වත්මන් රජයේ අදූරදර්ශී කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ කෘෂිකර්මාන්තය විනාශ මුඛය කරා ගොස් ඇති බවත් අද වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වී ගොවිතැන ඇතුළු සෑම අංශයක්ම දුර්වල වී ඇති බවත් රජයට නිවැරදි ප්‍රතිපත්තියක් දර්ශනයක් වැඩපිළිවෙළක් සහ ඉලක්ක කරා යන්න මාර්ග සිතියමක් නොමැති නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ බිත්තර වී, කලට වේලාවට පොහොර ගන්න පොහොර සහනාධාර මුදල් පවා නොලැබෙන බවත් මේ වන විට පොහොර මිල, කෘෂි රසායන ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ගුණාත්මකභාවය පහළ වැටීමත් තෙල් පොහොර මාෆියාව නිසා ගොවි ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වගා ණය මෙන්ම ස්වාභාවික ව්‍යසන නිසා සිදුවූ ආපදාවට පොරොන්දු වූ වන්දි පවා නොලැබුණු බවත් අලි මිනිස් ගැටුම නිසා වගා නිෂ්පාදනවලට හානි වුවත් තිරසර විසදුමක් නොමැති බවත් මෙවැනි ගැටලු මැද වගා කටයුතු කලත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් වත්මන් රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින අවධියේ කුඹුරුවලට බැස වී වලට සහතික මිලක් දෙන ලෙසත් එය රු. 140ත් 150ත් විය යුතුයි කිව්වත් ඒ අයට ඇමතිකම් ලැබුණු පසු මේ සියල්ල අමතක වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පොලොන්නරුව දුන්හිද හෝටලයේ දි ගොවි ජනතාව සමඟ පැවැති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
මෙරට ගොවි ජනතාව ලක්ෂ ගණනින් මේ රජය බලයට පත් කරන්න ඡන්දය දුන් බවත් ඔවුන්ගේ ඡන්දය ගෙන බලයට පැමිණියා නම් එදා මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් අද කළ යුතු බවත් ගොවියාට ලැබිය යුතු සහතික මිල අනිවාර්යෙන්ම ලැබිය යුතු බවත් රජයට මේවා අමතක වුවත් සමගි ජන බලවේගයට මේවා අමතක නොමැති බවත් මේ ආණ්ඩුව මේවාට පියවර ගන්නේ නැතිනම් ගොවියා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටනක විපක්ෂයක් ලෙස නියැලෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ ප්‍රශ්නවලට රජය පාර්ලිමේන්තුවේ උත්තර දුන් ආකාරයට 2025 ජූලි 23 වැනිදා හැන්සාට් වාර්තාවේ 785න් පිටුවට අනුව වී කිලෝවක් නිෂ්පාදනය කරන්න හම්බන්තොට රු. 66ක්, අම්පාර නැගෙනහිර රු. 69ක්, අනුරාධපුර රු. 77ක්, කුරුණැගල වාරි රු. 78ක්, මහවැලි සී කලාපයේ රු. 86ක්, පොළොන්නරුව වාරි රු. 63ක් වුවත් ගොවියාට රු. 104ත් 115ත් අතර නිෂ්පාදන මිලක් වැය වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.


























