තව සති දෙකකින් තීරණාත්මක තීරණයක්!
මූල්‍ය අරමුදල කොන්දේසි තද කරයි!
ටිල්වින්ට චීනයෙන් කොන්දේසි!
ට්‍රම්ප්ගේ දින 90 ඉවරයි!
පසුගිය අප්‍රේල් 03 වැනිදා මුළු ලෝකයම කලඹවාලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සියලු රටවලට බලපාන පරිදි දැවැන්ත තීරුබදු ඉහළ නැංවීමක් ප්‍රකාශයට පත් කළේය. එහිදී ඇතැම් රටවලට 100%ක් ඉක්මවා යන පරිදි තීරුබදු ප්‍රතිශතයන් ඉහළ නංවා තිබූ ට්‍රම්ප් ලංකාවටද 44%ක තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට පියවර ගෙන තිබිණි. මේ දක්වා ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන බොහෝ භාණ්ඩවලට ඇමෙරිකාව කිසිදු බද්දක් අය නොකර තිබූ අතර, ඉතා විශාල වශයෙන් එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලට සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් 17%ක තීරු බද්දක් පනවා තිබිණි. නමුත් ට්‍රම්ප්ගේ නව බද්දත් සමග ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන සියලු භාණ්ඩවලට 44%ක බද්දක් නියම වීමට නියමිතව තිබූ අතර, බොහෝ දෙනා පෙන්වා දුන්නේ එවැනි පසුබිමක් යටතේ ලංකාවේ භාණ්ඩවලට කිසිදු ලෙසකින්වත් ඇමෙරිකානු වෙළෙඳපොළේ තරග කිරීමට ඉඩක් නොමැති වනු ඇති බවකි. එසේත් නැතිනම් අදාළ බදු ප්‍රතිශතයත් සමග ලංකාවේ භාණ්ඩවලටද විශාල මිලක් නියම වීම හේතුවෙන් ඇමෙරිකානුවන් මෙරට භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටිනු ඇති බවකි. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් ඉතා විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන අතර, යම් හෙයකින් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වුවහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. ඒ අනුව ප්‍රධාන විපක්ෂය පමණක් නොව ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රධාන ආයතන ප්‍රධානීන් වහාම ආණ්ඩුවට දැනුම් දී සිටියේ හැකි ඉක්මනින් ඇමෙරිකාව සමග සාකච්ඡා කර මේ තත්ත්වය වෙනස් කරගැනීමට පියවර ගන්නා ලෙසය.Sri Lanka Latest News
මේ ආකාරයට ට්‍රම්ප් විසින් තීරුබදු පැනවීමට ප්‍රථම ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය මේ සම්බන්ධයෙන් ඊට මාස දෙකකට පෙර විශේෂ අනාවරණයක් කරමින් පළමු වරට මෙම පුවත රටට අනාවරණ කිරීමට පියවර ගත්තේය. අප කළ අනාවරණයෙන් පසු ඉකුත් මාර්තු මාසයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානයට යොමුකරමින් ට්‍රම්ප් පරිපාලනය මෙරට අපනයනවලට තීරු බද්දක් පැනවීමට නියමිතව ඇති බවත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු නොකරන්නේ නම් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්වීම වැළැක්විය නොහැකි බවත් කියා සිටියේය. ඒ අවස්ථාවේදී නැගී සිටි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා දැනටමත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට ඇති බව කියා සිටියත්, පසුව අනාවරණ වූයේ ආණ්ඩුව ඒ වනතෙක්ම ඊට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවකි.
10%ක බද්දක් වැටෙනවා
කෙසේ වෙතත් පසුව ආණ්ඩුව අවස්ථා දෙකකදීම මෙරට නියෝජිත පිරිස් වොෂින්ටනයට යවා ට්‍රම්ප් පරිපාලනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබිණි. ඒ අතරවාරයේදී ලොව ප්‍රධාන රටවල් රැසක්ම ඇමෙරිකාවට පැමිණ ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කොට මෙසේ පනවා තිබූ තීරුබදු ප්‍රතිශතයන් විශාල වශයෙන් අඩුකර ගැනීමට සමත්ව තිබිණි. උදාහරණයක් වශයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා හදිසි ඇමෙරිකානු සංචාරයක නිරත වූ අතර, 56%ක් ලෙස පනවා තිබූ තීරු බද්ද 26% දක්වා අඩුකර ගැනීමට මෝදිගේ රජය ඒ අනුව සමත්ව තිබිණි.
කෙසේ වෙතත් මෙම බදු ප්‍රතිශතයන්ට ජාත්‍යන්තර වශයෙන් විරෝධය පළවීමත් සමග ට්‍රම්ප් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාස 3ක කාලයක් සඳහා එම බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි. එම කාලවකවානුව තුළ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සියලුම රටවල්වලට හැකියාව ඇති බවද ට්‍රම්ප් පරිපාලනය සඳහන් කොට සිටියේය. ඒ අනුව එම දින 90ක කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මස 05 වැනි දිනය. එසේත් නැතිනම් ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් සති දෙකක කාලයක් පමණි. එසේ නම් මේ වනවිට අදාළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කෙසේද?
දැනගන්නට ඇති ආකාරයට අවසන් සාකච්ඡාවේදී ඇමෙරිකාව පැත්තෙන් දැනුම් දී ඇත්තේ 44%ක බද්ද 10%ක් දක්වා අවම කිරීමට හැකියාව ඇති බවකි. නමුත් දැනට භාණ්ඩ මත යම් බදු ප්‍රතිශතයක් පනවා ඇත්නම් ඊට මෙම නව බද්දද එකතු වන බව ඇමෙරිකාව පැත්තෙන් දැනුම් දී ඇති බව ආරංචිය. උදාහරණයක් ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලට සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ඇමෙරිකාව 17%ක බද්දක් පනවා ඇති අතර, නව බද්ද සමග එය 27% දක්වා ඉහළ නැංවීමට නියමිතය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් ලබාදී ඇති යෝජනාවලියෙන් කියැවී ඇත්තේ මෙම 10%ක බද්ද තවත් අඩුකිරීමට පියවර ගන්නා ලෙසය. එමෙන්ම දෙරට අතර ආනයන අපනයන වෙළෙඳ ශේෂය අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඇමෙරිකාව පැත්තෙන් එම යෝජනාවන් ප්‍රායෝගිකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ආරංචිය.
කෙසේ වෙතත් ලංකාවෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එරටින් ලැබෙන තොරතුරුවලින් කියැවේ. නමුත් කුමන තත්ත්වයක් යටතේ හෝ ඉදිරි සති දෙක ඇතුළත මෙම තීරුබදු ලංකාවට හිතකර ලෙස පහත දමාගැනීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එය මෙරට ප්‍රධාන අපනයන ආදායම ලෙස සැලකෙන ඇඟලුම් කර්මාන්තයට මරුපහරක් වීමට නියමිත බව අමුතුවෙන් කිවයුතු නැත. දැනටමත් ඇඟලුම් මත 17%ක බද්දක් පනවා ඇති පසුබිමක ඇඟලුම් කම්හල් හිමියන් ප්‍රකාශ කරන්නේ ඊට තවත් 10%ක තීරු බද්දක් එකතු වුවහොත් මෙම කර්මාන්තය කිසිසේත්ම තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි පසුබිමක් මතුවනු ඇතැයි කියාය.
4 වැනි වාරිකය තාම නෑ
ඒ අතරවාරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ (ත්‍ෘඵෘ) ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඉරිදා (15) දිනයේදී ලංකාවට පැමිණීමට නියමිතය. ඇගේ ලංකා ගමනේ විශේෂත්වය වන්නේ වසර 20කට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළම නියෝජිතයකු ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වීමය. සාමාන්‍යයෙන් ගීතා ගෝපිනාත් සැලකෙන්නේ දැඩි තීන්දු තීරණ මත පිහිටා කටයුතු කරන නිලධාරිනියක් ලෙසය. ඒ අනුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වැනි වාරිකය ලංකාවට නිදහස් කර නොමැති පසුබිමක මෙවර සිදුකෙරෙන ගීතා ගෝපිනාත්ගේ ගමන ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ අදහස වී තිබේ.
මූල්‍ය අරමුදලේ 4 වැනි වාරිකය ලංකාවට ලබාගැනීම සඳහා ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ කාර්යමණ්ඩල ගිවිසුමට අස්සන් තැබීමටද දෙපාර්ශ්වය කටයුතු කොට තිබිණි. නමුත් තවමත් ලංකා ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුමේ ඇති කොන්දේසි නිසි අයුරින් ඉටුකර නොතිබීම හේතුවෙන් 4 වැනි වාරිකය ලබාදීම ප්‍රමාද කිරීමට මූල්‍ය අරමුදල පියවර ගෙන තිබිණි. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී මූල්‍ය අරමුදල ලංකාවට දැනුම් දී තිබුණේ මේ වනවිට ඉතා විශාල වශයෙන් පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ පාඩුව අවම කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම විදුලි බිල 33%ක ප්‍රතිශතයකින් වැඩිවිය යුතු බවත්, එසේ නොකරන තාක් මූල්‍ය අරමුදලේ 4 වැනි වාරිකය ලංකාවට නිදහස් කළ නොහැකි බවත්ය. ඒ අනුව මූල්‍ය අරමුදලේ මෙම දැනුම් දීම මත මේ දක්වා මාස 4ක කාලයක් 4 වැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද කොට තිබෙන අතර, එය මගහරවා ගැනීම සඳහා ආණ්ඩුව පසුගිය සතියේ 15%කින් විදුලි බිල ඉහළ නැංවීමට පියවර ගෙන තිබිණි. නමුත් මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී ඇත්තේ එම ඉහළ නැංවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් 18.5%කින් හෝ විදුලි බිල ඉහළ නැංවිය යුතු බවත්ය. මේ පසුබිම යටතේ ඉරිදා දිනයේ ලංකාවට පැමිණෙන මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත්ගේ ලංකා සංචාරය ඉතා තීරණාත්මක බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මීට අමතරව 4 වැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි 01 වැනිදා රැස්වීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් තවමත් එම දිනය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට මූල්‍ය අරමුදල පැමිණ නොමැති බව දැනගන්නට තිබේ. මූල්‍ය අරමුදල දැනුම් දී තිබූ ආකාරයට විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු නොකිරීම ඇතුළු තවත් කොන්දේසි ගණනාවක් ආණ්ඩුව මේ දක්වාම ඉටුකර නොමැති වීම හේතුවෙන් අදාළ රැස්වීමට ප්‍රථම එම කොන්දේසි ඉටුකරන ලෙසට විශාල බලපෑමක් මේ වනවිට මූල්‍ය අරමුදල පැත්තෙන් ආණ්ඩුවට එල්ල වෙමින් පවතින බවක්ද ආරංචිය.
අනුරට ආ විරෝධය
.jpeg)
.jpeg)
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ ජවිපෙ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාත්, ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින් සිල්වා මහතාත් එකවර විදේශගත වීම විශේෂ සිදුවීමක් විය. ජනාධිපතිවරයා ගියේ ජර්මනියෙන් ලැබුණු ආරාධනාවකට අනුව ජර්මානු නිල සංචාරයකටය. ටිල්වින් ගියේ චීනයෙන් ලැබුණු ආරාධනාවකට අනුව චීන සංචාරයකටය. මෙහිදී මේ සංචාර දෙකේදීම මාධ්‍යයට වාර්තා නොවුණු විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගත හැකි විය.
ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය ආරම්භ වන විටදීම විපක්ෂ නියෝජිතයන් වූ මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කර සිටි කරුණක් වූයේ මෙම සංචාරයේදී ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන කොටි නායකයකු වූ නෙදියවන් හමුවීමට නියමිතව ඇති බවත්, අවම වශයෙන් ජනාධිපතිවරයාට ජර්මන් චාන්සලර්වරයා හෝ ජර්මන් විදේශ අමාත්‍යවරයා හමුවීමට හෝ අවස්ථාවක් ලැබී නොමැති බවත්ය. නමුත් ජනාධිපතිවරයා රටින් බැහැරව යෑමට ප්‍රථම ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ පැහැදිලිවම ජර්මානු චාන්සලර්වරයා ඇතුළු ජර්මානු රජයේ ඉහළ පෙළ නිලධාරීන් හමුවීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ගම්මන්පිල කළ එක් ප්‍රකාශයක් බොරුවක් කරමින් ජනාධිපතිවරයා ජර්මානු විදේශ අමාත්‍යවරයා මුණගැසි සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරය ලියන සිකුරාදා සවස් වරුව වනවිටත් ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සලර්වරයා අතර හමුවක් සිදුව නොතිබිණි. එමෙන්ම නෙදියවන් හමුවූ බවක් හෝ මාධ්‍ය වාර්තා කොට නොතිබිණි.
මේ අතරවාරයේ ජනාධිපතිවරයා ජර්මනියට සම්ප්‍රාප්ත වූ දිනට පසු දින එනම් පසුගිය 12 වැනිදා (බ්‍රහස්පතින්දා) දෙමල ඩයස්පෝරාව නියෝජනය කරන පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව බර්ලිනයේදී විරෝධතාවක්ද පැවැත්වීමට කටයුතු කොට තිබිණි. එදින ජනාධිපතිවරයා බෙල්වීව් මන්දිරයේදී ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙන්මයර් මුණගැසී සාකච්ඡා පවත්වමින් තිබියදී එම මන්දිරය ඉදිරිපිටට රැස්වූ පිරිසක්, 2009 වසරේදී ශ්‍රී ලංකාවේ මුල්ලිවෙල්ල වෛක්කාල්වල සිදුවූ බව කියන සමූල ඝාතනයට එරෙහිව විරෝධතා පුවරු ඔසවා විරෝධය දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයාට බෙල්විව් මන්දිර භූමියේදී රාජ්‍ය ගෞරවය හිමිවෙද්දී පවා මෙම විරෝධතාකරුවන් කෑගසමින් ජනාධිපතිවරයාට විරෝධය පළකර සිටීමය.
ෆොටෝ හුටපටයක්
මේ අතර, ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ගත් ඡායාරූපයක් සම්බන්ධයෙන්ද පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් මතුවිය. ඒ, කිසියම් පාර්ශ්වයක් විසින් ජනාධිපතිවරයා සහ ජර්මානු ජනාධිපතිවරයා සිටින ඡායාරූපය කිසියම් සංස්කරණයකට ලක්කොට මෙරට මාධ්‍යවල පළකිරීම හේතුකොට ගෙනය. ඒ අනුව අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලවල ශීඝ්‍රයෙන් සංසරණය වෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ ඡායාරූපය පළකළ වෙබ් මාධ්‍යවේදියකුට ලිපියක් යොමුකරමින් විමසා තිබුණේ එම ඡායාරූපය කොහෙන් ලැබුණු එකක්දැයි කියාය. එමෙන්ම එය සංස්කරණය කරන ලද එකක් බවත් එහිදී කියැවී තිබිණි. ඒ අනුව වහාම එම මාධ්‍යවේදියා අදාළ ඡායාරූපය ඉවත් කොට තිබූ අතර, එම ඡායාරූපය පළකිරීම සම්බන්ධයෙන් පසුව කනගාටුවද ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි.
මේ අතර ජනාධිපතිවරයා සිය ජර්මානු සංචාරයේදී එරට නියෝජිතයන් සමග ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වටයක නිරත වූ බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. යුරෝපා කොමිසම මගින් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය මේ වසරේදී අවසන් වීමට නියමිත අතර, එය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. එහිදී ඔවුන් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමටද පියවර ගෙන තිබිණි. ජර්මනිය යනු යුරෝපා සංගමයේ ප්‍රබල රටක් වීම හේතුකොට ගෙන ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුරදී ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් එරට නියෝජිතයන් සමග සාකච්ඡා කළ බවක්ද ආරංචිය.
ටිල්වින්ට කොන්දේසි
ජනාධිපතිවරයා මෙසේ ජර්මනියේ සංචාරය කරද්දී ටිල්වින් සිල්වා මහතා මාලිමාවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සමග චීනයේ සංචාරයක නිරත වීමට පසුගිය සතියේ කටයුතු කොට තිබිණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුව චීනය බලා ගිය ටිල්වින් ඇතුළු පිරිස මුලින්ම හජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව පිරිස චින් ප්‍රාදේශිකයේ වූස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයට සහ වෙට් වයිට්ස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට ගොස් තිබිණි. නවීන තාක්ෂණය යොදාගනිමින් වූසු ගම්මානයේ කුණු ප්‍රශ්නය විසඳා ඇති ආකාරය මෙහිදී ටිල්වින් ඇතුළු පිරිසගේ විශේෂ අවධානයක් යොමුව තිබිණි.
කෙසේ වෙතත් මාධ්‍යයට මේ සියල්ල වාර්තා වුණද ටිල්වින්ගේ චීන ගමනේ මාධ්‍යයට වාර්තා නොවුණු කොටසක්ද තිබිණි. ඒ, චීන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එරට පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ලංකාව තවමත් අවසර ලබා නොදීම සම්බන්ධයෙනි. ජනාධිපතිවරයා බලයට පත්වූ පසු සිදුකළ චීන සංචාරයේදී චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට හැකි පරිදි ඊට අදාළ ගිවිසුම් සංශෝධනය කරන බවට පොරොන්දුවක් ලබාදී තිබුණු නමුත් මේ දක්වාම එම පොරොන්දුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉටුකර නොතිබීම සම්බන්ධයෙන් යළි සිහි කැඳවීමක් මෙහිදී චීන බලධාරීන් විසින් ටිල්වින්ට සිදුකොට ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී ටිල්වින් ඒ සම්බන්ධයෙන් ලංකාවට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට චීන බලධාරීන්ට එකඟතාව පළකොට ඇති බවක්ද ආරංචිය.
සජිත් සටන පටන්ගනී
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හදිසියේම පසුගිය පාර්ලිමේන්තු සතියේදී අසනීප වීම නිසා දින කීපයක් යනතුරු නිවෙසට වී දේශපාලන කටයුතුවලින් බැහැරව සිටීමට පියවර ගෙන තිබිණි. බාහිර පුද්ගලයන් කිසිවකුත් හමු නොවී නිවෙසට වී නිහඬව කාලය ගතකරද්දී බොහෝ දෙනා සිතා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන මෙහෙයුම මැද සජිත් සටන අතහැර කැලෑ වැදී ඇතැයි කියාය. එසේත් නොමැති නම් අනුරත් සමග ඩීල් එකක් දමා මාලිමාවට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුවටම පිහිටුවීමට ඉඩ දී නිහඬව සිටිනවා යැයි කියාය. නමුත් අසනීප තත්ත්වයෙන් පසුවී නිවෙසට වී සිටියද සජිත් ආණ්ඩුවට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ මෙහෙයුම අත්හැර තිබුණේ නැත. පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සමග නිරන්තරයෙන්ම දුරකතන සංවාදවල නිරත වෙමින් පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීම පිළිබඳ දීර්ඝ සාකච්ඡා රැසක සජිත් ඒ දිනවල නියුතුව සිටියේය. එම සාකච්ඡාවන්වලදී සියලු සජබ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට කොන්දේසි කීපයක් පැනවීමටද තීන්දු විය. ඉන් එක් කොන්දේසියක් වූයේ බහුතරයක් නොමැති පළාත් පාලන ආයතවල තනතුරු තේරීම සඳහා පළාත් කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භ වූ පසු විවෘත ඡන්දයක් මාර්ගයෙන් තනතුරු තේරිය යුතු බවට යෝජනා ඉදිරිපත් කොට ඡන්දය භාවිත කිරීමය. දෙවැනි කොන්දේසිය වූයේ පක්ෂය මගින් නගරාධිපතිවරයා, උප නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා, උපසභාපතිවරයා තෝරා ගත් විට ඒ තෝරාගත් අපේක්ෂකයාට මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කළ යුතු බවය. එසේ නොකරන සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත්, ඔවුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බවටත් එහිදී තීන්දු විය.
ඒ අනුව සජිත් අසනීප තත්ත්වය සුව වූ වහා පසුගිය සඳුදා කෙළින්ම පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයටය. ඒ, එදින මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම යොදාගෙන තිබූ නිසාය. ඒ අනුව එහිදීද සජිත් සියලු මන්ත්‍රිවරුන්ට දැනුම් දී සිටියේ තමතමන්ගේ දිස්ත්‍රික්කවල ආණ්ඩුවට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සියලු කටයුතු සිදුකළ යුතු බවකි.
එමෙන්ම එදින තවත් විශේෂ සාකච්ඡාවක්ද සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි. ඒ, එක්සත් ජාතික පක්ෂයත්, සජබයත් අතරය. එජාපයෙන් ඊට පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල සහ ජාතික සංවිධායක සාගල රත්නායක එක්ව සිටියහ. සජබයෙන් ඊට එක්ව සිටියේ සජිත්ට අමතරව තිස්ස අත්තනායකත්, නලින් බණ්ඩාරත්ය. මෙහිදී තිස්ස සහ නලින් සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතුව තිබේ. ආණ්ඩුවට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයට ලබාගැනීමේ මෙහෙයුමේදී විශාල වැඩකොටසක් ඉටුකොට තිබුණේ තිස්සත්, නලින් බණ්ඩාරත්ය. සාමාන්‍යයෙන් පක්ෂ මහලේකම් එහි වැඩි බරක් ගතයුතුව තිබුණත් පසුගිය සතියේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විවේක සුවයෙන් සිටීම සඳහා විදෙස්ගත වී සිටීම විශේෂ සිදුවීමක් විය.
තලතා දීපු උත්තරේ
කෙසේ වෙතත් මෙම මෙහෙයුම සිදුකරන අතරවාරයේ ඌව පරණගම විපක්ෂයට බලය වැඩි ප්‍රාදේශීය සභාවක් වුවද එහි බලය අත්පත් කරගැනීමට මාලිමාව සමත්ව තිබිණි. ඊට හේතුවී තිබුණේ සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී එජාප මන්ත්‍රීවරයා ඊට පක්ෂව ඡන්දය භාවිත කොට තිබීමය. මේ බව වාර්තා වීමත් සමග සජිත් වහාම එජාප මහලේකම් තලතා අතුකෝරාලට කතා කොට ඒ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. එමෙන්ම සාගලටද කතාකොට ඒ පිළිබඳ දැනුම් දුන් සජිත් මේ පිළිබඳ ගන්නා පියවර කුමක්දැයි ඔවුන්ගෙන් විමසා සිටියේය. ඒ අනුව තලතාත්, සාගලත් කෙළින්ම සජිත්ට දැනුම් දී සිටියේ පක්ෂය මීට පෙර, පක්ෂයේ මතයට පිටින් යන පක්ෂයෙන් ඉවත් කරන බවට ගත් තීන්දුව මත පිහිටා එම මන්ත්‍රීවරයාට එරෙහිව නියත වශයෙන්ම කටයුතු කිරීමට සූදානම් යැයි කියාය.
ඉන් අනතුරුව පසුගිය සතියම සජිත් කාලය වැයකළේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලටය. දැනටමත් මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් වූ ලාල්කාන්ත, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල කොළඹ මහනගර සභාව නියත වශයෙන්ම මාලිමාව බලය පිහිටුවන බව තහවුරු කොට තිබුණත්, සජිත් ඒ කිසිවක් ගැන නොතකා සජබයට කොළඹ බලය හිමිකර ගැනීම සඳහා වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව සජිත් කොළඹට ස්වාධීනව ඉල්ලූ සියලු කණ්ඩායම්වල නියෝජිතයන් වෙන වෙනම ගෙන්වා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී තීරණයක් ගත නොහැකිව දෙපැත්තට වැනෙමින් සිටි බොහෝ ස්වාධීන කණ්ඩායම් සජබ නගරාධිපති අපේක්ෂකයාට සහාය දැක්වීමට එකඟතාව පළකිරීම විශේෂ සිදුවීමක් විය.
විපක්ෂයේ ඔත්තුකාරයෙක්
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට සර්වජන බලයේ නායකයා වූ දිලිත් ජයවීර කිසියම් ඉඟියක් දෙමින් ප්‍රකශ කර තිබුණේ කොළඹට වෙනම අපේක්ෂකයකු සිය පක්ෂයෙන් දැමීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇතැයි කියාය. නමුත් දිලිත්ගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔහුත් සමග පාර්ශ්ව කීපයක්ම පසුගිය සතියේදී රහස් සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, අවසානයේදී සර්ව ජන බලය පැත්තෙන් යෝජනා වූයේ කොළඹදී සජබ අපේක්ෂකයාට සහාය දැක්වීමට නම් ලංකාවේ කුමන ප්‍රාදේශීය සභාවක හෝ සභාපති ධුරයක් සර්වජන බලයට අවශ්‍යයි කියාය. ඔවුන්ගේ එම යෝජනාව සජිත්ට ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂය එකමුතු කිරීමේ දැඩි වුවමනාව නිසාම සජිත් අවසානයේදී සර්වජන බලයේ එම යෝජනාවට එකඟතාව පළකොට අඩියක් පස්සට ගැනීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේ බලය තීරණය කිරීමේදී සමනලයා ලකුණෙන් තරග වැදුණු ස්වාධීන කණ්ඩායම ඉතා තීරණාත්මක සාධකයකි. මන්ද ඔවුන්ගේ සහාය ලැබෙන පාර්ශ්වය නියත වශයෙන්ම කොළඹ මහනගර සභාවේ බලය ඇල්ලීමට හැකි වීම ඊට හේතුවය. පසුගිය කාලය පුරාම මෙම සමනලයා පක්ෂයෙන් ඉල්ලූ කණ්ඩායම සිටියේ මාලිමාවටත්, සජබයටත් පක්ෂව අදහස් දක්වමින් දෙපැත්තට වැනෙන ස්ථාවරයකය. ඒ අනුව පසුගිය සතියේ සජිත් මෙම ස්වාධීන කණ්ඩායම වෙනම හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අවසානයේදී අපූරු සිදුවීමකට මුහුණ දීමට සජිත්ට සිදුවිය. ඒ, සාකච්ඡාව නිමවා විපක්ෂ නායක කාර්යාලයෙන් එළියට එද්දී මේ දිනවල මාලිමාවට කොළඹ බලය ලබාදීම සඳහා ලොකු වෙහෙසක් දරන ඩීල්වලටම ප්‍රසිද්ධ අයකුගෙන් සජිත්ට දුරකතන ඇමතුමක් ලැබීමය. විවිධ පක්ෂවල සාමාජිකත්වය දරා ඇති මේ පුද්ගලයා එහිදී සජිත්ගෙන් විමසා සිටියේ සාකච්ඡාවේ ප්‍රතිඵල මොනවාදැයි කියාය. මේ ප්‍රකාශයෙන් සජිත්ගේ ඇස් උඩ ගියත් ඒ බවක් නොපෙන්වූ සජිත්, හීන් සීරුවේ ලිස්සා යන පිළිතුරක් ලබාදී තමන් ස්වාධීන කණ්ඩායම් සමග පැවැත්වූ සාකච්ඡාව එළියට ලබාදුන් පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ සොයාබැලීමට පියවර ගත්තේය. පැහැදිලිවම එම ඔත්තුව විපක්ෂ නායක කාර්යාලය ඇතුළෙන්ම ගොස් ඇති බව වටහා ගත් සජිත්, පැය කීපයක් ඇතුළත ඇතුළේ සිටින එම ඔත්තුකරුවා සොයාගැනීමටද පියවර ගත්තේය. ඒ අනුව ඉදිරියේදී ඔහු සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ වනවිට සජිත් තීරණය කොට ඇති බවක්ද ආරංචිය.










