• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

පවුලෙ පත්තරයි සජබෙ දෙන්නෙකුයි අල්ලගෙන රනිල් කරපු කොඩිවිණය සජිත් ආපිට කපයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල්-හරිනි ඩීල් එකක්ද?

මිලින්ද ලන්සා යළි එළියට!

ගෝඨා නුවර හැංගෙයි!

කුමන්ත්‍රණය අතේ පත්තු

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සජබය ඇතුළේ අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසූ ගේමක් සම්බන්ධයෙන් අතිවිශේෂ අනාවරණයක් සිදුකළෙමු. එහිදී අප කියා සිටියේ රනිල්ගේ පවුලට අයත් පුවත්පත් සමූහයක් වන විජය පුවත්පත් ආයතනයේ ‘ලංකාදීප’ පුවත්පතේ අසත්‍ය පුවත් පැළකරමින් රනිල් සජබය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බවය. අප පුවත්පත සෙනසුරාදා දිනයේදී වෙළෙඳපොළට නිකුත් වෙද්දී අප කළ අනාවරණය 100%ක්ම තහවුරු වූයේ එම සති අන්තයේම වෙළෙඳපොළට නිකුත් වූ ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ සිරස්තලය දෙස බලන විටදීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශාල ඡායාරූපයක්ද සහිතව ‘ලංකාදීප’ සිරස්තලය වාර්තා කොට තිබුණේ ‘විපක්ෂ නායක වෙනස් කිරීමට රහස් සාකච්ඡා’ යැයි කියාය. එම ධූරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා දීමට සාකච්ඡා පැවැත්වෙන බවද එම පුවතේ සඳහන්ව තිබිණ. ඒ අනුව අප කළ අනාවරණය පැය කිහිපයක් යාමට මත්තෙන් 100%ක්ම තහවුරු වුවද අපගේ අනාවරණයත් සමග රනිල් විසින් සජබයට සහ සජිත්ට එරෙහිව කළ කුමන්ත්‍රණය අතේ පත්තු වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

‘ඉරිදා ලංකාදීප’ යනු රනිල්ගේ පවුලට අයත් පුවත්පතකි. එහි හිමිකරු වූයේ රනිල්ගේ මවගේ සහෝදරයා වූ රංජිත් විජයවර්ධනය. රනිල්ගේ බෑණා වන රුවන් විජයවර්ධන වර්තමානයේ එම පුවත්පත් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නෙකි. ඒ අනුව රනිල් තමන්ට අවශ්‍ය වූ විටක වෙනත් පක්ෂවල අර්බුද නිර්මාණය කිරීම සඳහා හෝ තමන්ට අවශ්‍ය ආකාරයට දේශපාලන වටපිටාව සකස් කරගැනීම සඳහා ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත හරහා බොරු පුවත් පැළ කිරීම කාලයත් තිස්සේ කරගෙන ගියේය. ඒ සඳහාම සැදීපැහැදී සිටින කල්ලියක්ද දිනපතා සහ ඉරිදා ලංකාදීපය ඇතුළේ සිටී. මීට ඉහතදී සාක්ෂි සාධක සහිතව අප එම සිදුවීම් රැසක් රටට අනාවරණ කර සිටියෙමු.

රනිල් හැමදාම කළේ ජනතාව සමග කරන දේශපාලනයක් නොව, මාධ්‍ය සමග සිටිමින් කරන දේශපාලනයකි. එහි ප්‍රතිඵලය වූයේ ජනතාව රනිල්ගෙනුත්, පක්ෂයෙනුත් ඈත් වී අභිමානවත් පක්ෂයක් ලෙස වැජඹුණු එජාපය එකදු මන්ත්‍රීවරයකු හෝ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන තරමට බින්දුවට වැටීමය. ඒ හරහා පක්ෂය පමණක් නොව, රනිල්ද නැත්තටම නැතිවී ගියේය. 1994 සිට අවුරුදු 31ක් එක දිගට එජාප නායකත්වයේ සිටියද අද එජාපය බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇත්තේ රනිල්ගේ මේ පත්තර සමග කළ අවස්ථාවාදී දේශපාලනය නිසාය.
කෙසේවෙතත් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ පළවූ මේ පුවත කියවද්දීම එය ලියා ඇති ආකාරයෙන් සහ එහි ඇතුළත් කරුණු දෙස බලන විට එය පැහැදිලිවම රනිල්ගේ කාර්යාලයෙන් ලබාදී තිබූ තොරතුරුවලට අනුව ලියැවී ඇති බවක් දැකගැනීමට පුළුවන. රනිල් මෙම බොරු පුවත ලංකාදීපයේ පැළ කිරීම හරහා සිතා සිටින්නට ඇත්තේ සජබය ඇතුළේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී සජිත්ට එරෙහිව මන්ත්‍රීවරුන් කැරැල්ලක් ගසනු ඇතැයි කියාය. නමුත් සති අන්තයේ මෙම පුවත පළවීමෙන් පසු සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් මෙම පුවතට එරෙහිව සජබ මන්ත්‍රීවරුන් එකාවන්ව නැගී සිටීමය. මාධ්‍ය හමු පවත්වමින් ලංකාදීප පුවත්පතේ පළකොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කියා සිටීමය.

හර්ෂ-කබීර් ගහපු ගේම

මෙම සිදුවීමත් සමග මේ වනවිට පක්ෂය ඇතුළේ සිටින ඇතැමුන් සැක මතුකරන්නේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය විසින් රනිල්, සාගල රත්නායක, හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මහත්වරුන් සඳහා පමණක් පැවැත්වූ භෝජන සංග්‍රහය සහ මෙම සිදුවීම අතර කිසියම් සම්බන්ධයක් පවතිනවාදැයි කියාය. මන්ද යත් රනිල් හා සාගල සමග එක්ව ඇමෙරිකානු තානාපතිවරිය මුණගැසීමට යන බවක් කබීර් හෝ හර්ෂ හෝ කල්තියා සිය පක්ෂ නායක සජිත් දැනුවත් කිරීමට හෝ කටයුතු කොට තිබුණේ නැත. සජිත්ටද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූයේ කබීර් හා හර්ෂ යන දෙදෙනා රනිල්, සාගල හා එක්ව ඇමෙරිකානු තානාපතිවරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවට ඒ මොහොතේම තොරතුරු වාර්තා වීමත් සමගය.
කබීර් හා හර්ෂ යනු අවස්ථා කීපයකදීම සජිත් පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට සජබ නායකත්වය අල්ලා ගැනීම සඳහා අසාර්ථක මෙහෙයුම් කීපයක්ම දියත් කළ දෙදෙනෙක් බව පක්ෂය ඇතුළේ ප්‍රකටය. මීට අමතරව විපක්ෂ නායකත්වය අත්පත් කරගැනීම සඳහා දැරූ උත්සාහයන් කීපයක් පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවන් පිළිබඳවත්, ඊට සහභාගි වී සිටි අය පිළිබඳවත් අප මීට පෙර අවස්ථා කීපයකදීම මේ තීරයෙන් වාර්තා කිරීමටද පියවර ගෙන ඇත්තෙමු. පසුගිය කාලයේ සජබ පසුබෑමට පක්ෂය ඇතුළේ හිඳිමින් මේ දෙදෙනාත්, ඔවුන්ගේ සමීපතමයකු වූ ඉරාන් වික්‍රමරත්නත් ගෙනගිය වැඩපිළිවෙළ හේතු වූ බවටද බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. බොහෝ දෙනා පසුගිය කාලයේදී චෝදනාවක් වශයෙන් කියා තිබුණේ සජිත්ට දේශපාලන වශයෙන් නැගී සිටීමට මේ තිදෙනා කටයුතු කළ ආකාරය විශාල බාධාවක් වූවා යැයි කියාය. රනිල් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙකහමාරක කාලසීමාවේදී මේ තිදෙනා නිතර නිතර රනිල් හමුවෙමින් රනිල් සමග ඩීල් දමමින් කටයුතු කළ බව සියල්ලන්ම දන්නා කාරණයකි. ඒ බව සජබ මන්ත්‍රීවරුන්ද අවස්ථා ගණනාවකදීම සජිත්ට වාර්තා කිරීමටද කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් පසුකාලීනව මේ තුන්දෙනා ගෙනගිය ක්‍රියාකලාපය සජබ අභ්‍යන්තරයට අනාවරණ වීමත් සමග සජිත් වෙනුවෙන් පෙනීසිටි මන්ත්‍රීවරුන් බොහොමයක් සජිත්ට දැනුම් දී තිබුණේ ඕනෑම අවස්ථාවකදී සජිත් වෙනුවෙන් පෙනීසිටීමට කටයුතු කරන බවත්, ඕනෑම අයකු පක්ෂයෙන් යෑමට කටයුතු කරන්නේ නම් ඔහුට එසේ යෑමට ඉඩ ලබාදෙන ලෙසත්ය. එයින් ද සිදුවූයේ මේ මන්ත්‍රීවරුන් අල්ලාගෙන රනිල් ඇතුළේ ගහන්න ගිය ගේම ආපිට කැරකීමය. අනෙක් අතට මේ මන්ත්‍රීවරුන්ගේ කුමන්ත්‍රණය හෙළිවීමෙන් පසු සජිත් පක්ෂය ඇතුළේ ශක්තිමත් වීමය.
අනෙක් අතට එජාපය ඇතුළෙන් රනිල්ටද දැඩිව බලපෑම් එල්ල වෙමින් ඇත්තේ සජබය සමග එකතු වී ඉදිරි දේශපාලන ගමන යායුතු යැයි කියාය. දැනට එජාපයේ සිටින සුළු පිරිසක් වූ ජ්‍යෙෂ්ඨයන්ද රනිල්ට දැනුම් දී ඇත්තේ සජිත්ගේ නායකත්වය යටතේ හෝ සජබය සමග එක්වී ඉදිරියට යායුතු යැයි කියාය. නමුත් එසේ වුවහොත් තමන්ගේ දේශපාලන අරමුණු කිසිවක් ඉටුකරගත නොහැකි බව රනිල් හොඳාකාරවම දනී. මේ වනවිට රනිල්ගේ එක හීනයක් වී ඇත්තේ තමන්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධනව පක්ෂයේ ඉහළම තැනකට රැගෙන ඒමය. තමන්ගේ සමීපතමයකු වන සාගල රත්නායකට පක්ෂයේ ඉහළම වගකීමක් භාරදීමය. නමුත් සජබය සමග එකතු වුවහොත් තමන්ගේ ඒ හීන දෙකම බොඳවී යන බව රනිල් හොඳින්ම දනී. මේ අයුරින් සජබය ඇතුළේ කුමන්ත්‍රණ ඇති බවට බොරු පුවත් පළකරමින් සජබයේ අර්බුද ඇති බව පෙන්වීම රනිල්ගේ සැලසුම වී ඇත්තේ ඒ නිසාය.

ඇතුළට එන්න රනිල් උත්සාහයක

මීට අමතරව මේ මෙහෙයුම ඉලක්ක කොට සිදුකළ තවත් කුමන්ත්‍රණයක් පිළිබඳවද මේ වනවිට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව එම කුමන්ත්‍රණකාරී මෙහෙයුම වී ඇත්තේ නැවත වතාවක් රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමය. රනිල් යළි පාර්ලිමේන්තුවට පැමිණීමට නම් පසුගිය මැතිවරණයේදී තරග වැදුණු සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්විය යුතුය. දැනට සිලින්ඩරයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් හිමිව ඇති අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවට පැමියේ රවී කරුණානායකත්, ෆයිසර් මුස්තාෆාත්ය. රනිල්ට පාර්ලිමේන්තු පැමිණීමට නම් රවී හෝ ෆයිසර් යන දෙදෙනාගෙන් එක් අයකු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුය. ඒ සඳහාද මේ වනවිට යම් මෙහෙයුමක් දියත් කරමින් රනිල් මෙරට පිහිටි තමන්ට හිතවත් විදේශ තානාපති කාර්යාල කිහිපයක් හරහාම රවී කරුණානායකට බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඊට අමතරව අලුත්ම තොරතුර වී ඇත්තේ පසුගිය කාලයේ පැත්තකට දමා සිටි රවී කරුණානායකට රනිල් විසින් මේ වනවිට නිරතුරුවම දුරකතන ඇමතුම් ලබාදීමට පටන්ගෙන තිබීමය. ඉතා සුහදශීලී සහ මිත්‍රශීලී ආකාරයට මෙහිදී රවී සමග කතාකර ඇති රනිල්, යම් යම් කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ගෙන ඇති බවක්ද ආරංචිය. එමෙන්ම වත්මන් දේශපාලනය සම්බන්ධයෙන්ද රවී සමග මේ ඇමතුම් හරහා රනිල් සාකච්ඡා කරන බවක්ද දැනගන්නට තිබේ.

මේ සියල්ල මැද්දේ රනිල් තමන්ට හිතවත් ජ්‍යොතිර්වේදීන් කැඳවා ජ්‍යොතිෂමය වශයෙන් උපදෙස් ගනිමින් සිටින බවක්ද ආරංචිය. එහිදී රනිල් ජ්‍යොතිෂවේදීන්ගෙන් වැඩියෙන්ම විමසා ඇත්තේ තමන්ට යළි බලයට පැමිණීමේ අවස්ථාවක් හෝ ග්‍රහ පිහිටටීමක් දැකගන්නට ඇද්දැයි කියාය. ඊට සමගාමීව වජිර ඇතුළු සිය හිතවතුන් ලවා ආණ්ඩුව කඩාවැටෙන බවට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද රනිල් කටයුතු කොට තිබේ. නියත වශයෙන්ම මෙම වසර අවසානය වනවිට බරපතළ ආර්ථික අර්බුදයක් නැවත වතාවක් මතුවීමේ ඉඩක් ඇති බවත්, එහිදී අනිවාර්යයෙන්ම නැවත වතාවක් රනිල් ජනාධිපති බවට පත්වනු ඇති බවත් මෙහිදී වජිර ඇතුළු කණ්ඩායම විසින් හැම තැනකම කියමින් යන බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් සජිත් ඉලක්ක කොට තමන්ගේම පවුලේ පත්තර අල්ලාගෙන රනිල් ගැසූ ගේම සති අන්තය ගෙවෙන්නටත් කලින් ආපසු කැරකී ගියේ මෙම සිදුවීම් දාමය පසුපස රනිල් සිටින බවට තොරතුරු අනාවරණ වීමත් සමගය. හැම නරකක් මැදම හොඳක් තිබෙන්නාක් මෙන් මේ කුමන්ත්‍රණ සියල්ලෙන්ම අවසානයේදී සිදුවූයේ සජබය ඇතුළේ සිටින මන්ත්‍රීවරුන් පමණක් නොව, සජබ බිම් මට්ටමේ සිටින මන්ත්‍රීවරුන් පවා සජිත් සමග එකට සිටගැනීමට තීන්දු කිරීමය. එමෙන්ම පක්ෂය ඇතුළේ සිටිමින් පක්ෂ නායකත්වයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකරන මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කිරීමට තීන්දු කිරීමය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් විශේෂ කරුණක් අනාවරණ කිරීමට සූදානම්ය. ඒ, පක්ෂයට සහ පක්ෂ නායකත්වයට ද්‍රෝහිව කටයුතු කරන කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව මෙම බිම් මට්ටමේ පළාත් පාලන සජබ මන්ත්‍රීවරුන් නැගී සිටින දිනය වැඩි ඈතක නැතැයි කියාය.

රනිල්-හරිනි ඩීල් එකක්ද

මීට අමතරව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට බඳුන් වී ඇති ලොකු මාතෘකාවක් වී ඇත්තේ හරිනි සහ රනිල් අතර කුමක් හෝ ඩීල් එකක් පවතිනවාද යන්න සම්බන්ධයෙනි. ඊට හේතුවී ඇත්තේ සිදුවීම් ගණනාවකදීම හරිනිගේත් රනිල්ගේත් නම්ගම් එකට සඳහන් වී තිබීමය. පසුගිය කාලයේදී අප මෙම රාජ්‍ය රහස් තීරය ඔස්සේද වරින් වර දෙදෙනාගේ ඩීල් ගැන තොරතුරු අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී කොළඹ දේශපාලන කපුකම් සිදුකරන ප්‍රධාන පෙළේ පන්සලක රනිල් හා හරිනි අතර හිතවත්කමක් ඇතිකිරීමට සිදුව තිබූ සාකච්ඡාවක් පිළිබඳවත්, හරිනි එම පන්සලට ආ ගිය අවස්ථාවන් පිළිබඳවත් අප තොරතුරු වාර්තා කළෙමු. මීට අමතරව මිලින්ද මොරගොඩට අයත් පාත්ෆයින්ඩර් ආයතනය මගින් රනිල්ද සහභාගි වීමට නියමිතව සිටි උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් හරිනිව කැඳවාගෙන ඒමට ගත් උත්සාහයක් පිළිබඳවත් අප මෙම තීරයෙන් තොරතුරු වාර්තා කළෙමු. මෙවැනි ඩීල් පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව පවතිද්දී මේ වනවිට හරිනි විසින් ඉදිරිපත් කොට ඇති අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද ඇතැමුන් අදහස් පළකරමින් කියා සිටින්නේ පසුගිය 2023 වර්ෂයේ රනිල් විසින් රැගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පත්‍රිකාවම හරිනි විසින්ද ඉදිරිපත් කොට ඇතැයි කියාය.

හැමෝම දන්නා ආකාරයට 88-89 සමයේදී තරුණයන් 60,000ක් ඝාතනය වීමට පාර කැපුණු එක් ප්‍රධාන හේතුවක් වී තිබුණේ එවක අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් විසින් රැගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවය. එදා ජවිපෙ ඊට එරෙහිව දැඩි විරෝධයක් මතුකරමින් තරුණයන් පාරට බැස්සවීමට පියවර ගත්තේය. නමුත් අද චෝදනාව එල්ල වී ඇත්තේ රනිල් ගෙනා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ධවල පත්‍රිකාවම වෙනත් විදියකින් හරිනිද කරළියට ගෙන ඒමට කටයුතු කර ඇතැයි කියාය. එයද හරිනි – රනිල් ඩීල් එක පිළිබඳ බොහෝ දෙනා තුළ සැකයක් මතු කිරීමට හේතුවක් විය.

මීට අමතරව සජිත් ඉලක්ක කොට රනිල් තමන්ගේ පවුලට අයත් මාධ්‍ය උපයෝගී කොට ගෙන දැවැන්ත ප්‍රහාරයක් දියත් කරද්දී අගමැතිවරිය වශයෙන් හරිනිද ඊට සමගාමීව සජිත්ව ඉලක්ක කොට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළාය. ඒ, සජිත් අමාත්‍යවරයාව සිටි සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට කැබිනට් පත්‍රිකාවක් හරහා කමිටුවක් පත්කිරීම මුල් කොට ගෙනය. මෙම සිද්ධිය හරහාද හරිනි – රනිල් ඩීල් එක පිළිබඳ බොහෝ දෙනා තුළ සැකයක් මතුව තිබේ.

කෙසේ වෙතත් හරිනි ගෙනා අලුත් අධ්‍යාපන ප්‍රතිස්සංකරණය සම්බන්ධයෙන් බරපතළ ආන්දෝලනයක් මේ වනවිට සමාජය තුළ ඇතිවී තිබේ. පළමුව ඊට එරෙහිව විරෝධය පළ කළේ මාලිමා ආණ්ඩුවේ න්‍යායාචාර්යවරයකු ලෙස සැලකෙන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිය. එහිදී නිර්මාල් කියා සිටියේ ආණ්ඩුව ඉතිහාස විෂය සහ සෞන්දර්යය විෂයයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉවත් කර ඇතැයි කියාය. ඉන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයද විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්ද, ගුරු සංගම්ද ඊට එරෙහිව අදහස් දක්වා තිබිණි. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ හරිනි ගෙන ඒමට සැලසුම් කොට ඇති මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ජවිපෙ පැත්තෙන් අවශ්‍ය සහාය ලැබෙන්නේද යන්න සම්බන්ධයෙනි. මුල් වටයේදී ඊට දැඩි විරෝධයක් එල්ල වෙද්දී නිහඬව සිටි ජනාධිපතිවරයා පළමු වරට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තුවේ කළ සිය කතාවේදීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙය තනි පුද්ගලයකුගේ ක්‍රියාදාමයක් නොව, සියලු දෙනාම එක්ව කළ යුතු කටයුත්තක් යැයි කියාය. එමෙන්ම විපක්ෂයේ සියලු දෙනාටද ඊට ආරාධනා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

විපක්ෂ නායකවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ධවල පත්‍රිකාව ආණ්ඩුවෙන් ඉල්ලද්දී බිමල්ද කියා සිටියේ එවැනි ධවල පත්‍රිකාවක් සකස් කර නැති බවත්, ඇත්තේ හරිනි විසින් ඉදිරිපත් කළ ‘පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්‘ එකක් පමණක් යැයි කියාය. හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජවිපෙ 100%ක්ම අවංකව පෙනී සිටිනවාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා සැක මතු කරන්නේ ඒ නිසාය.

අනෙක් පැත්තෙන් අස්ගිරි මහා විහාරයේ අනුනායක හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනකු සහභාගි වී සිටි අතර, එහිදීද මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බොහෝ අදහස් හුවමාරු වී තිබිණි. එහිදී මල්වතු අස්ගිරි පාර්ශ්වයන් නියෝජනය කළ ස්වාමින්වහන්සේලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කොට තිබුණේ ඉතිහාස විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් පවතින බවත්, ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙසත්ය. එහිදී සජිත්ද නාහිමිවරුන්ට දැනුම් දී තිබුණේ තමන් එදිනද පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අදහස් දැක්වූ බවකි. එහිදී පෙරළා සජිත් නාහිමිවරුන්ට දැනුම් දී සිටියේ අගමැතිවරියද අස්ගිරි අනුනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණීමට නියමිත නිසා ඇයටද මේ බව දැනුම් දෙන්නැයි කියාය.

මිලින්ද ලන්සා යළි එළියට

දේශපාලනයේ කලින් කලට අලුත් චරිත මතුවීම සාමාන්‍ය සිද්ධියකි. එසේ මතුවෙන චරිත ඇතැම් අවස්ථාවලදී කාලයක් අල්ලාගෙන සිටින අතර ඇතැම් චරිත සෝඩා බෝතලය කැඩුවාක් මෙන් උඩ විත් යට යන ආකාරයක්ද දැකගන්නට තිබේ. මේ කියන්නට යන්නේද දේශපාලනයේ වරින් වර මතුවෙන එවැනි චරිතයක් ගැනය. ඒ, වෙන කවුරුවත් නොව මිලින්ද මොරගොඩය.
මිලින්ද යනු ජනාධිපතිවරුන් කීප දෙනකුම යටතේ වැඩ කළ චරිතයකි. එජාපයෙන් දේශපාලනයට පැමිණි මිලින්ද, රනිල් විපක්ෂනායකව සිටි කාලයේදී මහින්ද ළඟට ගිය 17 දෙනාගේ කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මිලින්ද එජාපයේ ඒ.ජේ.එම්. මුසම්මිල්ට එරෙහිව කොළඹ මහ නගර සභාවට තරග වැදුණේය. එහිදී මිලින්ද පරාජයට පත්විය. ඉන් පසු කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ පෙනෙන්නට නොසිටි මිලින්ද යළි දේශපාලන කරළියට පැමිණියේ ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වූවාට පසුවය. එවකදී ගෝඨා කැබිනට් අමාත්‍යවරයකුගේ බලතල සහිතව මිලින්දව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරට පත්කිරීමට පියවර ගත්තේය. එවැනි බලයක් සහිතව ඉන්දියාවට ගිය පළමු සහ එකම මහකොමසාරිස්වරයා වූයේද මිලින්දය. ගෝඨාගෙන් පසු රනිල් බලයට පත්වීමෙන් අනතුරුව මිලින්ද රනිල් සමගද යළිත් හිතවත්කම් පවත්වා ගත්තේය. පසුගියදා මිලින්දගේ පාත්ෆයින්ඩර් ආයතනය මගින් සංවිධාන කළ උත්සවයකට රනිල් සමග හරිනිව කැඳවාගෙන ඒමට තිරය පිටුපස මෙහෙයුමක් දියත් කර තිබුණේද මිලින්දය.

කෙසේ වෙතත් තිරය පිටුපස නිහඬව සිටි මිලින්ද මේ දිනවල නැවත වතාවක් දේශපාලන කරළියේ සක්‍රීය චරිතයක් බවට පත්ව තිබේ. ඒ අනුව නිතරම විවිධ දේශපාලනඥයන් හමුවීමට මිලින්ද කටයුතු කරන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අතර නිමල් ලංසා, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම්ද, පොහොට්ටුවෙන් කැඩී ගිය කණ්ඩායම්ද සමග මිලින්ද සාකච්ඡා වට කීපයක්ම පවත්වා තිබේ. ඊට අමතරව සුළු පක්ෂ නායකයන්ටද මිලින්ද කතාකොට ඇති බවක් ආරංචිය. මෙම තොරතුරු මාධ්‍ය මගින් එළියට පැමිණෙන්නේ නැති වුණත් දේශපාලන කවවලදී මේ පිළිබඳ බොහෝ දෙනා අදහස් දැක්වීමට පටන්ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ඒ තැන්වල කියැවෙන කටකතාවක් වන්නේ මිලින්ද ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ සූදානමක් ඇතැයි කියාය. බොහෝ විට ඊළඟ ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර සම්බන්ධතා ඇති චරිතයකට වැඩි ඉල්ලුමක් හිමිවීමේ පසුබිමක් මතුවන ආකාරයක් පෙනෙන්නට ඇති නිසා රනිල්ගේ ආශීර්වාදයද ඇතිව මිලින්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමකින් පසුවන බව එහි කියැවෙන කතාවය. කෙසේ වෙතත් මෙම කටකතාවල ඇත්ත නැත්ත කුමක්දැයි පැහැදිලි නැති නමුත් දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ අරමුණෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බවක්ද සඳහන්ය.

මෙහිදී මිලින්ද සමග සාකච්ඡා කළ ප්‍රධාන චරිතයක් පිළිබඳ මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ තවත් කතාබහක්ද මතුව ඇත. ඒ, නිමල් ලංසාය. ලංසා යනු මුලින්ම රාජපක්ෂ කඳවුර නියෝජනය කළ ප්‍රබල චරිතයක් වුවද පසුව ලංසා ඉන් ඉවත්ව රනිල්ට හේත්තු විය. සාමාන්‍යයෙන් ලංසා සැලකෙන්නේ යම් කටයුත්තකට පිරිස් බලය එකතු කළ හැකි, සංවිධාන ශක්තියක් ඇති චරිතයක් ලෙසටය. කෙසේ වෙතත් මිලින්ද සමග සාකච්ඡා පැවැත්වුවත් ලංසා නම් මේ වනවිට සිටින්නේ කුමන තත්ත්වයක් යටතේ වුවද රනිල් වෙනුවෙන් තවදුරටත් දේශපාලනය නොකරන තද ස්ථාවරයකය. ලංසාගේ ස්ථාවරය වී ඇත්තේ කුමන සන්ධාන ගොඩනැගුවද එය ප්‍රධාන විපක්ෂය වන සජබය සමග ගමන් නොකරන එකක් වන්නේ නම් ඊට පැවැත්මක් නැති බවයි. එම නිසා සියලු බලවේග ඊට එක්කරගෙන, සජබයේ ඇති දුර්වලතාත් අවසන් කොට ගෙන සජබය සමග එක්ව යන ගමනක් කෙරෙහි ලංසාගේ අවධානය යොමුව ඇති බව ආරංචිය. ඒ අනුව මිලින්ද, ලංසා ඇතුළු කණ්ඩායමේ මෙම සාකච්ඡාවල අවසානය සජබය සමග සන්ධානගත වීමෙන් කෙළවර වනු ඇති බවක් බොහෝ දුරට පෙනෙන්නට තිබේ.

ආණ්ඩුවත් අලුත් ගේමක

පසුගිය සතියේ ‘මව්රට’ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් අප කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ආණ්ඩුව රටට දුන් පොරොන්දුව ඉටු නොකිරීමට තවදුරටත් කටයුතු කරන්නේ නම් විපක්ෂයෙන් යෝජනාවක් ගෙනැවිත් ඒ සඳහා විශාල සටනක් ආරම්භ කිරීමට විපක්ෂය තීන්දු කර ඇති බවකි. අප මෙම පුවත පසුගිය සතියේ පළකොට පැය කීපයක් යෑමට මත්තෙන් දේශපාලන ක්ෂේත්‍රය කඩිගුලක් සේ ඇවිස්සී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් තවත් විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ විශාල සටනකින් පසු බිහිකර ගත් ස්වාධීන කොමිෂන් සභාවන්ට අත පෙවීමේ සූදානමකින් ආණ්ඩුව පසුවනවා යැයි කියාය. එහිදී එම ඉංග්‍රීසි පුවත්පත විශ්ෂයෙන්ම කියා සිටියේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ තීරක බලයක් සහිත ආයතනය වන ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් මතුව ඇති බවකි.

පසුගිය කාලසීමාව පුරාම මෙරට ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ විශාල තනි බලයක් විධායක ජනාධිපතිවරයා සතුව තිබිණි. නමුත් යහපාලන ආණ්ඩු සමයේදී පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව මුල්කොට ගෙන ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමට නම් කළත් එම නාමයෝජනාව ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත විය යුතුය. මේ හේතුව නිසා හිටපු ජනාධිපති රනිල්ගේ කාලයේත් අවස්ථා කීපයකදීම ඉහළ තනතුරුවලට කළ පත්වීම් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළේය. වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා විගණකාධිපති තනතුර සඳහා සිදුකළ නිර්දේශයක්ද ව්‍යවස්ථාදායක සභාව විසින් දෙවතාවක්ම ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව, මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමටත්, සිවිල් සමාජය නියෝජනය කරන ස්වාධීන නියෝජිතයන් තිදෙනා පත්කරන ආකාරයේ වෙනසක් සිදුකිරීමටත් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවක් අදාළ පුවතේ සඳහන්ව තිබිණි. මේ පුවත නිල වශයෙන් මෙතෙක් ආණ්ඩුව පිළිගෙන නොමැති නමුත් එය ප්‍රතික්ෂේප කිරීමට හෝ ආණ්ඩුව කටයුතු කර නොතිබීමද විශේෂය.

කෙසේ වෙතත් අප අනාවරණ කළ පුවතින් අවධාරණය කොට තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජවිපෙට විශාල ඉතිහාසයක් තිබේ. 88-89 අසාර්ථක කැරැල්ලෙන් පසු ජවිපෙ යළි කලඑළි බැස පළමු වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ 1994දීය. එහිදී නිහාල් ගලප්පත්ති ජවිපෙ වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය අතට ගෙනය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඒ අවස්ථාවේදී ඡන්දය කට ළඟ තියා නිහාල් ගලප්පත්ති චන්ද්‍රිකාට ලිපියක් මගින් දැනුම් දුන්නේ මාස 6ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තමන් තරග කිරීමෙන් ඉවත් වී පක්ෂයේ සහාය චන්ද්‍රිකාට ලබාදෙන්නේ යැයි කියාය. චන්ද්‍රිකාද එය පිළිගෙන ලිඛිතව ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළාය. ඒ අනුව රට හමුවේ ප්‍රකාශයක් කළ නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් විය. චන්ද්‍රිකා ජයග්‍රහණය කළද වාර දෙකක් ජනාධිපති ධුරය දැරුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැත.

සජබය සටන අතට ගනී

ඉන් අනතුරුව 2015දී ජවිපෙ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල හට අනියමින් සහාය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව මෛත්‍රීද පිළිගෙන තිබූ නිසාය. එහිදී මෛත්‍රී චන්ද්‍රිකා මෙන් නොව ජයග්‍රහණය කිරීමෙන් පසු විශාල වශයෙන් විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීමට පියවර ගත්තේය. වසර 6ක කාලසීමාව වසරකින් අඩු කිරීමටද කටයුතු කළේය. නමුත් සම්පූර්ණ වශයෙන් විධායකය අහෝසි කිරීමට මෛත්‍රිපාල කටයුතු කළේ නැත.

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ජවිපෙ අපේක්ෂකයා වූ අනුරගේ ප්‍රධාන සටන් පාඨයක් වූයේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දීද අනුර රට හමුවේ විධායකය අහෝසි කරන බවට ප්‍රසිද්ධ පොරොන්දුවක් දුන්නේය. එය ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළේය. නමුත් දැන් ඒ සම්බන්ධයෙන් අනුර හෝ ජවිපෙ වචනයක් කතා කරන්නේ නැත. චෝදනා එල්ල වන්නේ මහින්ද මෙන්, රනිල් මෙන් අනුරද තමන්ට අවශ්‍ය ආකාරයට වගන්ති සංශෝධනය කරමින් බලය වැඩිකර ගැනීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය.
පසුගිය සතිය වනවිට ප්‍රධාන විපක්ෂය වශයෙන් සජබය මෙම සටන් පාඨය අතට ගැනීමට තීරණය කර තිබුණේ ඒ අනුවය. සජබ මන්ත්‍රීවරුන් බොහොමයක් සිටින්නේ විධායකය අහෝසි කළ යුතු බවට වන ස්ථාවරයකය. ඒ අනුව ක්‍රම කීපයක් ඔස්සේ මෙම සටන පටන් ගැනීමට සජබය මේ වනවිට තීන්දු කර අවසානය. පසුගිය සතියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ ආණ්ඩුව රටට දුන් මේ පොරොන්දුව කඩකරන්නේ නම් පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනාවක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සජබය සූදානම් යැයි කියාය. එමෙන්ම ආණ්ඩුව එම පොරොන්දුව ඉටු නොකොට ව්‍යවස්ථාදායක සභාවට අත තැබීමට සූදානම් වනවා නම් ආණ්ඩුවට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ සටනක් ආරම්භ කිරීමට සජබය සූදානම් බවද අජිත් පී. පෙරේරා සඳහන් කළේය. ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ජනවාරියේ අවසන් වීමට නියමිත බැවින් ඊට ප්‍රථම මෙම සංයුතිය වෙනස් කිරීම සිදුකිරීමට ඉඩ ඇති බවක්ද ආරංචිය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේදී සජබ මන්ත්‍රීවරුන් සජිත්ගෙන්ද විමසීමක් කොට තිබූ අතර, එහිදී සජිත්ද කියා සිටියේ විධායකය අහෝසි කිරීම සජබයේද ස්ථාවරය වන නිසා එම පොරොන්දුව ඉටු කරවා ගැනීමට සජබය සටන් කළ යුතුයැයි කියාය.

ගෝඨාභය හැංගෙයි

පසුගිය සතියේ ජනාධිපතිවරයා මහනුවර බලා හදිසියේම පිටත්ව ගියේ ඇහැලේපොළ වලව්වේ අභිනවයෙන් ඉදිකළ ඉටි කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහාය. මෙම ඉටි කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී යෝජනා වී තිබූ අතර, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර ගෙන තිබුණේ රනිල්ගේ සමයේදීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කෞතුකාගාරය විවෘත කිරීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේ විශාල ආන්දෝලනයක් මතුවිය. ඊට හේතු වී තිබුණේ ඇහැලේපොළ කුමාරිහාමි, වීර මද්දුමබණ්ඩාර සහ ඔහුගේ සහෝදරියත්, සහෝදරයාත් මරාදැමූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඉටි රුවක්ද එම කෞතුකාගාරය ඇතුළේ තබා තිබීමය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනා කියා තිබුණේ ඇහැලේපොළ පවුල මරා දැමූ රාජසිංහ රජ්ජුරුවන් ඇහැලේපොළ වලව්ව ඇතුළටම ගෙනැවිත් තැබීම එතරම් සුබදායක කටයුත්තක් නොවේ යැයි කියාය. ඒ සම්බන්ධයෙන් බොහෝ ජනප්‍රවාදයන් සහ පුරාවෘත්තයන්ද මේ දිනවල මහනුවර ජනතාව අතර කතාබහට ලක්වෙමින් තිබේ. එමෙන්ම ඇහැලේපොළ වලව්ව ඇතුළට වාරියපොල සුමංගල හිමියන්ගේ පිළිරුවක් තබා තිබීම සම්බන්ධයෙන්ද විශාල කතාබහක් මතු වී ඇති බවක් ආරංචිය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මෙම ඉටි කෞතුකාගාරය විවෘත කිරීමෙන් පසු දළදා මාලිගාවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද විශේෂ ආරාධනාවක් ලැබී තිබිණි. ඒ අනුව එදින රාත්‍රියේ ගෝඨා ඇහැලේපොළ වලව්වට පැමිණෙන පුවත මාධ්‍ය වෙතද ලීක් වී තිබිණි. ඒ අනුව රාත්‍රී 6.30 වනවිට මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඇහැලේපොළ වලව්වට පැමිණ තිබුණේ රාත්‍රි 7.00 වනවිට ගෝඨාභය එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබූ නිසාය. කෙසේ වෙතත් මහනුවරට පැමිණි ගෝඨාට තමන් එන තෙක් මාධ්‍යවේදීන් පුල පුලා බලාසිටින පුවත දැනගන්නට ලැබිණි. ඒ අනුව ගෝඨා කළේ 8.00 වනතුරුම එම ස්ථානයට පැමිණීමෙන් වැළකී සිටීමය. මාධ්‍යවේදීන්ද 7.30 වනතුරු බලා සිට ගෝඨා නොපැමිණෙනු ඇතැයි සිතා ඇහැලේපොළ වලව්වෙන් පිටව ගිය පසු හරියටම රාත්‍රි 8.00ට පමණ ගෝඨා ඇහැලේපොළ වලව්වට පැමිණ ඉටි කෞතුකාගාරය නැරඹීමට පියවර ගෙන තිබිණි.

බෝයිං 6ක් ගන්න යන කෝටිපතියා

30%ක් වශයෙන් ලංකාවට පනවා තිබූ තීරුබද්ද තවදුරටත් අඩුකර ගැනීම සඳහා ආණ්ඩුව ට්‍රම්ප් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ අප, එම සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ, නොඑසේ නම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව අනාවරණ කළේය. නමුත් ඇතැම් මාධ්‍ය මෙන්ම විදේශ ඇමැති විජිත හේරත්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායමක් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇතැයි කියාය. නමුත් පසුව අප කළ අනාවරණය තහවුරු කරමින් අදාළ සාකච්ඡාවන් පැවැත්වූයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේය. සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම වට දෙකකින් එය අවසන් කිරීමට සැලසුම් කර තිබුණත්, වට තුනක් දක්වා එම සාකච්ඡා ඇදීගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මේ සාකච්ඡාව පුරාම දැකගන්නට ලැබුණේ වෙළෙඳ ශේෂය අවම කරගැනීම සඳහා ලංකාව ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට සූදානම් වන භාණ්ඩ හා සේවා පිළිබඳවත්, එහි වටිනාකම් පිළිබඳවත් අමෙරිකාව උනන්දු වී තිබීමය.

පසුගිය සතියේ අප මේ පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් ලංකාව ඇමෙරිකාවෙන් බෝයිං යානා 3ක් මිලදී ගැනීමට සූදානමින් සිටින බව අනාවරණ කළෙමු. නමුත් එය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබාගන්නවාද, එසේත් නැත්නම් පෞද්ගලික සමාගමක් මගින් ලබාගන්නවාද යන්න සම්බන්ධයෙන් ඒ වනවිට අප වෙත තොරතුරු වාර්තා වී තිබුණේ නැත. නමුත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලංකාව ඇමෙරිකාවෙන් බෝයිං යානා 3ක් නොව බෝයිං යානා 6ක් මිලදී ගැනීමට තීරණය කොට ඇතැයි කියාය. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නොව මෙරට ප්‍රකට ආයතනයක් වන එක්ස්පෝ ලංකා ආයතනයෙන් බවය. එක්ස්පෝ ලංකා ආයතනයේ හිමිකරු වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මොහොමඩ් හනීෆා මහතාය. නමුත් පසුව ඒ මහතා දේශපාලනයට පැමිණීමත් සමග එම නිලතලවලින් ඉවත් වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව දැනට ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ මෙම එක්ස්පෝ ලංකා ආයතනය ෆිට්ස් එයාර් නම්වූ අඩු වියදම් ගුවන් සේවයක් සමග එක්ව මෙම බෝයිං යානා 6 මිලදී ගැනීමට තීරණය කොට ඇතැයි කියාය. මීට අමතරව ගෑස් සහ තෙල් ඇමෙරිකාවෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී ආණ්ඩුව පැත්තෙන් යෝජනා ඉදිරිපත් කොට තිබේ.

කෙසේ වෙතත් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ තොරතුරක්ද අනාවරණ කිරීමට අප සූදානම්ය. ඒ, ට්‍රම්ප්ගේ 30%ක බද්ද හමුවේ බරපතළ කඩාවැටීමකට ලක්ව සිටින ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කරන ප්‍රධාන සමාගමක් සම්බන්ධයෙන්ය. අදාළ බද්ද හේතුවෙන් විශාල තිගැස්මකට ලක්ව සිටින මෙම සමාගම මේ වනවිට තීන්දු කොට ඇත්තේ යම් හෙයකින් සැලකිය යුතු තරමේ සහනයක් මෙම සාකච්ඡාවලින් හෝ නොලැබුණහොත් මෙහි පිහිටුවා ඇති සමාගම් ඉවත්කොට ගෙන ඉන්දියාවට හෝ කලාපයේ වෙනත් රටකට රැගෙන යෑමටය. දැනටමත් ඔවුන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මේ අතර, ඉදිරියේදී ට්‍රම්ප්ගෙන් ලැබෙන බදු සහන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්වී නැතත්, ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින්නේ විශාල සහනයක් මෙවර ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. දැනටමත් ට්‍රම්ප් රජය වියට්නාමයට සහ මැලේසියාවට අයකරන බද්ද 19% දක්වා අඩුකොට ඇති අතර, ඉන්දියාවට තවත් අඩුකොට එය 12%ක මට්ටමට පනවනු ඇති බව කියැවේ. එසේ වුවහොත් ලංකාවේ අපනයන බරපතළ කඩාවැටීමකට ලක්වීමේ අවදානමක්ද මේ වනවිට මතුව නැතුවා නොවේ.

මීට අමතරව ඇමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට කිසියම් ප්‍රශ්නයක් මතුව තිබේ. ඒ, ඇමෙරිකාවෙන් තෙල් ගැනීමට ලංකාව කටයුතු කරන්නේ නම් චීනය විසින් ලංකාවේ ක්‍රියාත්මක සිනොපෙක් සමාගම තවදුරටත් ලංකාවේ කටයුතු කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන්ය. දැනටමත් සිනොපෙක් සමාගම ලංකාවේ තෙල් බෙදාහැරින්නේ යම් යම් අර්බුද මධ්‍යයේය. එවැනි පසුබිමක ඇමෙරිකානු තෙල් ලංකාවේ වෙළෙඳපළට පැමිණෙන්නේ නම් සිනොපෙක් සමාගමද සිටින්නේ යම් දෙගිඩියාවකට පත්වය. අනෙක් අතට චීනය හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන බවට ආණ්ඩුව සමග එකඟතාවකටද එළඹ තිබේ. නමුත් ඇමෙරිකාවෙන් තෙල් ගෙන ඒමට සූදානම් වන්නේ නම් අදාළ ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන්ද චීනය ලොකු පණිවුඩයක් ආණ්ඩුවට ලබාදී ඇති බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් මේ වනවිට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අගෝස්තු 01 වැනිදා සිට ට්‍රම්ප් රජය විසින් පැනවූ බද්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත්, තවත් මාස 3කින් එය කල් දැමීමට ට්‍රම්ප් රජය යම් අදහසක සිටින බවය. ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින්නේ ට්‍රම්ප් විසින් පනවනු ලැබූ 30%ක බද්ද 15% දක්වා 50%කින් අඩුකර ගැනීමටය. නමුත් මෙම තත්ත්වය තවත් මාස 3කට ඇදී ගියහොත් ආණ්ඩුව තවත් අර්බුදයකට මුහුණ දීමට නියමිතව ඇත. ඒ, ලබන සැප්තැම්බරයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන්ය. මේ බද්ද ආණ්ඩුවේ අයවැයටද තීරණාත්මක ලෙස බලපානු ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ලව් කළේ නෑ! කිස් කළේ නෑ! මල්ගස් වටෙ දිව්වේ නෑ! සිනමාව වෙනස් කරපු චණ්ඩි ශ්‍යාමා! Sri Lanka Latest News

Next Post

සිස්ටම් ඩවුන්! මෙන්න හොරු කැරලි ගහන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.