කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළියේ පවත්වාගෙන යන බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ගෙන්වන ලද බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මිද්දෙණිය ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති අතර, කන්ටේනර් දෙකකින් ඒවා රැගෙනවිත් තිබුණා.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළියේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දා අනාවරණ කළා.
එහිදි ඔහු පැවසුවේ නුවරඑළියේ කුලියට ලබාගත් නිවසක එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වැයකර ඇති බවටද කරුණු වාර්තා වුණා.
ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝ 2000ක් පමණ ගෙන්වා ඇති බවටද කරුණු වාර්තාවන බවත් එම රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව ආනන්ද විජේපාල සඳහන් කළා.
ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙන්වන ලද බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා ඇති බවට විමර්ශන ආරම්භ කළ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබි තිබුණා.
ඒ අනුව එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම මිද්දෙණිය ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එහිදී මිද්දෙණිය ඇඹිලිපිටිය මාර්ගයේ නිවසක තිබී එම රසායනික ද්‍රව්‍ය ගෙන්වූ බව කියන කන්ටේනර් දෙකක් සොයා ගැනීමට ඔවුන් සමත් වුණා.
වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පද්මේගේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණ වීමත් සමග එම රසායනික ද්‍රව්‍ය තොගය ඔවුන් විසින් වල දමා ඇති බවයි.
ඒ අනුව එම ස්ථානයේ කැණීම් කර අදාළ රසායනික ද්‍රව්‍ය තොගය ගොඩනැගනීමට පොලිස් නිලධාරීන් පියවර ගත්තා.
පොලිසිය පැවසුවේ අදාළ කන්ටේනර් රථ දෙකේ එම රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000 ක් පමණ තිබි ඇති බවට සැකකරන බවයි.










