1993 ප්‍රේමදාස ඝාතනය වූවාට පසු ඔහුගේ බිරිය හේමා ප්‍රේමදාස, ප්‍රේමදාස සංවිධාන කළ ආසනය වූ මැදකොළඹ ආසනය ඉල්ලා සිටියේ 1994 මහ මැතිවරණයට තරග නොකරන්න එවක මැදකොළඹ සංවිධායක සිරිසේන කුරේ තීරණය කළ නිසාය. ඒත් 1993 පළාත් සභා ඡන්දයෙන් එවක අගමැති රනිල් සිය ආසනය වූ බියගම පරාජය වී ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් අන්ත පරාජයක් ලබා සිටි නිසා 1994 මහ ඡන්දයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්න තීරණය කොට තිබිණි. රනිල් පක්ෂ නායක සහ ජනාධිපති විජේතුංගගෙන් මැදකොළඹ ඉල්ලා සිටියේ මැදකොළඹ ආසන සංවිධායක සිරිසේන කුරේගේ ආශීර්වාදය සහිතවය. රනිල් සහ කුරේ එක්වී හේමාට මැදකොළඹ දීම බ්ලොක් කළ අතර හේමාගේ නම 1994 මහ මැතිවරණ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමීය. තමාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් කපාදමා ඇති බව හේමා දැනගත්තේ කොළඹ මහනගර සභාවේ නාමයෝජනා ශාලාවට ගිය විටදීය.
මේ වෙලාවේ ප්‍රේමදාස විරෝධියෙක් වුණත් ගාමිණී දිසානායක හේමාට කළ අසාධාරණය ඉවසුවේ නැත. ඔහු 1994 විපක්ෂ නායක වී ජනාධිපති අපේක්ෂක වී සජිත්ට දේශපාලනයට එන්න ආරාධනා කළේ මැදකොළඹ ආසනය සජිත්ට දෙන්න පොරොන්දු වෙමිනි.Sri Lanka Latest News
සජිත්ගේ අවාසනාවට ගාමිණී ඝාතනය වී රනිල් පක්ෂ නායකයා විය. දේශපාලනය කරන්න ඕනෑ නම් හම්බන්තොටට යන ලෙස රනිල් සජිත්ට කීවේය. රනිල් තමන්ට මැදකොළඹ නොදෙන බව දැන ලංකාවේ ඕනෑම ආසනයකට යන්න සජිත් එකඟ විය.
මහින්ද සහ රනිල් ඩීල් එක පටන් ගත්තේ සජිත් හම්බන්තොටට ආ දින සිටය. සජිත්ගේ පැමිණීම හම්බන්තොට රාජපක්ෂ පවුල නොසන්සුන් කරන්න සමත් විය. රනිල් හම්බන්තොට නියෝජනය කළ මන්ත්‍රීන් වූ මර්වින් සිල්වා සහ ආනන්ද කුලරත්න ලවා සජිත්ට පහර දෙන්නේ මහින්ද සහ රාජපක්ෂ පවුල හම්බන්තොට සුරක්ෂිත කරන්නටය. ඒත් සජිත් 2000 මහ මැතිවරණයේදීත් 2001 මහ මැතිවරණයේදීත් හම්බන්තොට දිස්ත්‍රික්කය යූ.ඇන්.පී.යට දිනා දෙමින් මහින්ද සහ රාජපක්ෂ පවුල පරාජයට පත් කරන්නේ මහින්ද සහ රාජපක්ෂ පවුල කෝපගන්වමිනි. 2001 මහ ඡන්දයෙන් රනිල් අගමැති වූ විට සජිත් ප්‍රබල ඇමැතිකමක් බලාපොරොත්තු වුවත් රනිල් සජිත්ට දෙන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ධුරයය. ඒත් සජිත් ඉවසාගෙන සිටින්නේ කවදා හෝ පක්ෂය තුළ තමන්ට තැනක් ලැබේවි කියා හිතාගෙනය.
2010 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ පරාජයට පසු සජිත්ව නායකත්වයට පත්කරන ලෙස පක්ෂය තුළින්ම එන බලපෑම රනිල් පාලනය කරන්නේ එවක ජනාධිපති මහින්දගේ උදව්වෙන්ය. සජිත්ට පක්ෂ යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් බයකොට හෝ වරදාන වරප්‍රසාද දී රනිල්ට නම්මවා දීමට මහින්ද සමත් විය.
රනිල් ඉල්ලන්නේ නැතිනම් 2015 ජනාධිපතිවරණයට ඉල්ලන්න කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස කැමැත්ත පළකරද්දී රනිල් තමන් ඉල්ලන්නේ නැතිනම් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවටත්, පක්ෂයෙන් පිට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවටත් නිවේදනය කරන්නේ කරු හෝ සජිත් ජනාධිපතිවරණයට ඉල්ලා දින්නොත් තමන්ගේ නායකත්වය අහිමි වේය යන බියෙන්ය. රනිල් මෛත්‍රීපාලට කැමැති වන්නේ කරු සහ සජිත් බ්ලොක් කරන්නටය.
ඒත් මෛත්‍රී ජනාධිපති අපේක්ෂක වූ පසු රනිල් අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරන්න මැළි වන්නේ චන්ද්‍රිකා, මංගල සහ ශ්‍රීලනිපයෙන් ආ මැති ඇමැතිවරුන්ගේ බලපෑම මතය. අගමැති අපේක්ෂක ලෙස තමාව නම්කරන්න යැයි රනිල් බලපෑම් කළත් චන්ද්‍රිකා, මංගල හෝ මෛත්‍රී එය මගහරින්නේ රනිල්ව අසරණ කරමිනි. තවම අගමැති අපේක්ෂකයෙක් නම්කර නැතැයි මංගල ප්‍රසිද්ධියේ කියද්දී හතර ගාතෙන් වැටෙන රනිල්, සජිත්ට පිංසෙණ්ඩු වෙන්නේ අගමැති අපේක්ෂකයා තමා යැයි රටට කියන ලෙස ඉල්ලමිනි. රනිල් අගමැති අපේක්ෂක බවත්, ඔහුව අගමැති ලෙස නම් නොකළොත් යූ.ඇන්.පී.ය මෛත්‍රීට සහාය නොදෙන බවත් සජිත් ප්‍රසිද්ධියේ කියද්දී චන්ද්‍රිකා, මංගල, මෛත්‍රී සහ ශ්‍රීලනිප ඇමැතිවරුන් බයවී රනිල් අගමැති ලෙස පිළිගනී.
2015 ඡන්දය දිනා රනිල් අගමැති වී මෛත්‍රීපාල සමග ගැටුම් පටන්ගත් පසු මෛත්‍රීපාල හැට දෙවතාවකටත් වැඩි වාර ගණනක් සජිත්ට අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළේ සජිත් අගමැති කොට යූ.ඇන්.පී. නායකත්වයට සජිත් පත් කරගන්න අවශ්‍ය තල්ලුව දෙන්නටය. ඒත් සජිත් නායකයාට පිටුපසින් පිහියෙන් ඇනීම ප්‍රතික්ෂේප කළේය. 2018 මෛත්‍රී, රනිල්ව අගමැතිකමෙන් ඉවත් කොට සජිත්ට අගමැතිකම භාරගන්න යැයි කියන්නේ රනිල් විිරෝධී යූ.ඇන්.පී. ප්‍රබලයන් පිරිසකගේද ආශීර්වාදය ඇතිවය. සජිත් ඒ වෙලාවේත් නායකයාට පිටුපසින් පිහියෙන් ඇනීම ප්‍රතික්ෂේප කළේය. 2019 ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් කළ යුතු යැයි රනිල්ගේ සමීපතමයන් වූ මංගල පවා කියද්දී රනිල් සජිත්ගේ අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා හොයන්න කමිටුවක් පත් කළේය.
2019 ජනාධිපතිවරණයේදී රනිල් සජිත්ව පරාජය කරන්න මහින්ද සමග එක්ව වැඩ කළ බවත්, ගෝඨාභයගේ ශ්‍රී ලාංකික පුරවැසිකම ඔප්පු කිරීමට බාධාවක් වූ ආගමන සහ විගමන කාර්යාලයේ ෆයිල් යටගැසූ බවත් නොදන්නා කෙනෙක් නැත.
රනිල්ගේ මාමාගේ පත්තරය වන ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කළේ සජිත් ජනාධිපතිවරණය පරාජය වී රනිල්ට අගමැති ධුරය අහිමි වී රනිල් අරලියගහ මන්දිරයෙන් පිටත්ව යන විට අරලියගහ මන්දිරයේ ලාච්චුවක සජිත්ට එරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ චෝදනා ෆයිල් ටික දමාගොස් ඇති බවය. මහින්ද සජිත්ගේ මේ අක්‍රමිකතා ෆයිල් එක අල්ලස් කොමිසමට භාරදුන්නේය. භාරදී 2020 මහ මැතිවරණය පරාජය වී ගෙදර සිටි රනිල්ට ජාතික ලැයිස්තුවෙන් එන්න යැයි ආරාධනා කළේය. මහින්ද සහ රාජපක්ෂ පවුලේ උපාය වූයේ රනිල්ව විපක්ෂ නායක කොට සජිත්ව ඉවර කිරීමය.
අරගලය මැදදී ගෝඨා සජිත්ට අගමැති ධුරය භාරදෙන්න යද්දී මහින්ද සහ රාජපක්ෂ පවුල එයට එරෙහි විය. රනිල්ට අගමැති ධුරය දිය යුතු යැයි ඔවුහු තරයේ කියා සිටියහ. සජිත් අගමැතිකම භාරගන්න කොන්දේසි ඉදිරිපත් කළේය. රනිල් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකොට අගමැතිකම භාරගත්තේ රාජපක්ෂලා සමග ඩීල් එකකින්ය.
රනිල් ජනාධිපති වූ පසු කළේ සජිත්ට ගහන්න විපක්ෂයේ සිටි අනුර කුමාරව පිම්බීමය. සජිත් සහ අනුර විවාදය රටම කතා කළ මාතෘකාවක් විය. එහිදී මේ විවාදය විකාශය කරන්න සියලු මාධ්‍ය ආයතන කැමැත්ත පළකළත් විවාදයට දෙදෙනාම පැමිණිය යුතු යැයි කොන්දේසියක් පැනවීය. රනිල් එම කොන්දේසිය නොතකා ඔහු යටතේ තිබූ ස්වාධීන රූපවාහිනියට සජිත් නොඑන බව දැන අනුරව ගෙන්වාගෙන විවාදය විකාශය කොට සජිත්ව ඉවර කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ වගේම සජිත්ට එරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ චෝදනාව විභාග කරන්න යනවා කියමින් නිවුස් ප්ලාන්ට් කළේය. සමගි ජන බලවේගය සජිත් අතහැර තමාට එකතු වෙනවාය කියන නිවුස් එක මෙරට සියලු මාධ්‍යවල මන්තරයක් ලෙස ජප කළේ එහි වාසිය අනුරට දෙමිනි. 2019 ජනාධිපතිවරණයේදී රනිල් වැඩියෙන්ම ගියේ සජිත්ට වාසිදායක සුළු ජාතිකයන් සිටින වතුකරය, උතුර – නැගෙනහිර ප්‍රදේශවලටය. ඒ වගේම සජිත්ට අනුරව පරාජය කරන්න බැහැ යැයි ඔහු ප්‍රසිද්ධියේ කීවේය. තැපැල් ඡන්දයට පෙර අනුරට ස්වාධීන රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවක් අරන් දුන්නේය. තලතා අතුකෝරාල සජිත්ව අතහැර රනිල්ට සහාය දෙන්න ආවේ අනුර දිනන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමිනි. තලතා වෙනුවට ගීතා ගත්තා කිය කියා තලතාගේ පැති මාරුවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ අනුර සහ ජවිපෙය. රනිල් සජිත්ගේ සුළුජාතික ඡන්ද කැඩුවේ නැතිනම් අද ජනාධිපති සජිත්ය. රනිල් හිතුවේ සජිත් පරාජය වූ පසු අනුර ලවා සජිත්ව ඉවර කරගෙන විපක්ෂ නායක වෙන්නටය. ඒත් 88-89 භීෂණයේදී ජේ.ආර්. සහ ප්‍රේමදාස ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු සියල්ල මියගොස් හෝ ලෙඩ ඇඳට වැටී සිටිනා පසුබිමක භීෂණය වෙලාවේ බටලන්ද වධකාගාරයක් පවත්වාගෙන ගියා යැයි චෝදනා ලැබ දේශපාලනයේ සිටින එකම භීෂණයේ සංකේතය ලෙස ජවිපෙ දුටුවේ රනිල්වය. මේ නිසා ඝාතනය වූ ජවිපෙ තරුණ තරුණියන් වෙනුවෙන් රනිල්ට දඬුවම් කළ යුතු යැයි ජවිපෙ කියා සිටියහ. අනුරගේ ආණ්ඩුව රනිල් පසුපස පන්නන්න ගත්තේ ඒ ගණන් හැදිල්ලෙන් පසුවය.
ප්‍රතිඵලය රනිල් බන්ධනාගාරගත වීමය. රනිල් යූ.ඇන්.පී. නායකයා ලෙස සිටියදී රනිල් වෙනුවෙන් බෙල්ල දෙන්න ඇවිත් එස්.බී. අධිකරණයට අපහාස කළා යැයි චෝදනා ලැබ හිරේට ගියේය. පක්ෂය එස්.බී. බේරාගන්න එස්.බී.ගේ ගම වූ හඟුරන්කෙත සිට කොළඹට පාගමනක් සංවිධාන කළේය. රටේ ලොකුම ප්‍රශ්නය ජීවන වියදම බවත්, එස්.බී. නොවන බවත් කියා රනිල් පාගමන අතරමග නතර කළේය.
රනිල් වෙනුවෙන් බෙල්ල දෙන්න ඇවිත් සරත් ෆොන්සේකා හිරේට ගිය විට රනිල් ෆොන්සේකා වෙනුවෙන් තිබුණු කිසිදු විරෝධතාවකට සහභාගි වූයේ නැත. ෆොන්සේකා අන්ත අසරණ විය.
‘රනිල් තමයි මාව පරාජය කළේ. රනිල් තමයි අනුරව දිනෙව්වේ. අපි මොකටද රනිල් වෙනුවෙන් බෙල්ල දෙන්නේ….?’
රනිල් හිරේ ගිය වෙලාවේ සජිත්ට කියන්න පුළුවන්කම තිබිණි. ඒත් ඔහු එහෙම කීවේ නැත. ආණ්ඩුවත් හිතුවේ සජිත් සහ සමගි ජන බලවේගය රනිල් වෙනුවෙන් සටන් නොකරයි කියාය. ආණ්ඩුව නොසන්සුන් වූයේ සජිත් ගේමට බැස්සාට පසුවය.
තමාගේ මිත්‍රයා යැයි කී අනුරගේ ආණ්ඩුව තමාව හිරේට දමා අන්ත අසරණව සිටිනා මොහොතක තමාගේ හතුරා යැයි රනිල් හැමදාම හිතපු, හැමදාම කියපු සජිත් රනිල් බලන්න එන විට රනිල්ට මොනවා හිතෙන්න ඇතිද?
රනිල්ට කලින් ලංකාවේ හිරේට ගිය රාජ්‍ය නායකයා ශ්‍රී වික්‍රම රාජසිංහ යැයි ජනප්‍රිය කියමනක් මේ දිනවල මුහුණු පොතේ සටහන් වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හිරේට ගෙනගියේ සුද්දන්ය. ඒ කන්ද උඩරට සිංහල අදිකාරම්ලාගේ සහායෙන්ය. රජු ඔවුන් සමග ගැටුම් ඇතිකරගෙන සිටි නිසා ඔවුහු රජුව සුද්දන්ට පාවා දුන්හ. රනිල්ද සජිත් පමණක් නොව විපක්ෂයේ පොදුජන පෙරමුණ සමගද ගැටුම් ඇතිකරගෙන සිටියේය. ඒත් සජිත් සේම ඔවුන්ද රනිල්ව පාවා දුන්නේ නැත.










