චීනයත් අඩියක් පස්සට ගනී!
හමුදා ලොක්කෝ එක මිටකට!
එජාපයට වැලේ වැල් නෑ!
පරණ කරු ආපහු ඇවිත්
1994 වර්ෂයෙන් පසු මෙරට බලයට පත්වන සෑම ජනාධිපතිවරයෙක්ම බලයට පැමිණීම සඳහා තෝරාගත් එක්තරා විශේෂ සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1994 ජනාධිපති ධුරයට පත්වූයේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි කියාය. ඒ සඳහා ඇය ජවිපෙ සමග ගිවිසුමකටද අත්සන් තැබුවාය. වසර 11ක් බලයේ සිටියද ඇය එම පොරොන්දුව ඉටුකළේ නැත. ඉන් අනතුරුව 2005 බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට රටට පොරොන්දුවක් දුන්නේය. මහින්දත් වසර 10ක් ජනාධිපති ධුරයේ කටයුතු කළද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද පියවර ගත්තේද නැත.Sri Lanka Latest News
2015 වසරේදී මහින්ද පරාජයට පත්කිරීම සඳහා මෙරට ප්‍රබලම භූමිකාව දියත් කළේ වෙන කවුරුවත් නොව, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ය. මෛත්‍රී-රනිල් පෙරටු කොටගෙන මාදුළුවාවේ සෝභිත හිමියන් රට වටා යද්දී කියමින් ගියේ යහපාලන රජය යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි කියාය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යහපාලන ආණ්ඩුව බලයට පත්වුවද මෛත්‍රී හෝ රනිල් හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කළේ නැත. මෛත්‍රීගෙන් පසු ගෝඨාභය සහ රනිල් ජනාධිපතිවරුන් වශයෙන් කටයුතු කළද, ඔවුන්ද රට හමුවේ දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉෂ්ට කළේ නැත.
ඉන් අනතුරුව මෙවර ජනාධිපතිවරණයේදීද මාලිමාවේ සහ අනුරගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. දකුණේ වේදිකාවේ පමණක් නොව, උතුරට පවා ගොස් උතුරේ දමිළ ජනතාව හමුවේද අනුර ඒ පොරොන්දුව ලබාදුන්නේය. නමුත් තවමත් එම පොරොන්දුව ඉටුවන ආකාරයක් පෙනෙන්නට නැතත් ආණ්ඩුව පැත්තෙන් වරින් වර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ කතාව නම් අසන්නට ලැබේ.
කෙසේ වෙතත් අද අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ නැවත වතාවක් මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය එළියට ගැනීමට එක්තරා කණ්ඩායමක් සූදානම් වෙමින් සිටීම නිසාය. ඒ, වෙන කවුරුවත් නොව, එජාපයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කරු ජයසූරිය මහතාය. මෙම සටන් පාඨය කරු අතට ගත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ හදිසි අපවත් වීමත් සමගය. නමුත් ඉන් අනතුරුව කරු දිගටම මෙම සටන් පාඨය ඉදිරියට රැගෙන යනවාට වඩා තමන්ට අවශ්‍ය වේලාවට එළියට ගෙන නැවතත් පෙට්ටගමේ බහා තබන ආයුධයක් ලෙස මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම භාවිත කරන අයුරු දැකගත හැකි විය. උදාහරණයක් ලෙස කියනවා නම් අරගලයෙන් පසු පාර්ලිමේන්තුවේ පිහිටෙන් පිනට ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු අවස්ථාවේදී කරු, රනිල්ගේ ආණ්ඩුවට අනියමින් සහාය දෙමින් සිටියද ඒ කිසිදු අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය රනිල් ලවා අහෝසි කරගැනීමට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට කරූලා කළේ සිය පවුලේ ඥාති පුත්‍රයාට ආණ්ඩුකාර තනතුරු ලබාගැනීම සඳහා රනිල් පස්සේ යෑමය. පළාත් පාලන ඡන්දය නොපවත්වා එය කල්දැමීම සඳහා අනියමින් රනිල්ට උපකාර කරමින් විවිධ කමිටුවල සභාපති ධුර දැරීමය. තමන්ගේ හිතවතුන් ජනාධිපති කාර්යාලයේ තනතුරුවලට පත්කොට ඔවුන්ට වැටුප්, වාහන ඇතුළු විවිධ වරප්‍රසාද නොමිලේ ලබාදීමය.
කෙසේ වෙතත් රනිල් ජනාධිපතිකම් කරන අවදියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකළ කරු, ජනාධිපතිවරණය පරාජයට පත්වන බව දැන දැනම රනිල් ඊට තරග වදිද්දී යළිත් රනිල්ට සහාය දැක්වීම සඳහා සෝභිත හිමියන්ගේ සටන් පාඨය වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව යළිත් එළියට ගැනීමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී අප පැහැදිලිවම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නේ කරු හදිසියේම මේ අයුරින් කරළියට එන්නේ රනිල් පරාජයට පත්වීම වළක්වා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ශක්තියක් දීමට යැයි කියාය. නමුත් රනිල්ගේ පරාජයත් සමගම යළිත් වතාවක් කරු සහ කරුගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව යට ගියේය.
නමුත්, පසුගිය සතියේ කරූ සහ කරූ කරේ තියාගෙන යන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව යළිත් වතාවක් කරළියට පැමිණියේය. මෙවර කල්යල් බලා කරූ ඒ සඳහා විශේෂ කණ්ඩායමක්ද එකතු කරගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය සතියේ කරූගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සහ නීතිඥ සංගමයේ ප්‍රධානීන්ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. එමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද ඊට සහභාගි වී සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
මේ ආකාරයට කරූ නැවත වතාවක් හමස් පෙට්ටියේ දමා තිබුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සුද්ද බුද්ද කොට හදිසියේම එළියට ගැනීමට කටයුතු කළේ ඇයි?
ඊට හේතුවී තිබෙන්නේ 2015 සෝභිත හිමියන් නිර්මාණය කළ දේශපාලන වේදිකාවේ සිටි අනුර කුමාරලාද මේ වනවිට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානමින් සිටින බවට කනින් කොනින් තොරතුරු ලැබී තිබීමය. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ විධායක ජනාධිපති ධුරය විශාල සංශෝධනයකට ගෙන යෑම ආණ්ඩුවේ සැලසුම වී ැති බව ආරංචිය. ඒ අනුව බොහෝ දෙනා කියන්නේ ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ලකුණු දමාගැනීමේ අරමුණෙන් යළිත් වතාවක් කරූලා මේ යෝජනාව එළියට ගෙන ඇතැයි කියාය. ඒ අනුව නැවත වතාවක් සුදු කමිස සුදු සරම් ඇඳගෙන කරූ ඇතුළු කණ්ඩායම කලඑළි බැස ඇත්තේ විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කිරීම සඳහා අනුරලා නැග ඇති කෝච්චියට බලෙන් අතරමගින් එල්ලීමටය.
විජිත ජිනීවා ගියේ ඇයි?
2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමග ගෙවීගිය සෑම වසරකදීම පාහේ මාර්තු මාසය ළං වනවිට ආණ්ඩුවට මුහුණ දීමට අසීරු මාතෘකාවක් කරළියට පැමිණෙන ආකාරයක් දැකගත හැකිය. ඒ, සෑම වසරකම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයය. 2009 වසරේ සිටම එම ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජය සඳහා යුද පෙරමුණේ ඉදිරියෙන් සිටි නිලධාරීන්ට මානව හිමිකම් චෝදනා එල්ල වූ අතර, එදා සිට අද දක්වාම එය අඩු වැඩි වශයෙන් මාර්තු මාසයේදී එය කලඑළි බසින ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව මෙවරද ජිනීවාහි මානව හිමිකම් රැස්වීම ආරම්භ වූ අතර, මෙවර පළමු වතාවට රටේ බලය හොබවන මාලිමා ආණ්ඩුව ඒ සඳහා වෙනස් ප්‍රවේශයක් උපයෝගී කොටගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය.
සාමාන්‍යයෙන් වෙනත් වසරවලදී මාර්තු මස පැවැත්වෙන ජිනීවා සැසිවාරයට ආණ්ඩුවේ ඇමැතිවරුන් සහභාගි වන්නේ නැත. ඒ සඳහා සහභාගි වන්නේ රජයේ ඉහළ පෙළ නිලධාරීන්ය. නමුත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් කරමින් බොහෝ කලකට පසු මාලිමා ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා වූ විජිත හේරත් මහතාම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි කරවීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ සඳහා විශේෂ හේතුවක් තිබේ. සාමාන්‍යයෙන් වසරකට ජිනීවා සැසිවාර දෙකක් පැවැත්වෙන අතර ඉන් එකක් මාර්තුවේද අනෙක සැප්තැම්බර් මාසයේද පැවැත්වීමට කටයුතු කරයි. පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකාව සම්බන්ධයෙන් පැවැති සැසිවාරය ඉතා උණුසුම් සහ තීරණාත්මක එකක් වූ අතර, එහිදී ලංකාවට එරෙහිව ඔවුන් යෝජනාවක් සම්මත කරගැනීමට සැලසුම් සකස් කොට තිබිණි. එය ඉතා භයානක යෝජනාවක් බවට තොරතුරු ලැබීමත් සමග එවක බලයේ සිටි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමට පියවර ගෙන තිබිණි. විශේෂයෙන්ම යම් හෙයකින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මෙම යෝජනාව සම්මත කළේ නම්, එය ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවන්ට පවා ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව ආණ්ඩුවේ මතය වී තිබිණි. ඒ අනුව එම උගුලෙන් ගැලවීම සඳහා රනිල් ඊට තුරුම්පුවක් ගැසුවේය. එහිදී රනිල්ගේ ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කොට තිබුණේ 2025 වසර මැතිවරණ වසරක් බැවින් බලයට පත්වන නව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩ ලබාදීම සඳහා එම යෝජනාව ගෙන ඒම වසරකින් කල් දමන ලෙසටය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර දේශපාලනයේදී මැතිවරණ පැවැත්වෙන කාලවකවානුවලදී ඒ ඒ රටවල් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමක් නොකරන නිසා ඒ සම්ප්‍රදායට අනුව යමින් ජිනීවා මානව හිමිකම් කොමිසමද ලංකාවේ මෙම ඉල්ලීමට එකඟතාව පළකරමින් යෝජනාව ගෙන ඒම වසරකින් කල් දැමීමට පියවර ගත්තේය.
යෝජනාව බරපතළයි
ඒ අනුව වසරකින් කල් දැමුණු ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී යළිත් වතාවක් කරළියට ඒමට නියමිතය. මේ සම්බන්ධයෙන් පසුගිය වසරේදීද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙම යෝජනාව ලංකාවට ඉතා අහිතකර ලෙස බලපෑ හැකි බවත්, එම යෝජනාව පසුපස ප්‍රබල රාජ්‍යයක් ලෙස සැලකෙන බි්‍රතාන්‍යය සිටින බවත්ය. බි්‍රතාන්‍යයේ මේ වනවිට පාලනය හොබවන්නේ කම්කරු පක්ෂයේ ආණ්ඩුවකි. එම කම්කරු පක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ප්‍රබල දායකත්වයක් සැපයූවේ එරට වාසය කරන දෙමළ ඩයස්පෝරාවය. මෙම කම්කරු පක්ෂය පසුගිය කාලයේ බලයේ සිටි කන්සර්වේටිව් පක්ෂය මෙන් නොව මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකොට කටයුතු කරන එකකි. එමෙන්ම කන්සර්වේටිව් පක්ෂය එවක ලංකා ආණ්ඩුව සමග සමීපව කටයුතු කළද කම්කරු පක්ෂ ආණ්ඩුවට මාලිමා ආණ්ඩුව සමග එතරම් සමීප සම්බන්ධයක් නැත. ඒ නිසා බොහෝ දෙනා සැක පළකරන්නේ දෙමළ ඩයස්පෝරාව ශක්තිය දෙන වත්මන් බි්‍රතාන්‍ය කම්කරු පක්ෂ රජය ලංකාවට එරෙහිව අතිශය අසීරු යෝජනාවක් සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි කියාය. මාලිමා ආණ්ඩුවද මෙවර රැස්වීමට සම්ප්‍රදාය කඩකරමින් ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයාම ජිනීවා රැස්වීමට සහභාගි කරවීමට කටයුතු කළේ මේ හේතුව නිසා බව දේශපාලන ක්ෂේත්‍රයේ මතය වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය කාලසීමාව පුරාම පැවැති ආණ්ඩු ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ තබා ඇති ඉටු නොකළ පොරොන්දු ගණනාවක් තිබේ. ඉන් ප්‍රධාන එකක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වූ පොරොන්දුවය. ඊළඟට අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයය. නමුත් මේ වනවිට මෙම යෝජනා දෙකම ක්‍රියාත්මක කිරීමට පැවැති ආණ්ඩු අසමත් විය. අතුරුදන් වූවන් සෙවීම සඳහා පිහිටුවූ කාර්යාලය, අතුරුදන් වූවන් කිසිවකු සොයාගැනීමට අසමත් වී ඇති අතර, එය නාමික ආයතනයක් පමණක් බවට මේ වනවිට පත්ව තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුවට තවදුරටත් ජිනීවා කොමිසම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නම්, ලංකාවට එරෙහිව අතිශය භයානක යෝජනාවක් ඉදිරිපත් වීම වළක්වා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුව තිබේ. අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය සක්‍රීය එකක් බවට පත්කළ යුතුව තිබේ.
එයට මග පාදාගමින්දෝ අමාත්‍ය විජිත හේරත් මෙවර ජිනීවා සමුළුවේදී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට සූදානම් බව සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශ කොතරම් සාර්ථක වනු ඇද්ද යන්න බලාගැනීමට හැකි වන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන යෝජනාව අනුවය. එම නිසා මේ කාලය අතරතුරදී හෝ වත්මන් ආණ්ඩුව කඩවුණු පොරොන්දු ලබා නොදී, ජාත්‍යන්තරය හමුවේ දුන් පොරොන්දු ඉටුකර ලීමට වගබලාගත යුතුව ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
ට්‍රම්ප් ලංකාව අමාරුවේ දායිද?
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කෙටි සටහනක් තබමින් සඳහන් කර සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකානු නව රජය ලොව වෙනත් රටවලට විශාල වශයෙන් තීරුබදු පැනවීමට සූදානමින් සිටින බවකි. දැනටමත් චීනය, මෙක්සිකෝව, කැනඩාව ආදී රටවලට ඉහළ තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප් රජය කටයුතු කොට ඇති අතර, ඊළඟට ඉදිරිපත් වන තීරුබදු ලැයිස්තුවේ බොහෝ දුරට ලංකාවද සිටිය හැකි බවට අපි එහි සඳහන් කර සිටියෙමු. ඒ අනුව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප මේ කතාවේ කවුරුත් නොදන්නා ඉන් එහාට ගිය විශේෂ තොරතුරක්ද වාර්තා කිරීමට සූදානම්ය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ වනවිට ට්‍රම්ප් එසේ තීරුබදු පැනවිය යුතු නව රටවල් ඇතුළත් ලැයිස්තුව සකස් කරමින් සිටින බවය.
එහිදී ට්‍රම්ප් භාවිත කරමින් සිටින්නේ ඉතා සරල නිර්නායකයකි. එනම්, ජාත්‍යන්තර වෙළෙඳාමේදී ඇමෙරිකාව වැඩියෙන් භාණ්ඩ ආනයනය කරනු ලබන රටවලට වැඩි තීරුබද්දක් පනවා ඒ ආනයන අධෛර්යමත් කිරීමය. ඒ රටවලට ඇමෙරිකාවෙන් අපනයනය කරන භාණ්ඩ ඉහළ නංවා ආනයන – අපනයන පරතරය සමාන තලයක පවත්වා ගැනීමත්ය. ඒ අනුව ලබන අප්‍රේල් 02 වැනි දින මෙම නව ලැයිස්තුව එළිදැක්වීමට ට්‍රම්ප් සූදානමින් සිටින අතර, බොහෝ දෙනා කියා සිටින්නේ ලංකාව මෙම ලැයිස්තුවට නියත වශයෙන්ම ඇතුළත් වනු ඇතැයි කියාය. ඊට හේතුව වී ඇත්තේ ලංකාව ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවල සහ ලංකාවෙන් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ අතර විශාල පරතරයක් තිබීමය. ලංකාව අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 0.5කි. නමුත්, ලංකාවේ අපනයනවලදී ඇමෙරිකාව ප්‍රධාන ගැනුම්කරුවකු වන අතර, එහි වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 2.5කි. විශේෂයෙන්ම ලංකාවේ ඇඟලුම්වල ප්‍රධාන ගැනුම්කරුවා වන්නේ ඇමෙරිකාවය. ඒ අනුව, ඇමෙරිකාවේ ලංකාව කෙරෙහි වන ආනයන-අපනයන පරතරය ඩොලර් බිලියන 2කට අධිකය. මෙම පසුබිම යටතේ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම වෙළෙඳ පරතරය අවම කරගැනීම සඳහා ඊළඟට තීරුබදු පනවන ලැයිස්තුවට ට්‍රම්ප් විසින් ලංකාවද ඇතුළත් කරනු ඇතැයි කියාය. ඒ අනුව ඇතැමුන් ඇමෙරිකාවෙන් ලංකාවට 25%ක තීරු බද්දක් පනවනු ඇති බවට පුරෝකථනය කරන අතර, ඇතැමුන් පෙන්වා දෙන්නේ එය ඇතැම්විට 100%ක තීරුබද්දක් විය හැකි යැයි කියාය. ඒ අනුව ලංකාව, ඇමෙරිකාවේ මෙම තීරුබදු ලැයිස්තුවට ඇතුළත් වුවහොත් අපනයන ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ විශ්වාසයය.
මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීම්වලදී අසල්වැසි ඉන්දියාව සහ ඇමෙරිකාව අතරද පසුගිය කාලසීමාවේදී මෙවැනිම තත්ත්වයක් උද්ගතව තිබූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඉන්දියාවද වැඩි වශයෙන් සිය භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරන අතර, ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන්නේ ඊට වඩා අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රමාණයකි. නමුත් ට්‍රම්ප්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉන්දියාව කරනු ලැබ තිබූ අධ්‍යයනයකදී මේ බව වටහා ගත් ඉන්දියාව වහාම ඇමෙරිකාවෙන් කරනු ලබන ආනයනයන් ඉහළ නංවා අමෙරිකාව සමග ආනයන – අපනයන පරතරය අවම කරගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව මේ වනවිට ඉන්දියාව එම අර්බුදය කළමනාකරණය කරගැනීමට සමත්ව තිබේ. නමුත් ලංකාවට ඒ ආකාරයෙන් හදිසියේ ඇමෙරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීම ඉහළ නැංවීමට කටයුතු කළ නොහැකි අතර, ඒ සඳහා වැයකිරීමට විශාල ඩොලර් ප්‍රමාණයක්ද නොමැත. ඒ අනුව යම් හෙයකින් ට්‍රම්ප්ගේ ඊළඟ බදු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වුවහොත් බංකොලොත් බවින් ගොඩ ඒමට උත්සාහ දරන ලංකාවට එය මරුපහරක් වනවා නොඅනුමානය.
මේ අයුරින් අප ජාත්‍යන්තර තලයේ ලංකාව සම්බන්ධ මෙවැනි තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරින්වර අනාවරණ කරන්නේ ලංකාවේ වෙනත් කිසිදු මාධ්‍යයක් මෙවැනි කරුණු සම්බන්ධයෙන් වචනයක් හෝ නොලියන නිසාත්, ජාත්‍යන්තර තලයේදී ලංකාව මුහුණ දෙන අර්බුද පිළිබඳ මේ රටේ ජනතාව දැනුවත්ව සිටිය යුතු නිසාත්ය.
චීනයත් නොසතුටින්
මේ සියලු ජාත්‍යන්තර අර්බුද අස්සේ මේ වනවිට මතුවෙමින් පවතින තවත් අර්බුදයක් සම්බන්ධයෙන්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරව් කිරීමට අප සූදානම්ය. මෙම අර්බුදය පැනනැගුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුවය. එම චීන සංචාරය අතරතුරදී සහ චීන සංචාරයෙන් පසුව ආණ්ඩුව පැත්තෙන් ප්‍රචාරය වූ පුවත් දුටු ජනතාව සිතා සිටියේ ලංකාව ගොඩදැමීමට චීනය සූදානමින් සිටිනවා යැයි කියාය. ලංකාවට ආර්ථික වශයෙන් ගොඩ ඒම සඳහා චීනය අත දීමට සූදානමින් සිටිනවා යැයි කියාය. චීන සංචාරයේදී ගිවිසුම් 78ක් අස්සන් තැබීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බව ප්‍රචාරය වීම නිසාත්, ලැබුණු ආධාරවලින් විශාල ප්‍රමාණයක් ප්‍රදාන වශයෙන් ලැබුණු බව සඳහන් වීම නිසාත් ජනතාවද එය විශ්වාස කිරීමට කටයුතු කොට තිබූ බවක් ඒ කාලයේදී දැකගත හැකි විය.
නමුත් මේ වනවිට සිදුව ඇත්තේ කුමක්ද? චීනය සමග අස්සන් කරනවා කී ගිවිසුම් 78ට වූයේ කුමක්ද?
අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මේ ගිවිසුම් අස්සන් කිරීම සම්බන්ධනේ ආණ්ඩුවද යම් හිරවීමක සිටින බවය. අනුරගේ චීන සංචාරය අතරතුරදී ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවකින්ම ආණ්ඩුව වෙත පණිවුඩ ගණනාවක්ම ලැබී තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ආණ්ඩුව චීනයත් සමග ඇතිකර ගන්නට යන ගිවිසුම් මොනවාද යන්න විමසමින්ය. අනුරගේ චීන සංචාරය සිදුවද්දී ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු තවත් රටවල් කීපයක් ඒ දෙස ඉතා සමීපව බලා සිටි බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප එකල වාර්තා කර සිටියෙමු. එමෙන්ම ආණ්ඩුව සහ චීනය ඇතිකර ගන්නා ගිවිසුම්වලට ප්‍රතිචාර දැක්වීමට ඔවුන් සූදානමින් සිටින බවද අපි එහිදී සඳහන් කළෙමු.
අනෙක් පැත්තෙන් අනුරගේ චීන සංචාරය ආරම්භ වද්දීම චීනය දැඩි අවධානයක් යොමුකොට තිබුණේ මේ වනවිට නවතා ඇති චීන පර්යේෂණ නෞකාවන්ට යළිත් වතාවක් ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ලබාගැනීමය. ගෝඨාභයගේ පාලන සමය දක්වාම චීන පර්යේෂණ නෞකා ඉන්දියාවේ දැඩි විරෝධය මැද වුවද ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණියේය. නමුත් ගෝඨාගෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ බලපෑමට යටවී චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු තීරයට ඇතුළු වීම වසරකට තහනම් කිරීමට පියවර ගත්තේය. එම වසරක තහනම අවසන් වූයේ පසුගිය දෙසැම්බර් 31 වැනි දිනය. ඒ අනුව චීනය සූදානමින් සිටියේ පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් අනුරගේ ආණ්ඩුව සමග චීන සංචාරය අතරතුරදී අලුත් එකඟතා ගිවිසුමකට ඇතුළු වීමටය. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී යෝජනා රැසක් ඉදිරිපත් වූ අතර ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමටද පියවර ගෙන තිබිණ. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්ද පත්කිරීමට පියවර ගත්තේය. ඒ අනුව චීන ආණ්ඩුවද බලාපොරොත්තුවෙන් සිටියේ ජනාධිපතිවරයා දුන් වචනයට අනුව චීන නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවස්ථාව හිමිවෙතැයි කියාය. විශේෂයෙන්ම මෙය චීනයේ අභිමානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වන නිසා ඊට ඉක්මන් පිළිතුරක් චීනය පැත්තෙන් බලාපොරොත්තුවෙන් සිටියේය.
නමුත් තවමත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා චීනයද මේ වනවිට දැඩි තීන්දුවක් ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ලංකා ආණ්ඩුව සමග එළඹීමට නියමිතව තිබූ සියලු ගිවිසුම් තාවකාලිකව අත්හිටුවීමටය. අනුරගේ චීන සංචාරය අවසන් වීමත් සමග ආණ්ඩුව චීන ගමනේ ප්‍රතිඵල පිළිබඳ මහා ඉහළින් කතා කළද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් මේ ගැන කිසිම සද්දයක් නැත්තේ මේ හේතුව නිසාය. ඒ අනුව චීනයෙන් ලැබෙනවා යැයි කී ආර්ථික වාසි මේ වනවිට තරමක් අඩාළ වී ඇති බවක් දැකගන්නට පුළුවන. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ බොහෝ විට ඉදිරි දින කීපය ඇතුළත මේ ගැන සිහි කැඳවමින් චීනයෙන් රාජ්‍යතාන්ත්‍රික ලිපියක් ලැබීමට හෝ චීනයේ ඉහළ පෙළ නිලධාරියෙක් ලංකාවට පැමිණිමට නියමිතව ඇතැයි කියාය. මීට අමතරව ඉදිරි කාලයේදී ලංකාව ඉලක්ක කර ඇමෙරිකාවෙන් තීරුබදු පැනවීමේ අවදානමක්ද මතුව ඇති නිසා රටේ ඉදිරි ආර්ථිකය මේ වනවිට තරමක් අර්බුදයට යන ලකුණු පහළ කොට ඇති බවක් දැකගන්නට තිබේ.
විමල් ලයිස්තුව දැම්මා
මේ දිනවල ආණ්ඩුව පැත්තෙන් නිතරම එළියට එන්නේ විවිධ නම් ලැයිස්තුය. ආණ්ඩුව මුලින්ම එසේ එළියට දැමූ නම් ලැයිස්තුව වූයේ රනිල්ගේ ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගත් ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුවය. නමුත් ඒ සඳහා ව්‍යාපාරිකයන් රෙකමදාරු කළ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව එළියට දැමීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. ඉන් අනතුරුව ආණ්ඩුව ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කළේය. පසුව අරගල සමයේ ගිනිගත් මන්ත්‍රී නිවාස වෙනුවෙන් වන්දි මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ආණ්ඩුව එළියට දැම්මේය. ඉන් අනතුරුව රනිල්ගේ උපදේශකයන් ලෙස සිටිමින් මුදල් සහ රජයේ වාහන ලබාගත් නිලධාරීන්ගේ නම් ලැයිස්තුව එළියට දැම්මේය.
මේ ආකාරයට ආණ්ඩුව පැත්තෙන් විවිධ නම් ලැයිස්තු එළියට දමද්දී ආණ්ඩුවත් හෙල්ලී යන ආකාරයේ නම් ලැයිස්තුවක් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එළියට දැම්මේය. ඒ, ඇමෙරිකානු රජය යටතේ ක්‍රියාත්මක වූ යූ.එස්. ඒඩ් ආයතනය මගින් මෙරට දේශපාලකයන් සහ නිලධාරීන්ට, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලට මුදල් ලබාදීම පිළිබඳ නම් ලැයිස්තුවකි. එම නම් ලැයිස්තුව වට්ස්ඇප් මාර්ගයෙන් අප වෙත ලැබුණද, එහි නිරවද්‍යතාව කිසිවකු විසින් තහවුරු කර නොතිබුණු නිසා අප එය ප්‍රසිද්ධියේ පළකිරීමට කටයුතු නොකළෙමු.
නමුත් පසුගිය සතියේ හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී චමුදිත සමරවික්‍රම ඇතුළු මාධ්‍යවේදීන් දිගින් දිගටම විමල්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරද්දී කිසිදු සංස්කරණයකින් තොරව විමල් එම නම් ලැයිස්තුව එළියට දැමීමට පියවර ගත්තේය. මේ එහිදී විමල් හෙළිකළ නම් ලැයිස්තුවය.
මංගල සමරවීර, මනෝ තිත්තවැල්ල, මලික් සමරවික්‍රම, රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රෝසි සේනානායක, වජිර අබේවර්ධන, නෙරංජන් දේවාදිත්‍ය, හරිනි අමරසූරිය, හසානා සේගු ඉසදීන්, රොසානා ෆ්ලමර් කල්දේරා, ජේක් ඔර්ලොෆ්, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රොහාන් සමරජීව, සුජාතා ගමගේ, ඉන්දි සමරජීව, ධනනාත් ප්‍රනාන්දු, මුර්තාෆා ජෙෆර්ජි, අෂ්රොෆ් ඕමාර්, අජිත් ගුණවර්ධන, රුචී ගුණවර්ධන, ඔටාරා ගුණවර්ධන, චන්න ද සිල්වා, ලක්ෂ්මන් බණ්ඩාරනායක, ෂෙහාරා ඩි සිල්වා, ප්‍රසාද් පෙරේරා, නිෂාන් ඩි මෙල්, චරේන්ද්‍ර චන්ද්‍රසේන, රන්ජන් රාමනායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඩබ්.ඒ. විජේවර්ධන, අශෝක හඳගම, රෙන්ෆෝඩ් මැල්කම් කල්දේරා, දිනේෂ් චන්ද්‍රසේන, අනුර බණ්ඩාරනායක, ෂර්මන් ඩි රෝස්, ජයන්ති කුරු උතුම්පාල, චානු නිමේෂා, සොනාලි දැරනියගල, මේරි ඈන් මෝහන්රාජ්, ශ්‍යාම් සෙල්වදුරෙයි, අකිල විරාජ් කාරියවසම් විමල් කී එම නම් ලයිස්තුවය.
එජාපය නන්නත්තාරයි
වසර කිහිපයකින් කල්දැමුණු පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ නැවත වතාවක් රැස්වීමට සූදානම්ය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ කොමිසම රැස්වී මැතිවරණ දිනය තීරණය කිරීමට සැලසුම් කර තිබුණද එදින එම තීන්දුව ඔවුන් ගෙන තිබුණේ නැත. ඒ අනුව ලබන සතියේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් සියලු පක්ෂ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට පුළුවන. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වශයෙන් සජබය දැනටමත් නාමයෝජනා මණ්ඩල කැඳවා ඒ ඒ දිස්ත්‍රික්කවල පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු සිදුකොට අවසානය. එමෙන්ම විපක්ෂ නායක සජිත් සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනටමත් රට වටා යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඇති බවක් දැකගන්නට පුළුවන. එමෙන්ම පසුගිය සතියේ සජිත් පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට දින දෙකක වැඩමුළුවක් පැවැත්වීමට පියවර ගත්තේය.
නමුත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂය විශාල ගැටලුවකට මුහුණ දී තිබීමය. ඒ, ඔවුන්ට එජාපයෙන් ගමට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති නිසාය. මේ බව කල් තියාම වටහාගෙන සිටි රනිල් සැලසුම් කොට තිබුණේ කෙසේ හෝ සජබය සමග සාකච්ඡා ආරම්භ කොට පක්ෂ දෙක එකට ගැටගසා එජාප අපේක්ෂකයන්ද සජබ ලැයිස්තුවෙන්ම පුංචි ඡන්දයට ඉදිරිපත් කිරීමටය. ඒ හරහා එජාපයට ගමේ අපේක්ෂකයන් හොයාගැනීමේ නොහැකියාව වසාගැනීම රනිල්ගේ සැලසුම වී තිබිණි. නමුත් මේ වනවිට සජබය සහ එජාපය එක්ව තරගවදින සැලැස්ම අවසන් වී ගොස් සජබය තනිවම පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට තීන්දු කොට අවසානය. ඒ අනුව මේ වනවිට එජාපය සිටින්නේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයකය.
අනෙක් අතට මෙවර මැතිවරණයට අපේක්ෂකයන් තේරීමද ලේසි පහසු නැත. එහි යම් කෝටාවක් අනිවාර්යයෙන්ම කාන්තාවන්ට වෙන්කළ යුතුය. තරුණයන්ට වෙන්කළ යුතුය. සජබයට එහි ප්‍රශ්නයක් නැති වුවත් ගමේ ඉන්න තරුණයන් හෝ කාන්තාවන් එජාපයෙන් නාමයෝජනා ඉල්ලන පාටක් හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් හෝ පවතින ආකාරයක් දක්නට නැත. මේ හේතුව මත එජාප සජබ සාම සාකච්ඡා කමිටුවල සිටි ඇතැම් එජාප ප්‍රධානීන් සජබ මන්ත්‍රීවරුන්ට දිගට හරහට මේ දිනවල දුරකතන ඇමතුම් දෙමින් යළි එකතු වීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටින ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති එජාපයේ යම් යම් පුද්ගලයන් මේ දිනවල සාම නියෝජිතයන්ට ඇඳ සජබ ඔස්තාර්ලාගේ නිවෙස්වලට යමින් මධුවිත තොලගාමින් යම් යම් සාකච්ඡා සිදුකරන බවත් අපට ආරංචිය. ඔවුන්ගේ එකම ඉල්ලීම වී ඇත්තේ කුමක් හෝ සිදුකොට මේ පක්ෂ දෙක යළි එකතු කරන ලෙසත්, එසේ නොවුණහොත් එජාපයේ අවසානය සනිටුහන් වීම වැළැක්විය නොහැකි බවත්ය. එමෙන්ම රනිල්ද පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස එජාප සභාපති වජිරට දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මෛත්‍රීට වෙච්ච දෙයක්
මේ අතරවාරයේ ඇහුවාමත් හිනා යන සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඒ, රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාලද එක්ව සිටි බවය. 2015දී මෛත්‍රී රනිල් එකතු වී යහපාලන ආණ්ඩුව පිහිටුවුවද, මහබැංකු බැඳුම්කර වංචාව සිදුවීම සමග ආරම්භයේදීම මෛත්‍රී-රනිල් දෙපැත්තට වී ප්‍රසිද්ධියේ ඇනකොටා ගන්නා තැනකට පත්විය. අවස්ථා ගණනාවකදීම මෛත්‍රී රනිල්ව ගෙන්වා මහා පිරිසක් ඉදිරියේ බැණවදිනු දැකගන්නට ලැබිණි. අවසානයේ මෛත්‍රී රනිල්ට පයින් ගසා අගමැතිකමෙන් දොට්ට දමා මහින්දට අගමැතිකම ලබාදීමට පියවර ගත්තේය. එය අවසන් වූයේ රනිල් ඇතුළු පිරිස මෛත්‍රීට එරෙහිව අධිකරණයට ගොස් යළි අගමැතිකම ලබාගැනීමෙන් පසුවය. අන්තිමේදී යහපාලන ආණ්ඩුව එළහරකයි මීහරකයි මෙන් දෙපැත්තට ඇද අවසන් වූයේ ගෝඨාට බලයට එන්න පාර කපමිනි.
මේ අයුරින් බරපතළ විරසකයක සිටි මෛත්‍රී-රනිල්ද මේ වනවිට එකට එක්වී සාකච්ඡා කරන ආකාරයක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමකි.
මේ අතර, පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් සම්බන්ධයෙන්ද විශේෂ තොරතුරක් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත වාර්තා වී තිබේ. ඒ, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්වල සිටියද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බැසිල් එහි සිටම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා සම්බන්ධ වෙමින් උපදෙස් ලබාදී ඇති බවකි. ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයකම නාමයෝජනා ආදිය බැසිල් විසින් අධීක්ෂණය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
මීට අමතරව මේ දිනවල සජබයේ මන්ත්‍රීවරුන් සිවුදෙනකු ආණ්ඩුවේ ප්‍රබලයන් පසුපස යමින් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වී තිබේ. එහිදී ඔවුන් විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයන්ට දැනුම් දී ඇත්තේ මොන ලැයිස්තු එළියට දැම්මද රනිල්ගේ පාලන සමයේදී බාර් ලයිසන් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ රනිල්ගෙන් අරමුදල් ලබාගත් මන්ත්‍රී නම් ලැයිස්තුව හෝ කෙසේවත් එළියට නොදමන ලෙසය. විවිධ මාර්ගවලින් ජනාධිපතිවරයාට පවා පණිවුඩ යවමින් මෙම මන්ත්‍රීවරුන් සිවුදෙනා එම ලැයිස්තුව එළියට දැම්මහොත් තමන්ගේ දේශපාලන අනාගතය අවසන් වනු ඇති බවක් දැනුම් දී ඇති බවද ආරංචිය.
හමුදා ලොක්කෝ එක මිටකට
පසුගිය සතියේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළවී තිබුණු අතර, එහි සිටියේ හිටපු හමුදාපතිවරුන් 11 දෙනෙකි. මේ වනවිට රට ඇතුළේ පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීමක් සිදුව ඇති බවට දැකගන්නට තිබීම නිසාත්, ජාතික ආරක්ෂාව අනතුරේ ඇති බවට විපක්ෂයේ බොහෝ දෙනා චෝදනා කර සිටීම නිසාත් හිටපු හමුදාපතිවරුන් 11 දෙනා එකට සිටින ඡායාරූපය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් විය. මීට අමතරව පසුගිය කාලයේදී නයි – මුගටි වෛරයෙන් සිටි හිටපු හමුදාපතිවරුන් කිහිප දෙනකු මෙම ඡායාරූපයේ එකට සිටගෙන සිටීම ද බොහෝ දෙනාට කතුහලය දනවන්නක් විය. උදාහරණයක් ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ හිටපු හමුදාපතිවරුන් වන මහේෂ් සේනානායක, දයා රත්නායක යන මහත්වරුන් දේශපාලන වශයෙන් දැඩි විරසකයක සිටි අතර, ෆොන්සේකා සජබයෙන් ඉවත් වීමටද හේතු වූයේ විපක්ෂනායකවරයා විසින් දයා රත්නායක මහතා සජබයට එක්කොට ගැනීමය. නමුත් මෙම ඡායාරූපයේ ෆොන්සේකාත්, දයා රත්නායකත්, මහේෂ් සේනානායකත් එකට සිටින අයුරු දැකීම ආරක්ෂක අංශවල බොහෝ දෙනාට පවා විශේෂ එකක් විය.
ඒ අනුව, සියලු දෙනාම මෙම ඡායාරූපයේ වතගොත සෙවීමට වහ වහා පියවර ගත්හ. ඒ අනුව මෙම හමුව සිදුව ඇත්තේ රටේ ආරක්ෂාව ගැන හෝ පාතාල මර්දනය ගැන හෝ සාකච්ඡා කිරීමට නොව, සාම්ප්‍රදායික වශයෙන් නව හමුදාපතිවරයකු දිවරුම් දුන් විට ජීවත්ව සිටින සියලු හමුදාපතිවරුන්ට ආරාධනා කොට සුහද හමුවක් පැවැත්වීමේ සම්ප්‍රදාය අනුවය. ඒ අනුව වර්තමානයේ නව හමුදාපතිවරයා ලෙස කටයුතු කරන ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු මහතා විසින් මෙම හමුව සංවිධාන කොට තිබූ අතර, ඊට දැනට ජීවතුන් අතර සිටින සියලු යුද හමුදාපතිවරුන් එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.











