• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

සාකච්ඡා මේසයට රනිල් ‘හරීන්’ පිල්ලිය එවයි! එජාප-සජබ සාම සාකච්ඡා කඩාකප්පල් වෙයි! හරීන්ව පිළිගත් සජබ නියෝජිතයන්ට ඇතුළෙන්ම ලොකු විරෝධයක්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

February 9, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිදහස් උත්සවයේදී ප්‍රොටෝකෝලය ඉවතට!

පොල්තෙල්වලින් ගහපු ගේම තහවුරුයි!

කබීර්ට ලොකු විරෝධයක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවත්වනු ලැබූ පළමු රාජ්‍ය නිදහස් උත්සවය පසුගිය 04 වැනිදා පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීය. පසුගිය වසරවලදී නම් මහා ධනස්කන්ධයක් වැයකොට ගාලුමුවදොර සියලු පාරවල් වසාගෙන මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ බිරියන් පිරිවරාගෙන නිදහස් උත්සවය සැමරුවද මෙවර දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේ එවැනි කිසිදු ආකාරයේ වියදමක් හෝ නාඩගමක් නොමැතිව ඉතා චාම්ව සහ අභිමානවත් අයුරින් එය සංවිධාන කිරීමට ආණ්ඩුව පැත්තෙන් කටයුතු කොට තිබීමය. වෙනත් වසරවලදී නිදහස් උත්සවවලට කොපමණ මහජන ධනස්කන්ධයක් වැයකොට තිබෙනවාද කියනවා නම් නිදහස් දිනට පෙර දින අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් කළ සිවිල් ක්‍රියාකාරිකයකු සඳහන් කර සිටියේ රනිල්ගේ අවුරුදු දෙක ඇතුළත පමණක් නිදහස් උත්සව පැවැත්වීම සඳහා අතිවිශාල වියදමක් දරා ඇති බවය. එහිදී සිංහ කොඩිවලට ලක්ෂ 42ක්, සංග්‍රහ වියදම්වලට ලක්ෂ 60ක්, නවාතැන්වලට ලක්ෂ 38ක්, වතුරවලට ලක්ෂ 129ක් සහ වැසිකිළි සැපයීම සඳහා කෝටි 3කට අධික මුදලක් වැයකොට ඇති බවද හෙතෙම කියා සිටියේය.Sri Lanka Latest News

කෙසේ වෙතත් මෙවර නිදහස් උළෙලේ දැකගත හැකි වූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ප්‍රොටොකෝල් හෙවත් ධුරාවලියට අනුගත නොවී කටයුතු කිරීමට ආණ්ඩුව තීන්දු කොට තිබීමය. විපක්ෂයේ ප්‍රධානීන්ටද නිදහස් උත්සවයට ආරාධනා කොට ඇරයුම් පත්‍ර යවා තිබූ අතර, ආණ්ඩුව මෙවර ප්‍රොටොකෝලයට අනුගත නොවී නිදහස් උත්සවය සැමරීමට පියවර ගෙන ඇති බවක් ඒ හරහා ඔවුන්ටද දැනගන්නට ලැබී තිබිණි. එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරිය පමණක් නිදහස් උත්සවයේ පිළිගැනීමට ආණ්ඩුව කටයුතු යොදා තිබිණි.

ඒ අනුව ප්‍රොටෝකෝලය ඉවත දමා තිබීම හේතුකොට ගෙන විපක්ෂ නායකවරයා ඊට සහභාගි විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් සජබය ඇතුළේ යම් සාකච්ඡාවක් සිදුව තිබිණි. එහිදී ඇතැම් ජ්‍යෙෂ්ඨයන් සජිත්ට පෙන්වා දී තිබුණේ ආණ්ඩුව නිදහස් දා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් පිළිගැනීමට කටයුතු සූදානම් කොට ඇත්නම් ඊට සහභාගි වීමෙන් වැළකී සිටිය යුතු යැයි කියාය. නමුත් එම සාකච්ඡාවේදී සජිත්ගේ ස්ථාවරය වී තිබුණේ මෙය ජනාධිපතිවරයාගේ පළමු නිදහස් උත්සවය වීම නිසාත්, එය රටේ ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධානතම උත්සවය වීම නිසාත් ඊට සහභාගි විය යුතු යැයි කියාය. ඒ අනුව සජිත් අවසානයේ තීන්දු කළේ පිළිගැනීම් නොමැති වුවද ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාව පිළිගනිමින් ඊට සහභාගි වීමටය.

කෙසේවෙතත් අඩු වියදමකින් නිදහස සැමරුවත්, ප්‍රොටෝකෝලයන් ඉවත දමා තිබුණත් අවසානයේ සමාජ මාධ්‍යයේ නම් එදින දැඩිව කතාබහට ලක්ව තිබුණේ ඒ කිසිවක් නොව, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරි පෙළ අසුනක වාඩිවී නිරන්තරයෙන්ම කජු කමින් සිටි ආකාරයය. උත්සවය ආරම්භ වී මොහොතකට පසු සියලු ආරාධිත ප්‍රභූවරුන්ට කජු සහ තවත් දෑ අඩංගු කුඩා බෑගයක් බෙදාහැර තිබූ අතර, සමන්ත ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් උත්සවය අතරතුරදී ඒවා කමින් සිටි ආකාරය එදින සමාජ මාධ්‍යවල ලොකුම ‘හිට්’ එක බවට පත්ව තිබිණි.

එකතුවෙලා හොරකම

දේශපාලනයේදී කතාවට කියන්නේ සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නැතැයි කියාය. මේ වනවිට එම දේශපාලන කතාව හොරකමටත් යාවත්කාලීන වී ඇද්දැයි සිතෙන්නේ දේශපාලන හොරකමටද සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැත යන කතාව තහවුරු කරමින් හතුරන් සහ මිතුරන් යන දෙපාර්ශ්වයම එකට එක්වී හොරකම් කිරීමට පටන්ගෙන ඇති බව ඔප්පු වී තිබීම නිසාය. මෙහි ඇති විශේෂත්වය වන්නේ සමාජයට සුදු ඇඳුම් ඇඳගෙන, ටයි කෝට් දමාගෙන සාධුසම්මත චරිත සේ රටට ලෝකයට පෙන්වාගෙන සිටින ඇතැම් පිරිස් පවා දේශපාලන තිරය පිටුපස ගජරාමෙට මේ හොරකම්වලට උඩගෙඩි දෙමින් සිටීමය. මේ සුදු ඇඳගෙන ටයි කෝට් දමාගෙන සිටින ඇතැම් ඔස්තාර්ලා ජනතාව හයමුවේ තමන් සුද්දවන්තයන් යැයි පෙන්වන්නට බොරුවට පාස්පෝර්ට් වංචාව, සුදු ලූණු වංචාව, සීනි බදු වංචාව ආදිය පිළිබඳ මහා ඉහළින් කතා කළද ඇස්පනාපිට ඔප්පු වෙමින් තිබෙන වංචාවන් පිළිබඳ වචනයක්වත් කියන්නේ නැත. බොහෝ දෙනා සැක කරන්නේ මේ දේශපාලන සතුරන් මිතුරන් සියල්ලන්ම එකට එකතුවී මේ වංචාකරුවන්ගෙන් කෝටි ගණනින් ජරාව කෑම නිසා මේ ඇස් පනාපිට සිදුවන වංචාවන් පිළිබඳ වචනයක්වත් කියන්නේ නැති බවකි. එම නිසා අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජනතාවට කියන්නේ අප මේ හෙළිදරව් කරන්නට යන කතාව හොඳහැටි තේරුම් ගෙන මේ ආර්ථික ඔස්තාර්ලාගේ සහ සුදු ඇඳුම් ඇඳගෙන සිටින ඇතැම් මහත්වරුන්ගේ කෙරුවාව තෝරා බේරාගන්නා ලෙසය.

මේ බව හොඳටම තහවුරු වූයේ මීට මාසයකට පමණ ඉහතදී පළමු වරට ‘මව්රට’ පුවත්පත ඔස්සේ රටට හෙළිදරව් කළ පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙනැවිත් පිරිපහදු කොට බෙදාහැරීමේදී සිදුව ඇතැයි කියන බිලියන 5කට අධික බදු පැහැරහැරීමක් මුල් කරගෙනය. පැහැදිලිවම මෙය අමු අමුවේ නීතිරීති උල්ලංඝනය කරමින් මහ දවාලේ සිදුකළ මුදල් කොල්ලයක් බව බොහෝ දෙනාගේ චෝදනාව විය.

පොල්තෙල් ගේම

මෙම සිදුවීම ආරම්භ වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදීය. එහිදී 2024 වසර ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබූ වසරක් වන බැවින් මෙරට නමගිය ව්‍යාපාරිකයන් වසර ආරම්භයේ සිටම සිටියේ ප්‍රධාන අපේක්ෂකයන්ට අත දිගහැර මුදල් වියදම් කිරීමේ අපේක්ෂාවෙනි. මෙම ව්‍යාපාරිකයන් විවිධ අනියම් ක්‍රම හරහා රජයෙන් බදු සහන ලබාගනිමින් සහ ඒවා සඟවමින් දේශපාලකයන්ට මුදල් විසි කිරීම අතීතයේ සිටම සිදුකරගෙන ආ ක්‍රියාවලියකි. රනිල්ගේ පාලන සමයේදී ආර්ථික අර්බුදයක් පැවැතීම නිසා මිනිස්සු කෑමට ගන්නා පරිප්පු ඇටයේ සිට, හාල්මැස්සාගේ සිට සියල්ලටම බදු පිට බදු ගසමින් පීඩාකාරී පාලනයක් ගෙනගිය අතර, ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරවලටද බදු පිට බදු ගසා තිබිණි. ඒ අනුව පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වා පිරිපහදු කොට බෙදාහැරීමේදී 2024 ජනවාරි මාසයේ සිට 18%ක වැට් බද්දක් සහ 2%ක ජාතිය ආරක්ෂා කිරීමේ බද්දක් මුදල් අමාත්‍යාංශය විසින් පැනවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වන සමාගම් සියල්ල 2024 ජනවාරියේ සිට මෙම බදු ප්‍රතිශතයන්ට යටත්ව තිබිණි.
නමුත් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙන්වන මහාපරිමාණ සමාගම් තුනක් විවිධ නම් හයක් යටතේ පසුගිය ජනවාරියේ සිට ඔක්තෝබරය දක්වා පිරිපහදු නොකළ පොල්තෙල් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබූ නමුත්, එම මුළු කාලසීමාව තුළම එම සමාගම් අදාළ බදු ප්‍රතිශතයන් රජයට ගෙවීමට කටයුතු කර තිබුණේ නැත. ඒ අනුව අදාළ කාලසීමාවට ගෙවිය යුතු බදු මුදල රුපියල් බිලියන 5 ඉක්මවා තිබිණි. නමුත් මුදල් අමාත්‍යාංශය හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ එම මුදල් අයකර ගැනීමට එම කාලසීමව පුරාම කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.

කෙසේ වෙතත් පසුගිය මාසයේ අප කළ මෙම හෙළිදරව්වත් සමග අනෙකුත් සියලු මාධ්‍යද මේ පොල්තෙල් බදු පැහැරහැරීම පිළිබඳ වාර්තා කිරීමට කටයුතු කොට තිබිණි. පසුව ඔවුන් එම හෙළිදරව් කිරීම තවදුරටත් සිදුනොකොට එකවරම නිහඬ වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් අප දිගින් දිගටම මෙම පොල්තෙල් බදු වංචාව සම්බන්ධයෙන් අලුත් තොරතුරු මව්රට පුවත්පත ඔස්සේත්, මව්රට වෙබ් අඩවිය ඔස්සේත් රටට හෙළිදරව් කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ පැහැදිලිවම මේ පසුපස දැවැන්ත වංචාවක් සිදුවෙමින් පවතින බවකි. නමුත් කනගාටුවට කරුණ වූයේ අප කළ එම හෙළිදරව්ව පිළිබඳ සුදු ඇඳගෙන, ටයිකෝට් දමාගෙන, විපක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්වරුන් යැයි කියාගන්නා කිසිවෙකුත් වචනයක් හෝ කතා නොකිරීමය. අද ඔවුන් මහා සුද්දවන්තයන් සේ රට හමුවේ පෙනී සිටියද මේ ඔස්තාර්ලාගේ අතීත පැටිකිරියද අප නොදන්නවා නොවේ. අද නායකයන් වීමට දඟලන මේ ආර්ථික ඔස්තාර්වරු කාලයකට කලින් ආණ්ඩු සමග දැමූ බියර් ඩීල්වල සිට අනෙකුත් සියලු ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිටත් අප සියලු තොරතුරු හෙළිකරගෙන අවසානය. ඒවා අප නියම වෙලාවට රටට හෙළිදරව් කිරීමටද සූදානම්ය.

පසුගිය කාලවලදී මේ ආර්ථික ඔස්තාර්වරු සුදුලූණු වංචාව, සීනි බදු වංචාව ආදිය පිළිබඳ ටීවීවලට පැමිණ, විවිධ කමිටුවල මහා ඉහළින් කතා කළද අප හෙළිදරව් කළ මෙම පොල්තෙල් බදු වංචාව පිළිබඳ ඔවුන් වචනයක් හෝ කතා කළේ නැත. මේ ආර්ථික ඔස්තාර්ලා කතා නොකළද අප සිතා සිටියේ විපක්ෂයේ තවත් දේශපාලන පක්ෂ සිටින නිසා ඔවුන් හෝ මේ පිළිබඳ වචනයක් හෝ කතා කරනු ඇතැයි කියාය. නමුත් ඒ පක්ෂද වචනයක් හෝ කතා කළේ නැත. අවසානයේදී අප සිතුවේ විපක්ෂයේ සිටියදී වංචා දූෂණ හොරකම්වලට එරෙහිව විශාල හඬක් නැගූ ජවිපෙත්, එහි නායක අනුර කුමාර දිසානායක මහතාත් මේ වනවිටත් රටේ පාලන බලය හොබවන නිසා ඔවුන් හෝ මේ හොරකමට එරෙහිව වහාම පියවර ගනු ඇතැයි කියාය. නමුත් ජනාධිපතිවරයා ඇතුළු මාලිමා ආණ්ඩුවද මේ වංචාව ගැන පසුගිය මාස කීපය පුරා සිටියේ කසාය බිව් ගොළුවන් සේය.

වගකිවයුත්තන්ගේ උත්තරේ

පසුව බැරිම තැන අප මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරියට ඍජුවම කතා කළෙමු. නමුත් මුල් අවස්ථාවේදී ඇය අපගේ දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. අවස්ථා කීපයකදීම ඊට උත්සාහ කළත් ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇගේ පෞද්ගලික ලේකම්වරියටද ඇමතුමක් ලබාගත් අප, අපගේ අවශ්‍යතාව කියා සිටිද්දී ඇය කියා සිටියේ කොමසාරිස් ජනරාල්වරිය දිගටම රැස්වීම්වල සිටින බැවින් කතාකිරීමට නොහැකි යැයි කියාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තවත් කොමසාරිස්වරයකු වන නාපාන මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වනු ඇති බවද ඇය කියා සිටියාය. ඒ අනුව අප නාපාන මහතාටද අවස්ථා කීපයකදීම ඇමතුම් ලබා ගත්තෙමු. නමුත් ඒ කිසිදු අවස්ථාවක නාපාන මහතාද දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

නමුත් ඊට පසු අවස්ථාවකදී කොමසාරිස් ජනරාල්වරිය වෙනත් මාධ්‍යයකට මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණි. එහිදී ඇය සඳහන් කොට තිබුණේ මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට පියවර ගත් බවකි. ඇගේ එම ප්‍රතිචාරයෙන් දින කීපයකට පසු නැවතත් අප කොමසාරිස් ජනරාල්වරියට ඇමතුමක් ලබාගත්තෙමු. එහිදී මුල් අවස්ථාවේදීම අපට ප්‍රතිචාර දැක්වීමට ඇය පියවර ගත්තාය. ඒ අනුව අප මෙම ස්වාධීන කමිටුවේ පරීක්ෂණ ප්‍රගතිය පිළිබඳ ඇගෙන් විමසා සිටිද්දී ඇය කියා සිටියේ තමන් එම කමිටුවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇති බවත්, ඊට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටින බවත්ය. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් නාපාන මහතාට කතාකොට වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙසද ඇය අපට දැනුම් දී සිටියාය.

තවමත් උපදෙස් නෑ

ඒ අනුව අප නැවත වතාවක් නාපාන මහතාට ඇමතුමක් ලබාදීමට පියවර ගත්තෙමු. එහිදී ඉතා සුහදශීලීව අප සමග අදහස් හුවමාරු කරගත් නාපාන මහතා කියා සිටියේ මෙම බදු අයකර ගැනීම සම්බවන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් උපදෙස් ඉල්ලා ලිපියක් යොමුකොට ඇති නමුත්, තවමත් එම උපදෙස් මුදල් අමාත්‍යාංශයෙන් දෙශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවකි. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබෙන තෙක් සිටින බවද නාපාන මහතා ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරයට සඳහන් කොට සිටියේය. අප මේ සියල්ල වරින් වර් අඅඅගප්අර්ඒබැඅිගකන අප වෙබ් අඩවිය ඔස්සේ එසැණින් වාර්තා කිරීමටද පියවර ගත්තෙමු.

කෙසේ වෙතත් අප මෙවැනි ආකාරයේ හෙළිදරව් කිරීම් සිදුකළද කිසිදු මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ හෝ පාර්ලිමේන්තුවෙන් පිටත හෝ කටක් ඇර කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය. මේ මහා පරිමාණ පොල්තෙල් ව්‍යාපාරිකයන්ගේ කුට්ටියට යටවී එසේ දේශපාලකයන් මේ වංචාව පිළිබඳ ඇස් වසාගෙන සිටින බව සිතිය හැකි වුවද විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් ඒ සල්ලි කුට්ටිවලට යට නොවී මේ පොල්තෙල් බදු වංචාව පිළිබඳ පාර්ලිමේන්තුවේ නොබියව ප්‍රශ්න කිරීමට වරක් පියවර ගෙන තිබිණි. ඒ, මන්ත්‍රීවරයා වෙන කවුරුවත් නොව, සජබයේ එස්.එම්. මරික්කාර්ය. මරික්කාර්ගේ මේ ප්‍රශ්න කිරීම හමුවේ එදා කලබලයට පත්වූ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වහාම කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් විමසා පැය දෙකක් තුළ ඊට පිළිතුරු ලබාදීමට පියවර ගන්නවා යැයි කියාය. නමුත් පැය දෙකක් ගතවුවද වසන්තගෙන් පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරක් නොලැබිණි. පසුව යළිත් සභාවට පැමිණි වසන්ත කියා සිටියේ තමන් ඊට පසු දිනයේ මරික්කාර්ගේ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙනවා යැයි කියාය. පහුවැනිදා තියා අද වනතුරු වසන්ත ඊට පාර්ලිමේන්තුවෙන් පිටතදී හෝ පිළිතුරු ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

හරිනිගෙන් ඍජු උත්තරයක්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් සොයාගෙන යද්දී අප වෙත වාර්තා වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිබූ මුදල් අමාත්‍යාංශය මගින් මෙම බදු අයකර ගැනීම සිදුකොට නොමැති බවකි. එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වීමෙන් පසුවත් ගෙවුණු මාස කීපය පුරාම කිසිදු බදු මුදලක් නොගෙවා දෙසැම්බර් වනතුරුම මෙම පොල්තෙල් ව්‍යාපාරිකයන් මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා ඇති බවත්, ඒ හරහා බිලියන පහක්ව තිබූ බදු පැහැරහැරීම බිලියන හය ඉක්මවා ගොස් ඇති බවත් අප වෙත වාර්තා විය. එම පුවතද ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේ රටට අනාවරණ කිරීමට ඒ මොහොතේදීම අප කටයුතු කළෙමු.

ජාතික වැදගත්කමක් නෑලු

ඒ අනුව, මරික්කාර් නැවත වතාවක් මෙම ප්‍රශ්නය අගමැති හරිනි අමරසූරිය මහත්මියගෙන් විමසා සිටීමට පියවර ගන්නා බව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය. නමුත් හැරෙන තැපෑලෙන් පාර්ලිමේන්තුවෙන් මරික්කාර්ට දුරකතන ඇමතුමක් ලැබුණු අතර, ඉන් කියැවුණේ මෙම ප්‍රශ්නය ජාතික වැදගත්කමක් නොමැති වීම හේතුවෙන් අගමැතිනිය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි යැයි කියාය. ඒ බව ලිඛිතව පාර්ලිමේන්තුව මගින් ලිපියක් හරහා මරික්කාර් වෙත දැනුම් දීමටද කටයුතු කොට තිබිණි. නමුත් ආණ්ඩුව බංකොලොත් වී සිටින මේ මොහොතේ බිලියන 5ක මුදලක් බදු නොගෙවා සිටීම නිසා දැවැන්ත පාඩුවක් රජයට සිදුව තිබියදී එය ජාතික වැදගත්කමක් නැති කරුණක් ලෙස සලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් මරික්කාර් දැඩි කෝපයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව පාර්ලිමේන්තු නිලධාරීන්ට මරික්කාර් දැනුම් දී සිටියේ තමන් යොමුකළ ප්‍රශ්නයේ ගැටලු ඇත්නම් එම ප්‍රශ්නය වෙනස් කොට නැවත වතාවක් අගමැතිවරියගෙන් විමසීමට තමන් කටයුතු කරනවා යැයි කියාය. ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බැවින් මරික්කාර් කළේ පොල්තෙල් ප්‍රශ්නය පිළිබඳ වෙනත් වචන යොදාගනිමින් නැවත අගමැතිවරියට ප්‍රශ්නය යොමු කිරීමය. ඒ අනුව, කල් තියා මෙම ප්‍රශ්නය හරිනිට ලැබුණු අතර, මුදල් අමාත්‍යාංශයෙන්ද කරුණු විමසා හරිනි සිටියේ ඊට අදාළ පිළිතුර පාර්ලිමේන්තුවේදී මරික්කාර්ට ලබාදීමටය.

හරිනිගේ උත්තරේ

ඒ අනුව, පසුගිය බදාදා දිනයේදී මරික්කාර් යොමුකර තිබූ පොල්තෙල් සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට හරිනි පියවර ගත්තාය. මෙහිදී ඇය පැහැදිලිවම කියා සිටියේ 2024 ජනවාරි 01 වැනි දින සිට පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වා පිරිපහදු කොට බෙදාහැරීමේදී වැට් බදු සහ අනෙකුත් බදු ඊට යටත් වනවා යැයි කියාය. එමෙන්ම මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී විමසා සිටීම සම්බන්ධයෙන් දෙවතාවක්ම මරික්කාර්ට ස්තුති කළ හරිනි, මරික්කාර් සතුව ඒ සම්බන්ධයෙන් ඇති ලිපි ලේඛනද තමා වෙත ලැබෙන්නට සලස්වන මෙන් මරික්කාර්ගෙන් ඉල්ලීමක්ද කළාය.
කෙසේ වෙතත් බදාදා දින අගමැතිවරිය මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා දිනයේදී නැවත වතාවක් අප මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ කොමසාරිස් නාපාන මහතාගෙන් විමසා සිටීමට කටයුතු කළෙමු. එහිදීද නාපාන මහතා පැහැදිලි කර සිටියේ අදාළ බදු අයකර ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත උපදෙසක් තවමත් ලිඛිතව මුදල් අමාත්‍යාංශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබී නැතැයි කියාය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසා සිටීමේ හෝ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමේ කිසිදු අවශ්‍යතාවක් නැත. මන්ද යත් පැහැදිලිවම 2024 ජනවාරි 01 වැනිදා සිට පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙන්වා පිරිපහදු කොට බෙදා හැරීමේදී 18%ක වැට් බද්දට සහ 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් බවට චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කොට තිබියදී බදු අයනොකර ගෙන සිටීමය. එය අගමැතිවරියද පැහැදිලිවම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ නීති ප්‍රතිපාදනයන්ට අනුව 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද සහ අනෙකුත් බදු ඊට අදාළ වන බවකි. එසේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ පොල්තෙල් ව්‍යාපාරිකයන්ගෙන් 2024 ජනවාරියේ සිට වසර අවසානය දක්වා ගෙවිය යුතු බිලියන 6කට අධික බදු මුදල එකතු කරගෙන තිබිය යුතුය. නමුත් එය එසේ සිදුව නොමැත.

ඒ අනුව, 2024 වසර ජාතික මැතිවරණ වසරක් වීම හේතුකොට ගෙන මෙම නොගෙවූ බදු මුදල් වෙනත් කටයුත්තකට යොදාගත්තාද යන සැකය මතුවීම කිසිවකුටත් වැළැක්විය නොහැක. කිසිවකුත් මේ ගැන වචනයක් හෝ කතා නොකරන්නේ ඒ වාසි ගත් නිසාද යන සැකයකද මතුවීම කිසිවකුටත් වැළැක්විය නොහැක. කෙසේ වෙතත් දේශපාලනයේදී සදාකාලික සතුරෝත් නැත, මිතුරෝත් නැත යැයි කියන්නාක් මෙන් මේ හොරකම වසාගැනීමටද දේශපාලන සතුරන් සහ මිතුරන් එකට එකතු වී සිටින බවට හොඳ නිදර්ශනයක් ලෙස මේ පොල් තෙල් බදු නොගෙවා සිටීමේ වංචාව පෙන්වා දිය හැකිය. නමුත් කවුරු මේ පිළිබඳ කතා නොකළද, ‘මව්රට’ පුවත්පත ආරම්භ කළ මෙම සටන අවසානය දක්වා ගෙන යෑමට අප සූදානම්ය. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ හිඟ බදු මුදල් කොපමණද යන්න තක්සේරු කොට ඒ මුදල් අයකර ගන්නා තෙක් ‘මව්රට’ දිගටම සටනේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එය නොකරන තාක් අගමැතිවරිය පාර්ලිමේන්තුවේ කී කතාවද බොරුවක් වන බව මෙහිදී සඳහන් කළ යුතුව තිබේ.

සාම සාකච්ඡා ඉවරයි

ජනාධිපතිවරණ සහ මහමැතිවරණ පරාජයන්ගෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර සාම සාකච්ඡා පටන්ගනිද්දීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සෑම සතියකදීම අප පෙන්වා දුන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ ගහන්නේ අවංකව පක්ෂ දෙක එකතු කිරීමේ ගේමක් නොව සජබය සහ සජිත් විනාශ කිරීමේ ගේමක් යැයි කියාය. ඒ අනුව රටට ලෝකයට පේන්නට දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වූ දිනයේ සිටම මෙම සාකච්ඡා හරහා සජබයත්, සජබ නායක සජිත් ප්‍රේමදාසත් විනාශ කිරීම සඳහා රනිල්ගේ පාර්ශ්වය කළ සැලසුම් මොනවාද, එම සාකච්ඡා පැවැත්වූයේ කාගේ ගෙවල්වලද යන්න පිළිබඳවද අප සතිපතා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළෙමු. එහිදී අප වරෙක කියා සිටියේ සාම සාකච්ඡා හරහා සජබය විනාශ කිරීමේ මුල්ම සාකච්ඡාව හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි රුවන් විජයවර්ධනට අයත් සුපිරි නිවෙසක ආරම්භ වූ බවකි. ඉන් අනතුරුව මහනුවර සුප්‍රසිද්ධ දේශපාලන නිවෙසක එජාප මහලේකම් තලතා අතුකෝරලගේ ප්‍රධානත්වයෙන් පැවැති රහස් සාකච්ඡාවක තොරතුරුත්, එහිදී සජබයෙන් එජාපයට එක්වීමට සූදානම්ව සිටින බව කියන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් පිළිබඳව කතාබහට ලක්වූ බවත් අපි එහිදී සඳහන් කළෙමු.

මීට අමතරව සජබය පැත්තෙන් මේ සාකච්ඡා සඳහා නම්කොට තිබූ කණ්ඩායම් දෙස බලන විටද පැහැදිලිවම දැකගන්නට ලැබුණේ රනිල් සමග පසුගිය කාලය පුරාම විවිධ ක්‍රමවලට ඩීල් දමාගෙන සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් ඊට නම්කොට තිබූ බවකි. එහි සිටි ඇතැම් සාමාජිකයන් පසුගිය අවුරුදු දෙක පුරාම රනිල් සමග දේශපාලන ඩීල් දමාගෙන සිටි පුද්ගලයන්ය. රනිල් ජනාධිපති වූ පසු මේ නියෝජිතයන්ගෙන් සමහරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටියාට වඩා වැඩි කාලයක් ගතකොට තිබුණේ පාර්ලිමේන්තුවේ පිහිටි රනිල්ගේ නිල කාර්යාලයේය. එහෙමත් නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේය. තවත් සමහරු රනිල්ගෙන් හන්තානෙන් ඉඩම් ඉල්ලා තිබූ මන්ත්‍රීවරුන්ය. තවත් සමහරුන් රනිල්ගෙන් කෝටි ගණන් අරමුදල් ගත් අයය. තවත් සමහරු රනිල් ඉඩම් ඔප්පු බෙදද්දී පක්ෂ නායකයා හෝ දැනුවත් නොකර රනිල් සමග එකට වේදිකාවට ගොඩවැදී ඉඩම් ඔප්පු බෙදූ අයය. මේ සාකච්ඡා මේසයේ සිටි සමහරුන් අතර පාක්ෂිකයන්ගේ පමණක් නොව, එහෙට මෙහෙට පැන රටේම ජනතාවගේ විරෝධයට හසුවූ දේශපාලන වශයෙන් අපුල චරිතද නොසිටියා නොවේ. ඒ අතර කිසිදු චෝදනාවක් නොමැති දේශපාලන වශයෙන් පිරිසිදු චරිත කීපයක්ද එහි වූ බවද සඳහන් කළ යුතුව ඇත.

රනිල්ගේ පිල්ලිය

මේ පිරිස මුල සිටම සිටියේ සජබය තනි පක්ෂයක් ලෙස ගම් මට්ටමේ සිට ගොඩනගනවාට වඩා කෙසේ හෝ අලියාට පූට්ටු කර සජබය රනිල්ගේ දෙපතුල ළඟට ගෙන යෑමටය. එම නිසා මාධ්‍යවේදීන් සහ මයික් එකක් දුටු සැණින් ‘සාකච්ඡා සාර්ථකයි, පක්ෂ දෙක එකතු වෙනවා, නායකයෝ කවුද කියන එක වැඩක් නෑ..’ යනාදී වශයෙන් ගිරව් මෙන් මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමටද ඔවුහු කටයුතු කළහ. නමුත් කරුමෙකට මෙන් රනිල් සමග ඩීල් නොදැමූ, රනිල්ගෙන් මුදල් නොගත්, රනිල්ගේ න්‍යාය පත්‍රයට නැටවෙන්නේ නැති පිරිසුදු චරිත ඕනෑවටත් වඩා සජබය ඇතුළේ සිටියද මේ සාම සාකච්ඡා සඳහා සජබයෙන් පත්වූයේද යට කී ආකාරයට ඩීල් දේශපාලනයට පුරුදු පුහුණු වී සිටි චරිතය.

මෙම සාම සාකච්ඡාවල අවසන් සාකච්ඡාව පසුගිය සතියේ පැවැතියේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ නිවෙසේය. මෙම සාකච්ඡාවලට එජාපයෙන් නම්කර තිබුණු පිරිස සහ සජබයෙන් නම් කර තිබුණු පිරිස පැමිණියද අනාරාධිතව සාකච්ඡාව සඳහා නම්කොට නොතිබූ එජාප සාමාජිකයෙක්ද පැමිණියේය. ඒ, වෙන කවුරුවත් නොව හරීන් ප්‍රනාන්දුය. හරීන් තමන්ගේ වාහනයකින් හර්ෂණගේ නිවෙසට පැමිණියා නම් අහම්බයකින් හෝ එවැන්නක් සිදුවූ බව සිතිය හැකි වුවද, හරීන් තලතාගේ රථයේ නැගී ඇයත් සමගම හර්ෂණගේ නිවෙසට පැමිණි නිසා හිතාමතාම සැලසුම්සහගතව හරීන් මෙම සාකච්ඡායට එක්වූ බවක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.

කව්ද මේ හරීන්

හරීන් යනු එජාපයේ සිට සජබය නිර්මාණය කරද්දී සජිත්ගේ අත අල්ලාගෙන එජාපයෙන් එළියට බැස්ස අයෙකි. ඒ අනුව සජබය නිර්මාණය කිරීමෙන් පසු හරීන් රනිල්ටත්, එජාපයටත් හතර අතේ පහරදුන් ආකාරය දැකගත හැකි විය. සජබයේදී හරීන් ගෙනගිය ආණ්ඩු විරෝධී වැඩසටහන් නිසා සජිත් හරීන්ව සජබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටද ගෙන ඒමට කටයුතු කළේය. නමුත් පසුව හරීන් රනිල් සමග යළිත් ඩීල් එකක් දමා සජිත් අතහැර රනිල් සමග එක්වීමට කටයුතු කළේය. එපමණක් නොව උදේ හවා දිගට හරහට පහරදුන් ගෝඨාගේ අතින්ම ඇමැතිකමක් ගැනීමටද පක්ෂ මාරු කිරීමෙන් පසු හරීන් කටයුතු කළේය. එතැනින් නොනැවතුණු හරීන් තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලබාදුන් සජිත්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයක් දියත් කළේය. පුද්ගලිකවම සජිත්ගේ චරිතය ඝාතනය කරමින් පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් අදහස් දැක්වීය. සජිත්ගේ පවුලේ සාමාජිකයන්ට පමණක් නොව, ප්‍රේමදාස නාමයටත් හරීන් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. හරීන් ඒ සියල්ල කළේ රනිල්ගේ වුවමනා එපාකම්වලට අනුව සජිතුත්, සජබයත් විනාශ කිරීම සඳහාය. නමුත් අන්තිමේදී පක්ෂ මාරුකිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හරීන්ව මන්ත්‍රීකමෙන් දොට්ට දැමීමට කටයුතු කළේය. මේ වනවිට මාලිමාවේ මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම හෙළිදරව් කොට ඇත්තේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් සිටියදී හරීන් රට පුරා සංගීත ප්‍රසංග පැවැත්වීමට යැයි කියමින් කෝටි ගණන් මුදල් අවභාවිත කොට ඇති බවටත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවටත්ය.

මෙවැනි චෝදනා එල්ල වී ඇති හරීන් වැන්නකු තලතා සමග හර්ෂණගේ නිවෙසට පැමිණ සාකච්ඡා මේසයේ අසුන් ගනිද්දීම හරි නම් සජබ නියෝජිතයන් හරීන්ට මෙම සාකච්ඡාවෙන් ඉචත් වන ලෙස දැනුම් දිය යුතුව තිබිණ. නමුත් එවැන්නක් කිරීමට තරම් හයිය කොන්දක් ඇති අයකු එහි නොසිටීම විශේෂ සිදුවීමකි. සාකච්ඡා කණ්ඩායමේ නියෝජිතයකු නොවන බැවිනුත්, හරීන්ට ආරාධනාවක් කොට නොතිබීම නිසාත් ඕනෑනම් හර්ෂණට සිය නිවෙසට නොපැමිණෙන ලෙස හර්ෂණට දැනුම් දීමට හැකියාව තිබිණි. නමුත් හර්ෂණටද එවැන්නක් කීමට තරම් කොන්දක් තිබී නොමැත. ඒ අනුව බලහත්කාරයෙන් සාකච්ඡා මේසයේ අසුන්ගෙන ඇති හරීන් මුල් වටයේදීම සාකච්ඡාව සියතට ගැනීමට කටයුතු කර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

එව්වේ රනිල්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග ‘රාජ්‍ය රහස්’ තීරයද හරීන්ගේ මෙම ගමන පසුපස ඇති කතාව සොයා බැලීමට කටයුතු කළේය. ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් හරීන්ව එවීමට පියවර ගෙන ඇති බවකි. සාකච්ඡාව සඳහා සජබයෙන් නම්කොට ඇති පිරිස දියාරු අය බවත්, ඔවුන් අල්ලේ නැටවිය හැකි පිරිසක් බවත් වටහාගෙන ඇති රනිල්, සජිත්ව අවසානයක් කිරීම සඳහා හරීන්ව සාකච්ඡා මේසයට යොමුකොට ඇති බවක්ද ආරංචිය. ඉන් අනතුරුව සජිත් වෙනුවට එජාප – සජබ සන්ධානයේ නායකයා වශයෙන් රනිල්ව පත්කර ගැනීමද එම මෙහෙයුමේ කොටසක් බවද දැනගන්නට ඇත. මේ මෙහෙයුම අකුරටම ක්‍රියාත්මක කරමින් හරීන්ද සාකච්ඡා මේසයේ අසුන් ගෙන මොහොතක් යෑමට මත්තෙන් සජබ කණ්ඩායම තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට කටයුතු කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මීට අමතරව රනිල්ගේ සැලසුම වී තිබී අත්තේ පළමු වටයේදී සජිත්ව ඉවත්කොට දෙවැනි වටයේ පළාත් පාලන ඡන්දයෙන් දුරකතනය ලකුණද ඉවත් කරවීමය. මෙම යෝජනාව හරීන් හරහා සජබයට ඉදිරිපත් කිරීමෙන් පසු සජබය ඇතුළේ මන්ත්‍රීවරු දෙකට බෙදී කුලල්කා ගනු ඇති බව රනිල්ගේ අදහස වී තිබිණි. ඒ හරහා සජබ කොටසක් අවසන් අදියරේදී එජාපයට එක්කර ගැනීමද එම සැලසුමේම කොටසක් වී තිබිණි. හරීන් සාම සාකච්ඡා මේසයට එවීම හරහා රනිල් සිටියේ එවැනි දේශපාලන හීනයකය.

නමුත් අන්තිමේදී හරීන්ගේ ආගමනයත් සමග රනිල්ගේ එම දේශපාලන මෙහෙයුම සුනුවිසුණු වී ආපහු එය එජාපයටම පාරාවළල්ලක් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, හරීන් සාම සාකච්ඡා මේසයේ අසුන් ගැනීමත් සමග පක්ෂයේ අතිබහුතරයක් මන්ත්‍රීවරුන්ගෙන් සහ ආසන සංවිධායකවරුන්ගෙන් බිම් මට්ටමේ පාක්ෂිකයන්ගෙන් ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් එල්ල වීම නිසාය. ඒත් සමගම මන්ත්‍රීවරුන් රැසක්ම සජිත් හමුවී පෙන්වා දී තිබුණේ මේ වනවිට සජබය හොරුන්ගෙන්, වංචාකාරයන්ගෙන්, දූෂිතයන්ගෙන් නිදහස් වූ පක්ෂයක් ලෙස ස්ථාවර වී තිබෙන බැවින් එවැනි දූෂණ චෝදනා සහිත කිසිවකු සමග හෝ පක්ෂයක් සමග හෝ කිසිදු ආකාරයේ දේශපාලන ඇයිහොඳයියක් පවත්වාගත යුතු නැතැයි කියාය. මේ වනවිට පක්ෂයේ කිසිදු දූෂිතයකු නොමැති බැවින් දූෂිතයන් සිටින පක්ෂයක් සමග එක්වී එම දූෂිතයන් ආරක්ෂා කරන්නට සජබයට නොහැකි බවද මෙම මන්ත්‍රීවරුන් සජිත්ට පෙන්වා දී තිබිණ. විශේෂයෙන්ම නම් වශයෙන් සඳහන් කරමින් ඔවුන් සජිත්ට කියා සිටියේ මේ වනවිට බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, වජිර අබේවර්ධන වැනි පරාජයට පත්වූ පුද්ගලයන් කිසිසේත්ම සජබයට එක්කොට ගතයුතු නැති බවකි. ඔවුන් සිටින පක්ෂයක් සමග සාකච්ඡා කිරීමක් හෝ කළ යුතු නැති බවත්, මෙම මන්ත්‍රීවරුන් සජිත්ට පෙන්වා දී තිබිණි. යම් හෙයකින් පක්ෂයේ බිම් මට්ටමේ මතයට කන් නොදී මෙවැනි දූෂිත පිරිස් සිටින, හොරු මංකොල්ලකාරයන් සිටින පක්ෂයක් සමග එකතු වීමට සජබය කටයුතු කරන්නේ නම් තමන් ඉදිරියේදී ස්වාධීන තීන්දුවක් ගන්නා බවද මෙම මන්ත්‍රීවරු සජිත්ට දැනුම් දී සිටියහ.

සජිත් තීන්දුවක් ගනී

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන් කී අදහස්වලට ඉතා ඕනෑකමින් සවන් දී සිටි සජිත් අවසානයේදී ඔවුන්ට කියා සිටියේ එකම එක කතාවකි. ඒ, සජබය කිසිදු අවස්ථාවක හොරුන් සමග එකතු වීමට කටයුතු නොකරන බවත්, දුරකතනය ලකුණ යටතේ පමණක් ඉදිරි මැතිවරණ තරග කිරීමට කටයුතු කරන බවත්ය.

‘ඔබතුමන්ලා කිසිදේකට කලබල වෙන්න එපා. සජබය ඇතුළේ ඉන්නේ පිරිසිදු අය විතරයි. දූෂණ චෝදනා එල්ල වෙච්ච කිසිම කෙනෙක් අපි ළඟ නෑ. ඒ නිසා අපි එකතු වෙනවා නම් එකතු වෙන්නේ පිරිසිදු අයත් එක්ක විතරයි. ඒ වගේම අපි ඉස්සරහට ඕනෙම ඡන්දයක් තරග කරන්නේ දුරකතනය ලකුණෙන් විතරයි…’ යනුවෙන් සජිත් එහිදී පැහැදිලි කර සිටියේය.

මෙහිදී මන්ත්‍රිවරුන් නැවත සජිත්ට පෙන්වා දුන්නේ පක්ෂයේම සිටින ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා ඇතැමුන් මෙම සාම සාකච්ඡා හරහා සජිත්ව හිර කිරීමට කටයුතු කරනවා නම් එම ජ්‍යෙෂ්ඨයන් සම්බන්ධයෙන්ද නොබියව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසය. එවැනි අවස්ථාවකදී කොන්දේසි විරහිතව සජිත් වෙනුවෙන් පෙනීසිටින බවද මෙම මන්ත්‍රීවරු සජිත්ට පෙන්වා දුන්හ. එහිදීද සජිත් ඔවුන්ට පැහැදිලිවම කියා සිටියේ ජන පදනමක් නැති දූෂිත පිරිස් සමග එකතු වීමට සජබය කිසිසේත්ම කටයුතු කරන්නේ නැතැයි කියාය.

කෙසේ වෙතත් එජාප – සජබ සාම සාකච්ඡා සඳහා හරීන්ගේ මැදිහත් වීමත් සමග සාම සාකච්ඡා ආරම්භ වූ දින සිටම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කරුණු සියල්ල මේ වනවිට සත්‍යයක් වී ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම හරීන්ගේ ආගමනයත් සමග සාම සාකච්ඡාවන්ට සහභාගි වූ සජබයේ කණ්ඩායමටත් බරපතළ විවේචනයක් සජබය තුළින්ම එල්ල වන ආකාරයක් දැකගන්නට තිබේ. එවැනි පසුබිමක් යටතේ පසුගිය බදාදා පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වීමෙන් පසුව සවස සජබයේ කළමනාකරණ කමිටුව රැස්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී සජිත් පැහැදිලිවම කියා සිටියේ එජාපය සමග සාකච්ඡා ආරම්භ කරන විට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් අනුමැතිය ලබාදුන්නේ පළාත් වශයෙන් එජාපය සමග හෝ සජබය සමග තරග කිරීමට නොව දුරකතනය ලකුණ සහ සජබ සන්ධානය යටතේ දෙපාර්ශ්වයම එක්ව තරග කිරීමටය යැයි කියාය. නමුත් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබාදුන් එම අනුමැතියට පිටින් බවද සජිත් පෙන්වා දුන්නේය. එහිදී කළමනාකාර කමිටුවේ සිටි අයකු කියා සිටියේ පක්ෂ දෙක එක්වන බවටත්, එජාපය යටතේ තරග කරන බවටත් ප්‍රකාශ කර ඇත්තේ තලතා යැයි කියාය. සජබය එවැන්නක් ප්‍රකාශ කොට නැති බවද එහිදී කියැවිණි. නමුත් මෙහිදී දැඩි තීන්දුවක් ගනිමින් සජිත් කියා සිටියේ තමන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සමග මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කොට ඉදිරියේදී පක්ෂ ස්ථාවරය දැනුම් දෙන බවත්, එතෙක් එජාපය සමග සාකච්ඡා කිරීම නවතා දැමිය යුතු බවත්ය.

සජබයෙන් ප්‍රහාර

එහිදීද සාම සාකච්ඡා සඳහා හරින්ගේ පැමිණීම පිළිබඳවත්, ඊට සජබ කණ්ඩායම විරෝධය නොදැක්වීම පිළිබඳවත් බොහෝ අදහස් ඉදිරිපත් විය. ඇතැමුන් සැක මතුකළේ සජබ නියෝජිතයන් ඊට විරෝධය පළ නොකළේ එදින සාකච්ඡා මේසයට තලතා හරීන්ව රැගෙන එන බවට කල් තියාම සජබ සාමාජිකයන් දැන සිටීම නිසා බවද එහිදී කියැවිණි.

කෙසේ වෙතත් හරීන්ගේ පැමිණීමෙන් පසු සජබය පැත්තෙන් සාම සාකච්ඡාවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීම සඳහා අනුරාධපුරයට පැමිණි සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පසුව මාධ්‍ය හමුවේදී කියා සිටියේ එජාපය සමග එක්වුවත් නායකත්වය සජිත්ට හිමිවිය යුතු බවත්, නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්ය.

‘අපේ පක්ෂෙ නායකයා සජිත්. මොන සන්ධානය ගොඩනැගුණත් සජිත්ගේ නායකත්වයෙන් තමයි ඒ සන්ධානය හැදෙන්නේ. ජනාධිපතිවරණයේදී සජිත්ට ඡන්ද ලක්ෂ 43ක් ලැබුණා. මහ ඡන්දෙදී සජිත්ට ඡන්ද ලක්ෂ 19ක් ලැබුණා. සජබෙන් මන්ත්‍රීවරු 40ක් පාර්ලිමේන්තු ආවා. විපක්ෂයේ ඉන්න ප්‍රධානම පක්ෂය අපි. ඒ නිසා සජිත්ගේ නායකත්වය යටතේ දුරකතනය ලකුණෙන් තමයි අපි ඉදිරියට සන්ධානගත වෙන්නේ….’ යනුවෙන් එහිදී මද්දුමබණ්ඩාර කියා සිටියේය.

මීට අමතරව රත්නපුරේ හේෂා විතානගේ, කුරුණෑගල තුෂාර ඉඳුනිල්, කොළඹ චරිත් අබේසිංහ වැනි අයද පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කොට තිබිණි. හේෂා කියා සිටියේ මන්ත්‍රීවරු 40ක් සිටින සජබය කාගෙවත් පස්සේ යායුතු නැති බවත්, අවශ්‍ය නම් ඕනෑම අයකුට සජබය සමග සාකච්ඡා කොට සන්ධානගත විය හැකි බවත්ය. එමෙන්ම චෝදනා එල්ල වී ඇති කිසිදු අයකු සජබයට එක්කර නොගන්නා බවද හේෂා කියා සිටියේය. ඊට අමතරව තුෂාර ඉඳුනිල් කියා සිටියේ වල්ගය විසින් අලියා නැටවීමට ඉඩදිය යුතු නැති බවත්, අලියාට අවශ්‍ය ආකාරයට වල්ගය නැටවිය යුතු බවත්ය. ඒ හරහා තුෂාර ඉඳුනිල් නොකියා කීවේ කිසිදු මන්ත්‍රීවරයකු නැති එජාපයට අවශ්‍ය විදියට සජබය කටයුතු කළ යුතු නැති බවත්, එජාපය කටයුතු කළ යුත්තේ සජබයට අවශ්‍ය ආකාරයට බවත්ය.

කබීර්ට විරෝධයක්

අද රනිල් ගාවට සජබය ඇදගෙන යෑමට දතකන මේ සාකච්ඡා කණ්ඩායමේ සිටින සජබයේ ඇතැමුන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී කටයුතු කළේ සජිත්ව දිනවනවාට වඩා සජිත්ගේ කකුලෙන් ඇද ඔහුව පරාජයට පත්කිරීමටය. මීට හොඳම උදාහරණය වන්නේ ජනාධිපතිවරණයට පෙරාතුව සජිත්ට සහාය දැක්වීම සඳහා පොහොට්ටුවේ සිට ස්වාධීනව සිටි 13 කණ්ඩායමට අයත් වූ පිරිසිදු චරිත ලෙස සැලකෙන ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා වැනි පිරිස් සූදානම් වෙද්දී ඔවුන් සජබයට ගන්නවාට විරෝධය පළකරමින් කෑගැසීමය. එදා ඒ කෑගැසුවේ වෙන කවුරුවත් නොව කබීර්, හර්ෂ, ඉරාන් ඇතුළු කණ්ඩායමකි. ඔවුන් මෙහිදී නාලක ගොඩහේවාට චෝදනා ඇතැයි කියමින් පහර ගැසුවා පමණක් නොව, කිසි දිනෙක දූෂණ චෝදනාවලට ලක් නොවූ මහාචාර්ය ජී.එල්. පීරිස්ට පවා ප්‍රහාර එල්ල කළහ. ඒ වෙන මොකක්වත් නිසා නොව රනිල්ගේ වුවමනා එපාකම් පිරිමහන්නටය. එහිදී ඔවුන් කියා සිටියේ ජී.එල්. මහින්දලා සමග එකට ආණ්ඩුවල සිටියා යැයි කියාය.

කෙසේවෙතත් පසුගිය සතියේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනකු විපක්ෂ ලොබියේදී කබීර් හමුවූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කබීර්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කළහ. ඔවුන් කියා සිටියේ එදා මහින්දගේ ආණ්ඩුවේ සිටියා යැයි කියමින් ජී.එල්.ට විරුද්ධ වූ කබීර් ඇතුළු කණ්ඩායම අද හොරුන් රජ කරන එජාපය සමග එකතු විය යුතු යැයි කියන්නේ කෙසේදැයි කියාය.
‘එදා ඔබතුමා ඩලස්ලා, ජී.එල්.ලා, නාලකලා සජබ සන්ධානයට ගන්න යද්දී ඒකට විරුද්ධව ලොකුට කෑගැහුවා. ඒ අය ගන්න එපා කිව්වා. හැබැයි අද ඔබතුමන්ලම මේ මහබැංකු හොරු ඉන්න, මිනිස්සු පිටරට යවලා සල්ලි හොරකම් කළා කියන, ආණ්ඩුවේ ඉඩම් හොරා කෑවා කියන අය ඉන්න, අර ගාල්ලේ මිනිස්සු කට ඇරියොත් හොරා කියන මිනිස්සු ඉන්න පක්ෂයක් එක්ක සජබය මූට්ටු කරන්න කතා කරනවා. ඔබතුමාලා අපට කියන්නේ ඒ හොරකම් අපිට හෝදන්න කියලද? අපි නම් එන්නෙ නෑ ඔය හොරු එක්ක එකතු වෙන්න. ඔබතුමාලට ඕනෙ දෙයක් කරගන්න. අන්තිමට ඔය හොරු ටික අපේ පැත්තට ආවම අපිටත් වෙන්නේ හොර නාමය ගහගන්න…’ යනුවෙන් මේ මන්ත්‍රීවරුන් කබීර්ගෙන් විමසද්දී කබීර් නිහඬව සිටි බවක්ද ආරංචිය.

සජිත් තරු පෙන්වයි

මේ ආකාරයට හරීන් ඉදිරියට දමා සජිත්වත්, සජබයත් විනාශ කිරීමට රනිල් ගේම් ගහද්දී පසුගිය සතියේ කාටත් තරු විසිවෙන ගේමක් ගැසීමට සජිත් කටයුතු කොට තිබිණි. ඒ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මුළු විපක්ෂයම එකට එකතු කිරීමට කටයුතු කිරීම හරහාය. මේ ආකාරයට විපක්ෂය එකතු කරන වැඩේට සජිත් මුලින්ම අත ගැහුවේ මීට සති දෙකකට ඉහතදීය. විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට ඊට ආරාධනා කර තිබූ නමුත් එදින කිහිප දෙනකුගේ මුහුණු එහිදී දැකගන්නට ලැබී නොතිබිණි. නමුත් පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවේ පැවැති මෙම දෙවැනි සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල සාමාජිකයන් ඊට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. උදාහරණයක් ලෙස සජිත් කැඳවා තිබූ එම සාකච්ඡාවට උතුරේ දෙමළ ජාතික සන්ධානය පමණක් නොව, දකුණ, බස්නාහිර, නැගෙනහිර, වතුකරය යන සියලු පළාත් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. දෙමළ සන්ධානයේ අඩෛක්කිලනාදන්, ගජේන්ද්‍රන් පොන්නම්බලම්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, අනුරාධ ජයරත්න, ජීවන් තොණ්ඩමන්, ඩී.වී. චානක, රවී කරුණානායක, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් වැනි විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගේ මුහුණු එහිදී දැකගත හැකි වීම විශේෂ සිදුවීමක් විය.

ඒ අනුව මෙහිදී සියලු මන්ත්‍රිවරුන් සජිත්ට පෙන්වා දුන්නේ මේ වනවිට ආණ්ඩුව මර්දනය මුදාහැරීමට සැලසුම් කරමින් සිටින බවකි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් ඒකාධිපතිවාදයක් කරා ආණ්ඩුව ගමන් කිරීමට සැලසුම් කරන බවත්, එම මර්දනය පාර්ලිමේන්තුවෙන් පිටතදී මෙන්ම පාර්ලිමේන්තුව තුළද ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවත් ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. එම නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව සටන් කළ යුතු බවද මෙහිදී පැහැදිලි කෙරිණි.

මීට අමතරව පාර්ලිමේන්තුවේ කමිටු නියෝජනය කිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වැඩි දායකත්වයක් ලබාගැනීමට පියවර ගතයුතු බවද මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව අවසානයේදි තීන්දු වූයේ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඒකාබද්ධව සටන් කිරීමටත්, ඒ සඳහා පොදු න්‍යායපත්‍රයක් සකස් කිරීමටත්ය. එමෙන්ම මෙම සාකච්ඡාව දිගටම පවත්වාගෙන යායුතු බවද ඔවුන්ගේ අදහස වී තිබිණි.

තවත් ඉවත්වීමක්

මේ දිනවල ආණ්ඩුවේ හතර පැත්තෙන්ම ඇසෙන්නේ සභාපතිවරුන්ගේ ඉල්ලා අස්වීම්ය. දැනටමත් මාලිමා ආණ්ඩුව පත්වූ පසු ආයතන 6කට පත්කරනු ලැබ තිබූ සභාපතිවරුන් හය දෙනෙක් සිය ඉල්ලා අස්වීම් භාරදී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත්තේ පසුගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද ප්‍රබල ලේකම් ධුරයක් දරන අයකු ඉදිරි සති කීපය ඇතුළත විශ්‍රාම යෑමේ සූදානමකින් පසුවන බවකි. මේ පිළිබඳ සමාජ මාධ්‍යවල නම් නම්ගම් සහ ඡායාරූප සහිතව පුවත් පළකොට තිබූ අතර, එය නොනිල පුවතක් වීම හේතුකොට ගෙන අපට එම ලේකම්වරයාගේ නම්ගම් සඳහන් කළ නොහැකිය. නමුත් සිය හිතවතුන් කිහිප දෙනකු සමග මෙම ලේකම්වරයා තමන්ට විශාල පීඩනයක් මේ වනවිට එල්ල වෙමින් පවතින බවක් කියා ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම මෙම ලේකම්වරයා තමන්ට හිතවත් දේශපාලකයන් කීප දෙනකු සමගම මේ සම්බන්ධයෙන් සුහදව අදහස් හුවමාරු කරගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සෞඛ්‍ය අමාත්‍යංශයේ ගැහිලි තවමත් ඉවර වෙලා නෑ! ලොකු පුටුවල ඉන්න දූෂිත නිලධාරීන්ගේ නම්ගම් සියල්ල එළියට එන්නයි යන්නේ! නලින්ද ජයතිස්ස ඇමැතිතුමනි.. හැමෝම කෙහෙළියව ආරක්ෂා කරද්දී රස්සාවත් අනතුරේ දාගෙන කෙහෙළියව හිරේ යවන්න වැඩ කරපු දොස්තර චමල් සංජීව කියන මේ හෙළිදරව්වත් අහන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලු රටම කළුවරට!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.