ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිලිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ.Sri Lanka Latest News
එහි දැක්වෙන්නේ මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් විදේශීය ආයතන විසින් මෙරට ජනතාව නොමඟ යවන බවයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් ඒ සදහා භාවිත කරමින් මෙම වංචාසහගත ප්‍රචාරණ සිදුකරමින් සිටින බවද එහි දැක්වේ.
විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී ඇත.
ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන වංචනික දැන්වීම් සහ ප්රවර්ධනයන් මෙරට ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සිය නිවේදනයෙන් දන්වා සිටියි.
එනිසා රජයේ නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරන ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ප්‍රවර්ධනය කරන ඔන්ලයින් දැන්වීම් වලින් ප්‍රවේශම්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.










