ලංකාවේ පළමු වැනි විධායක ජනාධිපති ජේ.ආර්.ය. ඔහු විධායක ජනාධිපති ලෙස ආණ්ඩුවේත් නායකයා විය. ඒ වගේම ඔහු ජනාධිපති ධුරයට පත්කළ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ යූ.ඇන්.පී.යේත් නායකයා විය. ජේ.ආර්. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු යූ.ඇන්.පී. ව්‍යවස්ථාව සංශෝධනය කළේය. එනම් යූ.ඇන්.පී. සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වෙනවා නම් ඔහු පක්ෂයේ නායකයා විය යුතුය කියාය.Sri Lanka Latest News
‘ඇයි ඒ…?’
විධායක ජනාධිපති ධුරය දරන්න පක්ෂයේ නායකත්වය අනවශ්‍ය බව ජේ.ආර්. ව්‍යවස්ථාව හදද්දීම තීරණය කළේය. පක්ෂයේ බලය නැතුව පක්ෂයේ පාලනය නැතුව විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහුගේ දේශපාලන අත්දැකීම්වලින්ම ඔහු තේරුම් ගෙන තිබිණි. රනිල් එළියෙන් පොදු අපේක්ෂකයන් ගේන්නත් 2019 සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කරන්නත් මේ වගන්තිය වෙනස් කළේ තමන්ට නායකත්වය අහිමි වෙයි කියන බයටය.
ජේ.ආර්. 1988 ප්‍රේමදාසව ජනාධිපති අපේක්ෂක කොට පක්ෂ නායකත්වයත් භාරදී ගෙදර ගියේ පක්ෂ නායකත්වය සහ බලය නැතිව ප්‍රේමදාසට නොව මොන ජගතෙකුටවත් රටක් පාලනය කරන්න බැරි බව දැනගෙනය.
ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති වූ විජේතුංගත් ජේ.ආර්.ගේ වගන්තියට පින් සිදුවෙන්න ඉබේම යූ.ඇන්.පී. නායකයා විය.
1994 චන්ද්‍රිකා ජනාධිපති වනවිට ශ්‍රීලනිප නායිකාව වුණේ බණ්ඩාරනායක මැතිනියය. ඇය චන්ද්‍රිකාගේ මව වූ නිසාත්, ඇය අසාධ්‍යව රෝද පුටුවෙන් ගිය නිසාත් ශ්‍රීලනිප නොනිල නායකත්වය සහ බලය තිබුණේ චන්ද්‍රිකාටය. ඒත් ඇය මැතිනිය මියයෑමට පෙර පක්ෂ නායකත්වය සියතට ගත්තාය.
2005 මහින්ද ජනාධිපති වනවිට ශ්‍රීලනිප නායිකාව වුණේ චන්ද්‍රිකාය. පක්ෂයේ සාමාජිකයකු ජනාධිපති වනවිට පක්ෂ නායකත්වය ඉබේම ඔහුට හෝ ඇයට හිමිවිය යුතුය කියා වගන්තියක් යූ.ඇන්.පී.යේ මෙන් ශ්‍රීලනිපයේ නොවීය. ඒත් මහින්ද ජනාධිපති වූ දින සිට චන්ද්‍රිකාට පල නොකියා පලා බෙදමින් අවසානයේ පක්ෂ නායකත්වය සියතට ගත්තේ පක්ෂයේ බලය නැතිව රටක් පාලනය කළ නොහැකි බව දැනගෙනය. චන්ද්‍රිකා පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ ලිපිය ඇයගේ අතට ලැබිණි.
2015 මෛත්‍රි ජනාධිපති වූයේ පක්ෂයක් නැතිවය. ඔහුට සහාය දුන්නේ යූ.ඇන්.පී.යය. වරක් මෛත්‍රි මාධ්‍යවේදියෙක්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.
‘යූ.ඇන්.පී. ව්‍යවස්ථාවේ තියෙනවා රටේ ජනාධිපති පක්ෂයේ නායකයා කියලා. යූ.ඇන්.පී.ය මට ආරාධනා කළොත් නායකත්වය භාරගන්න ඔබ හිතන්නේ මම මොකක් කරයිද…?’
මාධ්‍යවේදියා පෙරළා මෙහෙම ඇසුවේය.
‘ඔබ භාරගන්නවද…?’
මහ හයියෙන් කොක් හඬලා සුපුරුදු හිනාවෙන් පිළිතුරු දුන් මෛත්‍රී කීවේ මෙහෙමය.
‘ඔබ හිතනවද රනිල් ඒකට ඉඩ දෙයි කියලා…?’
මෛත්‍රීපාල කීවේ එහෙමය.
පක්ෂයේ නායකයා රටේ ජනාධිපති නොවීමේ කරුමය ලංකාවට පල දෙන්න පටන්ගත්තේ 2015න් පසුවය. මෛත්‍රි සහ රනිල් දෙපැත්තට අදිමින් ගහමරා ගත්හ. සිරිකොත එරෙහිව ජනාධිපති කාර්යාල සටන දරුණු විය. මෛත්‍රිගේ දේශපාලන තීරණවලට යූ.ඇන්.පී. අනුමැතිය ලැබුණේ නැත. ආණ්ඩුව හතර ගාතෙන් ඇද වැටුණි.
2019 ගෝඨා ජනාධිපති වෙන විටත් ඔහු පොදුජන පෙරමුණේ නායකයා නොවීය. පොදුජන පෙරමුණේ නායකයා වූයේ මහින්දය. පක්ෂයේ බලය තිබුණේ බැසිල්ටය. ගෝඨා මෛත්‍රී වගේම නිකම්ම නිකම් ජනාධිපති විය. වැඩි කාලයක් ගියේ නැත. ගෝඨා ඔහුට විශ්වාසවන්ත, ඔහුව ආරක්ෂා කරන පිරිසක් සමග රට ආණ්ඩු කරන්න පටන් ගත්තේය. නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලය ගෝඨා වගේ කැරකෙන උපදේශකයන්ට සහ මැති ඇමැතිවරුන්ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්න පටන් ගත්තේය. ගෝඨාගේ මිනිස්සු එක පැත්තකද, මහින්දගේ සහ බැසිල්ගේ මිනිස්සු තවත් පැත්තකද සිට මාර යුද්ධයක් ආරම්භ කළහ. අවසානයේ එය පවුලේ අර්බුදයක් දක්වා දුර ගියේය. බණ්ඩාරනායකලාට වඩා රාජපක්ෂලාගේ ලේ ඝනකම් කීවත් රාජපක්ෂ පවුල එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගත්හ. ඒ වෙලාවේ මහින්ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වී ගෝඨාට පක්ෂ නායකත්වය දුන්නා නම් මේ අර්බුදය එන්නේ නැත. එහෙනම් ගෝඨා මොනවා හරි කරගෙන ආණ්ඩුව අටවාගෙන යන්න ඉඩ තිබිණි. ගෝඨාට වුණේ පක්ෂයේ බලය නැතිව අසරණ වීමය. 2019 මහින්දලා ගෝඨාලා බැසිල්ලා යළි දිනන්න ප්‍රධානතම හේතුවක් වූයේ මෛත්‍රී සහ රනිල් අතර ගැටුමය. ඒ ගැටුමේදී ගෝඨා මෛත්‍රීව ඇන්දුවේය. මහින්ද රනිල්ව ඇන්දුවේය. අවසානයේ ගෝඨා ජනාධිපති වී මුහුණ දුන්නේත් ඒ අර්බුදයටමය.
ගෝඨා පක්ෂ නායකයා වී ඇමැති මණ්ඩලයේ වගේම පක්ෂ මධ්‍යම කාරක සභාවේත් නායකයා වූවා නම් ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න බොහොමයක් විසඳාගත හැකිව තිබිණි. ඇමැති මණ්ඩලයට වඩා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලය වැඩි බව විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් ජේ.ආර්. දැන සිටියේය. ඔහු ඇමැති මණ්ඩලයට ගෙන ආවේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කොට එකඟතාවට ආ දේශපාලන තීන්දුය. ගෝඨා නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලයටවත් ගියේ නැත. ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ තනිවී කාර්යාලයේ සිටි උපදේශකයන්ගේ හිරකාරයෙක් විය. ඔහු පක්ෂ නායකයා වූවා නම් කාබනික පොහොර තීරණය ගන්න පක්ෂයේ මධ්‍යම කාරකසභාව ඔහුට ඉඩ දෙන්නේ නැත.
රනිල් ජනාධිපති වුණේත් මෛත්‍රී වගේය. ඔහු පොදුජන පෙරමුණු නායකයා නොවීය. හැබැයි ඔහුගේ වාසනාවට ඔහු ජනාධිපති වනවිට නෙලුම් මාවත අරගලය නිසා බිමටම සමතලා වී තිබිණි. ඒ නිසා ඔහු පොදුජන පෙරමුණු ආණ්ඩුව පොදුජන පෙරමුණු පක්ෂය බවට පත්කරගෙන තමා තමාවම නායකයා බවට පත්කර ගත්තේය. ඔහුට අභියෝග කරන්න නෙලුම් මාවතේ හිටියේ බැසිල්ගේ ගෝලයෝ දෙතුන් දෙනෙක් පමණි.
2015ට පසු යළිත් පක්ෂ නායකයෙක් රටේ ජනාධිපති වී ඇත. ඒ, අනුර කුමාරය. හැබැයි ජවිපෙ යූ.ඇන්.පී.ය හෝ ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ මෙන් නොවේ. ජවිපෙ බලය තියෙන්නේ නායකයා අතේ නොවේ. ලේකම් අතේය.
‘මෛත්‍රීටයි ගෝඨාටයි වෙච්ච වැඩේ අනුරටත් වෙයිද…?’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි 2015 සිරිකොත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාල සටන 2019 නෙලුම් මාවත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාල සටන වගේ පැලවත්ත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාල සටනක් එයිද දන්නේ නැත.










