පසුගිය ජනාධිපතිවරණයේදී කාදිනල් හිමියන්ටයි පල්ලියටයි තිබුණේ තේරීම් තුනකි.Sri Lanka Latest News
රනිල්
සජිත්
අනුර
තුන්දෙනා අතරින් රනිල්ගේ පියා ක්‍රිස්තියානි පවුලකින් පැවැත එන්නෙකි. රනිල්ගේ පියාගේ සහෝදරයා ක්‍රිස්තියානි පල්ලියේ කුරුණෑගල දිසාව භාර බිෂොප්ය. මේ නිසාම ශ්‍රීලනිපය සහ ජවිපෙ රනිල් පල්ලියේ දොන් ජුවන් ධර්මපාල ලෙස හංවඩු ගැසීය. උතුරේ යුද්ධය සාමයෙන් විසඳන ලෙස එවක කතෝලික පල්ලිය තද මතයක සිටි අතර, 2002 අගමැති වූ රනිල් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට සාම ක්‍රියාවලිය ආරම්භ කළේය. උතුරේ යුද්ධය සාමයෙන් විසඳන්න යැයි පල්ලිය කීවේ උතුරේ සහ නැගෙනහිර පදිංචි කතෝලික සිවිල් ජනයා සහ පල්ලියේ පූජකවරු ප්‍රභාකරන්ටත් හමුදාවටත් මැදිවී අන්ත දුකක් විඳපු නිසාය.
සජිත්ගේ පියා ප්‍රේමදාස අගමැති කාලයේ මඩු පල්ලියේ නිවාස, ජලය, වැසිකිළි පහසුකම් හදන්න ලොකු සේවයක් කළේය. පල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ යූ.ඇන්.පී. පක්ෂයේ ඔහු නායකයෙක්, අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් විය. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු විනාශ වූ කොච්චිකඩේ පල්ලිය ඉතා කෙටි කලක් තුළ හදා දුන්නේ එවක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාය. කාදිනල් හිමි සහ පල්ලිය ඒ සඳහා ප්‍රසිද්ධියේ ඔහුට ප්‍රශංසා කළහ. 2019 ජනාධිපතිවරණයේදී පල්ලිය කොහොම වෙතත් කාදිනල් හිමියෝ පෞද්ගලිකවම ගෝඨාභය දිනවන්න වැඩ කළ අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙන්නේ ගෝඨාභය දිනුවොත් යැයි විශ්වාස කළහ. සජිත් පරාජය විය. ගෝඨා ජයග්‍රහණය කොට පාස්කු ප්‍රහාරය ගැන සොයාබලන විමර්ශන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකළේ නැත. ඒ වෙලාවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා සෙවිය යුතුය යන සටන පටන් ගත්තේ සජිත් සහ සමගි ජන බලවේගයය. ඔවුහු හැමදාම පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළහ. මහමොළකරු සොයන සටනට කාදිනල් හිමිට සහාය පළ කළහ.
අනුර කුමාර, ගෝඨාභයගේ ආණ්ඩු කාලයේ පාස්කු ප්‍රහාරය ගැන කතා කළේ අතුරු මාතෘකාවක් ලෙසය. නලින්ද ප්‍රහාරය ඉන්දියාව පිට දමා ඇඟ බේරාගත්තේය. ගෝඨාගේ ආණ්ඩුවේ මුල් කාලයේ සමගි ජන බලවේගය මහමොළකරු කෝ කියා අහද්දීත් අනුරලා සහ ජවිපෙ එය ප්‍රධාන සටන් පාඨයක් කරගත්තේ නැත. රනිල් පොලිස්පති ලෙස පත්කළ දේශබන්දු, කාදිනල් හිමිව සහ කතෝලික පූජකයන්ව විවේචනය කරද්දී අනුර හෝ ජවිපෙ දේශබන්දුට එරෙහිව කතා කළේ නැත. අනුර පාස්කු ප්‍රහාරය ප්‍රධාන මාතෘකාවක් ලෙස කතා කරන්න පටන්ගත්තේ 2024 ජනාධිපතිවරණය ළංවන විටය. ඒ, කාදිනල් හිමි සහ අනුර අතර සබඳතාවක් හදන්න කතෝලික පල්ලිය සමග සමීපව වැඩකරන 1971 කැරැල්ලේ හිටපු ජවිපෙ නායකයන් මැදිහත් වූ විටදීය.
කතෝලික පල්ලිය සහ ජවිපෙ අතර සම්බන්ධතාවටද ඉතිහාසයක් තිබේ.
ජවිපෙ නායක රෝහණ විජේවීර විවාහ වුණේ මොරටුවේ කතෝලික පවුලකිනි. කතෝලික පල්ලිය මුල සිටම මාක්ස්වාදය දැඩිව විවේචනය කළ ආගමකි. විජේවීරගේ බිරිඳද විජේවීර සමග විවාහ වුණේ විජේවීරගේ ගෝලයකු වූ ඇයගේ සහෝදරයාගේ බලකිරීම නිසාය. කතෝලික පල්ලිය මාක්ස්වාදයට එරෙහි වුවත් 1971 කැරැල්ලේදී පල්ලියේ ඇතැම් කොටස් ජවිපෙ කැරැල්ලට සහාය දුන්හ. මේ අතර ප්‍රධාන වූයේ මහනුවර බිෂොප් ලියෝ නානායක්කාරය. අනෙකුත් බිෂොප්වරුන් කැරැල්ල හෙළා දකිද්දී මහනුවර බිෂොප් කැරැල්ලට සහාය දුන්නේය. ජවිපෙ සහ පල්ලියේ ඇතැම් කොටස් අතර මේ සම්බන්ධය මත කැරැල්ල අසාර්ථක වූ පසු මර්දනයට ලක්වූ කැරැලිකරුවන් සඳහා පල්ලියේ ආධාර මත විවිධ සංවිධාන බිහිවිය. ‘සෙන්ටර් ෆෝ සොසයිටි ඇන්ඩ් රිලිජන්’, ‘සත්‍යෝදය’, ‘තුලන රිසර්ච් සෙන්ටර්’, ‘ජනඅවබෝධී කේන්ද්‍රය’ මේ අතර විය.
විජේවීර සහ කැරැලි නායකයන්ද අත්අඩංගුවට පත්වී පසුව සහ කැරැලි නායකයන් නිදහස් වීමෙන් පසු පල්ලියේ මේ සංවිධාන සමග වැඩකරන්න පටන් ගත්හ. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පටන් ගත්තේ පල්ලියේ ආධාර මතය. 1971 කැරැල්ලේ බොහෝ කැරැලි නායකයන් මේ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් බවට පත්විය. ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කළාට පසු ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස යන සටන් පාඨ ගෙන එන්නේද මේ සංවිධානය.
1988 කැරැල්ල අවස්ථාවේ ජවිපෙ නිල නොවන ගුවන් විදුලි මාධ්‍ය බවට පත්වෙන්නේ කතෝලික පල්ලියෙන් පාලනය වන වෙරිටාස්ය. එකල සමාජ මාධ්‍ය හෝ පෞද්ගලික රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා තිබුණේ නැත. ජවිපෙ මතය කියන මධ්‍යස්ථ ප්‍රවෘත්ති අහන්න මිනිස්සු සවන් දෙන්නේ වෙරිටාස් රේඩියෝවටය. වෙරිටාස් රේඩියෝව එකල ජවිපෙ අතර ජනප්‍රිය රේඩියෝවකි. 1988-89 භීෂණ කාලයේ ජීවිත ආරක්ෂාව සඳහා ඉතාලියට යෑමට ජවිපෙ සාමාජිකයන්ට කතෝලික පල්ලියෙන් සහාය ලැබිණි. කතෝලික ප්‍රදේශවල තරුණ තරුණියන් විශාල වශයෙන් රෝමයට ගියේ මේ කාලයේය. 1988දී එවක ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි සහ ජවිපෙ අතර සාම සාකච්ඡා සඳහා සාම දූතයා ලෙස ක්‍රියා කළේ ‘සෙන්ටර් ෆෝ සොසයිටි ඇන්ඩ් රිලිජන්’ හි ප්‍රධානියා වූ තිස්ස බාලසූරිය පියතුමාය. එය අසාර්ථක විය.
ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කරන විට වතිකානුවේ පාප් වහන්සේ සිය අලුත් අවුරුදු පණිවුඩයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ඝාතන හෙළා දකිමින් ප්‍රකාශයක් කළේය. ලංකාවේ මහානායක හිමිවරුන් ඝාතනවලට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේ නැත. 1994 චන්ද්‍රිකා බලයට ගෙන ඒමටත් පල්ලියේ ආධාර ලද එන්.ජී.ඕ. විශාල කාර්යභාරයක් කළහ.
මෙවර ජනාධිපතිවරණයේදී කාදිනල් හිමිගේ සහාය අනුරට අරන් දෙන්න පල්ලියට රිංගාගෙන වැඩ කළේ මේ එන්.ජී.ඕ.ය. තමන් සහ පල්ලිය අනුර දිනවන්න වැඩකළ බව කාදිනල් හිමි කටුවපිටිය පල්ලියේදී ප්‍රසිද්ධියේ කීවේය.
කාදිනල් හිමි එලෙස කීවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අල්ලන වැඩේ අනුර කිරිගහට ඇන්නා වගේ කරයි කියලාය. අනුර ජනාධිපති වී මහ මැතිවරණය ආසන්නයේ කීවේ පාස්කු ප්‍රහාරයේ ලොකු තොරතුරක් එළියට එන්න නියමිත බවය. ඔහු මේ ප්‍රකාශය කළේ මහ ඡන්දය කට ළඟ තිබියදීය. ඒත් ආපු තොරතුරක් නැත.
ඊළඟට ඔහු මහ ඡන්දය දිනා යළිත් ගමින් ගමට යද්දී පාස්කු ප්‍රහාරය ගැන නිවැරැදිව විමර්ශන කරන්නේ තම ආණ්ඩුව බලයට පත්වූවාට පසුව යැයි කීවේය.
පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කොට ඔහු ගමින් ගමට යද්දී කීවේ 21 වැනි දිනට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නා බවය.
21 පහු විය. අනුර එදින පාස්කු ප්‍රහාරය සොයන්න පත්කළ කොමිෂන් වාර්තාව සී.අයි.ඩී.යට භාර දුන්නේය. හරි නම් අනුර මෙය භාරදිය යුතුව තිබුණේ ජනාධිපති වූ විගසය. ඒ කියන්නේ අප්‍රේල් 21 ප්‍රහාර දිනය වනතෙක් අනුර ඒ ගැන සොයා බලලාවත් නැත.
අනුර දිනවන්න කාදිනල් හිමි සහ පල්ලියේ සහාය දිනාගන්න වැඩ කළ එන්.ජී.ඕ. සංවිධාන කියන්නේ ආණ්ඩුව තුළ සිටින පාර රාජ්‍ය බලවේග පාස්කු විමර්ශන කඩාකප්පල් කරන බවය.
අනුර ජනාධිපති වූ විගස අභියාචනාධිකරණ සභාපතිට දෝෂාභියෝගයක් ගේනවා කියා බයකොට ඔහුව ගෙදර යැව්වේය. ඒත් දේශබන්දුව ගෙදර යවන්න මතක් වුණේ මාතර උසාවියකින් දේශබන්දුට එරෙහිව නියෝගයක් දුන් විටදීය. මෙයින්ම පේන්නේ ජනාධිපතිට වුවමනාව තියෙනවා නම් 159ක් මන්ත්‍රීවරු ඉන්නා ආණ්ඩුවක කරන්න බැරි ගැහැනියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැනියක් කිරීමත් පමණක් බවය. පාර රාජ්‍ය කතා නිදහසට හේතු හොයන්න පාර කියන කතා විතරය. පාර රාජ්‍ය විමර්ශන කඩාකප්පල් කරනවා කිය කියා අනුරගේ ආණ්ඩුවත් පල්ලියට සම්බන්ධකම් ඇති එන්.ජී.ඕ. සංවිධානත් හදන්නේ තවත් වටයකින් කාදිනල් හිමිවත් පල්ලියත් කඩේ යවා ගන්නටය.










