පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ දේශපාලනඥයන්ද එසේත් නැතිනම් යම් විෂයක උගතුන් බුද්ධිමතුන් ආචාර්ය මහාචාර්යවරුන්ද යන ප්‍රබල ගැටලුව අද වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මහ මැතිවරණයෙන් අනතුරුව කතානායක ලෙස පත්කෙරුණු අශෝක රන්වල ඔහුගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් යොදා තිබූ අතර, ඔහුට එය මේ දක්වා සනාථ කිරීමට නොහැකි වීම නිසා කතානායක ධුරය පවා අහිමි වන්නේ වත්මන් ආණ්ඩුවේ මුහුණේ පමණක් නොව මුළු කඳ පුරාම මඩ දැලි තවරමිනි.
ඉන් අනතුරුව එසේ ආචාර්ය මහාචාර්ය පට්ටම් තම නම්වලට ඉදිරියෙන් යොදාගෙන පසුගිය කාලය පුරා ජනතාව අතර වැජඹුණු පාර්ලිමේන්තුව නියෝජනය කරන සැලකිය යුතු පිරිසකක් ඔවුන්ගේ නමට ඉදිරියෙන් ඔවුන් විසින්ම භාවිත කළ අචාර්ය මහාචාර්ය පට්ටම ගලවා දැමූහ. එහි ආසන්නම සිදුවීම මාධ්‍ය වාර්තා කරන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයකු ඔහුට හිමි නැති තනතුරක් යොදාගනිමින් එංගලන්තයට යාමට වීසා ඉල්ලා එම වීසා අයැදුම්පත එරට විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීමයි. තවත් එවැනි දේ ඉදිරියටත් සිදුවිය හැකි බවට විශ්වවිද්‍යාල තුළ සැබෑ ලෙසම ආචාර්ය මහාචාර්යවරුන් ලෙස කටයුතු කරන පිරිස අතර මේ දිනවල ප්‍රබල කතාබහක් මතුවී තිබේ. ඊට හේතුව මේ කියන ආචාර්ය මහාචාර්යවරුන් සත්‍ය වශයෙන්ම ආචාර්ය මහාචාර්යවරුන්ද කියා හොඳින් දන්නේ ඔවුන් නිසාය.
එවන් තත්ත්වයක් හමුවේ අප මේ පිළිබඳ කරුණු හොඳින් දන්නා පුද්ගලයකු හා සාකච්ඡා කළෙමු. ඔහු වෙන කවුරුත් නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති ගාමිණී සමරනායක මහතාය.
අපි එතුමාට ඇහුම්කන් දෙමු.
මහාචාර්ය නාමය විශ්වවිද්‍යාලය තුළ වැටුප් වැඩිකිරීම හා උසස් වීම් ඇතුළු විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු සඳහා යොදාගන්නා තනතුරක් පමණයි. එය සාමාන්‍ය සමාජයට හෝ දේශපාලනට කිසිසේත් වැදගත් තනතුරක් නොවේ.
විශ්වවිද්‍යාල තුළ වසර දහයක් අධ්‍යයන කටයුතුවල නිරත වූ මහාචාර්යවරයකුට පමණක් ඔහු එම ධුරයෙන් ඉවත් වනවිට මහාචාර්ය නාමය ඉදිරියට භාවිත කිරීම සඳහා අවසර ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙනවා. මේ රටේ පමණක් නොව ලොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලනය කිරීම සඳහා ආචාර්ය මහාචාර්යකම් කිසිසේත්ම සුදුසුකමක් වෙන්නේ නැහැ. දේශපාලනය උගතුන්ට පමණක් සීමාවිය යුතුය යන මතය සමාජගත කිරීම රටේ දේශපාලන පැවැත්මට යහපත් නොවන දෙයක්. රැකියාවකට උපාධිය අවශ්‍යයි. එහෙත් දේශපාලනයට එන්න උපාධියක් අවශ්‍යයි කියල කොහෙවත් කියල නැහැ. ඇතැමුන් මේ බොරු මතයක් හදාගෙන ඉන්නේ.
දේශපාලනයට අවශ්‍ය වන්නේ පරිපාලන දැනුමයි. මගේ දැනුමේ හැටියට ජී.එල්. පීරිස් මහතාට හා රන්ජිත් බණ්ඩාර මහතාට මහාචර්ය නාමය භාවිත කරන්න පුළුවන්. ඔවුන්ට ඒ ඒ විශ්වවිද්‍යාලවලින් ඒ සඳහා අවසර ලබාදී තිබෙනවා. හුඟදෙනෙක් ඔය ආචාර්ය මහාචාර්ය නම සමාජයේ භාවිත කරන්නේ වැරදි විදියට. තමන් අන් අයට වඩා සමාජයේ උසස් කියල පෙන්වන්න මේ තනතුරු යොදාගැනීම වැරදියි. මේ රටේ පමණක් නොවෙයි එංගලන්තයේ පාර්ලිමේන්තුවේ පවා යම් ක්ෂේත්‍රයක ප්‍රවීණයන් වගේම එසේ නොවන අයත් ඉන්නවා. ඒ සියලු දෙනාම ජනතා නියෝජිතයන් විතරයි. එහෙම නැතිව යම් අංශයක විශේෂ දැනුමක් තිබුණ කියලා විශේෂ වරප්‍රසාද හිමිවන්නේ නැහැ.
අපේ රටේ දේශපාලන නායකයන් අතුරින් ඔය කියන උගත්කම් පිළිබඳ එදා සිරිමාවෝ මැතිනියගේ කාලෙත් විවිධ පිරිස් ප්‍රශ්න මතුකළා. එදා ඩී.එස්. සේනානායක හා මැතිනිය සම්බන්ධ කරගනිමින් උගත්කම ගැන කතා කළා. අඩු අධ්‍යාපන සුදුසුකම් තිබුණු බව කියූ සිරිමාවෝ මැතිනිය සාර්ථකව රට පාලනය කළා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාටත් ඔය කියන උගත්කමේ ගැටලුව ආවා. ඔහුට විශ්වවිද්‍යාලයක ආචාර්ය මහාචාර්යකමක් නැහැ කියමින් ඔහුට අපහාස කළ පිරිස් හිටියා. නමුත් ඔක්ස්ෆර්ඩ් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන මෙරට දේශපාලනය කළ අයට වඩා හොඳින් ඔහු රාජ්‍ය පාලනය ගෙන ගියා. ඒ නිසයි මම මුලින් සඳහන් කළේ රටක දේශපාලනයට ආචාර්ය මහාචාර්යකම්වලට වඩා වැදගත් වන්නේ සමාජ දේශපාලන දැනුම හා පරිපාලන දැනුම කියලා.
කිසිවකු විසින් තම නමට ඉදිරියෙන් තමන්ට නොමැති තනතුරක් නිලයක් භාවිත කිරීම සම්බන්ධයෙන්ද ගාමිණී සමරනායක මහතා අප සමග අදහස් දැක්වීය.
කිසිවකු එසේ නමට ඉදිරියෙන් වංචනිකව ආචාර්ය මහාචාර්යකම් භාවිත කළා කියලා ඔහුට විරුද්ධව විශ්වවිද්‍යාලයට නීතිමය පියවරක් ගන්න හැකියාවක් නැහැ. රටේ නීතිය අනුවත් එම කටයුත්ත සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් එක දෙයක් කියන්න ඕනෑ. තමන්ගේ නමට ඉදිරියෙන් බොරු පට්ටම් දාගෙන ඒවා සමාජගත කරලා ඉහළින් වැජඹෙන්න හදන අය උගත් බුද්ධිමත් ප්‍රජාව අතර අවතක්සේරුවට අවඥාවට ලක්වෙනවා. ඒ දඬුවම අන් සියලු දඬුවම්වලට වඩා ප්‍රබලයි.
සරත් සමරනායක










