මම හිතන්නේ ඡන්දයක් එනවා. ඔබ දන්නවා ඒ මොකක්ද කියලා. පළාත් පාලන ඡන්දය එනවා. ඔක්කොමලා ආපහු වැඩේ පටන් ගනී. ආණ්ඩුවේ වැඩේ මේගොල්ලෝ පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට කරපු වැඩේ. ආයෙත් කයියනායක. කළුතර රැස්වෙලා හිටපු පිරිස හිනා වෙමින් මේවා අහගෙන හිටියා. හුඟක් දෙනෙක් ඒ කතාව අහලත් ඇතිනේ. ඒ හිනාවෙවී අහගෙන හිටපු අය පාක්ෂිකයො වෙන්න ඇති. පාක්ෂිකයෝ එහෙමනේ. පාක්ෂිකයෝ හරි කැමැතියි ඒගොල්ලන්ගේ නායකයෝ තේරුමක් නැති දේවල් වුණත් කියනවට. ඉස්සර ඔය වගේ දේවල් කියන්න වෙනම කට්ටිය හිටියා. කාලයක් විමල් වීරවංශ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔය වගේ දේවල් කිව්වා. සජිත්ගේ පක්ෂයෙත් ඉන්නවා ඔය වගේ කියන අය. කවි කියන අය ඉන්නවා. එහෙම තමයි. එහෙම චූන් කරන්න ඕනේ. මම හිතන්නේ අනුර කුමාර දිසානායකටම සිද්ධ වෙලා තියෙනවා දැන් එන්.පී.පී. එකට ඡන්දය දීපු අයව චූන් කරන්න. මොකද අනෙක් අයගේ විශ්වසනීයත්වය දැන් බොහෝ දුරට බිඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඔහු දන්නේ නෑ ඔහු සම්බන්ධයෙනුත් තත්ත්වය ඒකමයි කියලා. නමුත් ඔහු ජනාධිපති හැටියට විශ්වාස කරනවා ඇති තවදුරටත් ඔහුගේ වචනය මිනිස්සු විශ්වාස කරනවා කියලා. Sri Lanka Latest News
කළුතර කතාව ගැන මට කතාකරපු පණිවුඩ එවපු පිටස්තර අය නෙවෙයි, පිටස්තර අය කොහොමත් විවේචනය කරනවනේ. එන්.පී.පි. එකට ඡන්දය දීපු අය මට ඒක එවලා ඒ අය බලාපොරොත්තු වුණා මගෙන් ඒකට උත්තරයක්. මම ඒගොල්ලන්ට කිව්වා ආයෙත් කයියනායක. මේ කයියනායක කියන නම කවුරු දැම්මද දන්නේ නෑ. ඒක ඇත්ත වශයෙන්ම ගැළපෙනවා. ඒ නිසයි අපි ඒක පාවිච්චි කරන්නේ. මේක විතරයි තියෙන්නේ. වාගාලංකාරය සහිත කයිවාරුව විතරයි ඒගොල්ලන් එක්ක දැන් ඉතුරු වෙලා ඉන්නේ. මම දැක්කා ටිල්වින් සිල්වාත් කතාවක් කරනවා. ‘බල්ලො බිරුවට ප්‍රශ්නයක් නෑ, අපි ඉදිරියට යනවා, හැබැයි හපාකන්න ආවොත් බලාගමු’ වගේ කතාවක්. ඒ කතාවෙත් තිබුණේ චූන් කිරීම. ඇත්ත වශයෙන්ම කියනවා නම් බොහොම අමාරුවෙන් ආපු දේශපාලන ගමනේදී හොඳ දේවල් කතා කළා. ටිකක් ඉස්සර. තාර්කික දේවල්. ඊට පස්සේ බැස්සා මේ චූන් කතාවලට. දැන් ආණ්ඩුව අරගෙන මාස 3ක් ගියාට පස්සේ ඊළඟට එන පළාත් පාලන ඡන්දෙට මුහුණ දෙන්න අමාරු බව තේරුණාම දැන් ආපහු සංවිධානාත්මකව කට්ටිය චූන් කරන්න ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා. ඒකෙදී මම දැක්ක විශේෂත්වය තමයි එතැන ටිකක් විස්මයාර්ථය දනවන මුහුණු තිබුණා. මේ අර ඉස්සෙල්ලා කියපුවාම නේද වගේ එකක්.
කළුතර කරපු කතාවේ තිබුණා කාරණා දෙකක්. විවේචනය කරනවට වඩා ඒකේ න්‍යායික කාරණා දෙකක් තිබුණා. පළමු කාරණාව තමයි මේ කතා කළේ විධායක ජනාධිපති කෙනෙක්ද, එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න කථිකයෙක්ද කියන එක. ඒ කියන්නේ තවමත් විධායක ජනාධිපති බවට පත්වී නැති බව ඒ කතාවෙන් පැහැදිලිවම පෙනුණා. ඊට හේතුව තමයි කෙනෙක් විධායක ජනාධිපති නම්, ඔහු කියන්නේ කරපු වැඩ. මේ මාස තුනට කරපු වැඩ තමයි කියන්න ඕනේ. කරන්න බලාපොරොත්තු වෙන වැඩ කියන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා. විධායක ජනාධිපති කෙනකුට ඒ විදියේ දේවල් මම හිතන්නේ ගැළපෙන්නේ නෑ. ඒ වගේ කරන්න ඉන්න දේවල් කියන්න ඕනේ වෙන කෙනෙක්. ඒ කරන්න ඉන්න දේවල්වලිනුත් මෙතැන අපට පේන සුවිශේෂ වෙනස්කම් තියෙන කාරණා තමයි තියෙන්නේ. එහෙම නැතුව ඉන්දියාවට තෙල් ටැංකි ප්‍රමාණයක් දෙන්න හදනවා, ඊට පස්සේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා ලෝකෙට තෙල් බෙදන්න හදනවා වගේ එකක් කිව්වේ. මම දන්නේ නෑ එතැන හිටපු මිනිස්සුන්ට අනෙක් ඒවට හිනා ගියා, ඒකට හිනා ගියේ නෑ. හරි නම් හිනා යන්න ඕනේ ඒකටයි. ඉතින් ආපහු ඒ වැඩේ පටන් අරගෙන කියන එක පැහැදිලියි. ඔවුන් තවමත් ජයග්‍රහණය කරලා නෑ වගේ තමයි. හේතුව ඔවුන්ට ඒ ජයග්‍රහණයෙන් පස්සේ අත්පත් කරගන්නට අවශ්‍ය වූ ඒ ජයග්‍රහණ අත්පත් කරගන්නට බැරිවීම හින්දා. දැන් ආපහු උත්සාහ කරනවා ඒ පරණ වැඩේම ටිකක් සරුවට කරන්න. හැබැයි මේක කරන්න මම හිතන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකට තියෙන ඉඩත් මේ විදියට ගියොත් ඒකත් ජනතාව අතර ඇහිරිලා යයි කියලා හිතෙනවා.
පළමු කාරණයට අදාළව, ඒ කියන්නේ විධායක ජනාධිපති හැටියට නොව, විපක්ෂයේ සිටින පුද්ගලයෙක් හැටියට තවමත් මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නවා කියලා හිතාගෙන ඔහුව ප්‍රතිවාදියා බවට පත්කරගැනීම. ප්‍රතිවාදියා, එහෙම නැත්නම් අනෙකා පුළුවන් තරම් පහත් කරලා, ඒ මත යැපෙමින් තමන් ඉහළට යන්න උත්සාහ කරනවා. තමන් ඉහළට යන්න උත්සාහ කරන්නේ තමන්ගේ මොකක් හරි විශේෂත්වයක් නිසා නොවෙයි. තමන් පහතට හෙළන පුද්ගලයා මත යැපෙමින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතැන තියෙනවා ඒපැත්තට මේ පැත්තට හුවමාරු වීමක්. ඔබට තේරෙයි ඉතිරි කාරණා ටිකත් කිව්වම කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඒකේ තියෙන අනතුරත් අපි අවසානයේදී කියන්න බලාපොරොත්තු වෙනවා. රාජපක්ෂලාව රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා. හේතු සහිතව හෝ හේතු රහිතව. ඊට පස්සේ මේ දැන් ඉන්න ආණ්ඩුවට විශාල බලයක් ලබාදුන්නා. ඒ මතම යැපෙමින්. තවදුරටත් රාජපක්ෂලා මතම යැපෙමින් තමන්ගේ ජනප්‍රියත්වය නිර්මාණය කරගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ මොන තරම් දුප්පත් වැඩක්ද? තවමත් රාජපක්ෂලාමද ඔබගේ අනෙකා? එහෙනම් ඔබ ඉදිරියට ගිහින් නෑ. ඔබ යම්කිසි ජයග්‍රහණ අත්පත් කරගෙන නෑ. නිකන් හිතන්න, රාජපක්ෂලා කාලයක් කොටි ත්‍රස්තවාදය තමන්ගේ අනෙකා බවට පත්කරගෙන හිටියා. යුද්ධය දිනුවා. දිනුවට පස්සෙත් අතහැරියේ නෑ කොටි වලිගය. ඒක ඡන්දවලට පාවිච්චි කළා. අවසානයේ මොකද වුණේ? අවසානයේ ඒ ජයග්‍රහණයත්, ජයග්‍රහණය ලැබූ පුද්ගලයනුත් සියලු දෙනා සමාජයෙන් ප්‍රතික්ෂේප වුණා.
දැන් එන්.පී.පී. ආණ්ඩුව මහින්ද රාජපක්ෂලා තමන්ගේ අනෙකා කරගැනීම නැවැත්තුවේ නැත්නම් ඒ කියන්නේ ඒගොල්ලන්ටත් කොටියා තමන්ගේ අනෙකා කරගත්ත රාජපක්ෂලාට වෙච්ච දේම සිද්ධ වෙනවා. මේාව හරි සරල න්‍යායික කාරණා දේශපාලනයේදී. දේශපාලනයෙදී විතරක් නෙවෙයි, අපි කරන ඕනෑම දේකදී මේ අන්‍යොන්‍ය පැවැත්ම එකිනෙකා කෙරෙහි තමන්ගේ පැවැත්ම රඳාපැවැතීම කියන එක තාවකාලිකව සුළු කාලයකට පුළුවන්. හැබැයි ඒක දිගින් දිගටම පාවිච්චි කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒක පාවිච්චි කරන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ කියන එකත් අපි මේ කතාවෙන් කියනවා.
මේ කතාවේ තිබුණු දෙවැනි කාරණාව තමයි ඊටත් වැඩිය ටිකක් තීරණාත්මකයි සහ ටිකක් කනගාටුදායකයි. ඒ වගේම ටිකක් බියජනකයි. ඒ කතාවෙදී ඔහු කියනවා මහින්ද රාජපක්ෂට තිබුණු ආරක්ෂාව 60කට අඩු කළා. තව කෙඳිරිගෑවොත් 60ත් අයින් කරනවා කියලා. මේ කතාවට හිනාවුණා එතැන හිටපු යම් පිරිසක්. ඒගොල්ලෝ දන්නේ නෑ ඒ හිනාවෙන්නේ තමන්ගේ අනාගතයට කියලා. ඒගොල්ලෝ දන්නේ නෑ ඒ ගොල්ලෝ හිනාවෙන්නේ බරපතළ විදියට උල්ලංඝනය වෙන දේශපාලන සදාචාරයකට කියලා. ඒ හිනාවෙන මිනිස්සු දිහා අපි අනුකම්පාවෙන් බලාගෙන හිටියා. මොකක්ද ඒ කිව්වේ? 60ත් අයින් කරනවා කියලා. පළමු කාරණාව තමයි, පුළුවන්ද ඒක කරන්න කියන එක. ඒක කරන්න බෑ. මහින්ද රාජපක්ෂ කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක්. ඔහු කොටි ත්‍රස්තවාදීන් එක්ක යුද්ධයක් කෙරුවා. ඔහු ඒක විකුණගෙන කන්න හැදුවා, හැබැයි ඒක කරන්න බැරුව ගියා. හැබැයි ඔහුට තර්ජනයක් තියෙනවාය කියන එක තවමත් ඒ අයට ඒ පැත්තෙන් කියන්න පුළුවන්. ඔප්පු කරන්නත් පුළුවන්. අධිකරණයට පවා ඒ සම්බන්ධයෙන් යන්න පුළුවන්. ඒ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපති මේ කියන ‘60ත් අයින් කරනවා’ කියන කතාව නිකන්ම නිකන් වාගාලංකාර ප්‍රලාපයක්. ඒකයි මම කිව්වේ මිනිස්සු චූන් කරන්න ජනාධිපති කෙනෙක් ඒ වගේ දේවල් කියනකොට ඒකේ තියෙනවා පොඩි පිළිකුල්සහගත බවක්. ඒ කතාව අපේ රටේ සංස්කෘතියටත් පටහැනියි. ඒ කතාව සාවද්‍යසහගතයි. ඒ වගේම අපේ රටේ තියෙන ජන සංස්කෘතියට විරුද්ධයි. අපේ සංස්කෘතියේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. මේ වගේ දෙයක් කියන්නේ ඇයි? හුදු ජනප්‍රසාදය සඳහා. තමන්ගෙන් ගිලිහෙන, තමන්ව හැරලා යයි කියලා හිතෙන පාක්ෂිකයන්ව නවත්තගන්න. ඒ වුණාට ලක්ෂ ගානක් දැන් ආපහු හැරිලා කියලා ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති සමහර විට. දන්නවා ඇති, නමුත් විශ්වාස කරන්නේ නැතුව ඇති. නමුත් ඊළඟ පළාත් පාලන ඡන්දෙන් පස්සේ විශ්වාස කරන්න සිද්ධ වෙයි.
මේකේ තියෙන අනතුරුසහගත තත්ත්වයත් මම කියන්නම්. රාජපක්ෂලා තමන්ගේ අනෙකා බවට පාවිච්චි කරනකොට මේවා අහගෙන ඉන්න ජනතාවට හිතෙන්න පුළුවන් අනුර කුමාර දිසානායකලා ප්‍රමුඛ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ තවමත් තර්ජනයක්ද කියලා. නමුත් ඇත්ත කතාව නම් ඒගොල්ලෝ ඉන්න එකෙන් තමයි ඔය වගේ දෙයක් හරි කියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒක හොඳටම දන්න හින්දා තමයි පහුගිය මැතිවරණයට රාජපක්ෂලා ඉදිරිපත් නොවෙන්නේ. දේශපාලනික තේරුම්ගැනීමක් ඒක. ඔවුන් ඉදිරිපත් නොවෙන්නේ ඒ රාජපක්ෂලාව අනෙකා බවට පත්කර ගැනීම වළක්වන්නයි ඒ ඉදිරිපත් නොවී ඉන්නේ. දැන් ඒක තවමත් සිද්ධ වෙනවා. එතකොට මිනිස්සු හිතන්න පුළුවන් මේ මොන කතාවක්ද, මොකක්ද මේ ඉරිසියාවක්ද තියෙන්නේ කියලා. තමන්ට නැති යම්කිසි දේශපාලන පෞරුෂයක් තවත් කෙනකුට තියෙනවා නේද කියලා. ජාත්‍යන්තරයත් එක්ක ගැටිලා වැඩකරලා ඉවර වුණාට පස්සේ ඒ පින්තූර බලනකොට තේරෙන දෙයක්ද මේක? ‘එච්චර ලකයක් නෑ’ වගේ තේරෙනවද? මේකට හේතුව අර හදපු ප්‍රතිරූපයද කියලා හිතෙනවද දන්නේ නෑ. එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා නේද තමන්ගේ ඇත්ත දේශපාලන ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. ඔවුන් එක්ක කිසිම විදියක දේශපාලන සංවාදයක් නොකර, ඔවුන් ගැන සඳහනක්වත් නැතුව දැන් බලයේ නැති, 3%කට බැහැලා ඉන්න, මන්ත්‍රීලා තුන්දෙනකුට පල්ලම් බැහැලා ඉන්න, දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂලාව තමන්ගේ අනෙකා බවට පත්කරගැනීම. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් දේශපාලන ප්‍රතිවාදීකමක් තියෙනවා නම්, තියෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස එක්කයි. නමුත් ඒගොල්ලොත් එක්ක ඒ සංවාදය පටන් අරගෙන මේ පැත්තට ලකුණු දාගන්න බෑ. ලකුණු දාගන්න පුළුවන් රාජපක්ෂලාගෙ පැත්තෙන්. තවමත් ලකුණු දාගන්න පුළුවන් කියලා හිතන්නේ රාජපක්ෂලාගෙ පැත්තෙන්. ඒක තමයි මේ කතාවේ දෙවැනි වැදගත්ම කාරණාව. ඒ තමයි, රාජපක්ෂලාව තමන්ගේ අනෙකා කරගන්නේ ඇයි කියන කාරණාව.
තවත් අනතුරක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ආණ්ඩුවේ නොහැකියාවත් එක්ක මේ විදියට අහේතුකව රාජපක්ෂලාව ඉලක්ක කරගැනීමෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ දුර්වලකම එළියට පිළිබිඹු වෙන්න පටන්ගැනීම. ඒ වගේම තවත් දෙයක් සිද්ධ වෙනවා. දිගින් දිගටම මේක සිද්ධ වෙනකොට ‘දුර්වලයාට ආදරය කිරීම කියන එක’ වෙන්න පටන්ගන්නවා. මම මේ කියන න්‍යායික කාරණා ඔබට නොතේරුණත්, දැන් මම කියනකොට ඔබට ඒක වැටහෙන්නත් ඇති. මීට කලින් ඒක හිතේ හෝඩුවාවක් වගේ තියෙන්න ඇති, එළියට දාගන්න බැරුව. වචන කරගන්න බැරුව තියෙන්න ඇති. මේක මේ විදියට යනකොට, තමන්ගේ රාජ්‍ය පාලනයේ නොහැකියාව සහ කල් ඉකුත් වෙච්ච ප්‍රතිවාදියාව තවදුරටත් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා විදියට පාවිච්චි කිරීමෙන් මුලින්ම සිදුවෙන්න පුළුවන් දේ තමයි ජනතාව තුළ කුකුසක් ඇතිවෙන එක. මොකද මේ කියලා. ඊට පස්සේ ඒ කුකුස ප්‍රශ්නාර්ථයක් විදියට ලියාපදිංචි වෙලා ඊට පස්සේ නොමනාපයක්, නොකැමැත්තක් ඇතිවෙනවා, මොකක්ද මේ කරන්නේ කියලා. එතැනට එනකොට තමයි දුර්වලයාට ආදරය කිරීම අර පැත්තෙන් ගොඩනැගිලා, ඊට පස්සේ මේක මේ අයට විරුද්ධ ඡන්දයක් බවට පත්වෙන්නේ.
නිශ්ශබ්දව ඔය කතාව අහගෙන හිටපු කණ්ඩායමක් එතැන හිටියා. එළියෙත් ඉන්නවා. මේ කතාව ගැන ලොකු උනන්දුවක් ඔවුන් තුළ නෑ. මේ වගේ කතාවක් ඡන්දයට කලින් කරපු අවස්ථාවල එතැනදී ලැබුණු ප්‍රතිචාරය සහ දැන් මේ කතාවට තියෙන ප්‍රතිචාරය යම් සුළු පිරිසකගේ හැරෙන්න බහුතරයේ ප්‍රතිචාරය නිශ්ශබ්දයි. ඇයි ඒ නිශ්ශබ්ද? ඒගොල්ලන්ගේ ඇතුළේ තියෙනවා ප්‍රශ්නාර්ථය. ඒ වගේය යම් අප්‍රසන්න හැඟීමක් තියෙනවා මේ කතාව ගැන. මේක තව පාරක් කරන්න. තව දෙතුන්පාරක් කරන්න. මොකද වෙන්නේ කියලා බලන්න. මේ වෙනකොට කල් ඉකුත් වෙලා, දේශපාලන භූමියෙන් ඉවත් වෙලා ඉන්න පිරිස සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ජනතාව තුළ පැනනගින්න මේ එන්.පී.පී. එකේ, ජනාධිපතිලගේ උත්සාහය හේතු වෙන්නට ඉඩ තියෙනවා. හැබැයි එන්.පී.පී. එකටත් රාජපක්ෂලා මත යැපෙමින් මේක ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කරනවා හැර අන් විකල්පයක් ඇත්තේ නැත. ඒ හින්දා අපි කියන්න කැමැතියි අවසානයේ සිදුවෙන දේ. අවසානයේදී 68 ලක්ෂය ආපහු 3% දක්වා පල්ලම් බහින්නේ නෑ. ඊට වැඩි ප්‍රමාණයකින් නතර වෙයි. ඒක හුඟක් දෙනෙක් විශ්වාස කරන්නේ නෑනේ.
එදා ගෝඨාභයට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණාම ඒගොල්ලෝ හිතුවේ නෑ ආපහු එයාලා 3%ට අඩුවෙයි කියලා. දැන් මේගොල්ලොත් විශ්වාස කරන්නේ නෑ 68 ලක්ෂය පස්සට එයි කියලා. විශ්වාස කරන්න බැරි නම්, කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ විශ්වාසය තහවුරු කරගන්න තමන් කියපු දේවල් ජනතාවට කරලා පෙන්වන එක. ඒ වෙනුවට කරන්නේ රාජපක්ෂ නමැති මුව හමට තඩිබෑම නම් සිදුවෙන දේ තමයි, දැන් ඉස්සර වගේ කියන්නේ නෑ පාවෙන ඡන්ද කියලා. දැන් කියන්නේ ‘ස්විං වෝට්ස්’ කියලා. මැද්දේ පාවෙන්නේ නෑ. ඇමෙරිකාවේ ප්‍රාන්තවල ඡන්දය ස්විං වෙන එක විදිය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයෝ බරපතළ විදියට විශ්වාස කරනවා. ලංකාවෙත් ඒ වගේ තැන් තියෙනවා. ඒක එක ඡන්ද කොට්ඨාසයක් හැටියට නෙවෙයි, මුළු රටක් හැටියට ඒක ඒ ‘ස්විං වෝට්’ එක වැඩකරන විදිය ගැන හොයලා බලන්න කියලා එන්.පී.පී. එකේ ඉන්න දේශපාලන මහාචාර්යවරුන්ට අපි ආරාධනා කරනවා. මොකද, ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැත්නම් මෙහෙම ප්‍රවණතාවක් ලෝකේ තියෙනවා කියලා, අපි ආරාධනා කරනවා ඒ ගැන අධ්‍යයනය කරලා බලන්න කියලා. ඊට පස්සේ උපදෙස් දෙන්න මේ වගේ කතා පවත්වනකොට ඒවා ගැන පරිස්සම් වෙන්න ඕනේ කොහොමද කියලා.
3 Minutes – SEPAL AMARASINGHE යූටියුබ් නාලිකාවෙනි










