පළාත් පාලන මැතිවරණය අවසන්වී මහජන නියෝජිතයන් පත් වන තුරු මහනුවර නගරයේ ප්‍රධාන වීදි වල රථ වාහන නැවැත්වීමේ ටෙන්ඩරය ලබාදීම ප්‍රමාද කරන ලෙස වගකිව යුතු පිරිස් දන්වා තිබියදී ඊට ඇහුන්කන් නොදී මහනුවර මහ නගර සභාව අදාල ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ වන විට නගරයේ රථවාහන නැවැත්වීමේ කටයුතු ගාස්තු අයකිරීම් අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව පාර්ශව රැසකින් චෝදනා එල්ල වේ.Sri Lanka Latest News
අදාල ටෙන්ඩරය ලබාගත් සමාගම සම්බන්ධයෙන් මේ වන විට මහනුවර වෙළඳ ප්‍රජාව පාරිභෝගික ජනතාවගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතින අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මීට පෙර එම ටෙන්ඩරය හිමිකර ගෙන පහසුකම් සැපයූ සමාගම පාරිභෝගිකයන් වෙත ලබාදී තිබූ සහන රැසක් වත්මන් සමාගම විසින් පාරිභෝගික ජනතාවට ලබා නොදීම බවයි අදාල පාර්ශව චෝදනා කරන්නේ.
2025 මාර්තු මාසය දක්වා අදාල පහසුකම් සැපයූ ආයතනය නගරයේ වාහනයක් නවතා තැබීමේ දී පාරිභෝගිකයන් පැත්තෙන් සිතා පළමු විනාඩි දහයක කාලය ගාස්තු වලින් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණාද වත්මන් ආයතනය පළමු විනාඩියේ සිටම ගාස්තු අය කිරීමට පියවර ගැනීම පාරිභෝගික ජනතාවට මෙන්ම වෙළද ප්‍රජාවද නොසන්සුන් තත්ත්වයට පත් කර ඇති බවත් මේ හේතුවෙන් දිනෙන් දින සිය සේවා අවශ්‍යතා සපුරා ගැනීම සදහා මහනුවර නගරයට පැමිණෙන පාරිභෝගික ජනතාව විකල්ප නාගරික ස්ථාන වෙත යොමු වන බවද ඔවුන් පෙන්වා දෙති.
මේ වන විට හෙළිවී ඇති තහවුරු කර ගත් තොරතුරු අනුව වාහන නැවැතුම් පහසුකම් සපයන වර්තමාන සමාගම කෝටි ගණනක දැරිය නොහැකි මිළකට ටෙන්ඩරය හිමි කර ගෙන ඇති අතර එහි සමස්ත පිරිවැය බර නගරයට පැමිණෙන පාරිභෝගිකයන් මත පැටවීම මෙසේ අධික මිළක් අය කිරීමට හේතුව බවයි මෙම ප්‍රශ්ණයට දිනපතා මුහුණ දෙන අදාල එම පාර්ශවයන් පවසන්නේ.
මහනුවර වෙළඳ ප්‍රජාව පාරිභෝගික සංවිධාන හා සිවිල් සංවිධාන රැසකින් මෙම ගැටලුවට කඩිනමින් ස්ථිර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා පුළුල් හඬක් නගමින් සිටින රජයේ වගකිව යුතු අංශ වෙත මේ වන විට කරුණු ඉදිරිපත් කර ඇත.මේ වන මහනුවර මහ නගර සභාවේ පුරපති වරයා ලෙස චන්ද්‍රසිරි විජේනායක (මාලිමාව) මහතා කටයුතු කරන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වේ.එවන් වාතාවරණයක් තුල මහජන අදහස් සමඟ නගරයට වඩාත් උචිත කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හොදින් හැකියාව තිබියදී කොමසාරිස් පාලනය යටතේ නගර සභාව පාලනය වූ වකවානුවක ගනු ලැබූ මෙම ටෙන්ඩර් පරිපාටිය ක්‍රියාත්මක කිරීම මහනුවර රථ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට මතුවී ඇති අර්බුදයට හේතුව බව අදාල පාර්ශව වැඩිදුරටත් පෙන්වා දෙති .
උපුටා ගැනීම:
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා.
ආණ්ඩුකාරවර කාර්යාලය
මහනුවර.
2026.07.01
මහනුවර නගරයේ වීදි වල රථ වාහන නැවැත්වීම සඳහා අය කරන ගාස්තු අසාධාරණ ලෙස ඉහළ නැංවීම.
මහනුවර නගරයෙහි වීදිවල වාහන නැවැත්වීමේදී මීට පෙර අනෙකුත් බොහෝ නගරවල මෙන් පළමු විනාඩි දහය සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරන ලදී.එසේම දෙවන පැයේ ද පළවෙනි විනාඩිදහය සඳහා මුදල් අය කිරීමක් නොවීය.
2)නමුත් මීට මාස කිහිපයකට පෙර සිට, (මහ නගර සභාව විසුරුවා හැර තිබූ කාලයේ) වාහන නැවතුම් සඳහා අය කරන ගාස්තු කිසිදු පදනමකින් තොරව ඉතා විශාල ලෙස ඉහළ නංවා ඇති අතර එක විනාඩියක් හෝ නවතා තැබුවහොත් සම්පූර්ණ පැයක මුදල අය කිරීමට කටයුතු යොදා ඇත.
3) මහනුවර නගරය සම්පූර්ණයෙන්ම පාහේ වෙළඳ ව්‍යාපාරික ස්ථානවලින් පිරී පවතින අතර වීදි වල වාහන නවත්වන්නේ එම ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන පාරිභෝගිකයන් විසිනි.
4)මහනුවර නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් වරිපනම් බදු, වෙළඳ බදු, බලපත්‍ර ගාස්තු සහ වෙනත් සේවා ගාස්තු වශයෙන් විශාල මුදලක් නගර සභාව වෙත ගෙවනු ලැබේ. එසේ එම බදු මුදල් ගෙවන්නේ පාරිභෝගිකයන් වෙත සිය භාණ්ඩ හා සේවා අලෙවි කිරීම මගිනි.
5) ඒ අනුව සිය පාරිභෝගිකයන් තම ආයතනය වෙත පැමිණීමේදී ඔවුන්ගේ වාහන නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සැපයීම තමන්ගෙන් අය කරගන්නා බදු වලට ප්‍රතිලාභයක් ලෙස මහ නගර සභාව විසින් සැපයිය යුතුවේ.එසේ නොමැතිව ව්‍යාපාරික ප්‍රජාවගෙන් බදු ලබා ගන්නා අතරම ඔවුන්ගේ භාණ්ඩ සහ සේවා ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන්ද ගාස්තු අය කිරීම සාධාරණ නොවේ.
6) ඉතා සුළු මොහොතකට වාහන නැවතීමේදී පවා සැලකිය යුතු මුදලක් මෙලෙසින් අය කිරීම මගින් සුළු වශයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් (උදාහරණ පාන් ගෙඩියක් මිලදී ගැනීම) විශාල පිරිසක් මේ වන විට පෙර ගනුදෙනු කළ නගරයේ ව්‍යාපාරික ස්ථානවලට පැමිණීමෙන් වැළකීමට හේතු වී ඇත.
7) වීදි වල වාහන නැවතුම් සඳහා මුදල් අය කිරීම පිණිස අනු නීති පැනවීමට මහ නගර සභා ආඥා පනත යටතේ මහ නගර සභාවට බලය ඇති නමුත් එය සිදුකළ යුත්තේ නගර සභා බල ප්‍රදේශය ඇතුළත වාහන නවතා තැබීම පාලනය කිරීම සඳහා බව ආඥා පනතේ 272 (32) හි දක්වා ඇත.
8) නමුත් මේ පරමාර්ථයෙන් ඉවත්ව එය නගර සභාවට නිශ්චිත ආදායමක් ලබාගැනීමටත් එහි ටෙන්ඩරය ලබා ගන්නා ව්‍යාපාරිකයාට අසීමිතව ආදායමක් ලබා ගැනීමටත් හැකිවන ආකාරයට නගර සභාව විසින් කටයුතු කර ඇත.
9) ඒ අනුව වර්තමාන ටෙන්ඩර් හිමිකරු නාගරික කොමසාරිස් නමින් ලදූපත් නිකුත් කරමින් අසාධාරණ ලෙස මහජනතාව පීඩාවකට පත් කරමින් මුදල් ඉපයීම සිදුකරයි.
10) පෙර පැවැති පළමු පැයට කාර් සහ වෑන් රථ සඳහා 50 ක් ව පැවති ගාස්තුව එකවරම රුපියල් 80 දක්වා ඉහළ දැමීම සඳහා මහ නගර සභාවට ඉහළ ගිය පිරිවැය කුමක්ද යන්න පැහැදිලි නැත.නමුත් නාගරික කොමසාරිස්වරිය ජාතික පුවත්පතකට පවසා ඇත්තේ මධ්‍යම රජයෙන් නගර සභාවට. ලබා දෙන ප්‍රතිපාදන අඩු කිරීම හේතුවෙන් තමන් වාහන නැවැත්වීමේ ගාස්තු ඉහළ දැමූ බවයි.
මේ කිසිසේත්ම සාධාරණ හේතුවක් නොවන බව පැහැදිලිය.මධ්‍යම රජයෙන් සපයන ප්‍රතිපාදන අඩුකර ඇත්නම් ඒ සඳහා මධ්‍යම රජයත් සමඟ සාකච්ඡා කරනු මිස ඒ බර ඒ ආකාරයෙන්ම වීදි වල වාහන නවත්වන ජනතාව මත පැටවීම අසාධාරණය.එම ප්‍රකාශයෙන් වක්‍රව ගම්‍ය වන්නේ මෙම අත්තනෝමතික ගාස්තු ඉහල දැමීම සඳහා වගකිවයුතු වන්නේ මධ්‍යම රජය බවයි.එමගින් මධ්‍යම රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය ඇතිවේ.
11) අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගෙන ඇති පොදු භාර සිද්ධාන්තය අනුව නාගරික වීදි ඇතුළු නගර සභාව සතු සම්පත්වල අයිතිකරුවන් නගර සභාව නොව මහජනතාවයි.නගර සභාව යනු එහි භාරකරු පමණි. එබැවින් ඔවුන් විසින් එම සම්පත් යොදාගත යුතු වන්නේ මහජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි පමණක් මිස තමන්ට සහ ව්‍යාපාරිකයන්ට ලාභ අත්වන පරිදි මහජනතාව පීඩාවට පත් කරමින් නොවන බව පැහැදිලිය.
12) උක්ත කරුණු පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කොට පාරිභෝගික ජනතාවටත් ව්‍යාපාරික ප්‍රජාවටත් පොදුවේ මහජනතාවටත් සාධාරණ ආකාරයෙන් පොදු භාර සිද්ධාන්තයටද ගරු කරමින්
(අ ) වර්තමානයේ අත්තනෝමතිකව සහ අසාධාරණව ඉහල නංවා ඇති වාහන නැවතුම් ගාස්තු වහාම අඩු කිරීමට පියවර ගන්නා ලෙසත්.
(ආ ) පෙර පැවති ආකාරයටම පළමු පැය සහ දෙවැනි පැයේ මුල් විනාඩි දහය හෝ පහළව සඳහා මුදල් අය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
මේ සඳහා ඔබගේ යහපත් ප්‍රතිචාරය කඩිනමින් යොමු කරනු ඇති බවට විශ්වාස කරමු.
ස්තුතියි.
මහනුවර වෙළඳ ප්‍රජාව
මහනුවර නාගරික පාරිභෝගික ප්‍රජාව
මහනුවර නගරවාසීන්.
සරත් සමරනායක









