‍රීධරන් එක් කණ්ඩායමක් නියෝජනය කළ අතර, අනෙක් පක්ෂය නියෝජනය කළේ මහලේකම් සුමන්තිරන් සහ රාසමානික්කම් ඇතුළු පිරිසකි. ඒ අනුව පසුගිය කාලයේදී ශ්‍රීධරන් ජනාධිපතිවරයාගෙන් හමුවක් සඳහා කාලවේලාව ඉල්ලා තිබිණි. ඊට හේතු දක්වමින් ශ්‍රීධරන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ උතුරේ ඇතිවූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කාලවේලාවක් අවශ්‍ය යැයි කියාය. එම ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා තමිල් අරසු කච්චි පක්ෂයට කාලවේලාව ලබාදුන්නද එම සාකච්ඡාව ආරම්භ වන තෙක්ම රාසමානික්කම් ඇතුළු අනෙක් කණ්ඩායම සාකච්ඡාව ලබාදී ඇත්තේ ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට බව දැන සිටියේ නැත. ඔවුන් සූදානමින් ගියේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. නමුත් සාකච්ඡාව ආරම්භයේදීම ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට යොමුවීම නිසා ඒ අවස්ථාවේදී රාසමානික්කම් ඇතුළු තමිල් අරසු පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගියේ නැත. ඉන් අනතුරුව වසරක් යනතුරු ජනාධිපතිවරයා සහ තමිල් අරසු කච්චි පක්ෂය අතර කිසිදු නිල සාකච්ඡාවක් පැවැත්වී තිබුණේ නැත. තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරයාගෙන් වේලාවක් හෝ ඉල්ලා නොතිබූ අතර, ජනාධිපතිවරයා හෝ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස තමිල් අරසු කච්චි පක්ෂයට ආරාධනා කොට තිබුණේ නැත.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය 14 වැනි ඉරිදා තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරකසභාව අම්පාරේදී රැස්විය. එහිදී සාකච්ඡා වූයේ නිල වශයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට මේ වනවිට වසරක කාලයක් ගතව ඇති නිසා උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නැවත වතාවක් ජනාධිපතිවරයා නිල වශයෙන් මුණගැසීමටය. ඒ අනුව තමිල් අරසු කච්චි මධ්‍යම කාරකසභාව තීන්දු කළේ නැවත වතාවක් ජනාධිපතිවරයා හමුවීම සඳහා ලිඛිතව වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටය. ඉකුත් වතාවේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ගොස් ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීම නිසා මෙවර තීන්දු වූයේ උතුරු පළාත් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන වී.කේ. සිවඥානම් මහතාගේ නායකත්වයෙන් පක්ෂ මහලේකම් සුමන්තිරන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම ගොස් ජනාධිපතිවරයා හමුවී උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ඊට අදාළ ලිපිය පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා වෙත යැවීමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබිණ.
කපිල පුංචිමාන්නගේ










