‘අහස් ගව්ව’, කලාව, ක්‍රීඩාව ඇතුළු පාඨක රසඥතාව, පාඨක රුචිකත්වය, දැනුම, ආදරය, සෙනෙහස, දයාව ඇතුළු බොහෝ කරුණු ඔබ වෙත ගෙන ඒමට පසුගිය සතියේ ආරම්භ කරන ලද විශේෂාංගයකි. Sri Lanka Latest News
මෙය තීරු ලිපියක් යනුවෙන් හැඳින්වූවාටද වරදක් නැත. සිනමාව, සාහිත්‍යය, වේදිකාව, ටෙලිනාට්‍ය ඇතුළු ටෙලිවිෂන් මාධ්‍යයේ වැඩසටහන් වාගේම කලාකරුවන්ගේ කලා හැකියාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ටතා ඇතුළු කරුණු ගොන්නක් අලුත් අත්දැකීමක් සේ ඔබ වෙත ගෙන ඒමට ‘අහස් ගව්ව’ තුළින් අපේක්ෂා කෙරේ.
‘අහස් ගව්ව’ කියූ ගමන් අපේ මතකයට නැගෙන්නේ ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ගව්ව’ සිනමා පටයයි. ‘අහස් ගව්ව’ සිනමා පටයෙන් කතා කළේ සමාජයේ ගැඹුරු පැතිකඩකි. කලාවේ සෞන්දර්යය වාගේම ක්‍රීඩාවේ චමත්කාරය ‘අහස් ගව්ව’ තුළින් කතා කළද එමගින් ඉතා සියුම්ව යම් සමාජ විචාරයක් කිරීමටද බලාපොරොත්තු වේ.
විශේෂයෙන්ම අද සමාජයේ බොහෝ ක්ෂේත්‍රවල විචාරයක් නැත. වසර ගණනක් තිස්සේ මෙම විචාරය නොවුණු නිසා බොහෝ ක්ෂේත්‍රවල පවතින්නේ දැඩි සමාජමය කඩාවැටීමකි. නිවැරැදි විචාරයක් නොමැති වීම බොහෝ ක්ෂේත්‍රවල කඩාවැටීමට ප්‍රබල හේතුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඩබ්.ඒ. සිල්වා සූරීන් ‘අවිචාර සමය’ යනුවෙන් නවකතාවක්ද රචනා කළේය. ‘සුනේත්‍රා නොහොත් අවිචාර සමය’ තුළින් ඩබ්.ඒ. සිල්වා සූරීන් කතා කළේ ප්‍රේම කතාවකි. එය ප්‍රේම කතාවක් වුවත් ‘අවිචාර සමය’ යනුවෙන් නම්කර ඇති පොතෙහි නම මීට වසර ගණනාවක් තිස්සේ අපේ සමාජයට වලංගු වන්නේ කිසිම විචාරයක් සමාජය තුළ නොතිබීමයි.
දැනට වසර 25ක් 30ක් තිස්සේ අපේ රටේ සමාජය පවතින්නේද අවිචාර සමයකි. එම නිසා සමාජය වෙනුවෙන් යම්කිසි විචාරාත්මක විග්‍රහයක් කිරීමට ‘අහස් ගව්ව’ තුළින් යම් උත්සාහයක් දැරීමට බලාපොරොත්තු වේ.
පසුගිය සතියේ ‘අහස් ගව්ව’ ආරම්භ කළේ අපේ රටේ සිටි සොඳුරුතම සන්නිවේදකයකු වන හේම නලින් කරුණාරත්න ගැන ලියමින්ය. ඊට ලැබුණු ප්‍රතිචාර බොහොමයකි. විදේශ රටවල සිටි කිහිප දෙනෙක්ද ඒ අතර විය. හේම නලින් මේ වනවිට බොහෝ දෙනකුට අමතක වුවද ඔහුගේ නිර්මාණ පහසුවෙන් අමතක කළ නොහැකිය.
Heritage TV ටෙලිවිෂන් චැනලය හරහා හේම නලින් මෙරට පාසල්වල මාධ්‍ය ඒකකවලට ලබාදුන් ඉඩ සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ලබාදුන් අවස්ථා පිළිබඳ මතක් කරමින් පාසල් කිහිපයකම මාධ්‍ය ඒකකවලින් මා දැනුවත් කළ අතර, එම ලිපිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු ‘දැන් ඉරිදා මව්රට’ පුවත්පතට ස්තුති කිරීමටද අමතක නොකළේය.
හේම නලින් කරුණාරත්න වාගේම පුංචි තිරය නැතහොත් ටෙලිවිෂනය තුළ වෙනසක් ඇතිකරමින් ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදීමට කැපවුණු නිර්මාණකරුවකු වශයෙන් මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක හැඳින්වීමට පුළුවන.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සිය යන ආයතනවල සභාපති වශයෙන් ගංගානාත් දිසානායක කටයුතු කළේය.
ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ලක්හඬ ගුවන්විදුලියේ වැඩබලන සභාපති ලෙසද වරක් ධම්මික ගංගානාත් දිසානායක කටයුතු කර තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේද කාලයක් කටයුතු කළ ගංගානාත් මහාචාර්යතුමාගේ ගරුහරුකම් මාධ්‍යවේදීන්ටද වසර ගණනක් තිස්සේ ලැබුණු බව නොරහසකි.
ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස ඔහු ඇතැම් රැඩිකල් තීරණ ගත්තේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා සමග හැප්පීමටය. එමගින් ජාතික රූපවාහිනිය සාර්ථක වූ බවද රහසක් නොවේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේදී මාත් ගංගානාත් මහාචාර්යතුමාගෙන් ඉගෙනගත් ශිෂ්‍යයකු නිසා මෙම ලිපියෙහි ඇතැම් ස්ථානවල ගංගානාත් සර් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ගුරුවරයකුට තිබෙන ගෞරවය නිසාය.
ගංගානාත් සර් බොහෝ ජනප්‍රියත්වයට පත්වෙන්නේ ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට රචනා කළ ‘පැණි වළලු’ තීරු ලිපියත් සමගය.
ඉරිදා පුවත්පත්වල තීරු ලිපි යම් යම් සීමාවලට කොටුවී තිබුණු අවස්ථාවකදී ගංගානාත් සර් ‘පැණි වළලු’ හරහා එම සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සමාජයේ බොහෝ දෙනකුගේ අවධානය ‘පැණි වළලු’ වෙත යොමුකර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
සමාජ සංසිද්ධීන් තම ජීවිත අත්දැකීම් සමග මුසුකොට ඉදිරිපත් කිරීමට ගංගානාත් සර්ගේ ‘පැණි වළලු’ වඩාත් රස විඳීමට හේතුවයි.
එම සමාජ සිද්ධීන් තම අත්දැකීම් සමග ඉදිරිපත් කිරීමේදී පරිසරයේ සිද්ධීන් හා පරිසරයේ චමත්කාරය අවස්ථා සම්බන්ධතා ඉතා මැනැවින් ඉදිරිපත් කිරීමට ගංගානාත් සර් දැක්වූයේ විශිෂ්ට දක්ෂතාවකි.
ගහ කොළ, ගංගා, ඇළ දොළ ඇතුළු සොබාදහම සජීවී ලෙස වර්ණනා කිරීමට මෙම ‘පැණි වළලු’ තීරු ලිපියෙන් රචකයා ගෙන ඇත්තේ අපූරු උත්සාහයකි.
බල්ලන්, පූසන්, කුරුල්ලන් ඇතුළු නිතර දෙවේලේ දකින සතුන් පිළිබඳ කුඩා දරුවන්ට ඇතිවන සිතුවිලි මෙන්ම කුඩා දරුවකු සමාජය දකින ආකාරය සහ එම අත්දැකීම්ද ‘පැණි වළලු’ තීරු ලිපියෙහි ඇතැම් ලිපි මගින් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම නිර්මාණශීලී ආකාරයටය.
‘පැණි වළලු’ තීරු ලිපි පෙළෙහි මා ඇතුළු පාඨකයන් බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූයේ ‘අම්මා’ නමැති තීරු ලිපියයි.
ගංගානාත් සර්ගේ මව මියගිය අවස්ථාවේදී කුඩා දරුවකු වූ ඔහු අම්මාගේ මරණය සම්බන්ධයෙන් ඉතා සංවේදී වන ආකාරයෙන් රචනා කරන ලද තීරු ලිපිය කියවූ බොහෝ දෙනකුගේ ඇස්වලට කඳුළු ආවේ නිතැතිනි.
‘පැණි වළලු’ තීරු ලිපි පෙළ මගින්ද සමාජය යම් විචාරයකට ලක්කිරීමට ගංගානාත් සර්ට හැකි විය.
2002 – 2004 වර්ෂ දෙකේදී ගංගානාත් සර් ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව යම් යම් රැඩිකල් වෙනස්කම් කිරීමට කටයුතු කළේය.
ඒ අවස්ථාවේදී ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක ලෙස මා කටයුතු කළ අතර, ගංගානාත් සර් ජාතික රූපවාහිනියට පැමිණීමත් සමගම ජාතික රූපවාහිනිය සමග යම් තරගකාරීත්වයකට යෑමට ස්වර්ණවාහිනිය ඇතුළු පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවලටද සිදුවිය.
ජාතික රූපවාහිනියේ රාත්‍රි 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට විශාල වෙනස්කම් සිදුකිරීමට ගංගානාත් සර් කටයුතු කළේය.
ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති පසුතලය සහ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් අඳින ඇඳුම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පසුතලයෙහි මේසය, විශාල තිරයක් සහිත පසුතලය කොළඹ නගරයෙහි උස් ගොඩනැගිලිවල ඡායාරූප සහිත පසුතලය යෙදීම ඇතුළු අංග රැසක් රූපවාහිනී ප්‍රවෘත්ති අංශය තුළ වෙනස් කිරීමට ගංගානාත් සර් කටයුතු කර තිබිණි.
ප්‍රවෘත්තිවල ඇතුළත් කරුණුද වෙනසකට ලක්කරන ලද අතර මීට පෙර විපක්ෂයට යම් යම් සීමා පනවා තිබූ ප්‍රවෘත්තිවලින් එම සීමාවන් යම් ආකාරයකට ලිහිල් කිරීමටද කටයුතු කිරීම විශේෂත්වයකි.
රාජ්‍ය මාධ්‍යවල සිදුකිරීමට තිබෙන අමාරුම කාර්යය වන්නේ විරුද්ධ පක්ෂයේ මතවාදවලට ඉඩ ලබාදීමයි. එම ඉඩ යම් ආකාරයකට ලබාදීමට ගංගානාත් සර් කටයුතු කළේය.
එපමණක් නොව ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ගේ ඇඳුම් පැලඳුම්, ප්‍රවෘත්ති මැදිරියේ පසුතලය ඇතුළු අංග රැසක වෙනස්කම් සිදුකිරීමටද එතුමා කටයුතු කර තිබිණි.
සී.එන්.එන්., බී.බී.සී, අල් ජසීරා ඇතුළු විදෙස් ප්‍රවෘත්ති සේවාවල ප්‍රවෘත්ති මාදිලියේ මේසය, විනිවිද පෙනෙන වීදුරුවලින් නිර්මාණය කර ඇත. වර්තමානයේදීද එම නාලිකාවලින් දක්නට ලැබෙන්නේ එම වීදුරු මේසයි.
ගංගානාත් සර් එම වීදුරු මේස ජාතික රූපවාහින ියේ ප්‍රවෘත්ති මේසය සඳහා යොදාගත්තේ මීට වසර 25කට පමණ පෙරදීය.
එම වීදුරු මේසය යොදාගනිමින් රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කරන විට දිගට හරහට ප්‍රතිචාර හිමිවූ අතර ගල් හා මල්ද ඒ අතර විය.
මෙම වෙනස්කම් නිසා රූපවාහිනී රාත්‍රී 8.00 ප්‍රවෘත්ති නරඹන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩිවන්නට විය.
‘වීදුරු මේසයක් දාලා නිවේදිකාවන්ගේ කකුල් බලන්න ඕනෙ නිසා රූපවාහිනී නිවුස් බලනවා’ යනුවෙන් චෝදනාවක්ද ඒ කාලයේ දී එල්ල වන්නට විය.
එදා කරපු එම චෝදනාව නිවැරැදි නම් විදෙස් ප්‍රවෘත්ති බලන්නේ නිවේදිකාවන්ගේ කකුල් බැලීමටද යන තර්කය මතුවීම වැළැක්විය නොහැකිය.
ඔය නිවේදිකාවන්ගේ කකුල් ප්‍රශ්නය අහපු වෙලාවේදී ගංගානාත් සර් ලබාදුන්නේ අපූරු පිළිතුරකි.
‘රූපවාහිනියේ ප්‍රවෘත්තිවල වෙනස්කම් රැසක්ම සිදුකර තිබෙනවා. ප්‍රවෘත්ති පිටපතේ සිට ප්‍රවෘත්තිවල ඇතුළාන්තය දක්වාම වෙනස්කම් කරලා තියෙනවා. නිවේදිකාවන්ගේ කකුල් බලන්න කවුරු හරි ප්‍රවෘත්ති බලනවා නම් කකුල් බලන ගමන් හොඳ ප්‍රවෘත්ති අහන්න විදියේ වෙනස්කමක් අපි කරලා තියෙනවා. නිවේදිකාවගේ කකුල් බලන්න යමෙක් ප්‍රවෘත්ති බැලුවොත් ඊළඟ දවසේ ඔහු කකුල් බලන්න නොවේ ප්‍රවෘත්ති බලන්නේ. ඊළඟ දවසේ ඔහු ප්‍රවෘත්ති මොනවද කියලා බලන්නයි ප්‍රවෘත්ති බලන්නේ…’ යනුවෙන් ගංගානාත් සර් ප්‍රකාශ කළේය.
ජාතික රූපවාහිනියේ 8.00 ප්‍රවෘත්තිවලට අමතරව රාත්‍රී 7.00ට Head line යනුවෙන් ප්‍රවෘත්ති සඟරාමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ගංගානාත් සර් කටයුතු කළේය.
රාජ්‍ය මාධ්‍යවලින් පෞද්ගලික මාධ්‍යයට ප්‍රබල අභියෝගයක් මුල් වරට එල්ල කිරීමට පුරෝගාමී වූයේ ජාතික රූපවාහිනියයි. ඒ, ගංගානාත් සර් සභාපති ධුරය දැරූ වකවානුවේදීය.
ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චිගේ විවාහය රාත්‍රී 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළමු පුවතට යෙදීමටද කටයුතු කළේය.
රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානියා ඍජුව කටයුතු කළ යුත්තේ රටේ ජනාධිපති හෝ අගමැති සමගය. ගංගානාත් සර් ජාතික රූපවාහිනියේ සභාපති විදියට ඍජුව කටයුතු කළේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ සමගය.
එවිට ඇමැතිවරුන් ඇතුළු නොයෙක් දෙනාගෙන් එන බලපෑම ඉතා අඩුය. ඉතා පහසුවෙන් තම රාජකාරි කටයුතුද ඉටුකළ හැකිය.
ජාතික රූපවාහිනියේ ආදායමද ඉහළ ගිය අතර, එක් වසරකදී බෝනස් (දීමනා) දෙවරක්ම ලබාදීමටද ගංගානාත් සර් කටයුතු කිරීම විශේෂත්වයකි.
වර්තමානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්ට තිබෙන ලොකුම අභියෝගය මාසයේ 25 වැනිදාට නියමිත වැටුප සේවකයන්ට ලබාදීමයි. දිනක් හෝ වැටුප ප්‍රමාද වුවහොත් සේවකයන් පැමිණ සභාපතිවරයාගේ කාමරය වටකිරීමට කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
සභාපතිවරයාට රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිර්මාණාත්මක වැඩසටහන් ගැන සිතීමට වඩා සිදුව තිබෙන්නේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන සිතීමටය.
එම නිසා ගංගානාත් දිසානායක වැනි නිර්මාණශීලී පුද්ගලයන්ගෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට උගත හැකි පාඩම් බොහෝය.
1997 වසරේදී ‘ටයිටැනික්’ සිනමා පටය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කරනවාට සමාජවාදී ශිෂ්‍ය සංගමය කැමැති වූයේ නැත. එය ධනවාදී පන්තියේ චිත්‍රපටයක් කියමින් එවක පැවැති සමාජවාදී ශිෂ්‍ය සංගමය ඊට විරෝධය දැක්වීය.
‘ටයිටැනික්’ ධනවාදී චිත්‍රපටයක් නෙවෙයි. මේකf් පන්ති භේදය හොඳින් තිබෙනවා. රෝස් ධනපති පන්තියේ. ජැක් පීඩිත පන්තියේ. මේ ආදර කතාව පන්ති භේදය හොඳින්ම පෙන්නුම් කරනවා. ඒක නිසා ටයිටැනික් චිත්‍රපටය කැම්පස් එකේ පෙන්වන්න දෙන්න…’ යනුවෙන් ගංගානාත් සර් සමාජවාදී ශිෂ්‍ය සංගමයට පැවැසූ අතර, ඉන් පසු ‘ටයිටැනික්’ චිත්‍රපටය පෙන්වීමට සමාජවාදී ශිෂ්‍ය සංගමය එකඟ විය.
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ගැන ලිවීමට තවත් බොහෝ දේ ඇත. එම බොහෝ කරුණුද ඔහුගේ ‘පැණි වළලු’ මෙන් රසවත්ය. මීට වසර 4කට පෙර ගංගානාත් මහතා අභාවප්‍රාප්ත විය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










