ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2024 දෙසැම්බර් අවසානය වනවිට ඩොලර් බිලියන 106.16 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන වාර්තා අනුව පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News
2024 සැප්තැම්බර් මාසය වනවිට සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 103.7ක් ලෙස පැවැති අතර, දෙසැම්බර් වනවිට එය තවදුරටත් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරනු ලැබේ.
මේ තුළ දේශීය ණය ඩොලර් බිලියන 64.57ක් පවතින අතර, විදේශීය ණය ඩොලර් බිලියන 36.7ක්ද, රජය ඇපකරුවෙක් ලෙස අස්සන් කොට රාජ්‍ය ආයතන මගින් ලබාගෙන ඇති ණය ඩොලර් බිලියන 4.89ක්ද පවතී.
2022 සැප්තැම්බර් මාසය වනවිට පැවැති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 81.67ක් පමණ වූ අතර, එම කාලය හා සසඳන විට රටේ ණය බර සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව අනාවරණ වෙයි.
මෑත කාලය තුළ දේශීය ණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර, රුපියලේ අගය ශක්තිමත් වීමද සමස්ත දේශීය ණයවල ඩොලර් වටිනාකම වෙනස් වීම කෙරෙහි සැලකිය යුතු මට්ටමකින් බලපා ඇත.
විදේශ ණය පිළිබඳ සලකා බලන විට 2024 සැප්තැම්බර් වනවිට ඩොලර් බිලියන 38.27ක් පැවැති අතර, ඒ තුළ බහු පාර්ශ්වීය ණය ඩොලර් බිලියන 12.47ක්ද, ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.05ක්ද, වාණිජ ණය ඩොලර් බිලියන 14.74ක්ද ලෙස පැවැතිණි.
කෙසේ වුවද 2024 දෙසැම්බර් වනවිට විදේශීය ණය ඩොලර් බිලියන 36.68 දක්වා ඩොලර් බිලියන 1.58කින් පහළ ගොස් ඇත.
විදේශීය ණය පිළිබඳ සලකා බලන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමග විදේශීය ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය යම් මට්ටමකින් පහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණය තුළ පැහැදිලි වේ.
එහෙත් බහු පාර්ශ්වීය ණය ඩොලර් මිලියන 425කින් පමණ අදාළ කාලපරිච්ඡේදය තූළ ඉහළ ගොස් ඇත.
ප්‍රේමලාල් විජේරත්න










