සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති. පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබිණ. එහෙත් සහල් හිඟයක් මවා පෑමට දරණ උත්සාහයට ඉඩ දිය යුතු නැතැයි ගොවීහු පවසති.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගොවීහු මේ ඉල්ලීම කළහ.
විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිතුමා ගොවීන් සමග කියා සිටියේය. ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.
මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ද පොළොන්නරුව ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. රැකියා ප්‍රශ්න මෙන්ම වන අලි තර්ජනය ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණපා ඇති ගැටළුවකි. ඊට විසඳුම් දීමට පියවර ගන්නා ලෙස ද ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ අපේක්ෂක ජගත් සමරවික්‍රම මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
පොදුජන පෙරමුණේ අපේක්ෂක ජයසිංහ බණ්ඩා මහතා මහියංගනය, පොළොන්නරුව මාර්ගයේ කලුකැලේ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය.
මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපතිතුමාට ප්‍රදේශයේ මහා සංඝරත්නය යෝජනාවලියක් භාර දුන්හ. ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ. ප්‍රතිභා ශාලාව ඉදිරිපිටට රැස්ව සිටී ගුරුවරු පිරිසක් ජනාධිපතිතුමා හමු වූ අතර ඔවුහු ද යෝජනාවලියක් භාර දුන්හ. හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා කදුරුවෙල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා අද දහවල් සහභාගී විය. ප්‍රදේශයේ ඇති වැව් පිළිසකර කර දෙන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. බිත්තර වී සහ පොහොර ගැටළුව පිළිබඳව ද ඔව්හු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.
ගල්වල හන්දිය, තඹාල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා කතා බහක නිරත විය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධාන කළ ජනහමුවක් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට අද දහවල් පැවැත්විණ. එම අවස්ථාවට ද එක් වූ ජනාධිපතිතුමා රැස්ව සීටී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තොරතුරු විමසා සිටියේය.










