ලෝක අලි දිනය අද දිනය යෙදී තිබේ. ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තබා තිබූ සටහන මෙසේය. Sri Lanka Latest News
ලෝක අලි දිනය සමරන මේ මොහොතේ, පාලනයකින් තොරව අඛණ්ඩව සිදුවන අලි- මිනිස් ගැටුමේ ඛේදවාචකය සහ ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය ආශ්‍රිත අකාර්යක්ෂම කළමනාකරණය සම්බන්ධයෙන් අප ජනතාව තුළ පවත්නා බලවත් කණගාටුව සහේතුක හා සාධාරණ එකක් බව දැන සිටිමි.
දශක ගණනාවක් පුරා, පිළිවෙලින් බලයට පත්වූ රජයන් මෙම අර්බුදය සම්බන්ධයෙන් සැබෑ, තිරසර ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වී ඇත. අපගේ වටිනාම සත්ත්ව විශේෂයක් වන අලි සම්පත රැකගැනීමේ අත්‍යාවශ්‍ය මෙවලමක් වන පරිපූර්ණ, ජාතික අලි සංරක්ෂණ හා කළමනාකරණ සැලසුමක් මේ දක්වා ද අප සතුව නොමැත.
වර්තමාන රාජ්‍ය පාලනයට පවා මේ සම්බන්ධයෙන් අනන්‍ය වූ දැක්මක් නොමැති තත්ත්වය සහ වගකීම භාර ගැනීමට වඩා අන් අය වෙත දොස් පැවරීමේ ප්‍රවණතාව විසින් ගැටලුව තවදුරටත් තීව්‍ර කර ඇත. අපේ වන අලින් යනු දේශපාලන ප්‍රශ්නයක් නොව අප උරුමයේ හා ජෛව විවිධත්වයේ ආදේශ කළ නොහැකි අංගයකි. මිනිස් ජීවිත සහ අලි ගහනය යන දෙපිරිසම අනාගත පරම්පරා සඳහා ආරක්ෂා කරන විද්‍යාත්මක, දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවීණයන්, ජන ප්‍රජාවන් සහ සංරක්ෂකයන් සමඟ එක්විය යුතු කාලයට දැන් ශ්‍රී ලංකාව ද එළැඹ ඇත.










