● ‘ඔබට ජීවිතය විඳදරා ගැනීමට අවශ්‍ය නම් මරණයට ලෑස්ති වෙන්න…’ (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්)
● ‘මිනිසාට මරණය සිදුවූ විට මාරාන්තික කොටස නිවාදමනු ලැබේ. නමුත් අමරණීය මූලධර්මය පසුබැස ආරක්ෂිතව ඉවත්ව යයි’ (ප්ලේටෝ)
● ‘මරණය, හිරු කිරණක බලයෙන් මාංශයට අත තබා ආත්මය අවදි කරයි…’ (රොබට් බ්‍රව්නිං)
● ‘හොඳින් ගතකළ දවසක් මිහිරි නින්දක් ලබාදෙනවා සේම, හොඳින් ගතකළ ජීවිතයක් මිහිරි මරණයක් ඇතිකරයි…’ (ලියනාර්ඩෝ ඩා වින්සි)
● ‘ඔබ මියයන දවසේදීම මේ ලෝකයේ ඔබ සතුව ඇති දේ වෙනත් පුද්ගලයකු අතට පත්වේ. නමුත් ඔබ සදහටම ඔබට අයිති වනු ඇත….’ (හෙන්රි වැන් ඩයික්)
● ‘මරණය වෙනත් ජීවිතයකට පෙරනිමිත්තක් නොවූයේ නම්, වර්තමාන ජීවිතය කුරිරු විහිළුවක් වනු ඇත…’ (මහත්මා ගාන්ධි) Sri Lanka Latest News
කුමක්ද මේ මරණය ගැන කියැවෙන ගැඹුරු කතාන්දරය? මිනිසාගේ මරණය ගැන ලෝකයේ කීර්තිමත්, වියත් පුද්ගලයන් විසින් පවසා ඇති වැදගත් වදන් කීපයක් ඔබට එසේ ලියා තැබුවෙමි. ඉපදීම ගැන මිනිසා සතුටට පත්වුවද මරණය යනු පුරාණ කාලයක සිටම මිනිසා නිතර වදවේදනාවට හෝ කරදරයකට හෝ පත්කරවන දෙයක් විය. මරණය සම්බන්ධයෙන් අප අතර කාලයක සිට බොහෝ විශ්වාසයන්ද ඇති අතර, මෙය ලෝකය පුරා කාලයක සිට කතාබස් කරනු ලබන විෂයක්ද වෙයි. බොහෝ මිනිසුන් මරණය ගැන තම අදහස් දැක්වීමට මඟහරිනු ලබයි. එසේ වන්නේ එය බියකරු දෙයක් හෝ අප්‍රසන්න දෙයක් හෝ නිසා යැයි සිතිය හැකිය. එහෙත් සෑම ආගමකදීම මරණය ගැන බොහෝ දේශනාවන් ඉදිරිපත් කරයි. එසේම විවිධ වූ දර්ශනයන්ද ඉදිරිපත් කරයි. මෙවැනි වටපිටාවකදී මෙම ‘මරණය’ නමැති සුවිශේෂ විෂය ආශ්‍රිත කරගනිමින් මෙම ලිපිය ආරම්භ කළේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කීපයකට පෙරදී බටහිර දේශයකින් අපට අසන්නට ලැබුණු එකත්රා විශේෂිත කතාවක් හේතුවෙනි. මෙම වගතුග ඇහෙන්නේ ඇමෙරිකාවෙනි. එනම් දැනට ඇමෙරිකාවේ වෙසෙන කීර්තිමත් වෛද්‍ය පර්යේෂකයකුගෙන් මෙම වගතුග ඇසෙන්නට විය. මරණය සහ මරණයෙන් පසුව ජීවිතය ගැන මාතෘකාවන් තේමා කරගත් මෙම විෂය අද බොහෝ ආන්දෝලනාත්මක එකක් වී ඇත.
මෙම කීර්තිමත් වෛද්‍ය පර්යේෂකයාගේ නම ජෙෆ්රි ලෝන්ග්ය. ඔහු බටහිර වෛද්‍ය විද්‍යා විශේෂඥයකු වන අතර, පිළිකා රෝගය ආශ්‍රිතව තම රැකියා කටයුතු කරයි. ඔහු ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ඇති පර්කීන්ස් පිළිකා රෝහලේ පිළිකා විකිරණ විද්‍යාව ආශ්‍රිත වෛද්‍ය විශේෂඥවරයකු ලෙස සේවය කරයි. ඔහුගේ මෙම වෘත්තියට අමතරව ඔහු විවිධ වෛද්‍ය පර්යේෂණ ආශ්‍රිත කරගත් ග්‍රන්ථ කිහිපයක්ද සම්පාදනය කර ඇත. ඔහු එම කටයුතු සිදුකරන්නේ තමන්ගේ වෘත්තියට අමතරව තමන් විසින් සිදුකරනු ලබන විවිධ වෛද්‍ය පර්යේෂණයන්හි තොරතුරු ආශ්‍රය කරගනිමිනි. ඒ අනුව ඔහු පසුගිය වසර 30ක පමණ කාලයක සිට එක්තරා සුවිශේෂ විෂයක් ගැන දීර්ඝ පර්යේෂණයක නිරතව සිටී. ඔහුගේ මෙම විෂය ලෙස සඳහන් වන්නේ මිනිසාගේ මරණාසන්න අත්දැකීම් යන්නයි. මෙම මරණාසන්න අත්දැකීම් යන විෂය ඔහු කෙටි ඉංග්‍රීසි වදනින් NDEs ලෙසින් අර්ථකථනය කරයි. මරණාසන්න අත්දැකීම් යන සංසිද්ධිය ගැන මෙතෙක් ලෝකයේ සිදුකර ඇති පුළුල්තම සහ දීර්ඝතම පර්යේෂණය සිදුකර ඇත්තේ වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් විසිනි. ඔහු මෙම පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා ‘මරණාසන්න අත්දැකීම් පර්යේෂණ පදනම’ නමින් සංවිධානයක්ද පිහිටුවා ඇත. ඔහු එය ආරම්භ කරනු ලබන්නේ 1998 වසරේදී වන අතර, එනම් මෙයට වසර 25කට පෙරදීය. ඉතා දරුණු විවිධ රෝගාබාධයන් තුළදී රෝගීන් හදිසියේම තාවකාලික මරණයකට පත්වීමේදී එම රෝගීන් ලබන අත්දැකීම් මෙම පර්යේෂණය මගින් හෙළි කරයි. එනම් එම පිරිස් යම් කාලයක් තුළ මරණයට පැමිණ, එහෙත් නැවත ප්‍රකෘති ජීවිතයට පැමිණීම මෙම විශේෂිත තත්ත්වයයි.
මෙලෙස තාවකාලික මරණයක් කරා ගොස් නැවත පියවි තත්ත්වයට පැමිණෙන රෝගීන් ගැන ඉඳහිට යම් කතාන්දර සමාජය තුළින් අපට අසන්නට ලැබෙයි. එහෙත් ඒවා අපට අල්ප වශයෙන් අසන්නට ලැබෙන හෙයින් ඒවා ගැන එතරම් අවධානයක් යොමු නොකරයි. එහෙත් මෙම පර්යේෂණයේ විශේෂත්වය වන්නේ ඉහත වෛද්‍ය පර්යේෂක ජෙෆ්රි ලෝන්ග් තම ගවේෂණය සිදුකර ඇත්තේ දශක ගණනාවක් පුරා ඉතා පුළුල් මට්ටමින් වන හෙයිනි. එනම් වසර 30කට ආසන්න කාලයක් ඔහු එවැනි රෝගී පුද්ගලයන් 5000කට ආසන්න ප්‍රමාණයකගේ දත්ත එක්රැස් කරගෙන ඇත. මෙම පිරිසෙන් 1600ක පමණ පිරිසකගේ ඉහත පැවසෙන මරණාසන්න අවස්ථා සිදුවීම් ගැන ඔහු පෞද්ගලිකවම හමුවී සාකච්ඡා කර ඇත. බහුතරයක් එම හමුවීම් ශාරීරිකවද අනෙක් හමුවීම් අන්තර්ජාලය හරහාද සිදුකර ඇත. මෙම සංකීර්ණ භාරදූර කාර්යය සඳහා ඔහු තමන්ගේ ‘මරණාසන්න අත්දැකීම් පර්යේෂණ පදනම’ නමැති සංවිධානය යටතේ පිහිටුවා ඇති වෙබ් අඩවිය හරහා කටයුතු කරයි. දැනට 68 වැනි වියෙහි පසුවන වෛද්‍ය විශේෂඥ ජෙෆ්රි ලෝන්ග් ඔහුගේ බිරිය වන ජෝඩි ලෝන්ග් සමග එක්ව මෙම මෙහෙවර ඉටුකර ඇත. වෙබ් අඩවියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඔහුගේ බිරියයි. මේ ආකාරයට දශක ගණනාවක් පුරා යටකී වෛද්‍යවරයා විසින් සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵල ඔහු ලොවට නිල වශයෙන් එළිදැක්වූයේ පසුගියදාය. එනම් ඔහු එම සුවිශේෂ තොරතුරු Evidence of the Afterlife: The Science of Near-Death Experiences (මරණයට පසු ජීවිතයේ සාක්ෂි: මරණාසන්න අත්දැකීම් විද්‍යාව) නමැති සුවිශාල ග්‍රන්ථයක් හරහා එළිදැක්වීය. ඇමෙරිකාවේ තිබෙන ලොව ප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන ‘හාපර් ඇන්ඩ් කොලින්ස්’ නමැති සමාගම විසින් මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. පසුගියදා මෙම ග්‍රන්ථය එළිදැක්වීමෙන් පසු ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇතිවිය.
මෙම යටකී ග්‍රන්ථයට සහ එහි අන්තර්ගතයන්ට පසුගියදා ලොව පුරා විවිධ මාධ්‍යවලින් මහත් ප්‍රචාරයක් ලබාදී තිබිණි. ඇමෙරිකාවේ ප්‍රධානතම පුවත්පත්, රූපවාහිනී ආයතන මෙන්ම යුරෝපයේ බොහෝ මාධ්‍යද එතැනින් නොනැවතී ඉන්දියාව වැනි ආසියාතික රටවල්ද මෙම පර්යේෂණයේ තොරතුරු සඳහා විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි. ලොව විවිධ රටවල සිටින මරණාසන්න තත්ත්වයට පැමිණ නැවත පියවි ලොවට පැමිණි විවිධ පුද්ගලයන්ගේ (කාන්තා සහ පිරිමි) දුර්ලභ තොරතුරු, එම පුද්ගලයන්ගේ පූර්ණ කැමැත්ත මත මෙම ග්‍රන්ථය හරහා ප්‍රකාශයට පත්කර තිබිණි. මෙම ග්‍රන්ථය ප්‍රකාශනය සඳහා පෝල් පෙරී නමැති සහාය ලේඛකයකුද සහභාගි කරවාගෙන ඇත. එහෙත් පර්යේෂණයන්හි සියලු අයිතිය ඇත්තේ වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් සතුවය. මෙම සුවිශේෂ පර්යේෂණයේ දුර්ලභ සහ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් වෛද්‍යවරයා පසුගියදා මාධ්‍යයන් වෙත හෙළිකර ඇත. එහිදී ඇමෙරිකානු මාධ්‍ය ඔහු සමග සිදුකළ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශිත වූ කරුණු කිහිපයක් ගැන සොයා බලමු. එම එක් මාධ්‍ය සාකච්ඡාවක් ගලායන්නේ මෙසේය. එම වදන්වලින්ම එය මෙසේය.
මාධ්‍යවේදියා – ඔබ මෙම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදුකිරීමට උනන්දු වූයේ කෙසේද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – මෙය 1984 වැනි කාලයක් පුරා දිවයනවා. එනම් හරි විදියට වසර 40කට පෙර මම මගේ වෛද්‍ය වෘත්තිය ආරම්භ කළ සමයේ සිටමයි මේ ගැන යම් උනන්දුවක් දැක්වූයේ. 1984 වසරේදී මම මගේ වෛද්‍ය වෘත්තියට අදාළව පිළිකා විකිරණ විද්‍යාවේ නේවාසික පුහුණුව ලබන විටදී එකල ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ මාසික ප්‍රකාශනයක පළමු මරණාසන්න අත්දැකීම් පිළිබඳ ලිපියක් කියෙව්වා. මේ ගැන මම මහත් සේ වශීවන තත්ත්වයකට පත්වුණා. එහිදී මා සිතාගත්තා කවදා හෝ මේ ගැන මම පුළුල් පර්යේෂණයක් සිදුකරනවා කියලා.
මාධ්‍යවේදියා – ඔබ පිළිකා රෝග විශේෂඥයෙක්. ඔබට එදිනෙදා වෘත්තීය ජීවිතයේදී මරණාසන්න රෝගීන් විශාල පිරිසක් හමුවෙනවා. මේ පිරිසත් ඔබගේ පර්යේෂණය සඳහා යොදා ගත්තාද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – මගේ පිළිකා රෝගීන් මරණයට මුහුණ දෙමින් සිටියත් ඔවුන් සමග මේ මරණාසන්න අත්දැකීම් ගැන කතාකරන්න බැහැ. ඒ මොකද, ඔවුන් එහිදී අනිවාර්යයෙන්ම මියයනවා. ඔවුන් නැවත මේ පියවි ලෝකයට එන්නේ නැහැ. මරණින් මතු ජීවිතය ගැන මේ නිසා ඔවුන්ගෙන් විමසීම යහපත් ක්‍රියාවලියක් නොවෙයි. එය රෝගියාගේ ගරුත්වයට හොඳ නැහැ.
මාධ්‍යවේදියා – එසේ නම් ඔබ පර්යේෂණයට යොදාගන්නේ කුමන තත්ත්වයක පිරිසක්ද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – බොහෝ විට මරණය කරා යම් මොහොතක් පැමිණ, ඉන් පසුව නැවත පියවි සිහිය ලබන පුද්ගලයන්. මෙම රෝගීන්ගේ මොළය හෝ හදවත හෝ කෙටි වේලාවකට මියගොස් තිබෙන්නට පුළුවන්. එසේම ඔවුන් සිහි නොමැති ‘කෝමා’ තත්ත්වයකත් පසුවෙන්න පුළුවන්. කෙසේ හෝ කෙටි හෝ යම් දීර්ඝ වේලාවක් හෝ එම තත්ත්වයේ සිට නැවත මේ පියවි ලෝකයට පැමිණෙන පිරිස් පර්යේෂණයට ගත්තා. ඔවුන් දැන් මේ සමාජයේ යහතින් ජීවත්වන අයයි.
මාධ්‍යවේදියා – මරණාසන්න අත්දැකීම් විශ්ලේෂණය කිරීමට ඔබ භාවිත කරන ක්‍රියාවලිය පැහැදිලි කරන්න?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – 1998දී මගේ පර්යේෂණ පදනම පටන්ගත් දිනයේ සිට එයට අදාළ වෙබ් අඩවිය අපි නිර්මාණය කළා. ඒ අනුව අත්දැකීම් ඇති පිරිස් අප සමග ඒ හා සම්බන්ධ වුණා. සමහර පිරිස් සජීවී ලෙසත් පදනම වෙත අපට සම්බන්ධ වුණා. මේ සියලු පිරිස්වලට අප විද්‍යාත්මකව වලංගු ප්‍රශ්න 60ක් ලබාදෙනවා. ඒ අය අපට ඒ සඳහා පිළිතුරු ලබාදිය යුතුයි. වාචිකව සහ ලිඛිතවත් අප මේ පිළිතුරු ලබාගන්නවා. ඉන් පසුව මේ තොරතුරු පරිගණකගත කරමින් විශ්ලේෂණය සිදුකරනවා. අවසානයේදී නිගමනයන්ට එළඹෙනවා.
මාධ්‍යවේදියා – මෙලෙස ඔබ දහස් ගණනකගේ අත්දැකීම් ලබාගෙන තිබෙනවා. දැනට මේ පිරිසෙන් කොපමණ ප්‍රමාණයක් මරණාසන්න අත්දැකීම්වලට ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – ඒක හොඳ ප්‍රශ්නයක්. සැබෑ ලෙසම 75%ක පමණ බහුතර ප්‍රමාණයක් ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ කියන්නේ එම සියලු පිරිස තමන්ගේ මරණාසන්න අවස්ථාවේදී යම් උද්දීපනයක් ඇති සිදුවීමකට මුහුණ දී ඇති බවයි. මෙම පිරිස ක්‍රිස්තියානි, ඉස්ලාමික, බෞද්ධ, හින්දු, යුදෙව් හෝ අදේවවාදියකු වුවත් එලෙස අත්දැකීම්වලට මුහුණ දී තිබෙනවා. ඉතා සුළු පිරිසක් තමයි මේ තත්ත්වයෙන් බැහැර වෙන්නේ.
මාධ්‍යවේදියා – මොනවද මේ මරණාසන්න අත්දැකීම්?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – බොහෝ අය ප්‍රකාශ කරන්නේ දීප්තිමත් ආලෝකයක් දකිමින් අහස් කුස දෙසට ඇදීගිය ආකාරයක් අත්විඳින බවයි. එහෙත් ඒ අත්දැකීම් තැනින් තැන නවතින්නේ නැහැ. සමහර විට ආලෝකයත් සමග මීදුමෙන්ද වැසීගිය ඉහළ ලෝකයකට තමන් ඇදීයන ආකාරය අත්දකින්න පුළුවන්. සමහර පිරිස් එවැනි දීප්තිමත් ලෝකයකට ඇදී නොගිය බවත් පවසනවා. මෙලෙස තම ශරීරයන් පාවී යන ගමනේදී තමන්ගේ පෙරදී මියගිය ආදරණීයයන්ද හමුවූ අවස්ථා වාර්තා කර තිබෙනවා. එසේම එම මියගිය පිරිස් සමග කතාබස් කළ ආකාරයත් ප්‍රකාශ කරනවා. මෙය අප සාමාන්‍ය ජීවිතයේදී දකින සිහිනයක් වගේ එකක් නෙවෙයි. සමහරුන්ට මින් පෙර මියගිය තමන්ගේ සුරතල් සතුන් හමුවූ බවද ප්‍රකාශ කර තිබෙනවා. මෙසේ වෙනත් ලොවකට තමන්ගේ ආත්මය ගමන් කිරීමේදී තමන්ගේ මියගිය ආදරණීයයන් හමුවූ පුද්ගලයන් ප්‍රමාණය 20%කට වඩා වැඩි ප්‍රතිශතයක්. එසේම මෙම පිරිස් එම ආදරණීයයන් සමග සුහදව ගනුදෙනු කළ ආකාරයත් ප්‍රකාශ වී තිබෙනවා.
මාධ්‍යවේදියා – ඔබ මේ සිදුවීම් හරහා ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි ආගමේ හැටියට කියැවෙන ස්වර්ගයකට යෑම වැනි සංසිද්ධියක්ද? එනම් එම සිදුවීම්වලදී එම පිරිස් දෙවියන් වැනි යම් කෙනකු සමග ගනුදෙනු කරනවද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – එවැනි යම් දෙවියකු වැනි කෙනෙක් සමග අන්තර් ක්‍රියාකාරකමක නිරතව ඇති පිරිස ඉතාම අඩුයි. එම පිරිස 12% සිට 14% දක්වා වගේ වන අතර, ජේසුස් වහන්සේ වැනි චරිතයක් සමග ගනුදෙනු කළ පිරිස 7%ක් වැනි අවම ප්‍රතිශතයක් වෙනවා.
මාධ්‍යවේදියා – මෙම සංසිද්ධීන් සඳහා විද්‍යාත්මක පදනමක් තිබෙනවද? ඔබ මෙතරම් පර්යේෂණ හරහා අවසානයේදී නිගමනය කරන්නේ කුමක්ද?
වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් – ඉතා හොඳ ප්‍රශ්නයක්. මමත් බටහිර වෛද්‍ය විශේෂඥයෙක්. මගේ නිගමනයේ හැටියට මෙම සංසිද්ධීන්ට කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ. එහෙත් මගේ අවසාන නිගමනය වන්නේ මිනිසාට තම මෙලොව ජීවිතය නිම කිරීමෙන් පසු නැවත ජීවිතයක් හෝ ආත්මයක් හෝ තිබෙන බවයි. එය සම්පූර්ණ සත්‍යයක්. මෙහි කිසිම මිථ්‍යාවක් නැහැ. මරණයෙන් පසු අපට තවත් ජීවිතයක් තිබෙනවා.

ප්‍රියන්ත හෙට්ටිගේ










