හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.Sri Lanka Latest News
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවය.
විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල්තැබුණි.










