මාලිමා ආණ්ඩුව බලයට පත්වෙන්නේ අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක. මාලිමාවේ කට්ටියට මොන සුදුසුකම් නැතත්, මොන දුර්වලතා තිබුණත් ඒ අය හොරු අල්ලයි, හොරකම් නොකරයි කියන විශ්වාසය මිනිස්සුන්ට තිබුණා. මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච ගමන්ම විවිධාකාරයේ හොරුන්ව තක්කඩින්ව අල්ලන්න පටන් අරගැනීමත් එක්ක ඒ බලාපොරොත්තු වඩා වැඩිවෙන්න පටන් අරගත්තා. මාලිමාවට ලැබුණේ නොසිතූ විරූ ජයක්. ජනාධිපතිවරයා බවට අනුර කුමාර දිසානායක මහත්තයා පත්වෙලා, ඉන් පස්සේ තිබුණු මහ ඡන්දයෙන් ඉතාම විශිෂ්ට ජයක් ලබාගන්න මාලිමා ආණ්ඩුවට පුළුවන් වුණා. තුනෙන් දෙකටත් වඩා වැඩි බලයක් ඔවුන්ට ලැබුණා. ඒ ලැබුණු බලය ඇතුළේ ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට පත්වෙච්ච අයගෙන් 99%කටම චෝදනා තිබුණේ නෑ. ඒ නිසා ඔවුන් ගැන විශාල විශ්වාසයක් අපේ රටේ මිනිස්සුන්ට ගොඩනැගුණා.
අද වෙනකොටත් වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ අය දේශපාලනය කළත් චෝදනා එල්ල වෙලා තියෙන්නේ කීප දෙනෙක්ට විතරයි. විවිධ හොරකම් සහ විවිධ තක්කඩිකම්වලින් නාමික වශයෙන් පස්හය දෙනෙක්ව වෙන් කරලා ඉවත් කරගත්තත් මාලිමා ආණ්ඩුව එහෙමට නරක නෑ. Sri Lanka Latest News
මාලිමා ආණ්ඩුව පහුගිය කාලේ ගත්ත විශිෂ්ටතම තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි ශානි අබේසේකර සම්බන්ධ තීරණය. අනෙක රංග දිසානායක සම්බන්ධ තීරණය. ශානි අබේසේකරව ඉස්සර හැඳින්වූවේ රහස් පොලිසියේ හිටපු ෂර්ලොක් හෝම්ස් කියලා. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රහස් පොලිස් ප්‍රධානියෙක් විදිහට ඔහුට පුළුවන්කම තිබුණා මහ හොරු විශාල ප්‍රමාණයක් අල්ලන්න. මේ වෙනකොටත් ශානි අබේසේකරට නිවැරදිව අවශ්‍ය තනතුර ලබාදීලා තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒ වගේම ඔහු තමාගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරන බවත් අපිට පෙනෙන්න තියෙනවා.
ශානි අබේසේකරට පහුගිය කාලයේ විවිධාකාරව හැලහැප්පීම් සහිත ජීවිතයක් ගතකරන්න සිද්ධ වුණා. ඔහුට හිරේ යන්න පවා සිද්ධ වුණා. නමුත් ශානි අබේසේකර කියන්නේ නරක මිනිහෙක් නෙමෙයි කියලා කවුරුත් දන්නවා. ජීවිත තර්ජන, අනපේක්ෂිත බන්ධනාගාරගතවීම් ඇතුළු විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට ඔහු මුහුණ දුන්නත්, අලුත් රජය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරකට ඔහු ආවා.
දැන් බුද්ධි විශ්ලේෂණය සහ විමර්ශන මෙහෙයවීමට ඔහුට ලැබුණු මේ රාජකාරිය, 2004 ඔක්තෝබර් 10 වැනිදා පැවැති කොමිෂන් සභා සැසිවාරයේදී තමයි නිවැරදිව පත්වීම අනුමැතිය ලැබුණේ. අපිට මතකයි ශානි අබේසේකරට මීට කලින් මාස 10ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වෙන්න සිද්ධ වුණා. ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන අපි කලින් වතාවේ අහලා තියෙනවා. නමුත් දැන් ශානි අබේසේකරට ලැබිලා තියෙනවා අවස්ථාව නිදහසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම් කටයුතු කරමින් අවශ්‍ය නිසි කටයුතු ටික කරගෙන යන්න. ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් ලංකාවේ මේ වෙනකොට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩිතැබීම වැනි විමර්ශන, රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය වගේ ඒවා ඔහු යටතේ සිද්ධ වුණාය කියලා අපිට අහන්න ලැබිලා තියෙනවා. ඔහු තමයි ඒ පරීක්ෂණ මෙහෙයවපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා. ඉතින් දැන් ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා ආයෙත් වැඩ පෙන්නන්න.
නමුත් ශානිගෙ පත්වීම අතිශය ගැටලුකාරියි කියලා සමහරු කියලා තිබුණට, ඇත්තටම ශානි කියලා කියන්නේ ලංකාවේ හොඳ පොලිස් නිලධාරියෙක් සහ ශානිට දැන් වගකීමක් තිබෙනවා රට වෙනුවෙන් අලුත් වැඩ ටිකක් පෙන්නන්න. මොකද මේක අලුත් බලාපොරොත්තුවක් බව තමයි අපිට හිතෙන්නේ.
මහාධිකරණ විනිසුරු රංග දිසානායක සම්බන්ධවත් අපිට කියන්න තියෙන්නේ මේ කතාවම තමයි. රංග දිසානායක මහත්තයා අලුත් තනතුරකට පත්වුණා. ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට. ඔහු විනිසුරුවරයෙක් විදිහටත් ඉතාම ආන්දෝලනාත්මක තීන්දු දීලා, කිසිම අසාධාරණයක් හෝ දූෂණ චෝදනාවක් රහිතව වැඩ කරන්න පුළුවන් වෙච්ච විශිෂ්ටතමයෙක්.
ඔහු ගැන ඇත්තටම මේ වසර ගණනක් තිස්සේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කරලත් පක්ෂපාතී වුණා කියලාවත් අහන්න අපිට ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා මොහු සම්බන්ධව තියෙන්නෙත් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු විශිෂ්ටතමයෙක් පිළිබඳ තියෙන හැඟීම. ඒ නිසා දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේ පුද්ගලයාගෙනුත් රටට, මහජනතාවට අවශ්‍ය කරන සේවය ඉතා ඉහළින් ඉටුවේවි කියලා. අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තනතුරු දෙකම රටේ වාසනාවට සිදුවුණු තනතුරු, නැත්නම් රටේ වාසනාවට කරන ලද පත්වීම් විදිහට අපට විශ්වාස කරන්න පුළුවන්.
දැන් ඔහු අලුතින් වැඩ පටන් අරගෙන තියෙනවා, වැඩ අල්ලලා තියෙනවා. මේ වෙනකොටත් හොරු අහුවෙමින් යනවා, චෝදනාලාභීන්ට විරුද්ධව නිසි පියවර ගනිමින් ඉන්නවා. අල්ලස හා දූෂණ සම්බන්ධව නම් අපේ රටේ තියෙන්නේ විශිෂ්ටතම වැඩපිළිවෙළක් කියලා අපිට කියන්න පුළුවන්. කිසිසේත්ම අල්ලස හෝ දූෂණයන්ට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැති බවක් තමයි පේන්න තියෙන්නේ.
පුංචි අල්ලස් දුන්නු මිනිස්සු පවා අත්අඩංගුවට ගනිමින් තියෙනවා. අපේ රට අල්ලස් හා දූෂණ මතම දුවන රටක් බව තමයි ලෝකය පවා පිළිඅරගන්නේ. අපේ රටේ සුපිරි වෙළෙඳසලකට ගිහිල්ලා බඩු ටික ගන්නත් දැනහැඳුනුම්කමක් තියෙන්න ඕනේ මට්ටමක් අපි අපේ රටේ දකිනවා. වෛද්‍යවරයෙක් ගාවට ගියාම, වෙනත් කටයුත්තක් කරගන්න ගියාම, ආයතනයකට ගියාම, රජයේ ආයතනයකට ගියාම, ඉස්කෝලෙකට ගියාම, සමහර වෙලාවට වෙහෙර විහාරස්ථාන, පල්ලි, පන්සල්, කෝවිල්වලට ගියාම පවා මේ දැනහැඳුනුම්කමක් නැත්නම් හිතවත්කමක් නැත්නම් වැඩකරගන්න බැරි තැනකට පත්වෙලා තියෙන තත්ත්වයක් යටතේ රංග දිසානායක වගේ විශිෂ්ට නිලධාරියෙක්ට පුළුවන්කම තියෙනවා මේ තත්ත්වයෙන් රට මුදාගෙන, රට, රටක් විදිහට යළි පවත්වාගෙන යන්න උදව් කරන්න. ඒ නිසා අපි ශානි අබේසේකර මහත්තයාටත්, රංග දිසානායක මහත්තයාටත් දෙන්නටම මේ මොහොතේ ඔබේ පත්වීම් ගැන සුබ පතනවා. පත් වුණේ අද නොවුණාට දැන් ඔබ වැඩ පටන් අරන් තියෙන නිසා අපිට හරි සතුටුයි. අපි රටක් විදිහට බලාපොරොත්තු වුණේ ඔබ වැනි අය. ‘මව්රට’ පත්තරය විදිහට අපි ඔබට කියන්නේ ඔබ දෙපළ විශිෂ්ට නිලධාරීන් දෙදෙනෙක්. ඔබ දෙදෙනාට තියෙනවා රාජකාරියක් නොපිරිහෙළා ඉටුකරන්නට වගකීමක්. අපි බලාගෙන ඉන්නවා විශ්වාසයෙන් ඔබ දෙස. මහත්වරුනි, ඔබලා මහත්වරු බව අපි දන්නවා. ඒ නිසා ‘මහත් හොරු’ ඉන්න රටකට, මහත්වරු පත්වීම ගැන අපි ආඩම්බරයි.
ඉතින් මහත්වරුනි, අපි මේ රට ඇත්තටම මහත්වරුන්ගේ රටක් බවට පත්කරමු.

ජීවන පහන් තිළිණ










