දිවුලපිටියේ බරවාවිලදී 1958 ජනවාරි 01 උපන් විජලත් පතිරන්නැහැලාගේ ලලිත් විජේරත්න ජවිපෙ දෙවැනි කැරැල්ලට නායකත්වය දුන් දේශපාලන මණ්ඩල සභිකයන් 13 අතර සිටි කනිෂ්ඨයා වේ. දෙවැනි කැරැල්ලේ උතුරුමැද කලාපයට අයත් පොළොන්නරුව, අනුරාධපුර සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි දේශපාලන සහ යුද නායකයා ඔහුය. විජේවීර ඝාතනයෙන් පසු ජවිපෙ දෙවැනි නායකයා ලෙස 1989 නොවැම්බර් 28 සමන් පියසිරි ප‍්‍රනාන්දු පත්වූ අතර, සමන් පියසිරි 1989 දෙසැම්බර් 29 ඝාතනයට පත්වූ පසු 1989 දෙසැම්බර් 30 ජවිපෙ තෙවැනි නායකයා බවට පත්වූයේ ලලිත් විජේරත්නය. කපිල, ජයන්ත, අරවින්ද සහ සිරිදාස නමින්ද ලලිත් විජේරත්න හැඳින්විණි. Sri Lanka Latest New
ඔහුගේ පියා විජලත් පතිරන්නැහැලාගේ පියසේන උපන්නේ 1924 දෙසැම්බර් 25 වැනිදාය. කෙහෙල්ඇල්ලේදී 1928 දෙසැම්බර් 18 උපන් ලලිත්ගේ මව කළුආරච්චිගේ රොසලින් නෝනාය. රොසලින්ගේ මවුපියන්ට දූ දරුවන් 13ක් සිටි අතර, ලලිත්ගේ මව එම පවුලේ බාලයාය. ලලිත් විජේරත්නගේ මවුපියන්ට දරුවන් 5කි. පවුලේ වැඩිමලා 1953 උපන් ඉන්ද්‍රාණිය. දෙවැන්නා වූ නිමල් උපන්නේ 1956දීය. තෙවැන්නා ලලිත් වන අතර, උපන්නේ 1958දීය. රංජිත් පවුලේ සිවුවැන්නා වූ අතර, උපන්නේ 1960ය. වසර 1961 උපන් වසන්තා පවුලේ බාලයාය. වසර 2018 දෙසැම්බර් වනවිට ලලිත් විජේරත්නගේ සොයුරු සොහොයුරියන් හතර දෙනාට දූ පුතුන් 10කි. ඔවුන්ට සිටි මුණුබුරු මිණිබිරියන් සංඛ්‍යාව 11කි.
හපුගහගම කනිෂ්ඨ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලත් ලලිත් 6 වැනි ශ්‍රේණියේ සිට සරසවි ප‍්‍රවේශය සඳහා විද්‍යා විෂයෙන් අධ්‍යාපනය ලැබුවේ හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි. වර්තමානයේ එය හඳුන්වන්නේ කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය ලෙසිනි. පාසලේදී සහ ඉන් පසුවද ඔහුගේ අසල්වැසි මිතුරෙකු වූයේ පසුව එප්පාවල ශ‍්‍රී සිද්ධාර්ථ විදුහලේ ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කළ ගාමිණී ඈපාසිංහය. ලලිත් 1980 ඔක්තෝබර් 27 පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයට ඇතුළු විය. ප‍්‍රථම වසරේදී ජේම්ස් පීරිස් ශාලාවේ නේවාසිකයෙකු වූ ලලිත්ගේ කාමර සගයන් වූයේ නන්දන ආරියරත්න සහ මීගල්ලය.
ඔහු ජවිපෙට එක්වූයේ පාසල් වියෙන් පසු 1978දීය. ඒ ලලිත්ගේ මවගේ සොහොයුරා වූ දිවුලපිටියේ කෙහෙල්ඇල්ලේ පදිංචි හුණුමුල්ල මහා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරු රාස්සපානගේ ජයසිංහ හරහාය. උසස් පෙළ විභාගයට පෙනීසිටීමෙන් පසු ලලිත් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා එම නිවසේ නතරව සිටියේය. ඔහුගේ පුත‍්‍රයා වූ පූජිත ජයසිංහද දෙවැනි කැරලි සමයේදී අත්අඩංගුවට ගත් අතර, අතුරු හමුදා කණ්ඩායම් විසින් එම නිවසද 1988 අගෝස්තු 02 ගිනි තබා විනාශ කරන ලදී. ජවිපෙ පන්ති ලලිත්ට පැවැත්වූයේ 1971 අප්‍රේල් කැරලිකරුවෙකු වූ පින්නකැලේ වත්තේ ආටිගලය.
ලලිත්ගේ පියා වෘත්තියෙන් ගොවියෙකි. මව රොසලින් දිවුලපිටියේ තම්බකාර් වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි මල්තුනේ ගිනිපෙට්ටි කම්හල සඳහා ගිනිකූරු පතුරු සකස්කර කම්හලට අලෙවි කළාය. ද්‍රවිඩ ජාතිකයකුට හිමි එම කම්හල 1983 ජූලි කලබල සමයේදී ගිනිබත් විය.
පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සිසුවකු වූ ලලිත් විජේරත්නගේ ශිෂ්‍යභාවය සදාකාලිකව තහනම් වූයේ උදලාගම කොමිසමේ තීරණය අනුවය. එහි ඉතිහාසය නම් වසර 1982 පේරාදෙණියේ ශිෂ්‍ය සභා නිලවරණයෙන් ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජයගත් අතර උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න එජාප අනුබද්ධ සමවාදී ශිෂ්‍ය පෙරමුණට වක්‍රව සහාය දෙමින් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය මැඬලීමට උත්සාහ ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නිලවරණයෙන් පසු ජයග‍්‍රාහී පෙළපාළියට එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයන් විසින් පහරදෙන අතර, ඉන් මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන ජවිපෙ සිසුන්ට තුවාල සිදුවිය. උපකුලපතිවරයා කැකිල්ලේ තීන්දුවක් දෙමින් ශිෂ්‍ය සභා සාමාජිකයන්ගේ ශිෂ්‍යභාවය තහනම් කළේය.
එයට එරෙහි උද්ඝෝෂණයේදී පරිපාලනය මගින් ඒ පිළිබඳ සොයාබැලීමට විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක කුමාර උදලාගම යටතේ කොමිසමක් පත්කරන ලදී. (1941 දෙසැම්බර් 09 වැනිදා උපන් උදලාගම 2015 පෙබරවාරි 19 වියෝවිය). සිසුන් 6 දෙනෙකුගේ ශිෂ්‍යභාවය එම උදලාගම කොමිසම මගින් 1983දී සදාකාලිකව අහෝසි කළ අතර ඉන් තිදෙනකු වූයේ පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ සිසු ලලිත් විජේරත්න සමග ඉංජිනේරු පීඨයේ සිසු බදුල්ලේ ආනන්ද ඉඩමේගම සහ කෑගල්ලේ රංජිතම් ගුණරත්නම්ය. එයට එරෙහිව 1983 මාරාන්තික උපවාසයක් දියත් විය. මහාචාර්ය ඩයස් පසුව ප‍්‍රාණඇපකරුවකු බවට පත්කර ගත්තේය. සරසවිය වසා දැමිණි. අනතුරුව සරසවිය නැවත ඇරඹූයේ සිසුන් 117ක් පන්ති තහනමට ලක්කරමිනි. ඒ සමගම ලංකාවේ සරසවිවල එතෙක් පැවැති නීත්‍යනුකූල ශිෂ්‍ය සභා රජය මගින් තහනමට ලක්කළ අතර සරසවි පොලිසියද පේරාදෙණිය සරසවි භූමියේදී ස්ථාපිත කළේය. උදලාගම කොමිසමෙන් ශිෂ්‍යභාවය අහෝසි වූ ලලිත් විජේරත්න, ආනන්ද ඉඩමේගම, රංජිතම් ගුණරත්නම් පසුව ජවිපෙ පූර්ණකාලිනයන් විය.
ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුවෙන් මධ්‍යම කාරකසභාව හරහා දේශපාලන මණ්ඩලයට ලලිත් පත්වූයේ 1988දීය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් වශයෙන් කලක් කටයුතු කළ ලලිත් 1983 මුල්භාගයේදී දිවුලපිටිය පොලිසියෙන් සහ 1987 මැයි 31 මීටියාගොඩ පොලිසිය මගින්ද අත්අඩංගුවට ගන්නා ලදී. පසුව නිදහස් විය.
ජවිපෙ දෙවැනි කැරැල්ලේදී උතුරුමැද කලාපයේ නායකයා වශයෙන් අනුරාධපුර, පොළොන්නරුව සහ ත‍්‍රිකුණාමලේ යුද ශක්තිය ඔහු ඉහළටම ගෙනාවේය. අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ගම්මාන ගණනාවක් එකල ජවිපෙ මූල කඳවුරු බවට පත්ව තිබිණි. ලලිත් අවසන් වරට නිවසට පැමිණියේ 1987 අගෝස්තුවේදී 14 ශ‍්‍රී ලාන්සර් වැගන් රථයකිනි. කොළපාට සී.එම්. 125 යතුරුපැදියක්ද ඔහු භාවිත කළේය. ලලිත්ගේ සමීපතම ඥාතියෙකු වූයේ ඔහුගේ මවගේ කනිටු සොහොයුරකුගේ පුත‍්‍රයකු වන පි‍්‍රයන්ත කළුආරච්චිය. කලක් ජපානයේ සේවය කළ පි‍්‍රයන්ත 2018 වනවිට ගම්පහ පදිංචි ප‍්‍රකට ජපන් භාෂා ගුරුවරයෙකි.
ලලිත්ගේ කනිටු සොහොයුරා වූ 1960 අප්‍රේල් 03 උපන් රංජිත් විජේරත්නද 1989 නොවැම්බර් 21 පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු කොළඹදී ඝාතනයට පත්විය. කපුවත්තේ විවීන් මිල්ස් ඇඟලුම් කම්හලේ ලයින් ඔපරේටර්වරයකු ලෙස සේවය කළ රංජිත් අත්අඩංගුවට ගෙන පියා සමගින් කොළඹ ග්‍රෙගරි පාරේ පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයට ගෙන එනු ලැබීය. එහිදී ලලිත් විජේරත්න පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා රංජිත් වධ බන්ධනවලට ලක්කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්විය. ඒ පිළිබඳ චෝදනා ලැබුවේ පොලිස් පරීක්ෂක දන්තිල ශ‍්‍රී ජයසිංහය. රංජිත්ගේ එම ඝාතනය පිළිබඳ පියා විසින් 1994දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග වෙත ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලදී. ලලිත්ගේ සොහොයුරා වූ රංජිත් විජේරත්න ඝාතනය වනවිට ඔහුගේ බිරිඳ ශි‍්‍රයානි දෙදරු මවකි.
ලලිත් විජේරත්නගේ පෙම්වතිය වූයේ මංගලා හේරත්ය. ප‍්‍රථමයෙන් ගිරාඳුරුකෝට්ටේද පසුව රත්නපුරේද අනතුරුව මහරගමද නතරව සිටි ඇය පසුව පාදුක්කේ පදිංචියට ගිය බව කියති. ලලිත් විජේරත්න වසර 1989 මුල් භාගයේදී තමා සොයාගෙන හේනානිගල මහවැලි කඳවුරට පැමිණ ඔහුට සහ ඔහුගේ පෙම්වතිය ලෙස හඳුන්වාදුන් තරුණියට එම ව්‍යාපෘතිය භාරව සිටි ජපන් කොන්ත‍්‍රාත් සමාගමේ ඉංජිනේරු සහකාර තනතුරක් ලබාගැනීමට උදව් කරන ලෙසට ඉල්ලීමක් කළ බව ලලිත්ගේ සරසවි සමකාලීනයෙකු කතුවරයා සමග ප‍්‍රකාශ කරන ලදී. ඇය සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විභාගයට පෙනී සිට සමත්ව සිටි බැවින් එම ඉල්ලීම ඉටුකළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලලිත් කොළඹ පැමිණි විට බොහෝ අවස්ථාවන්හි සිටි ආරක්ෂිත නිවාසයන් වූයේ බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාරේ පාසල් මාවතේ ගොස් සමූපකාර මාවතේ අංක 29/4 දරන ස්ථානයේ, මහරගම බටදොඹගහවත්ත පිහිටි නිවාසවලය. එම නිවාස ජවිපෙ වෙනුවෙන් බදුගෙන තිබුණේ මාතරගේ දොන් ආරියදාසය. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරික්ෂකයෙක් ලෙස හැඳුනුම්පතක් සමගින් අවසාන කාලයේ ලලිත් පෙනීසිටියේය. උතුරුමැද පළාතේ බොහෝ විට නැවතුණේ එප්පාවල පොලිසිය අසල පිහිටි පාසැලේ ගුරු නේවාසිකාගාරයේය.
ජවිපෙට අයත් රත්නපුර කුරුවිට පණුකරාපිටිය නිවසේ පදිංචිව සිටියේ කලවාන-නිවිතිගල කලාපයේ ජවිපෙ සන්නද්ධ නායක කෑගල්ලේ උපන් දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න හෙවත් සුගත්ය. කෑගල්ලේදී 1953 නොවැම්බර 25 උපන් ගුණරත්න 71 කැරැල්ලටද සම්බන්ධව සිටි අයෙකි. කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 කැරලිකරුවන් කළ ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත්වූ ඔහු වැලිසර නාවික හමුදා කඳවුරට ගෙනවිත් පසුව බූස්ස සහ මැගසින් බන්ධනාගාරවල රඳවාගෙන 1989 අප්‍රේල් 07 නිදහස් කරන ලදී. පණුකරාපිටිය නිවස ජවිපෙ විසින් 1989 ජූලි 01 සිට වසරක් සඳහා බදුගෙන තිබූ නිවසකි. එහි ගුණරත්න සමගින් වාසය කළේ බිරිඳ සහ දරුවන් තිදෙනාය. ඉන් වැඩිමල් දියණිය වයස අවුරුදු 12ක් වූ අතර කනිටු දියණිය වයස අවුරුදු 6ක් විය. එයට අමතරව ඝාතනයට පත්වූ කැරලිකරුවෙකු ගේ නැගණියක් වන කුමාරි සහ ඇගේ කනිටු සොහොයුරකු වන ලාල්ද විය. කුමාරි සහ ලාල්ගේ මව මැදපෙරදිග රැකියාවකට ගොස් සිටි බැවින් සහ වැඩිමහල් සොහොයුරා කැරැල්ලේදී මියගිය පසු ඔවුන්ගේ ආරක්ෂාව තකා ජවිපෙ විසින් ඔවුන්ද මෙම නිවසට යොමුකර තිබිණි.
විජේවීර ඝාතනයෙන් පසු සමන් පියසිරිගේ නායකත්වයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් දෙකක් 1989 නොවැම්බර් 28 සහ 1989 දෙසැම්බර් 07 පැවැතියේ මෙම පණුකරාපිටිය නිවසේය. විජේවීර ඝාතනයෙන් පසු ශාන්ත බණ්ඩාර දෙසැම්බර් මස ප‍්‍රථමයෙන් සතියක්ද දෙවනුව සිවු දිනක්ද මෙම නිවසේ නැවැතී සිටියේය. පණුකරාපිටිය එම නිවසට පැමිණෙන අතුරු මාර්ගයේ නිවස ආරක්ෂිත බවට ජවිපෙ නායකයන්ට සංකේතාත්මකව දැනුම්දීම සඳහා සෑම උදෑසනකම සහ දහවල් වැටේ ඇති රතු වද මල් ගසෙන් මල් කිහිපයක් කඩා අතුරු මාර්ගයේ තබන ලදී.
නිවසේ ගෘහ මූලිකයා වන ජවිපෙ කලාප සන්නද්ධ නායකයා වූ ගුණරත්න 1989 දෙසැම්බර් 29 සවස 6ට රත්නපුර බස් නැවතුම්පොළේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අතර, ඔහු නිවසට ගෙනගොස් පසුව ගැමුණු සේවා බළඇණියට අයත් කුරුවිට යුද හමුදා කඳවුරේ රඳවන ලදී. ඔහුගේ පණුකරාපිටිය නිවසට 1989 දෙසැම්බර් 29 රාත‍්‍රී පැමිණි ආරක්ෂක අංශ එම නිවසට පැමිණෙන කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ‘ඇම්බුෂ් උගුලක්’ (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ හමුදා භටයන් 7 දෙනකු නිවසේ සැඟව සිට නිවසට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියේය. ලලිත් විජේරත්න මෙම නිවසට 1989 දෙසැම්බර් 31 පෙරවරු 11ට පැමිණියේ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර හමුවීමටය. සිය මෝටර් රථය දුරින් නවතා නිවසට පැමිණෙන ලලිත් විජේරත්නට දෙදිනක් පරවී ගිය වදමල් දිස්වුවද ඒ ගැන තැකීමක් නොකර නිවසට පැමිණියේය. නිවසේ සැඟවී සිටි හමුදා භටයන් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ලලිත් පසුව කුරුවිට හමුදා කඳවුරට ගෙන ආ අතර, වධබන්ධනවලට ලක්වීමෙන් පසු තමා ලලිත් විජේරත්න බව පිළිගත්තේය. ලලිත් විජේරත්නගෙන් කුරුවිට හමුදා කඳවුරේදී 1989 දෙසැම්බර් 31 පස්වරුවේදී ප‍්‍රශ්න කළ අය අතර එවක ඌව පළාත් ප‍්‍රධාන හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් චූලාභය ලක්ෂ්මන් විජයරත්නද විය. පසුදින එනම් 1990 ජනවාරි 01 අලුයම 5ට ක්ෂණික විහිදුම් බළකාය හෙවත් ඔප්ස් කම්බයින් නිලධාරීන් විසින් ඩිෆෙන්ඩර් රථයක ලලිත් විජේරත්න සමගින් රත්නපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්ව සිටි කොළඹගේ ආරච්චිගේ පර්සි වීරසිංහ හෙවත් ඉලුක්කුඹුර හෙවත් රවි සහ රත්නපුර දිස්ත්‍රික් කලාප නායක ගුණරත්න යන තිදෙනා කොළඹ සරසවියේ නීති පීඨයේ පිහිටා තිබූ රැඳවුම් කඳවුරට උදෑසන 7ට ගෙන එන ලදී. එහිදී ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරී කර්නල් ජානක පෙරේරා ඉදිරිපිටට ඔවුන් පමුණුවන ලදී.
එදින 1990 ජනවාරි 01 බැවින් නව වසර වෙනුවෙන් හමුදා නිලධාරීන්ට සූදානම්කර තිබූ කැවුම්, කොකිස්, කිරිබත් ඇතුළත් කෑම මේසයට ලලිත්, ඉලුක්කුඹුර සහ ගුණරත්නටද හමුදා ප‍්‍රධානී කර්නල් පෙරේරා ආරාධනා කළ අතර, එම තිදෙනාගේ උදෑසන ආහාර වේලද එය විය. ලලිත්ගේ 32 උපන්දිනයද එදිනට යෙදී තිබිණි.
පසුව ලලිත් විජේරත්න ඇතුළු තිදෙනාම 1990 ජනවාරි 01 උදෑසන 11ට මත්තේගොඩ හමුදා කඳවුරට ගෙන එන ලදී. එහිදී ලලිත් විජේරත්න වෙන්කළ අතර පසුව ලලිත් විජේරත්න වධබන්ධනවලට ලක්විය. දෙදිනකට පසු 1990 ජනවාරි 03 උදෑසන වනවිට සියතින් කෑම ගැනීමට පාවා නොහැකිව ලලිත් තාඩන පීඩනවලට ලක්ව තිබිණි. ලලිත්ට අතින් අනා කෑම කවන ලද්දේ වෙනත් කැරලිකරුවකු විසිනි. පසුදින එනම් 1990 ජනවාරි 04 මත්තේගොඩ හමුදා කඳවුරේදී ඝාතනයට ලක්වූ ලලිත් විජේරත්නගේ සිරුර බොරලැස්ගමුව සුසාන භූමියේදී තවත් කැරලිකරුවන් දෙනෙකු සමග පුලුස්සා දමා තිබිණි.
සමන් පියසිරි ප‍්‍රනාන්දු ඝාතනය වීමෙන් පසු ජවිපෙ තෙවැනි නායකයා වශයෙන් පත්වූ දෙවැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩල සභික ලලිත් විජේරත්නට ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කිරීමට ලැබුණේ දින 6කි.
(වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරලි සමය පිළිබඳ ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ තුන පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071 2733986 යන උය්එි්චච දුරකතනයෙන් විමසිය හැකිය).

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










