ස්මාර්ට් ජංගම දුරකතනය අපේ වැඩකටයුතු කොයි තරම් පහසු කළාද කියන එක ගැන වාදයක් නැහැ. සාමාන්‍ය දුරකතනයකින් සිදුකරපු සේවය වගේ සිය ගුණයකටත් වඩා වැඩි සේවයක් වර්තමානයේ අපි භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකතනයකින් අපිට ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ අධිතාක්ෂණික මෙවලමේ තියෙන උපාංග අතර වඩාත් වැදගත් උපාංගයක් විදියට කැමරාව හඳුන්වා දෙන්න පුළුවන්. ඕනෑම විශේෂ අවස්ථාවක්, සිද්ධියක්, හෝ ස්ථානයක් ක්ෂණිකව අපේ ඡායාරූප ගොන්නට ඇතුළත් කරගන්න මේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තිබෙන කැමරාවට පුළුවන්. ඒත් අද වෙද්දී මේ කැමරාව නිසා අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවෙන බව කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඒකට හේතුව තමයි අනාරක්ෂිත ස්ථානවලදී සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදී සිදුවෙන අනතුරු. ඒ අතින් ගනිද්දී සෙල්ෆි කියන්නේ මාරයෙක් කියලා කිව්වොත් නිවැරදියි. බොහෝ දෙනෙක් සෙල්ෆි ගහලා සතුටු වෙනවා. ඒ සතුට තුළ තියෙන භයානකකම තේරෙන්නේ නැහැ. වර්තමානයේ සෙල්ෆි ඡායාරූප ගැනීම තරුණ තරුණියන් අතර වගේම වැඩිහිටියන් අතරත් උන්මාදයක් බවට පත්වෙලා ඉවරයි. දුම්රිය මාර්ග, නාන තටාක, දියඇලි වගේ අනතුරුදායක ස්ථානවල සෙල්ෆි ගැසීමට ගිහින් මේ වෙද්දී වටිනා ජීවිත කීයක් නම් අකාලයේ රටට අහිමි වෙලා ඇද්ද? සෙල්ෆි ගහන්න ගියාම මිනිස්සුන්ට ඉන්න තැන අමතක වෙනවා. කරන්නෙ මොනවද කියලා හිතන්නේ නැහැ. මේ තාක්ෂණික මෙවලම් කටයුතු කොයි තරම් පහසු කළත් ඒවායේ අභ්‍යන්තරයේ ඇති භයානකකම ගැන අපිට තේරුමක් නැහැ.
ඉතින් මේ සෙල්ෆි ඡායාරූප නිසා නව යොවුන් වියේ දැරියන් දෙන්නෙකුට ජීවිත අහිමි වීමේ සිද්ධියක් පසුගිය 01 වැනිදා වාර්තා වුණා. ඔවුන් මිතුරියන් සහ වැඩිහිටියන් සමග මුලිතිව් ප්‍රදේශයේ කුමලමුනේ කිනට්ටු පිල්ලෙයාර් කෝවිල වන්දනා කරන්න ගියේ ඒකාකාරී ජීවිතයෙන් මඳකට වෙන්වෙලා සතුටින් කාලය ගතකරන්න හිතාගෙන. ඒත් එම කෝවිල් භූමියේ පිහිටි පොකුණක ගිලී මේ දරුවන් දෙදෙනාට ජීවිත අහිමි වුණේ අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදීයි. මේ අනතුර බොහෝ දෙනෙකු කම්පනයට පත්කරනු ලැබුවා. Sri Lanka Latest News
අවුරුදු 16ක් වූ එස්. රශ්මිලා සහ ටී. ක්‍රිෂිලා යන සිසුවියන් දෙදෙනා ඉගෙන ගත්තේ මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ. මොවුන් දෙදෙනා මිතුරියක් සහ වැඩිහිටියන් සමග කුමලමුනේ කිනට්ටු පිල්ලෙයාර් කෝවිලට ගොස් තිබුණේ පාසල් නිල ඇඳුමෙනි. එදින කෝවිල් දිනයක් නොවූ නිසා එහි වෙනත් කිසිවකුත් සිට නැහැ. කෝවිල් භූමිය පාළුවට ගොස් තිබුණු ආකාරයක් දක්නට ලැබුණා. එම නිසාම සිසුවියන් තිදෙනා නිදහසේ කෙළිදෙළෙන් කෝවිල් භූමිය තුළ විනෝද වෙමින් සිට ඇත.
මේ අතර කෝවිල් භූමියේ විවිධ ස්ථානවලට ගොස් සෙල්ෆි ගැනීමටත් ඔවුන් අමතක කළේ නැහැ. අවසානයේ ඔවුන් කෝවිලේ දිය කැපීමට යොදාගන්නා පොකුණ අසලට ගියේ ඒ අවට පරිසරයේ සුන්දරත්වය විඳීමට සිතාගෙනයි. ඒ පොකුණට පිවිසීමට තිබුණේ පියගැට පෙළක් ඔස්සේයි. ඒ පියගැට පෙළට පිවිසෙන ඔවුන් පස්සෙන් පස්සට යමින් එක එක හැඩයට හිඳිමින් සෙල්ෆි ඡායාරූප ගන්නට වුණා. පොකුණට බැස ඒ මේ අත දුවන්නට වුණා. මේ සිසුවියන් අතරින් එක් අයෙකු ගොඩ සිට ජලයේ සිටින සිසුවියන් දෙදෙනාගේ ඡායාරූප ගත්නට වුණා. පොකුණේ ගැඹුර ඔවුන් දැන සිටියේ නැහැ. ඒ අතරතුර ජලයට බැස සිටි සිසුවියන් දෙදෙනාගෙන් එක් අයකු ටිකෙන් ටික ජලයේ ගිලී නොපෙනී යන්නට වුණා. ඇය නොපෙනී ගියේ තම මිතුරියට පමණක් පෙනෙන ලෙසයි. ඒ අතර අනෙකාද නොපෙනී යන්නට වුණා. මෙය දුටු ගොඩ සිටි සිසුවිය කරකියා ගන්නට දෙයක් නොමැතිව මිතුරියන් බේරාගැනීමේ අදහසින් ජලයට පැන්නා. නමුත් ඇයගේ උත්සාහය ව්‍යර්ථ වූ තැන යළිත් ගොඩට පැමිණ තිබෙනවා. ඒ බව කෝවිලේ සීසීටීවී කැමරාවක ඉතා පැහැදිලිව සටහන්ව තිබුණා. පසුව ඇය අසල්වාසීන්ගේ උදව් ඉල්ලමින් කෑ ගසන්නට වුණා. ඒ අනුව අසල්වැසියන් පිරිසක් පැමිණ පොකුණට බැස දියේ ගිලුණු සිසුවියන් සොයන මෙහෙයුමක් දියත් කර තිබුණා. ඔවුන් සිසුවියන් දෙදෙනා ගොඩට ගෙන මුලතිව් රෝහලට රැගෙන ගියත් ඒ වනවිටත් සිසුවියන් මියගොස් තිබුණා. වැඩිදුර පරීක්ෂණ මුලතිව් පොලිසිය විසින් සිදුකරනු ලබයි.
අපි කෝවිල් පන්සල් පල්ලිවලට යන්නේ වැඳ පුදාගන්න මිසක් ඒවායේ අනවශ්‍ය ලෙස විනෝද වීමට නොවෙයි. ඒ බව තේරුම් ගෙන දරුවන් කටයුතු කළා නම් අදත් මේ දැරියන් දෙදෙනා ජීවතුන් අතර සිටින්නට තිබුණා. ස්මාර්ට් ෆෝන් දරුවන්ට දෙනකොට දෙපාරක් හිතන්න මවුපියන් දැනගන්න ඕනේ. සෙල්ෆි කියන්නේ ජීවිත බිලිගන්න මාරයෙක් කිව්වොත් වැරදි නැහැ. මේ සෙල්ෆි ගන්න ගිහින් නැතිවුණු පළමු ජීවිතය නෙවෙයි. මීට පෙරත් අවස්ථා කිහිපයකදීම අපට ජීවිත කිහිපයක්ම අහිමි වුණා. මේ වැරැද්ද අද වුණත් අනාගතයේදීත් මේක පාඩමකට ගන්නේ නැතුව ඒ වැරැද්දම කරනවා.
පසුගිය ජනවාරි 05 වැනිදා මෙවැනිම සිසුවියන් තිදෙනෙකු සෙල්ෆි ගහන්න ගිහින් කෑගල්ලේ ගුරුගොඩ ඔයට බිලිවුණා. ඒ පොඩි දුවගේ උපන්දිනේට කේක් කපලා ලොකු දුවයි පොඩි දුවගේ මිතුරියකුයි ගුරුගොඩ ඔයට ගියේ සෙල්ෆි ගහන්න. මවුපියන් යන්න එපා කිව්වත් ඔවුන් එය නොතකා, පරිස්සමෙන් ගිහින් එන්නම් කියලා පිටත් වෙලා තිබුණත් ඔවුන් යළි ගෙදර ආවේ මිනී පෙට්ටියකින්. මෙහෙම මියගොස් තිබුණේ එකම පවුලක සොහොයුරියන් දෙදෙනකු සහ ඇගේ මිතුරියක්. ඔවුනුත් පාසල් වියේ පසුවන දැරියන් තිදෙනෙකි.
ඒ වගේම අනුරාධපුර රේල් පාරේ සෙල්ෆි ගහන්න ගිහින් 37 හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණියක් බිලිවුණේ පසුගිය දෙසැම්බර් 21 වැනිදායි. ඒ, කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වන දුම්රියකට බිලිවීමෙන්. 2023 මාර්තු 17 වැනිදා දෙහිවල ඇන්ඩර්සන් පෙදෙසේ ජීවත් වූ 25 හැවිරිදි රවිඳු සහන් ජීවිතයෙන් සමුගත්තේද ජංගම දුරකතන ඇමතුමක සිටියදී දුම්රිය මාරයාට බිලිවීමෙන්.
මේ දරුවන් අහිමි වීමෙන් දුක්ගිනි උහුලන්නේ අහිංසක මවුපියනුයි. දරුවන් හිතන්න ඕනේ කොයි තරම් අමාරුවෙන්ද අපට අම්මලා තාත්තලා අධ්‍යාපනය ලබාදෙන්නේ කියලා. ගංගාවල, වැව්වල, පොකුණුවල අපිට පේන්නේ නැති තැන් තියෙනවා. කොච්චර කිව්වත් දරුවන්ගේ වයසට ඒවා තේරුම් ගන්නේ නැහැ. මවුපියෝ දහදුක් විඳලා දරුවෝ උස්මහත් කරන්නේ. අපි තාක්ෂණික මෙවලම් භාවිත කරන්න ඕනේ. හැබැයි ඒ අපේ අවශ්‍යතාවට පමණයි. දරුවෝ ජීවිතවල අවදානම ගැනවත් නොතකා සමාජ මාධ්‍ය භාවිත කරන්න හුරුවෙලා. යූටියුබ් වට්ස්ඇප් ෆේස්බුක් ටික්ටොක් සෙල්ෆි මේවා නිසා වර්තමාන සමාජයේ දරුවන්ගේ ජීවිත විනාශ මුඛයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා මවුපිය අවධානය මීට වඩා දරුවන් කෙරෙහි තිබිය යුතුයි.
දරුවන්ට පාසල් විෂයක් ලෙස පිහිනීම පිළිබඳ පුහුණුව කුඩා කාලයේ සිටම ලබාදිය යුතුයි. ඒ වගේම ජලයෙන් ආරක්ෂා වෙන්නේ කෙසේද යන්න ගැනත් පුහුණුවක් ලෙස ලබාදිය යුතුයි. අනාරක්ෂිත ස්ථානවල ඡායාරූප ගැනීමට අවසර ලබානොදිය යුතු වගේම ජනතාව එවන් ස්ථානවල ඡායාරූප නොගැනීමට වගබලාගත යුතුයි.
දුම්රිය මාර්ගයක්, දියඇල්ලක්, පොකුණක් වැනි අනාරක්ෂිත ස්ථානවල සෙල්ෆි ගැනීමට යාමෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් තිබෙන බව අපට සංඛ්‍යා ලේඛන පරීක්ෂා කළහොත් දැකගැනීමට හැකිවනු ඇත. දුම්රිය මාර්ගයක මහමාර්ගයක ගමන්කරන විට ජංගම දුරකතන භාවිතය ගැන දෙවරක් හිතන්න. ජීවිතයක් නැති වුණොත් නැවත ගන්න බැහැ. නමුත් දුරකතන ඇමතුමක් අපිට ඕනෙම වෙලාවක ගන්න පුළුවන්. ජීවිත පසුතැවීමකට ඉඩ නොතබන්න හැමෝම වගබලා ගන්න. එසේ නොවුණහොත් තම ආදරණීයයන්ටම තමයි මැරි මැරී ජීවත් වෙන්න වෙන්නේ. වටිනා ජීවිත ආරක්ෂා කරගන්න සෑම අවස්ථාවකම අපි වගකීමෙන් කටයුතු කළ යුතුයි.

නිලන්ති රේණුකා










