හෙට (20) දිනට යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් මුලින්ම සුබ පැතුම් එක්කිරීමට චීන ජනාධිපති ෂී ජින් පින් මහතා කටයුතු කොට ඇත.
ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වී ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමා යොමු කළ ලිපියක් පිළිගන්වා ඇත.
කොවිඩ් – 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ. ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් එවා තිබේ. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.
දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව ජනාධිපතිවරයා ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත ස්තූතිය පළ කර ඇත. චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ. අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.
ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනොකට ඉමහත් සේ උපකාර කළහ. මේ වසරේ පෙබරවාරි මුල් භාගයේදී චීනය වසංගතයෙන් පීඩාවට පත් ව සිටින විට ශ්‍රී ලංකාව කළු තේ තොගයක් චීනයට පරිත්‍යාග කළේ තේ වල ඇති සුව කිරීමේ ගුණය සැලකිල්ලට ගනිමිනි. එපමණක් නොව චීනයේ වෛරස් ආසාදිතයන්ට සෙත් පතා ශ්‍රී ලංකාව පුරා පිරිත් සජ්ඣායනය කෙරුණි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සිය සහෝදරත්වය පළ කරමින් ඇදි සිතුවම් කිහිපයක් චීන ජනාධිපති ආර්යාව පෙන්ග් ලීයූවාන් මැතිණිය වෙත යවා තිබුණු අතර එම ක්‍රියාව ඇයගේ මහත් ඇගයීමට ලක් විය.











