කවුරුවත් අමනාප වෙන්න කාරණාවක් නෑ. මේ ලිපිය ලියන්නේ වඳුරන්ට රිළවුන්ට කියවන්න. වඳුරෝ රිළවු අඳුනන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක කියවන්න දෙන්න. වඳුරෝ රිළවු ගැවසෙන තැන් තියෙනවා නම් පුළුවන් නම් මේ ලිපිය එල්ලලා තියන්න. වඳුරන්ගේ රිළවුන්ගේ දුරකතන අංක තියෙනවා නම් ඒගොල්ලන්ට ලිපියේ ලින්ක් එක දාන්න. මොකද අපි ‘මව්රට’ පත්තරේ විදියට අද මේ ලෝකෙම කියවන ඉතා විශිෂ්ට කියවීම් වාර ගණනකට හිමිකම් කියන ඊ පුවත්පතක හිමිකරුවන් බවට පත්වෙලා ඉන්නවා. හැබැයි මේ වතාවේ නම් මේ ලිපිය ලියන්නේ මිනිස්සුන්ට නෙවෙයි. දේශපාලකයන්ට නෙවෙයි. නායකයන්ට නෙවෙයි. මහාචාර්යවරුන්ට නෙවෙයි. ආචාර්යවරුන්ට නෙවෙයි. ඒ කිසි කෙනකුට නෙවෙයි. මේ ලියන්නේ වඳුරන්ට රිළවුන්ට. Sri Lanka Latest News
සෙනසුරාදා උදේ මොන වැඩේ තිබුණත් තමන් මේ දවස්වල වැල වරකා කන, අඹ දඹ නාරං හොයන, නිතර ගැවසෙන වත්තට වෙලා ඉන්න මතක තියාගන්න. ඒ කියන වෙලාවට ඒ වත්තේ ඉන්න විතරක් නෙවෙයි එහෙට මෙහෙට පනින්න දුවන්න උඩපනින්න දඟලන්න කිසි දෙයක් කරන්න එපා. තමන්ගේ අදාළ ස්ථානයේ ඉඳලා තමන්ව ගණන් කරගත්තා කියලා තහවුරු කරගත්තට පස්සෙයි යන දිහාවක යන්න පුළුවන්. මොකද එහෙම නොවුණොත් ඉස්සරහට සමෘද්ධිය හම්බවෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා. ඉස්සරහට ආධාර ලැබෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට වඳුරු පැටියෙක් ඉස්කෝලෙකට දාගන්න ගියාම ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ලොකු ගැටලු ගොඩකට ඔයා මුහුණ දෙනවා.
මේ වෙලාවේ එක එක්කෙනා කියනවා අහරේ වඳුරෝ ඉන්නවා, මෙහේ වඳුරෝ ඉන්නවා, ඔක්කොම ඉන්නේ ගෙවල්වල, ගම්වල නෙවෙයි කියලා. ඔයාලගේ හිතවත් දන්න හඳුනන වඳුරන් හරහා වනාන්තර ඇතුළේ ඉන්න කැලෑවල ඉන්න ගෙවල්වලට නොයන ගෘහාශ්‍රිත නොවන වඳුරන්ව පුළුවන් තරම් ඉක්මනට දැනුවත් කරන්න මේ සංගණනයට සහභාගි වෙන්න අවශ්‍ය නම් කාගේ හරි දන්න හඳුනන කෙනකුගේ වත්තට එන්න කියලා. ඒ වත්තට ආවාට පස්සේ ඔයාට සිද්ධ වෙනවා සෙනසුරාදා උදේ වරුවේ ඒ වත්තේම ඉන්න. එහෙම වුණාම අපිට පුළුවන් වෙනවා මෙන්න මේ වඳුරු සංගණනය සාර්ථකව ඉවර කරගන්න. වඳුරු සංගණනය සාර්ථකව ඉවර කළාට පස්සේ දඬුලේන්නු, රිළව්, මොනරු මේ විදියට මේ සංගණනය ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හරි ලේසි වැඩක් තමයි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේක වඳුරෙක්ට රිළවෙක්ට සහභාගි වෙන්න අවශ්‍ය සංගණනයක් වුණාට වඳුරන්ට රිළවුන්ට මහන්සි වෙන්න දෙයක් නෑ. ඔයාට තියෙන්නේ කොහේ හරි අත්තක ඉත්තක ගහක මුදුනක කරටියක වහලයක, එහෙම නැත්නම් බිමක වුණත් කමක් නෑ කොහේ හරි තැනක අදාළ වෙලාවට නැවතිලා නිශ්ශබ්දව නැට්ට හොලවන්නේ නැතුව, ඔළුව කසන්නේ නැතුව, අතපය හොලවන්නේ නැතුව ඉන්න. එහෙම වෙලාවට පින්තූරයක් එහෙම අරගෙන පත්තරවල දාලා, සංගණනය ඇරැඹුණා කියලා හරියට ගණන් හදාගත්තොත් මේකේ වාසිය තියෙන්නේ මිනිස්සුන්ට නෙවෙයි වඳුරන්ට. මොකද මේ වගේ දෙයක් කරලා මිනිස්සුන්ට වාසියක් ගන්න බෑ කියන එක වඳුරෙක්ට වුණත් තේරෙනවනේ. අපි හිතනවා මේ වඳුරන්ට තමයි මේකේ වාසියක් ඇත්තේ කියලා. මොකද මේ කාරණාවේදී ලංකාවේ මිනිස්සුන් මොන මොනවා කිව්වත් වඳුරෝ මොනවත් කියන්නේ නෑ කියලා අපි දන්නවා. ඇත්තටම මේ මොහොතේ අපිට තවම කිසිම තැනක මේකට විරුද්ධ වෙච්ච වඳුරෙක්ව හම්බවුණේ නෑ. මේකට විරුද්ධව එක වඳුරෙක් තාම කට ඇරියේ නෑ. අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් කොහේවත් කිසිම වඳුරෙක් මේ සාර්ථක වැඩේ විවේචනය කරන්නේ නෑ කියලා.
ආණ්ඩුවටයි වඳුරන්ටයි මේ ගනුදෙනුව කරගන්න දෙන්නේ නැතුව ෆේස්බුක්කාරයෝ, යූටියුබ්කාරයෝ මේක විවේචනය කරනවා අපි දකිනවා. ඇත්තටම කරන්න ඕනේ දේ තමයි මේ දෙගොල්ලන්ටම ඒක කරගන්න දීලා අපි පැත්තකට වෙලා ඉන්න එක. මොකද වඳුරන්ට ප්‍රශ්නයක් නැත්නම් වඳුරෝ මේක විවේචනය කරන්නේ නැත්නම් කිසිම වඳුරෙක් මේ වැඩේ නරකයි කියලා කියන්නේ නැත්නම් මිනිස්සුන්ට මොකක්ද මේ තියෙන අමාරුව. ඒ නිසා වඳුරු සංගණනය සාර්ථක කරගන්න අපි දන්නවා මේ රටේ වඳුරෝ තමන්ගේ කණ්ඩායම්වල නායකයෝ දැනුවත් කරලා තමන්ගේ පිරිස්වල ඉන්න ප්‍රධානීන්ට කියලා අහල පහළ වනාන්තරවල ඉන්න වඳුරෝ ටික හොයලා මේ වෙනකොට ඒගොල්ලෝ කතාබහ කරලා මේ වැඩේ ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඕනේ නම් අපිට පුළුවන් මේ වඳුරන්ව දැනුවත් කරන්න ඒගොල්ලන්ට කෑම කන්න තැනක් හදලා දෙන්න, ඒගොල්ලන්ට පොඩි කඩයක් දාලා දෙන්න, වඳුරන්ව ව්‍යාපාරවලට යොමුකරන්න, වඳුරන්ව ගොවිතැනට හුරු කරන්න, වඳුරන්ව පොල් කඩන්න තැඹිලි කඩන්න ගන්න. ඒ වගේම වඳුරන්ව ජීවිතාරක්ෂාව සඳහා යොදාගන්න. කඳු මුදුනක ගහක එහෙම නැත්නම් ගොඩනැගිල්ලක උස තැනක අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා ඉන්න මනුස්සයෙක් බේරගන්න උදව් කරන්න වගේ දේවලට යොදාගන්න. ඒ වගේම ගස් නගින්න පුරුදු කරන්න. ඔය පොල් කඩනවා වගේ දෙයක් තියෙනවා නම් ඒ වැඩේ මිනිස්සු කරනවාට වඩා හොඳයි වඳුරෝ කරන එක. මොකද මිනිහෙක් කරද්දී ඒක අනාරක්ෂිතයි, මිනිහටත් හොඳ නෑ. මිනිහා වැටෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්.
අපි දකිනවා ගස්වලට නැගලා මනුස්සයෝ බොහෝ වෙලාවට කියනවා මේ ගහෙන් වැටුණා, පලන්චියෙන් වැටුණා කියලා. පලන්චියේ නගින ඒවා, ගස් නගින ඒවා, උඩ නගින ඒවා සියල්ලම අපි ඉස්සරහට වඳුරෝ ලවා කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වඳුරු සංගණනයෙන් පස්සේ මේ වැඩ අපිට කරගන්න පුළුවන්. ඇත්තටම කවුරු හරි කෙනකුට මේ සම්බන්ධව තර්ක විතර්ක තිබුණට අපිට වැඩක් නෑ. මේ විපක්ෂයේ ඉන්න දේශපාලකයෝ අරුන් මුන් කරන්නේ මොකක්ද? මේ ආණ්ඩුවේ තියෙන හොඳ වැඩ, මේ ආණ්ඩුවේ තියෙන ගුණාත්මක වැඩ, මේ ආණ්ඩුවේ තියෙන යහපත් සුන්දර බලාගෙන ඉන්න ආසා හිතෙන වැඩ විවේචනය කරලා මේ මිනිස්සුන්ව අමාරුවේ දාන්න උත්සාහ කරන එක. ඒවා හරි වැරැදියි.
ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ වඳුරෝ විදියට මේ ආණ්ඩුවට තමන්ට පුළුවන් උපරිම සහාය දෙන්න. සෙනසුරාදා උදේ වරුවේ තමන්ගේ වැඩරාජකාරි කොච්චර තිබුණත් ඒවාට නොගිහින් කාගේ හරි වත්තක අත්තක ඉත්තක ගහක මුදුනකට වෙලා ඉන්න. වඳුරු සංගණනය සිද්ධ වෙනවා මේ සෙනසුරාදා. වැඩේ වෙන්නේ මෙහෙමයි. තමන්ගේ වත්තට එන වඳුරන්ව විනාඩි 5ක් ඇතුළත ගණින්න ඕනේ. නැත්නම් ද්විත්ව ගණනයක් සිද්ධ වෙන නිසා. මොකද එහා වත්තට ගියොත් එහා වත්තේ මාමත් එයාව ගැනලා වතු දෙකටම වඳුරා අයිති වෙන හින්දා. අපිට තව අදහසක් ආවා. ඇත්තටම හොඳ නැද්ද මේ වඳුරගේ නැට්ටේ පොඩි තීන්ත පාරක් ගෑවා නම්? ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. නැත්නම් වඳුරන්ට තමන්වම ගැනලා ඉදිරිපත් කරන්න කියන්නත් පුළුවන්.
නටවන්න අරගෙන යන වඳුරෝ ඉන්නවනේ. අපේ සමහර අහිකුණ්ඨික හිතවතුන් ගාව. ඒගොල්ලන්ව පාවිච්චි කරලත් මේ වැඩේ ඕනේ නම් කරන්න පුළුවන්. එහෙම කිව්වම මට මගේ හිතවතෙක් කිව්වා ලබන පාර වඳුරෙකුත් ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට දාගත්තොත් හොඳ නැද්ද කියලා. ඒවා නම් ඉතින් කඩාකප්පල්කාරී කතා සහ වඳුරන් නොමග යවන්න කියන කතා. එච්චර දෙයක් සිද්ධ වෙන්නේ නෑ. කොහොම වෙතත් මේ වෙලාවේ අපි වඳුරන්ට අපේ සහාය ලබාදිය යුතුයි. සමාවෙන්න, වඳුරන්ට නෙවෙයි ආණ්ඩුවට අපේ සහාය ලබාදිය යුතුයි වඳුරෝ හැටියට. අපේ නෙවෙයි, වඳුරෝ හැටියට වඳුරන්ගේ සහාය ලබාදිය යුතුයි. මොකද මේ වැඩෙන් මිනිස්සුන්ට යහපතක් සිදුවුණත් නොවුණත් වඳුරන්ට නම් හොඳක් වෙනවා කියන එක නම් අපිට විශ්වාසයි.

ජීවන පහන් තිළිණ










