ඔබ මේ ඡායාරූපවලින් දකින්නේ අතීතයේ බොහෝ විරාජමානව පැවැති සුන්දර වලව්වක්. අපි කවුරුත් භක්තියෙන් අදහන රජ්ජුරු බණ්ඩාර දෙවිහාමුදුරුවෝ උපන් ස්ථානය තමයි මේ දීගල වලව්ව. මේ වලව්ව පිහිටා තියෙන්නේ අකුරැස්ස – පිටබැද්දර මාර්ගයේ දීගල ප්‍රදේශයේ. මේක රජ්ජුරු බණ්ඩාර දෙවිහාමුදුරුවෝ උපන් ස්ථානය කියලා තමයි හඳුන්වන්නේ. උන්වහන්සේ ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් මතක්වෙන්නේ ගැටබරුව. ගැටබරුව කියන ප්‍රදේශය කලින් ගැටවර කන්ද ලෙසින් හඳුන්වලා තියෙනවා. මේ වෙද්දී ගැටබරු කන්ද ලෙසින් එය පූජනීය ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. උන්වහන්සේ මේ ප්‍රදේශය පාලනය කරන බව තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ගැටබරුව, ඌරුමුත්ත, එළමල්දෙණිය, සිත්තම්ගල්ල කියන රජමහා විහාර එක්ක උන්වහන්සේගේ අඩවියක් තමයි මේ රජ්ජුරු බණ්ඩාර දේවාලය. රජ්ජුරු බණ්ඩාර කියන්නේ අතීතයේ හිටපු වීර සෙන්පතියෙක් බවත් ජනප්‍රවාදවල කියැවෙනවා. ඉතින් අපි මේ වලව්වේ අතීත කතාව හා සබැඳුණු තවත් වැදගත් තොරතුරු දැනගන්න සූදානම් වෙමු.
දීගල වලව්ව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස දෙණියාය මාර්ගයේ පිටබැද්දර නගරයට ආසන්නයෙන් පිහිටා තියෙනවා. මේ දීගල වලව්ව රජ්ජුරු බණ්ඩාර කුමරු උපන් ස්ථානය විදියට සලකන අතර, මේ රජ්ජුරු බණ්ඩාර කුමාරයාගේ පියා වුණේ කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජුගේ සහජාත පුත්‍රයා වූ සිරිවර්ධන ප්‍රතිරාජයායි. මව කීරවැල්ලේ කළුමැණිකා දේවියයි. ප්රතිරාජතුමන්ගේ සහ කළුමැණිකා දේවියගේ දෙවැනි පුත්‍රයා වුණු රජ්ජුරු බණ්ඩාර කුමරු කුඩා කාලයේ ඉඳලම අංගම් සහ එළංගම් සටන්වලට දක්ෂයෙක් වෙලා තියෙනවා. එතුමාගේ සටන් ගුරුවරයා වෙලා තියෙන්නේ තිස්කණ්ඩ මහා බ්‍රාහ්මණ හෙවත් මහාගුරු පුරෝහිතයන්. එතුමා අවුරුදු 13 වනවිට සියලු සටන්වල ප්‍රවීණයෙක් වෙන්න තරම් දක්ෂයෙක් වුණා. රජ්ජුරු බණ්ඩාර කුමාරයාට අවුරුදු 14 වනවිට ඌරුමුත්ත ප්‍රදේශයේ තියෙන වැඩහිඳිනා මාලිගයේදී රන් ඔටුනු පලන්දලා ස්වර්ණාභිෂේකය සිදුකරලා තියෙනවා. රජ්ජුරු බණ්ඩාර කුමාරයට රන් ඔටුනු පලන්දනකොට ගායනා කරපු පැරැණි ස්තෝත්ර 18ක් තිබිලා තියෙනවා. ඒවා අදටත් දීගල වලව්වේ පැරැණි පුස්කොළ පොත්වල සඳහන් වෙලා තියෙනවා. Sri Lanka Latest News
මෙහෙම කාලය ගතවෙලා යද්දී තොටගමුවේ ශ්‍රී සංඝරාජ හිමියන්ගේ උපදෙස්වලට අනුව පියා විසින් කෝට්ටේ රාජධානිය ඇතුළුව මුළු රටම ද්‍රවිඩ ආක්‍රමණයෙන් මුදාගැනීමට සිදුකළ සිංහල සගය කියන නමින් තිබුණු සටනට නායකත්වය දෙන්න රජ්ජුරු බණ්ඩාරයන් හට සිදුවුණා. ඔහු මුලින්ම නෙළුව ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන හිටපු කෝට්ටේ සපුමල් කුමරුගේ හා අම්බුළුගල කුමාරයාගේ ද්‍රවිඩ හමුදාවන්ට නාග විෂ යෙදූ ඊතල එල්ල කරලා එම ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන තියෙනවා.
නෙළුව ප්‍රදේශයේ බලය අල්ලාගත් නිසා රජ්ජුරු බණ්ඩාරයන් ‘නෙළුගල බණ්ඩාර’ නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හෙළ සටන් කලාවට අයත් ඉලංගම් මඩු පවත්වලා මල්ලව හමුදාවක් සහ ආයුධ රැස්කරන එළමල්දෙණිය ප්‍රදේශයේ ගල් ලෙනක් තුළ තැන්පත් කරලා තියෙනවා. අදටත් එළමල්දෙණිය රජමහා විහාරය ආශ්රිත ප්‍රදේශය රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ගබඩා ගම සහ ආයුධ තැනූ ප්‍රදේශය විදියට හැඳින්වෙනවා.
ද්‍රවිඩ හමුදාවට එරෙහිව කරන ලද සිංහල සගය සටනේදී උන්වහන්සේ කැලෑ හමුදාවන් සන්නද්ධ කළා. ඒ සටනට කුළු මී හරක්, රණ මොනරුන් වැනි සතුන් පුහුණු කරලා සටනට යොදාගෙන තියෙනවා. එම සටන්වලින් භයානකම හමුදාව වුණේ කුළු මී හරක් රෑනයි. මේ කුළු මී හරක් රෑනේ නායකයා වුණේ දංකුලා කියන කුළු මී හරකෙක්. රජ්ජුරු බණ්ඩාරයන් සටනේදී ‘දංකුලා’ කියලා හඬ නැගුවට පස්සේ එම මීහරක් රෑන ඇවිල්ලා සතුරන් විනාශ කළ බවත් සඳහන් වෙනවා. උන්වහන්සේ දංකුලා යැයි හඬනැගූ ස්ථානය අද දංකුළුව විදියට හඳුන්වනවා. කුළු මීහරක් රෑන සටනට පිවිසුණු ස්ථානය ගොම්බද්දල විදියට මෑතකාලීනව හඳුන්වනවා. රජතුමා සටනට පිවිසුණු තැන දෙවියන් දොර හෙවත් දෙයියන්දර නමින් හඳුන්වනවා. මහා සේනාව හෙවත් ප්‍රධාන සේනාව පිටට පැමිණි තැන පිටපත් දොර හෙවත් පිටබැද්දර නමින් හඳුන්වනවා.
රජ්ජුරු බණ්ඩාර කුමරු ඇතුළු පිරිස මෙම සටනින් මොරවක් කෝරළය සහ වැලිගම් කෝරළය මෙන්ම කළුතර පස්යොදුන් කෝරළයේ ලත්පඳුර දක්වාම යටත් කරගෙන තිබෙනවා. ලත්පඳුර ප්‍රදේශයේ කළුමලේ වතු යායේ දැනට නටබුන්ව පවතින රජ්ජුරු බණ්ඩාර දේවාලයේ වර්තමාන අයිතිය දැනටත් පවතින්නේ දීගල වලව්වේ සාමාජිකයන් සතුවයි. සිංහල සගය සටනේදී කෝට්ටේ අම්බුළුගල කුමරුගේ බළකොටු 18ක් කඩාබිඳ දැමූ රජ්ජුරු බණ්ඩාර කුමරුගේ ගැටවර පිරිස ජයපැන් පානය කළ ස්ථානය හෙවත් ගැටවර කන්ද මෑත කාලයේ ප්‍රසිද්ධ වෙන්නේ ගැටබරු කන්ද විදියට. එතැනින් රණගිරුවාය ඔස්සේ යටත් කරගත් පිරිස සිත්තම්ගල් ලෙනේ කඳවුරු බැඳ සිටි සතුරු බළකොටු බිඳදමමින් කිරින්ද වැවේ ගිල්වා ඔවුන් විනාශ කරලා කලවාන ප්‍රදේශයේ වැද්දා කන්ද හෙවත් වැද්දාගල ප්‍රදේශයට ගිහින් තියෙනවා.
රජ්ජුරු බණ්ඩාර කුමාරයා ලංකාවේ කෝට්ටේ රාජධානියට අධිපතිව සිටි බව දීගල වලව්වෙන් සොයාගත් සෙත් යාතිකා පත්‍රවලින් තහවුරු වෙලා තියෙනවා. නෙළුගල රජ්ජුරු බණ්ඩාර බස්නාහිර පාතේ හාමුදුරුවන් වහන්සේ යනුවෙන් එම සෙත් යාතිකා පත්‍රවල හඳුන්වා දී තිබෙනවා.
හත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි කීරවැලි පරපුරේ නිලුපුල් මාලා කුමාරිය හා විවාහ වී සිටි රජ්ජුරු බණ්ඩාර කුමරු එවක රාජ්‍ය උරුමයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ දීගල හුළංදාව පිටබද්දර හරහා වැඩමවාගෙන තමන්ගේ රාජධානියේ සුරක්ෂිතම ස්ථානයක් වුණු රන්මලේ කන්දේ ගල් ලෙනක තැන්පත් කර තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ශූර වීර නරපතියාගේ අභාවයෙන් පසුව නිලුපුල්මාලා කුමරිය සිය දරු තිදෙනාත් සමග දීගලට පැමිණ ජීවත් වූ බවත් ඉතිහාස කතා පොත්වල සඳහන් වෙනවා.
අදටත් රජ්ජුරු බණ්ඩාර කුමාරයා ජාතියට කළ මෙම සේවාව නිසා මියගිය පසු රජ්ජුරු බණ්ඩාර දෙවියන් ලෙස උප්පත්තිය ලබා උන්වහන්සේගේ බල ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරන බවටත්, යුක්තිය ඉටුකරන බවටත් ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතිනවා. ඒ විශ්වාසය මනාව තහවුරු වන ස්ථානයක් ලෙස බැතිමතුන් විශාල පිරිසක් ඒකරාශී වන ගැටබරු රජමහා විහාරය හඳුන්වා දිය හැකියි.
Maga Salakunu යූටියුබ් නාලිකාවෙනි










