මරදන්කඩවල යකඩයා 1940 ගණන්වල අනුරාධපුරයේ බැංකු හොරකමකට කලින් අච්චු ලබා තිබේ. බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව සිරකරුවන් ඇවිස්සීම, සිරගෙයින් පලායාමට උත්සාහ කිරීම සහ සිරගෙයින් පැනයාම වැනි චෝදනා ඔහුට තිබී ඇත.
1955 ජූලි 11 දින යකඩ අලවංගුවකින් මරදන්කඩවල තැපැල් ස්ථානයේ ඉදිරිපස ජනේලය කඩා මුදල් සොරාගැනීමට තැත්කළ විට එහි තැපැල් ස්ථානාධිපති ටී. තම්බයියා මහතා පොලිසියට දුරකතන ඇමතුමක් ගැනීමට පෙර ඔහුට වෙඩිතබා මරාදැමීම යකඩයාට තිබූ මිනීමැරීම් චෝදනාවයි. ස්ථානාධිපති ඝාතනය කර රුපියල් 364.24ක මුදල්ද, රුපියල් 3842.50 වටිනා ඉතිරිකිරීමේ සහතික (Savings Certificates) සහ රුපියල් 831.26ක් වටිනා මුද්දර රැගෙන පලාගොස් තිබේ. කැකිරාවේ වනලැහැබක බයිසිකලයක්, ඉතිරි කිරීමේ සහතික, හිස් මුද්දර ඇල්බම් එක, රජයේ මුදි්‍රත ලිපි කවර, පැන්සල් යනාදිය දමාගොස් තිබී පොලිසිය සොයාගෙන ඇත.
මොහු ඇල්ලීම සඳහා පොලිසියෙන් විශාල මිනිස් දඩයමක් (Manhunt) මෙහෙයවා ඇත. එහි අවසානය මාතලේ රත්තොට බස් රථය යටවත්ත ප්‍රදේශයේදී පොලිසිය මග රැක සිට නවතා පසුපස අසුනක සිටි යකඩයාව කොටුකර ඇත. යකඩයා සඟවාගෙන සිටි රිවෝල්වරයකින් වෙඩිතැබීමට පෙර අත් අල්ලාගෙන තිබුණත් උරහිසට උඩින් වෙඩි දෙකක් තබා ඇති නමුත් කිසිවකුට වැදීනැත. වහා ඔහුව යටත්කර අත්අඩංගුවට ගෙන ඇත.
යකඩයා සමග ඔහුගේ සහචරයකු වූ විලියම් හෙවත් ජීමී නමැත්තා බසයේ ජනේලයකින් පැනගොස් තිබේ. පැය කිහිපයකට පසු ඔහුවද අත්අඩංගුවට ගෙන ඇත. මාතලේ පොලිස් ස්ථානය වෙත යකඩයාව බැලීමට බොහෝ සෙනඟ පැමිණ ඇත. පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියට යකඩයා සමග සහචරයන් දෙදෙනකු වූ විලියම් හෙවත් ජිම් සහ කපුරුහාමි හෙවත් එංගා යන අය හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකර තිබේ. 1956 ජුනි 15 දා කුරුණෑගල උසාවියේ පැවැති මිනීමැරැම් නඩුවේදී ජූරි සභාව යකඩයාව ඒකමතිකව එල්ලා මැරීමට තීන්දුකර තිබේ. විලියම් සහ කපුරුහාමි දෙදෙනා නිදහස්කොට තිබේ.
මරණ දඬුවම පසුව බරපතළ වැඩ සහිත අවුරුදු 20ක සිරගතවීමක් දක්වා ලිහිල් කර ඇත. යහපත් කල්ක්‍රියාව නිසා අවුරුදු 14න් ජිනදාසව (යකඩයා) නිදහස් කර තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ එකල සහකාර පොලිස් අධිකාරී ජැක් වෑන් සැන්ඩන් උපපොලිස් පරීක්ෂක ඩබ්.එච්.බී ඇන්ඩෲස්, සාජන්ට් ඩී හූට් ඇතුළු පොලිස් නිලධාරී මහතුන් යටතේ මෙහෙයුම කර තිබේ. එකල අගමැති සර් ජෝන් කොතලාවල මහතා සහ ලකිසුරු සර් ඔලිවර් ගුණතිලක මහතුන් මෙම මෙහෙයුම සිදුකළ පොලිස් නිලධාරීන් මහනුවර ලකිසුරැ මැඳුරේදී අතට අතදී ජීවිතය පරදුවට තබා කළ සේවය අගය කර තිබේ. තෑගි කිසිවක් ලබාදී නොමැත.
මෙම තොරතුරු මා උපුටා ගත්තේ ඩබ්.එච්.බී ඇන්ඩෲස් මහතාගේ පුත් එංගලන්තයේ වෙසෙන කැමිලස් ඇන්ඩෲස් මහතා සන්ඩේ ටයිම්ස් පත්‍රයට ලබාදුන් තොරතුරු මත සැකසුණු ලිපියකිනි.






එරික් පෙරේරා
(ඡායාරූපවල ගෞරවය මුල් හිමිකරුවන්ට හිමිවේ)










