හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා (18) දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග අද නොතීසී නිකුත් කළාය. Sri Lanka Latest News
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව විනිසුරුවරිය මෙම නොතීසිය නිකුත් කළාය .
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ ධීවර ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඇමති රාජිත සේනාරත්න සිවිල් කරුණක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වීමට නියමිත බවය.
කිරින්ඳ ධීවර වරාය සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් වන කරුණක් පාදක කරගෙන මෙම විමර්ශනය සිදු කරන බවත්, වැලි ගොවුවා නෞකාව යොදාගෙන කිරින්ද ධීවර වරායෙන් සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු අදාල විදේශීය සමාගම මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවතීන බවත් ඔහු පැවසීය.
එසේ සිවිල් කරුණක් පාදක කරගෙන නඩුවක් පවතින කටයුත්තක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිරපරාදේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින හෙයින් අල්ලස් කොමිසමට නොතීසී නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර රාජිත සේනාරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු දක්වමින් පැවසූවේ, පෙත්සම්කරු හට ඇප දිය නොහැකි වැරදි වන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ හෝ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 111 වන වගන්තිය යටතේ දඬුවම් කළ යුතු දූෂණය යන වරද යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අදහසින් කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 18 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කළාය.










