කොළඹ ජාතික රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක උද්ගතව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගිය 17 වැනිදා අදහස් පළකළා. ඔහුගේ එම අදහස් දැක්වීම පහත පළවේ.Sri Lanka Latest News
අපි දන්නවා මේ වන විට ග්‍රාමීය මහ ජනතාවගේ ඉඳලා අගනගරයේ මහා ජනතාව දක්වා විශාල පරාසයක සාමාන්‍ය මහ ජනතාවට නිදහස් සෞඛ්‍ය ලබාගැනීමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණ පාන්න වෙලා තිබෙනවා.
විශේෂයෙන්ම ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක සීටී, එම්.ආර්.අයි. පරීක්ෂණ, හෘද කැතීටකරණ පරීක්ෂණ ඇතුළු රෝගීන්ට තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව, නැත්නම් රෝගී තත්ත්ව කල්තියා නිර්ණය කරගන්න අවශ්‍ය කරන බොහෝ පරීක්ෂණ සිදුනොවීම නිසා එම රෝගීන්ගේ රෝගී තත්ත්වයන් ව්‍යාකූල වීම හෝ අසාධ්‍ය වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් මේ රෝගියකුට බාහිරින් මේ පරීක්ෂණයක් සිදුකරගන්න යනවා නම්, රුපියල් 35,000ක 40,000ක ඉඳලා විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන්ට වියදම් කරන්න සිද්ධ වෙනවා.
හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා පහුගිය මාස අටේම දිගටම අපි පෙන්නුම් කළා, මේ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක විකිරණවේදී පරීක්ෂණ සිදුකිරීම්වලදී අදාළ යන්ත්‍ර ක්‍රියාත්මක නොවීම, නිසි පරිදි නඩත්තු නොවීම, ඒ වගේම තමයි ඒවායේ පරීක්ෂණ වාර්තා පරිගණකගත ඩිජිටල් ක්‍රමයට ලබාදීම සම්බන්ධව අදාළ මෘදුකාංගවල බලපත්‍ර අහෝසි වීම නිසා ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් කඩිනමින් විසඳන්න උනන්දු විය යුතු බව. හැබැයි අවාසනාවට වගේ ගතවෙච්ච මාස අටක කාලයේදීම මේකට විසඳුමක් ලබාදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම නිසා මේ රටේ සාමාන්‍ය මහජනතාව දිගින් දිගටම පීඩාවට පත්වෙන බව තමයි රෝගීන්ගෙන් අපට වාර්තා වෙන්නේ.
අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා, මෙවර අයවැයේදී විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් සෞඛ්‍යයට වෙන් කළා. මේ දක්වා ඉන් භාවිත වෙලා තිබෙන්නේ තුනෙන් එකකට අඩු ප්‍රමාණයක්. එතකොට ඉතුරු මුදල් නැවත ඊළඟ අයවැයට එකතු කරනවා වෙනුවට මේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන අත්‍යාවශ්‍ය සහ ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණුවලට ක්ෂණික විසඳුම් ලබාදීම සඳහා නිසි සැලැස්මක් යටතේ වෙන්කරන්න ඔබතුමාට පුළුවන්කමක් තිබෙනවා. නැත්නම් ග්‍රාමීය රෝහල්වල ඉඳලා ජාතික රෝහල දක්වාම සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ මේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න එන රෝගීන්ට විශාල දුෂ්කරතාවන්ට මුහුණ පාන්න වෙලා තිබෙනවා.
ඒ අතරේ අපි දකිනවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පරිපාලනය සම්බන්ධව දැන් බරපතළ අර්බුදයක් ගැන දිගටම ජනමාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා කරනවා. කෝප් කමිටුවේදී දිගටම මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි ජයවර්ධනපුර රෝහල දැඩි ලෙස පාඩු ලබන රෝහලක් කියන එක.
හැබැයි රෝහලට අලුතෙන් ආපු සභාපතිවරයා, වෛද්‍ය තමර කළුබෝවිල මහතා වැඩ භාරගනිමින් කිව්වේ, රෝහලක ප්‍රධාන අරමුණ ලාභ ලැබීම නෙවෙයි, රෝගී සත්කාරක සේවා ඉෂ්ට කිරීම කියලා. එහෙමනම් දැන් මීට පස්සේ කෝප් කමිටුව ඉදිරියට වර්තමාන සභාපතිවරයා ගෙනල්ලා, වර්තමාන වැඩබලන අධ්‍යක්ෂවරයා ගෙනල්ලා, ජයවර්ධනපුර රෝහල පාඩු ලබන්නේ ඇයි කියලා අහන්න කිසිදු නෛතික හැකියාවක් නෑ. මොකද සභාපතිවරයාම කියනවා, රෝහලෙන් ලාභ ලබන එක අපේක්ෂා කරන්න එපා කියලා.
දැන් ඒ ගැන රජය, කෝප් කමිටුව සහ ජයවර්ධනපුර රෝහල සම්බන්ධ වන විධිවිධාන, අණපනත්වලට අනුව ලාභ – අලාභ සම්බන්ධ කරුණ බේරාගැනීම රජයට අදාළයි. දැන් ඊට වඩා බරපතළ තත්ත්වයක් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය වාර්තා කරනවා. ඒ තමයි රෝහලේ මේ පරිපාලන ව්‍යුහය කඩාදාන්නේ, රෝහලේ තිබෙන නියමිත ක්‍රමවේදය ඉවත් කරන්නේ, රෝහලේ සේවය කරන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය හා ජනතාව අතර යම් යම් වැරදි මතිමතාන්තර පතුරුවන්නේ, මේ රෝහල යම් සැලැස්මක් යටතේද කියන එක.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් කරපු ගිවිසුම් කිසිවක් අපි මේ දක්වා දැකලා නෑ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් කරපු සෞඛ්‍ය ගිවිසුම් කිසිවක් අපි මේ දක්වා දැකලා නෑ. අපි තොරතුරු දැනගැනීමේ පනතින් මේවා ඉල්ලුම් කළත් ඒ කිසිවක් මේ දක්වා ලබාදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වෙලා නෑ.
අපි දන්නවා ජයවර්ධනපුර රෝහල කියන්නේ ශ්‍රී ලංකාවට ජපන් රජයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ලද පරිත්‍යාගයක්. ඇඳන් 1001ක් තියෙන ආසියාවේ විශාලතම රෝහලක්. කලකට පෙර ලංකාවේ විශිෂ්ටතම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීපු රෝහල. එතකොට මේ රෝහල විනාශ කරන්න, ඉන්දියාවට විකුණන්න යම් සැලැස්මක් තිබෙනවද නැද්ද කියන එක ගැන, මේ ජනමාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා ගැන, සෞඛ්‍ය අමාත්‍යවරයා මේ රටේ ජනතාවට පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ.
දැන් මේ රෝහල අවට, තලවතුගොඩ, බත්තරමුල්ල, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම, මේ කලාපයේ තමයි මේ වනවිට මේ රටේ පෞද්ගලික රෝහල් ගණනාවක් ගොඩනැගෙමින් පවතින්නේ. එතකොට ඒ පෞද්ගලික රෝහල්වලට වාසි ලැබෙන විදිහට, මේ රටේ අර්ධ රාජ්‍ය රෝහලක් විදිහට ක්‍රියාත්මක වෙච්ච ජයවර්ධනපුර රෝහල වහන්න, විනාශ කරන්න, විකුණන්න යම් සැලැස්මක් තිබෙනවා නම්, ඒක වහාම නතර කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ වෙනුවට ජයවර්ධනපුර රෝහල ආදර්ශ ආකෘතියක් විදිහට, මොඩ්ල් රෝහලක් විදිහට, රාජ්‍ය – අර්ධ රාජ්‍ය අතර එකඟතාවකින් මහජනතාවට උපරිම සේවයක් ලැබෙන රෝහලක් බවට පරිවර්තනය කරන්න තමයි රජය කටයුතු කරන්න ඕන. අඩු ආදායම්ලාභී, වෛද්‍ය රක්ෂණ පවතින, නාගරික, අර්ධ නාගරික ජනතාවට උපරිම සේවයක්, ගුණාත්මක සේවයක් ලබාගන්න පුළුවන් ආදර්ශ රෝහලක් බවට මේ රෝහල පරිවර්තනය කරලා, මේ රෝහලේ ආකෘතීන් දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමේ පිහිටුවන්න පුළුවන් මොඩලයකට තමයි හරි හැටියෙන් මේ ආණ්ඩුව ගමන් කරන්න ඕනෙ. හැබැයි අපිට එවැනි දුර දක්නා දර්ශනයක් හෝ මාර්ග සැලැස්මක් පේන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා, සැලසුම්සහගතව කවුරුන් හෝ ජයවර්ධනපුර රෝහල ඉන්දියාවට හෝ වෙනත් බාහිර පාර්ශ්වයකට විකුණන්න යම් සැලැස්මක් තිබෙනවා නම්, ඒ ගැන විමර්ශන කරලා, ඒක අත්හිටුවලා, රෝහල දියුණු කරලා, මහජනතාවට, ඔබතුමා ඉන්නෙත් පැලවත්ත ආශ්‍රිතව, මේක තමයි ආසන්නතම රෝහල. ඒ නිසා මේ රෝහල දියුණු කරන්න අලුත් ක්‍රමවේදයන් යටතේ, අනාගතය ගැන දැකලා, තාක්ෂණය එකතු කරගෙන, සංචාරක වෛද්‍ය කර්මාන්තය එකතු කරලා ලෝකයට, ආසියාවට ආදර්ශයක් දෙන රෝහලක් බවට පත්කරන්න තමයි කටයුතු කළ යුත්තේ. ඉතින් අපි විශ්වාස කරනවා, අන්න ඒ මානවීය සහ දර්ශනීය හැඟීමකින්, අනාගත දර්ශනයක් සහිතව සෞඛ්‍ය පද්ධතිය වෙනස් කරන්න ඕනෙකමක් වර්තමාන ආණ්ඩුවට තිබෙනවා නම්, ජයවර්ධනපුර රෝහල ඒකට හොඳ උදාහරණයක් විදිහට භාවිත කරාවි කියලා.
Dr Chamal Sanjeewa










