.
ගෙවීගිය වසරකට ආසන්න කාලය තුළ රජය සිදු කළ අසීමිත කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය ස්ථාවර සහ ශක්තිමත් මාවතකට පැමිණ ඇති බවත්, ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ගලායාම තවදුරටත් සහතික කිරීමට ඉදිරි අයවැය මගින් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. Sri Lanka Latest News
රටේ ආර්ථික ව්‍යසනයක් ඇති වනු ඇතැයි, ඇතැමුන් සෑම විටම විනාශකාරී සිහිනයක් දකිමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා එය කිසිසේත් සිදු නොවන බවත්, එබැවින් ඔවුන් වෙනත් දේශපාලන මාවතක් තෝරාගත යුතු බවත් අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ එම කතාවෙන් කොටසක් පහත දැක්වේ.
විශේෂයෙන් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ථිකය පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
පහුගිය කාලයේ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ඇති වූ විවිධ තත්ත්වයන් අනුව බොහෝ අයගේ ප්‍රාර්ථනාවක් තිබුණා ආණ්ඩුව බිඳවැටෙයි කියා. ඉන්දියාව සහ පාකිස්තානය අතර යම් යම් ගැටුම් ඇති වීමෙන් පසු විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වන අය කොළඹට බෝම්බ ගහයි කියා අපේක්ෂා කළා. එම යුද ගැටුම් පැවැත්වෙන අවස්ථාවේදීත් අපේ ආරක්ෂක ලේකම්තුමා සහ හමුදාපතිවරු සිටියේ පාකිස්තානයේ ලාහෝර්වල. විපක්ෂය අපේක්ෂා කළා කොළඹට පැමිණ බෝම්බ දායි කියලා.
ඉන් පසුව ඊශ්‍රායලය සහ ඉරානය අතර ජාත්‍යන්තර මට්ටමේ යුද්ධයක් ඇති වූවාට පසු දැන් ඔවුන්ට අවස්ථාවක් ලැබේවි කියා අපේක්ෂා කළා. එහෙත් එයත් සිදු වුණේ නැහැ. ඉන් පසුව ලොකුම ප්‍රාර්ථනාව තිබුණේ එක්සත් ජනපදය විසින් පනවන ලද බදු ප්‍රතිපත්තිය හමුවේ රටේ ආර්ථිකය බිඳවැටෙයි කියා. මම දැක්කා දින දෙකකට පෙරත් එක් අයෙක් කියනවා මේ යන විදියට එක්සත් ජනපද බදු 30%ක්, නොවේ, 44%ට නගී කියලා. එය ප්‍රාර්ථනාවක්. ඉන්දියාවේ 15%-20% අඩුවෙයි කිව්වා. ඒ නිසා විපක්ෂය සෑමවිටම රටේ ආර්ථිකයේ ව්‍යසනයක් ඇති වෙයි කියා කුරිරු, විනාශකාරී සිහිනයක් දකිනවා. එහෙත් එය කිසිවිටෙක සිදු වන්නේ නැහැ.
ඇමෙරිකා එක්සත් ජනපදය අපිට ඉදිරිපත් කරන ලද තීරු බදු පිළිබඳ ප්‍රශ්නය ගැන මම පැහැදිලි කිරීමට කැමතියි. පසුගිය අප්‍රේල් 02 වැනිදා ප්‍රකාශයට පත් කළා අප්‍රේල් 09 වැනිදා සිට මෙය බලපැවැත්වෙනවා කියලා. එක්සත් ජනපදය එවන් බදු ප්‍රමාණයක් අපේ රටට පනවන විට ඔවුන් තීරණය කළ මූලධර්මයක් තිබුණා. රටවල් දෙක අතර පවතින වෙළෙඳ පරතරයේ ප්‍රතිශතයෙන් හරි අඩක් තමයි අපේ බදු ප්‍රතිපත්තියට නම් කළේ. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය 88%ක් තිබෙනවා. එයින් අඩක් තමයි 44%ක් කියන්නේ. එහෙම තමයි අපිට 44%ක බද්දක් ලැබුණේ. මම දැක්කා ඒ අවස්ථාවේත් විපක්ෂය ප්‍රකාශ කළා ලංකාවට 44%ක් පැනවීම ආණ්ඩුවේ අසාර්ථකභාවය කියලා. එය ආණ්ඩුවේ අසාර්ථකභාවය නොවෙයි. මෙම බදු පැනවීම සඳහා ඔවුන් සකස් කළ මූලධර්මයයි.
විශේෂයෙන් අපි එක්සත් ජනපදය සමග මේ සාකච්ඡාවලට අවතීර්ණ වූයේ යම් අසීරු තත්ත්වයක සිටින විට බව විවෘතව පිළිගත යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණ තිබෙනවා. අනෙක් පසින් ගත්විට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ජනගහනයේ සහ ආර්ථිකයේ තිබෙන විශාලත්වයේ වෙනස්කම් අනුව සැසඳීමේදී එක්තැනකට ගෙන ඒමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ වගේම අපේ අපනයන 25%කට වැඩි ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට, ඒ නිසා එය අපේ අපනයන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කිරීමේ අනතුරක් වෙනවා. ඒ වගේම අපේ ඇඟලුම්වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට. ඒ නිසා කම්කරුවන් ලක්ෂ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක සෘජු රැකියාවලට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.
ඒ නිසා අපි මේ සාකච්ඡාවලට ප්‍රවිෂ්ට වන්නේ යම් අසීරු අඩියක සිට. ඒ අනුව අපි ඉතා ප්‍රබල කණ්ඩායමක් නම් කළා. මෙහි පියවරෙන්, පියවර ගානේ රතිඤ්ඤා දාන්න හෝ අත්පොළසන් දෙන්න, මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රඟදැක්වීමට අපිට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. හැබැයි, අපි මේ ගැඹුරු අර්බුදයේ ස්වභාවය හඳුනාගෙන සිටියා. ඒ නිසා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන ගියා. අපිට අවශ්‍ය වුණා මෙම සාකච්ඡා ඉතා හොඳින් අවසන් කර රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන අන්දමට මෙම ගැටලුව විසඳා ගන්න.
එම අභියෝගය අපි ඉතා සාර්ථකව නිමා කළා. එහිදී එක්සත් ජනපදය විසින් අපිට ඉදිරිපත් කළ යෝජනා තිබුණා. එම යෝජනා පිළිබඳ අපි සාකච්ඡා මට්ටමේ සිටිනවා. මේ වන තෙක් කිසිදු අවසන් එකඟතාවකට පැමිණ ගිවිසුමක් අස්සන් කර නැහැ. එහෙත් සාකච්ඡාවල යම් එකඟතාවලට අපි පැමිණ තිබෙනවා. පැවැති සාකච්ඡා ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අපිට බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබුණා. එය ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවේ වැදගත් පියවරක් ලෙස අපි සලකනවා. රටේ ව්‍යාපාරවලට, රටේ කර්මාන්තවලට කවර ආකාරයේ බලපෑමක් සිදු වෙනවාද කියන කරුණු පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් තමයි අපේ සාකච්ඡා කණ්ඩායම මේ සාර්ථකත්වයට ගමන් කළේ. එසේ නොමැතිව කාමරයක් ඇතුළේ හතර පස් දෙනෙක් කරන කුමන්ත්‍රණයක් ලෙස නොවෙයි, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු කළා.
එම නිසා ඇමෙරිකා එක්සත් ජනපද බදු පිළිබඳ විපක්ෂයේ චෝදනා මෙතැනින් අවසන් වෙනවා. අපිට බාහිරව තිබුණු අභියෝග 03ක් තිබුණා. ඒ එක්සත් ජනපද බදු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා ජී.එස්.පී. බදු සහන වැඩසටහනයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විවිධ කණ්ඩායම් අසත්‍ය කරුණු සමාජගත කළා.
ආර්ථිකය හොඳද, නරකද මනින නිර්ණායකයන් ගැන කල්පනා කර බැලුවොත් අප ස්ථාවර ස්ථානයකට ගෙන ඒමට සමත්ව තිබෙනවා. විපක්ෂය ආර්ථිකයේ බිඳ වැටීමක් හරහා මේ රට වැටේවි කියලා කල්පනා කරනවා නම් ඒක සිදු වන්නේ නැහැ. මෑත කාලයේ ආර්ථිකයේ ඇති වන පීඩනය විසින් ආර්ථිකය කඩා වැටුණා. ඊළඟට දේශපාලන අර්බුද නිසා ආණ්ඩු කඩා වැටුණා. මහජනතාව පාරට ඇවිත් ආණ්ඩු කඩා වැටිලා තිබෙනවා. මැතිවරණවලින් ආණ්ඩු කඩා වැටී තිබෙනවා. ඔය ආකාර තුනෙන්ම මේ ආණ්ඩුව කඩා වැටෙන්නේ නැති බව හොඳින් මතක තියාගන්න.
තමන් හදාගන්නා රැස් වළල්ලේ බලය නිසා තමන් අසලට නීතියට ළඟා වෙන්න බැහැ කියලා හිතන්න එපා කවුරුත්. හැබැයි එහෙම මතයක් මේ රටේ තිබෙනවා. නීතියට ළඟා වෙන්න බැරි පුරවැසියන් සිටින රටක, නීතියට ළඟා විය හැකි පුරවැසියන් පවා නීතියට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා රට ගොඩනගන්න නම් යළි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරන විට කවදාවත් තම රශ්මීය කදම්භය හමුවේ නීතිය තමා වෙත ළඟා වෙන්නේ නැහැ කියා සිතපු අයට නීතිය ළඟා වෙනවා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදී තිබෙනවා, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අවශ්‍ය පහසුකම් සකස් කරදී තිබෙනවා. බලය ලබාදී තිබෙනවා. වැඩ කරන්නදී තිබෙනවා. නීතිය අපරාධකරුවන් පිටුපස එනවා.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. එහෙත් මාධ්‍ය සාකච්ඡා කැඳවලා කියනවා කොටි ඩයස්පෝරාව සනසන්න ආණ්ඩුව මේවා කරනවලු. අපිට කවුරුත් සනසන්න වුවමනාවක් නැහැ. අපි සනසන්නේ මේ රටේ ජනතාව පමණයි. අද අපරාධකරුවා දන්නවා නීතිය තමන්ට සමීප වෙමින් තිබෙන බව. පුද්ගලික ලේකම් සාක්ෂියට කැඳවන විට කොතැනටද එන්නේ කියලා දන්නවා. තමන් අසලට නීතිය ළඟා වීමට කලින් රට තුළ අවිනිශ්චිතතාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. එවිට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් යම් ප්‍රමාණයකින් තිගැස්සෙනවා. එවන් ඉතිහාසයක් තිබෙනවා. සාධාරණ පරීක්ෂණ කිරීමේ වරදට නිලධාරීන් සිරගත කළා. මේ භය නිලධාරීන් තුළ ඇති කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි අපේ නිලධාරීන්ට එම නායකත්වයත්, පෞරුෂයත්, බලයත් ලබාදී තිබෙනවා. ඒ වගේම ඕනෑම වෙලාවක ඔවුන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අපි ආණ්ඩුවේ සිටියත්, එළියේ සිටියත් අද මේ රටේ නීතිය ස්ථාපිත කිරීමට කැපවූ සෑම නිලධාරියෙකුම අපි ආරක්ෂා කරනවා, ආණ්ඩුවෙන් එළියේ සිටියත් පුරවැසියන් ලෙසත් අපි එම නිලධාරීන් ආරක්ෂා කරන බවට සහතික කරනවා.
මේ ආණ්ඩුව අනවශ්‍ය නම් ඔබ අවශ්‍ය බව දැනෙන වැඩසටහනකට යා යුතුයි කියා මම විපක්ෂයට කියනවා. එවිට ඔබට මාවතක් තිබෙනවා. එවන් සංවාදයකට අපි කැමැතියි. රටේ සංවර්ධනයට අපි ප්‍රමාණවත් නැත්නම් ඊට කරුණු කියන්න. මේ අවස්ථාවේ කළ යුතු දේ අපි කරනවා. මීට වඩා කරන්න තිබෙන්නේ මොකක්ද කියලා මම ඔබෙන් අහනවා..
ආර්ථික තත්ත්වය, පොදු පුරවැසියන්ට හොඳ ජීවිතයක්, දරුවන්ට හොඳ අනාගතයක්, හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මකලා තිබෙන මේ රට අපි ගොඩනගනවා. ඒ නිසා ඉතා ස්ථාවරව සහ ශක්තිමත්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට යමින් තිබෙනවා. කවුරුත් කකුල් වෙට්ටු දාන්න කල්පනා කරන්න එපා. නීතිය තිබෙන බව ඔබ අමතක කරන්න එපා.
අපි මෙවර අයවැය ලේඛනය සකස් කරන විට රටේ සියලු ක්ෂේත්‍ර සමග සාකච්ඡා කරනවා. ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අපි උපරිම උත්සාහ කරනවා. මේ රට යළි ප්‍රබෝධමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා ස්ථීර අදිටනින් යුතුව අපි වැඩ කරමින් සිටිනවා.
ඔබ ඔබේ දේශපාලනය කරන්න. හැබැයි, කුමන්ත්‍රණය කරමින් තමන් ළඟට නීතිය එනවිට අරාජිකත්වයක් රට තුළ නිර්මාණය කිරීමට උත්සාහ කරනවා නම්, එයට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා කවුරුන්, කොතැනක, පාතාලය උපයෝගී කරගෙන හෝ පැරදුණු කණ්ඩායම් දේශපාලන කුමන්ත්‍රණයක යෙදෙනවා නම් සද්භාවයෙන් මේ රට ගොඩනැගීමට යන ගමනට කිසිදු කුමන්ත්‍රණයක් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. නීති ප්‍රමාණවත් නැතිනම් අපි නීති හදනවා.
අපි මේ රට ගොඩගත යුතුයි. තමන්ගේ අහිමි වූ වරප්‍රසාද නිසා හෝ තමන්ට දඬුවම් ලැබෙයි කියා හෝ කරන කුමන්ත්‍රණවලට රට ගොදුරු නොවිය යුතුයි. අනිත් ආණ්ඩු කුමන්ත්‍රණවලට හසුවුණා.
එහෙත් අපි මේවා හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා කවුරුන් හෝ රාජ්‍ය තුළ සිට හෝ පිට සිට මේ රට ගොඩනැගීමට යන ගමනට කුමන්ත්‍රණකාරී ලෙස බිඳ වැට්ටවීමට උත්සාහ කරනවා නම් ඒවා පරාජයට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. අද එක එක විකෘති ප්‍රකාශ කරනවා. හැබැයි, අපි දොරේ සද්දෙත්, බෙරේ සද්දෙත් දෙකම හඳුනනවා. ඒ නිසා කුමන්ත්‍රණයක් කිරීමට සිතුවිල්ලක් හෝ තිබෙනවා නම් අපි ඊට ඉඩ දෙන්නේ නැහැ. ඔබ දේශපාලනය කරන්න. රට අද ඉතාමත් හොඳ පීල්ලකට අපි අවතීර්ණය කර තිබෙනවා. රටත්, ජනතාවත් පත්ව තිබෙන අපකීර්තියෙන් සහ අසීරුතාවෙන් අපි රට මුදා ගන්නවා. එම වුවමනාව අපිට තිබෙනවා. අපි ඒ වෙනුවෙන් වැඩකරනවා. ඒ වෙනුවෙන් අපිට සද්භාවයෙන් සහාය ලබාදෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලනවා.
ඉතාමත් හොඳ ගමනකට අපි අඩිතාලම දමා තිබෙනවා. මේ ගමන තමයි අපට යන්න තිබෙන්නේ. ඔබ වෙනස් දේශපාලන පක්ෂ ලෙස ඉන්න. බලය ලබාගැනීම සඳහා අරමුණින් වැඩකරන්න. එය හොඳයි. හැබැයි, කුමන්ත්‍රණවල යෙදෙන්න එපා. රටේ අස්ථාවරභාවයක් නිර්මාණය කරන්න එපා ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවක් නිර්මාණය කරන්න එපා කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාවන්ට විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. සිය කතාවේදී ප්‍රේමදාස මහතා සඳහන් කළේ ‘හීනෙන් බයවෙලා වගේ ජනාධිපතිවරයා කතා කළාට ආර්ථිකය ගැන අබමල් රේණුවක දෙයක් සඳහන් නොකළ’ බවයි. විපක්ෂ නායකවරයාගේ එම අදහස් දැක්වීමෙන් කොටසක් පහත පළවේ.
‘ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් කරපු එක හරියට නරක හීනයක් දැකල කරපු කතාවක් වගෙයි. ඒ කතාවේ දෙසැම්බර් හෝ ඊට ආසන්නයේ සිදුවන කුමන්ත්‍රණ ගැන කියන බවත් තීරුබදු ගැටලුව ගැන විපක්ෂයේ කුරිරු සිහිනය උදාකරන්න හදනවා යැයි කියන බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක තීරුබදු ප්‍රශ්නය ආපු විගස රටක් ලෙස එකතු වන්න ඕනි කියා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ දේශපාලන වාදභේද කුමක් වුවත් එකට සිට ගෙන මෙයට මුහුණ දෙන බවට පැවසූ බවත් රජය බලයට පත්වූ පසු ගතයුතු ක්‍රියාමාර්ග පෙන්වා දුන්නත් රජය ඒවා ක්‍රියාත්මක නොකළ බවත් රට වෙනුවෙන් විපක්ෂය ඉන්නවා යැයි පුනපුනා කිව්වත් ජනාධිපතිවරයා නරක හීනයක් දැක ලොකු පීඩනයෙන් ආතතියෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ කතාවක් ලෙස කතාවක් කළ බවත් විධිමත් විචාරාත්මක පරිශීලනාත්මක ඉදිරිපත් කිරීමක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කළත් එය නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ප්‍රතිචාරාත්මක තීරුබදු 44% සිට 20% දක්වා අඩුවන කාලයේ තමා ඉදිරිපත් කළ ට්විටර් පණිවිඩයට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා දැමූ තීරුබදු 20% දක්වා අඩු කිරීම සතුටට කරුණක් බවත් මේ නිසා ශ්‍රී ලංකාව වියට්නාමය හා බංග්ලාදේශය සමග සම තත්ත්වයට පසුවන විට ඉන්දියාවට 25%ක තීරුබදු ගන්නා විට අප රටේ අපනයනකරුවන්ට සැබෑ තල්ලුවක් ගැනීමට මෙය 15% දක්වා අඩුකිරීමට ඉලක්ක කරගත යුතු බවත් ඒ වෙනුවෙන් වෙළෙඳ ආර්ථික විශේෂඥයන් සහ ආර්ථික කණ්ඩායමක් අප සතුවිය යුතු බව පැවසූ බවත් මෙහි කුරිරු සිහිනයක් ඇත්තේ කොතැනද කියා ප්‍රශ්න කරන බවත් අමාරු අවස්ථාවේ ජනතාවගේ හා රටේ අපේක්ෂා අමතක කර කුරිරු සිහින නිර්මාණය කරනවා යැයි පැවසීම වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයාගේ කතාවේ දෙසැම්බරයේ වෙනසක්, ඊට පසු වෙනසක් ගැන කිව්වත් එවැනි වෙනසක් සිදුවිය යුත්තේ ජනතා ඡන්දයෙන් පමණක් බවත් ඔළුගෙඩි මාරුවීමෙන් එය සිදුනොවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා සදාකාලික බලයක් ගැන සිතා සිටියත් ජන මතයට හිස නොනැමූ නිසා ජනතාව පාරට බැස්ස බවත් 2022 පවා සිදුවූයේ ස්වභාවික අරගලයක් බවත් මේ විවාදයේදී අපේක්ෂා කළේ එවැනි දෙයක් නොව විශ්ලේෂණාත්මක ආර්ථික ඉදිරිපත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියා එය ඉටු නොකරන කුමන්ත්‍රණය අද තුනෙන් දෙකක බලයෙන් ක්‍රියාත්මක බවත් ජනතාව රවටා අන්දවා මංමුළා කරන ජනතාවට ටොම් පච කියන කුමන්ත්‍රණය නම් ඇති බවත් විපක්ෂය කටයුතු කරන්නේ පොදු ජන මතය අනුව මිස ඔළුගෙඩි මාරුවීම්වලින් නොවන බවත් එම නිසා ජනතාවට කළ බොරුව නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අප රටට වේගවත් අපනයන වර්ධනයක් ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයාට එය අමතක වී ඇති බවත් අද දුප්පත්කම බරපතළ ගැටලුවක් වී ඇති බව ජනාධිපති දන්නවාද කියා ගැටලුවක් ඇති බවත් රටේ දුප්පත්කම රටම වෙළාගෙන ඇති බවට දත්ත කේන්ද්‍රීය පර්යේෂණ මගින් පෙන්වාදී ඇති බවත් ග්‍රාමීය නාගරික මෙන්ම පළාත් 9ම 45%ක් දුප්පත් බවත් මේ දුප්පත්කම තුරන් කරන්නට රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොදු ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන පොදු ජනතාව අතරට ගොස් සොයාබලන ලෙසත් පාර්ලිමේන්තුවේ පම්පෝරි නොගහ මානුෂීය වී සඳලුතලවල නොසිට ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් කිසිදු දේශපාලන කුමන්ත්‍රණයකට ප්‍රගතිශීලී විපක්ෂය එක් නොවන බවත් 61 වතාවක් අගමැතිකම ගන්න කියා කියූ බවත් ඒ කිසිදු අවස්ථාවක දේශපාලන කුමන්ත්‍රණ සිදු නොකළ බවත් බලය ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










