• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

අනුරගේ චීන ගමන ගැන චීන නිවේදනයේ තිබුණු අලුත්ම වචනයකින් කලාපයම ඇවිලෙයිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

January 19, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

පිරිපහදුව ගැන අපි කිව්වේ ගිය ඔක්තෝබර් මාසයේ!

රනිල් ගහන ගේමට සජබය අහුවෙයිද?

මාලිමාව සමූපකාර ඡන්ද එකදිගට පරදින්නේ ඇයි?

විමලුත් තනිවම සටනට බහී!

අපි කියපු දේ ඔප්පු වුණා

සිය දෙවැනි නිල සංචාරය වූ චීන සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි ලංකාව බලා පිටත්ව ඒමට කටයුතු කොට තිබුණේ ඉකුත් සිකුරාදා දිනයේදීය. ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් අනෙකුත් මාධ්‍ය අඳුරේ අතපත ගාද්දී පසුගිය මාසයක කාලයක් පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඒ පිළිබඳ සුවිශේෂ තොරතුරු රැසක් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ චීන ගමනට පසුබිම් සකස් වූ ආකාරය, චීන දූත පිරිස් චීන ජනාධිපතිවරයාගේ පණිවුඩ රැගෙන ලංකාවට පැමිණි ආකාරය, ජනාධිපතිවරයා චීන ගමනට සූදානම් වූ ආකාරය පිළිබඳ පමණක් නොව චීන ගමනේ වාසි-අවාසි පිළිබඳවද අපි එහිදී තොරතුරු රැසක් වාර්තා කර සිටියෙමු.Sri Lanka Latest News

මෙම චීන සංචාරයේදී හම්බන්තොට තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම තොරතුරු රටට වාර්තා කළේ ‘රාජ්‍ය රහස්’ තීරයය. අප ඉකුත් 2024 ඔක්තෝබර් 15 වන දින ‘රාජ්‍ය රහස්’ තීරය මගින් පෙන්වා දුන්නේ හම්බන්තොට වරායට යාබද විශාල ඉඩමක මෙම පිරිපහදුව ආරම්භ කිරීමට චීනය සූදානමින් සිටින බවකි. අප එය වාර්තා කළේ මෙසේය.

හම්බන්තොටට ලොකු ආයෝජනයක්

අනෙක් පැත්තෙන් චීනය මේ වනවිට හම්බන්තොට වරායට විශාල වශයෙන් ඇතුළු වීම සඳහා සැලසුම් සකස් කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඉකුත් ආණ්ඩු සමයේදී හම්බන්තොට වරායට යාබදව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් එවක ආණ්ඩු විසින් චීනයට නිදහස් කර තිබූ අතර, චීනය මේ වනවිට සූදානම් වන්නේ දැවැන්ත ආයෝජනයක් සමග හම්බන්තොට මෙම තෙල් පිරිපහදුව ඉදිකිරීමටය. ඒ හරහා දකුණු ආසියානු කලාපයේ විශාලම පිරිපහදුව ඉදිකොට එම කලාපයේ තෙල් සම්බන්ධයෙන් පවතින ආධිපත්‍යය වෙනස් කිරීම චීනයේ සැලසුම වී ඇති බව පැවසේ.

මීට අමතරව චීනය මේ වනවිට සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරදී පෝර්ට් සිටිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමටය. එහි සංවර්ධන කටයුතු සඳහා ඉතාම ඉක්මනින් මැදිහත් වීමටද චීනය මේ වනවිට තීරණය කොට තිබේ.

පරණ කතා එළියට

කෙසේ වෙතත් ජනාධිපතිවරයා චීනයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7%ක දැවැන්ත ආයෝජනයකට ගිවිසුම් තැබූ බවට මෙරට මාධ්‍ය මහ ඉහළින් වාර්තා කරද්දී සමාජ මාධ්‍ය මගින් බ්‍රහස්පතින්දා (16) දිනයේදීම මේ තෙල් පිරිපහදුවේ අතීත කතාව පිළිබඳ පුවත් මෙන්ම වීඩියෝද විශාල වශයෙන් සංසරණය වනු දැකගත හැකි විය. මෙම පිරිපහදුව ආරම්භ කිරීමට අවශ්‍ය භූමිභාගය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී නිදහස් කොට ඇති බවත්, තෙල් පිරිපහදුව ආරම්භ කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් සඳහා චීනයේ සිනොපෙක් සමාගම සමග ගිවිසුම්ගත වූ බවත්, එහිදී අනාවරණ කොට තිබිණි. එවකදී ජවිපෙ විපක්ෂයේ සිටියදී මෙම ගිවිසුමට විරෝධය පළකරමින් ප්‍රහාර එල්ල කරන ආකාරයේ වීඩියෝ පටද බ්‍රහස්පතින්දා දිනයේදීම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දැකගත හැකි විය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම චීන ගමන දෙස ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු අනෙකුත් බටහිර රටවල් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පසුගිය කාලය පුරාම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නෙමු. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග කලාපයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කලාපයේ ආරක්ෂාවට බලපාන කිසිදු තීරණයක් නොගන්නා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයත් අපි මෙහිදී පෙන්වා දුන්නෙමු. ඒ හරහා ජනාධිපතිවරයාගේ චීන සංචාරය පසුපස ඇති මතුපටින් පෙනෙනවාට වඩා වූ භයානක චිත්‍රය පිළිබඳවද අපි යම් තොරතුරු ප්‍රමාණයක් රැගෙන ආවෙමු. විශේෂයෙන් චීනයේ පර්යේෂණ නෞකා ඉන්දීය සාගර කලාපයට සහ ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දියාව ආරම්භයේ සිට දැරූ දැඩි ප්‍රතිචාරය පිළිබඳවද අපි තොරතුරු වාර්තා කළෙමු.

මැරිටයම් ඉකොනොමි

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ චීන සංචාරය අතරතුරදී ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ගිවිසුම් 15ක් අස්සන් තැබීමට නියමිත බව සඳහන් කෙරුණද තෙල් පිරිපහදුව ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුම හැරුණු විට අනෙකුත් ගිවිසුම් මොනවාද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවීමය. නමුත් චීනය පැත්තෙන් ඒ සම්බන්ධයෙන් නිකුත් වූ නිවේදනයේ එක්තරා විශේෂ වචනයක් සඳහන් කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය. එහි සඳහන්ව තිබුණේ මීට පෙර කවදාවත් අසන්නට ලැබී නොතිබුණු ‘මැරිටයිම් ඉකොනොමි’ නමැති වචනයයි. නොඑසේ නම් ‘සාගර ආර්ථිකය’ නමැති වචනයයි. පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ ප්‍රශ්නසහගත ප්‍රස්තුතය මෙය වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ චීන සංචාරය ආරම්භ වීමට ප්‍රථම චීනයේ පළවන ප්‍රකට පුවත්පතක් වන ‘සවුත් චයිනා මෝනින් පෝස්ට්’ පුවත්පත පළකර තිබූ ලිපියක් හරහා අප පසුගිය මාසයක කාලය පුරා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළකළ තොරතුරු තහවුරු කොට තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම ලිපිය ආරම්භ කොට තිබුණේම චීන පර්යේෂණ නෞකා සඳහා හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පනවා තිබූ වසරක තහනම ඉකුත් දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ බවත්, නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව එම තහනම ඉවත් කරනු ඇති බවත් කියමිනි. මෙහිදී ඉන්දියාව සමබර කරගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් නව ප්‍රොටෝකෝල කිහිපයක් හඳුන්වා දීමට නියමිතව ඇති බවත්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා චීන පර්යේෂණ නෞකා මුල්කරගෙන නව ප්‍රොටෝකෝල කිහිපයක් ගෙන එන බව තහවුරු කොට ඇති බවත් සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පත වාර්තා කොට තිබිණි. එම නව නිර්නායකයන් ජාත්‍යන්තර අත්දැකීම් සහ ආරක්ෂක ක්‍රමවේද අනුව පැනවෙනු ඇති බවද විජිත හේරත් එහිදී සඳහන් කොට තිබිණි.

ලිපියට ප්‍රතිචාර

චීන පුවත්පත පළකළ මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරිස් සිය අදහස් ඉදිරිපත් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. පර්යේෂණ සම්බන්ධයෙන් වූ ඔස්ටේ්‍රලියානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ෆෙඩ්රික් ශ්‍රෙයා ඒ පිළිබඳ සිය අදහස් දක්වමින් සඳහන් කොට තිබුණේ චීන පර්යේෂණ නෞකාවන් සඳහා වූ මෙම නව නිර්නායකයන් මොනවාද, ඒවා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවනවාද කියා නිරීක්ෂණය කළ යුතු යැයි කියාය. ඉන්දියාව සමග ගැටුමක් ඇති නොවන පරිදි ලංකාව මෙම නිර්නායකයන් සකසනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ෆෙඩ්රික් ශ්‍රෙයා එහි සඳහන් කොට ඇත.

මීට අමතරව පූනේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන සංකල්ප් ගුර්ජාර් මහතාද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ ලංකාව ඉදිරියේ විශාල අභියෝගයක් මතුව ඇති බවත්, චීන පර්යේෂණ නෞකා සම්බන්ධ ඉන්දු-චීන අර්බුදයට මැදිහත් නොවී ලංකාවට මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිද යන්න ප්‍රශ්නයක් බවත්ය. කුමන නම්වලින් මෙය හැඳින්වුවත් චීන නෞකා පැමිණෙන්නේ තම රටේ ඔත්තු බැලීමට බව ඉන්දීය රජයේ ස්ථාවරය බවත් සංකල්ප් ගුර්ජාර් සඳහන් කොට ඇත.

ඒ හරහා ජනාධිපතිවරයා චීනයේදී අස්සන් තැබූ ‘සාගර ආර්ථිකය’ හෙවත් ‘මැරිටයිම් ඉකොනොමි’ සම්බන්ධ ගිවිසුමට ඇතුළත්ව ඇත්තේ මොනවාද යන්න පිළිබඳ ඉදිරියේදී ලොකු සංවාදයක් මතුවීමේ ඉඩක් මේ වනවිට මතුව ඇත. ඒ අනුව අප කල්තියා අනතුරු ඇඟවූ පරිදිම චීන පර්යේෂණ නෞකා සම්බන්ධ ප්‍රශ්නය දැන් මේසය උඩට පැමිණ තිබේ. එම ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු සපයන ආකාරය ඉදිරි දින කීපය තුළදී දැකගත හැකි වනු ඇත. කෙසේ වෙතත් මෙම චීන සංචාරය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ අෘණ්ඩුව මහත් බලාපොරොත්තු සහිතව මාස දෙකක කාලයක් තිස්සේ සූදානම් වූ අතර ඒ හරහා විශාල දේශපාලන ගැම්මක් ගැනීමට ඔවුන් සැලසුම් කොට තිබිණි. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා චීනයට නැඹුරු වීමට ගියහොත් ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලින් බරපතළ රාජ්‍යතාන්ත්‍රික ගැටලු මතුවීමේ අනතුරක් ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

මෙහේ ඡන්ද පරදිනවා

ජනාධිපතිවරයා මේ ආකාරයට චීන සංචාරයක නිරතව සිටිද්දී ලංකාවේ දේශපාලන සිතියම ඉතා වේගයෙන් වෙනස් වෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, හිටිහැටියේම මාලිමාව ගම් මට්ටමින් පවත්වන සමුපකාර ප්‍රාදේශික මැතිවරණවලින් දිගට හරහට පරාජයට පත්වෙමින් තිබීම නිසාය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් ජයගැනීමෙන් පසු පත්වන ආණ්ඩුව පවත්වන සෑම ඡන්දයක්ම පාහේ අත උඩින් ජයග්‍රහණය කිරීම මොන රටේත් දැකගන්නට හැකි කාරණයකි. පසුගිය කාලයේදී එය ලංකාවේ දේශපාලනයේදී දැකගත හැකි විය. ඒ අනුවම යමින් මාලිමාවේ අනුර ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පැවැත්වූ මහඡන්දයෙන් තුනෙන් දෙකක අතිබහුතර බලයක් ලබා මන්ත්‍රීවරුන් 159ක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීමට සමත් විය. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දැවැන්ත බලයකින් වාමාංශික නායකයකු බලයට පත්වී මාස 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත සමුපකාර ඡන්ද වැනි ගම් මට්ටමේ පහළම ස්ථරයේ ඇති මැතිවරණ පරාජයට පත්වීම පසුපස බරපතළ සංඥාව ආණ්ඩුව කියවා ගත යුතුව තිබේ.

සාමාන්‍යයෙන් සමුපකාර ඡන්ද සැලකෙන්නේ ගම් මට්ටමේ බලය කාටදැයි කියා කල්තියා කිව හැකි කැඩපතක් ලෙසටය. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව රට පුරා පැවැති බොහෝ සමුපකාර ඡන්ද විමසීම්වලදී මාලිමාව දිගට හරහට ජයග්‍රහණය කිරීම නිසා බොහෝ දෙනා අනුමාන කළේ ජනාධිපතිවරණයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පහසුවෙන්ම ජයගනු ඇතැයි කියාය. නමුත් ජනාධිපතිවරණයට සති දෙකක් පමණ වනවිට පැවැත්වෙමින් තිබූ සමුපකාර මැතිවරණවලින් විශාල වශයෙන් ජය ගත්තේ මාලිමාවය. ඒ අනුව ජනාධිපතිවරණය ආසන්න වන විට ගම් මට්ටමේ බොහෝ දෙනකු මාලිමාවට හැරී ඇති බවට වූ ඉඟියක් ඒ හරහා ලබාගත හැකිව තිබිණි. නමුත් ජනාධිපතිවරණය පවත්වා මාස 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත මේ අයුරින් මාලිමාව දිගට හරහට සමුපකාර ඡන්ද පරාජයට පත්වීම බොහෝ දෙනා පුදුමයට පත්කරන කාරණාවක් බවට මේ වනවිට පත්ව තිබේ.

එන පොට හොඳ නෑ

එහිදී වඩාත්ම කලබලයට පත්විය හැකි තැන ලෙසට පෙන්වා දිය හැක්කේ හම්බන්තොට අඟුණකොලපැල්ල සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාජයට පත්වීමය. එහිදී විපක්ෂය ඒකාබද්ධව මාලිමාවට එරෙහිව ඡන්දයට පිවිස තිබිණි. ඉන් අනතුරුව ගම්පහ කැලණිය සමුපකාර ඡන්දයද මාලිමාව පරාජයට පත්ව තිබිණි. එහිදී වඩාත්ම පුදුමයට හේතු වූ කාරණාවක් වූයේ පසුගිය ජනාධිපතිවරණයේ ලක්ෂ ගණනින් ජයග්‍රහණය කළ කැලණිවැලි මිටියාවතට අයත් හෝමාගම සමුපකාර ඡන්දයෙන්ද මාලිමාව පරාජයට පත්වීමය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම කාරණාව වූයේ මාලිමාවේ නියෝජිතයන් හෝමාගම සමුපකාර ඡන්දය මහ ඡන්දයක් සේ සලකා ඉතිහාසයේ පළමු වතාවට දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කර තිබීමය. කවදාවත් නැතුව නගරය පුරා දැවැන්ත පෝස්ටර් අලවා තිබූ අතර, ගෙයක් ගානේ යමින් මාලිමාවේ අත් පත්‍රිකා බෙදීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම ඇතැම් සමුපකාර සාමාජිකයන්ට දිගින් දිගටම දුරකතන ඇමතුම් පවා ලබාදෙමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් මාලිමාව විසින් දියත් කොට තිබිණි. නමුත් අවසානයේ සිදුවූයේ හෝමාගමින් මාලිමාව පරාජයට පත්වීමය.

බියගමද මාලිමාව සහ සජබ කණ්ඩායම් අතර කරට කර සටනක් ගොස් අවසානයේදී තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට මාලිමාවට හැකියාව ලැබී තිබිණි.

මේ හරහා බොහෝ දෙනා කියන්නට පටන්ගෙන තිබුණේ මාලිමාවේ කතාව සහ ක්‍රියාව අතර පැනනැගී ඇති බරපතළ පරස්පරතා හේතුවෙන් මේ වනවිට මාලිමාවට ඡන්දය දුන් ජනතාව අතර යම් වෛරයක් ආණ්ඩුව කෙරෙහි ගොඩනැගී ඇද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි කියාය. එවැන්නක් සිදුව ඇත්නම් එය බරපතළ අර්බුදයක පෙරනිමිත්තක් බවටත්, ආණ්ඩුවේ අනාගතයට යහපත් සංඥාවක් නොවන බවටත් ඔවුන්ගේ අදහස වී තිබිණි.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකළ යුතුව ඇත්තේ තවත් මාස දෙකකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම නිසාය. පළාත් පාලන මැතිවරණය සැලකෙන්නේද ගමේ ඡන්දය ලෙසය. ජාතික තලයේ ජයග්‍රහණ අත්කර ගත්තද පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව යළි ගමට බැසිය යුතුය. සමුපකාර ඡන්දවලදී යම් අවාසිසහගත තත්ත්වයක් පැනනැගී ඇති වාතාවරණයක් හමුවේ පළාත් පාලන ඡන්දයට මුහුණ දීම සම්බන්ධයෙන් අලුත් දේශපාලන උපක්‍රම තේරීමට මාලිමා ආණ්ඩුවට සිදුව තිබේ. අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ පරිදි ජවිපෙ පක්ෂ මූලස්ථානයේ මැදියම් රැය තෙක් උණුසුම් සාකච්ඡා පැවැත්වෙන්නේ මේ නිසා විය යුතුය. ජාතික මැතිවරණ ජයග්‍රහණය කළද ගම් මට්ටමේ තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජවිපෙ ප්‍රධානීන් අතර උණුසුම් සාකච්ඡා පැවැත්වී ඇති බවට මෙහිදී සැක කළ හැකිය.

සජබය ලෑස්තියි

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයක් වශයෙන් රට ඇතුළේ ස්ථාපිත වීමට පුල පුලා බලාසිටින ප්‍රධානම පක්ෂය වී ඇත්තේ වෙන කිසිවක් නොව සමගි ජන බලවේගයය. ඒ බව අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ ඔස්සේ අවස්ථා කීපයකදීම වාර්තා කර සිටියෙමු. සජබය යනු 2019 මහ මැතිවරණය ඉලක්ක කර බිහිවූ පක්ෂයකි. ඉන් අනතුරුව ජාතික තලයේ ජනාධිපතිවරණයකට සහ තවත් මහ මැතිවරණයකට මුහුණ දුන්නා විනා වෙන කිසිදු ප්‍රාදේශීය මැතිවරණයකට සජබය මුහුණ දී නැත. මේ නිසා ජාතික තලයේ මන්ත්‍රීවරු හැරෙන්නට ගම් මට්ටමේ, බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන ප්‍රාදේශීය සභා නගර සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් සජබය සතුව නැත. ඒ අනුව පළමු වතාවට සජබයට පක්ෂයක් ලෙස ගම් මට්ටමෙන් ශක්තිමත් වීමට අවස්ථාව හිමිවන්නේ මෙවරය.

මේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ වහාම හොඳහැටි දැන සිටියේය. ඒ අනුව මාලිමාවේ අනුරලාගේ සහාය ඇතිව රනිල් 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැම්මේ යම් හෙයකින් එම මැතිවරණය පැවැත්වූවා නම් සජබය නිසැක වශයෙන්ම ගම් මට්ටමෙන් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීම ඉර හඳ මෙන් දැනගෙන සිටි නිසාය. එසේ වූවා නම් සජබය ජනාධිපතිවරණයද ජයගෙන මහ මැතිවරණයද ජය ගන්නා බව රනිල් දැන සිටියේය. ඒ අනුව රනිල් එදා හීන්සීරුවේම කළේ සජබය ගම් මට්ටමෙන් ශක්තිමත් වීම අවුරාලමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමය.

මෙවරත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මාස 2ක් පමණ ඉතිරිව තිබියදී සජබය ගම් මට්ටමින් ශක්තිමත් වී පක්ෂයක් ලෙස ඉදිරියට යෑම වැළැක්වීම සඳහා රනිල් අමුතුම ගේමක් ගැසීමට කටයුතු කර තිබිණි. ඒ, පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් සජබයත් එජාපයත් එකතු විය යුතු බවත්, දෙපාර්ශ්වයෙන් බොහෝ පිරිසක් ඊට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් කියමින් සිය පවුලේ පුවත්පත්වල සහ සමාජ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ගෙන යෑමය. එපමණක් නොව එය තහවුරු කිරීම සඳහා පසුගිය සතියේ කඩුවෙල ආසනයට ගොස් සජබයේ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රබල නියෝජිතයන් 27 දෙනකු එජාපයට එක්වූ බවට ලොකු ෂෝ එකක් දමමින් මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට කටයුතු කළේය. එහිදී කියැවුණේ මෙම කඩුවෙල ප්‍රබලයන් 27 දෙනා සජබය අත්හැර එජාපයට එක්වීමට තීන්දු කොට ඇතැයි කියාය. නමුත් කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ එම සිදුවීම පිටුපස තිබුණේ වෙනස්ම ආකාරයේ කතාවකි.

හේතුව හිරුණිකා

පසුගිය මහ මැතිවරණයේදී කඩුවෙල ප්‍රබලයන් 27 දෙනා සජබයට පක්ෂව කටයුතු කළත්, කඩුවෙල ආසන සංවිධායකවරිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පක්ෂව වැඩ කළේ නැත. ඒ, ඇය කඩුවෙල සංවිධායක ධුරයේ කටයුතු කරන ආකාරයට විරෝධය පළකරමිනි. ඒ අනුව ඔවුන් 27 දෙනාම වැඩ කර තිබුණේ බොරැල්ලේ සජබ සංවිධායක ජනක නන්ද කුමාරටය. ඔවුන් හිරුණිකාගේ ප්‍රශ්නය ඒ කාලයේදීම පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබුණත් මැතිවරණ සමයක් හේතුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැත.

කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් පසු හිරුණිකා කළේ මේ 27 දෙනාම ඔවුන් දැරූ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමය. ඒ අනුව මෙම 27 දෙනා නැවතත් තම ගැටලුව සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන් දැනුවත් කළත්, ඊටද නිසි පිළිතුරක් ඔවුන්ට ලැබුණේ නැත. ඒ අනුව ඔවුන් කළේ නිහඬව දේශපාලන කටයුතුවලින් පසෙකට වී සිටීමය. එහි වාසිය ගත්තේ රනිල්ය. රනිල් වහාම එජාප නියෝජිතයන් හරහා මේ 27 දෙනාට කතාකොට ඔවුන්ව එක්සත් ජාතික පක්ෂයට යළි එක්කර ගැනීමට කටයුතු කළේය. ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවා සජබයේ බිම් මට්ටම එජාපය සමග එක්වීම ආරම්භ කොට ඇති බව මහ ලොකුවට පෙන්වා දුන්නේය.

හිරුණිකා ඉකුත් ජනාධිපතිවරණයේදීද මේ ආකාරයට සජිත්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට තිබිණි. ඒ, ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දැක්වූ එකම මාධ්‍ය නාලිකාව වූ හිරු මාධ්‍ය ජාලයට ප්‍රහාර එල්ල කරමිනි. එහිදී හිරුණිකා ප්‍රසිද්ධියේම කියා සිටියේ දුමින්ද සිල්වා නිදහස් කරගැනීම සඳහා හිරු සජිත් සමග ඩීල් එකක් දමා ඇති බවය. හිරුණිකාගේ මෙම කතාව නිසා ජනාධිපතිවරණය අතරමැදදී සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට බරපතළ ප්‍රහාරයක් එල්ල විය. සජිත් ජනාධිපතිවරණය පරාජය වීමටද එය ප්‍රබල හේතුවක් විය. අන්තිමට මහ මැතිවරණයේදී හිරුණිකාද කුල්ල කුජීත වෙන්නම පරාජයට පත්විය.

අලුත් අයගෙන් උපදෙසක්

කෙසේ වෙතත් සජබය සහ එජාපය යළි එකතු වීමට නියමිත සාකච්ඡා අතරවාරයේ පසුගිය සතියේ සජබයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අවස්ථා කිහිපයකදීම කොළඹ හෝටලයකදී සජිත් හමුවී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කටයුතු කොට තිබිණි. එහිදී ඔවුන් සජිත්ට දැඩිව කියා සිටියේ කවුරුන් සමග එකතු වුවද චෝදනා ඇති කිසිවකුත් යළි පක්ෂයට එක්කර ගත යුතු නැති බවත්, කුමන තත්ත්වයක් යටතේ හෝ සජබ නම සහ දුරකතනය සලකුණ අත්නොහැරිය යුතු බවත්ය.

‘ඔබතුමා තමයි පක්ෂයේ නායකයා. තවමත් මේ රටේ ගමේ මිනිස්සු සලකන්නේ ඔබතුමාට. අපි පක්ෂයක් විදියට ඉස්සරහට යනවා නම් වෙනත් පක්ෂ කණ්ඩායම් සංවිධාන එකතු කරගන්න ඕනේ. ඒකේ ගැටලුවක් නෑ. හැබැයි මහබැංකු හොරු, වාහන හොරු, කෝටි ගණන් බදු නොගෙවපු හොරු ආපහු මේ පක්ෂයට එකතු කරගත්තොත් සජබයටත් වෙන්නේ මහා විනාශයක්. දැන් මේකේ හරීන්ලා, මනුෂලා, රාජිතලා වගේ චෝදනා තිබ්බ අය නෑ. මේකේ ඉන්න කවුරුහරි මේ පක්ෂය වෙන තැන්වලට ඇදගෙන යන්න උත්සාහ කරනවා නම් ඔබතුමා බය නැතුව පක්ෂය පැත්තෙන් හිතලා තීන්දුවක් ගන්න. මොකද මිනිස්සු දැන් හොරකම කියන එක පිළිකුල් කරනවා. ඔබතුමාට කවදාවත් හොර නාමය ගෑවිලා නෑ. මිනීමරු චෝදනා එල්ලවෙලා නෑ. මේ පක්ෂයේ ඉන්න කාටවත් එහෙම චෝදනා නෑ. දැන් අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා යන්න හදන ඕනෙ කෙනෙක්ට යන්න දීලා ඔබතුමා මේ පක්ෂය ආරක්ෂා කරන්න පියවර ගන්න….’ යනුවෙන් මේ අලුත් මන්ත්‍රීවරුන් සජිත්ට කියද්දී ඒ සියල්ල සාවධානව අසා සිටි සජිත් කියා සිටියේ එකම එක කතාවකි. ඒ, කුමන පක්ෂයක් සජබය වටා එක්කර ගත්තද සජබ අනන්‍යතාව අතුගා දැමීමට කිසිවකුටත් ඉඩ නොතබන බවය.

‘ඔබතුමන්ලා කිසි දේකට බයවෙන්න එපා. මම මගේ තීන්දුව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමටත්, කළමනාකරණ කමිටුවටත් දැනටමත් දැනුම් දීලයි තියෙන්නේ. මොන තත්ත්වයක් යටතේවත් සජබයවත්, දුරකතනය ලකුණවත් අයින් කරන්න මම කාටවත් ඉඩ තියන්නේ නෑ. අපිත් එක්ක ඉතුරු වෙලා ඉන්නේ දහදෙනාද, ඒ දහ දෙනත් එක්ක හරි මේ ගමන යන්න අපි සූදානම්….’ යන්න එහිදී සජිත් පළකළ අදහස විය.

අවසන් තීන්දුව ගනී

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ රැස්වූයේ මෙවැනි පසුබිමක් යටතේය. මෙහිදීද බොහෝ මන්ත්‍රීවරු පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂ දෙක අතර යම් එකඟතාවක් ඇතිකරගත යුතු බව කියා සිටියහ. තවත් සමහරුන් කියා සිටියේ එජාපය සමග පමණක් නොව, විපක්ෂයේ සිටින සියලු පක්ෂ සමග සාකච්ඡා කොට යම් එකඟතාවක් ඇතිකර ගැනීමට සජබය කටයුතු කළයුතු යැයි කියාය. ඒ අනුව අවසානයේදී එජාපය සමග සාමසාකච්ඡා ආරම්භ කිරීමට සිවු පුද්ගල කමිටුවක් පත්කිරීමට පියවර ගැනිණි. ඊට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, මුජිබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා ඇතුළත් වූහ. එජාපය පැත්තෙන් මෙම සාකච්ඡා සඳහා නම්කර ඇත්තේ පක්ෂ මහලේකම් තලතා අතුකෝරලත්, රුවන් විජේවර්ධනත්, රනිල්ගේ හිටපු උපදේශකවරයකු වූ එස්. සමරතුංගත්ය. ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිත බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේදී සජිත් සියලු දෙනාටම පැහැදිලි පණිවුඩයක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, කවුරු මොන අයුරින් පක්ෂයට එක්කර ගත්තද සජබය දියකර හැරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, සියලු දෙනාම දුරකතනය ලකුණ යටතේ එක්සත් කිරීමට තමන් සූදානම් බවත්ය.

මේ බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කළ සජිත් මේ වනවිට තවත් වැඩකටද අත ගසා තිබේ. ඒ, විපක්ෂයේ සිටින අනෙකුත් සියලු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමටය. ඒ අනුව එළඹෙන පාර්ලිමේන්තු සතියේදී විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කොට සියලු දෙනා අතර යම් එකඟතාවක් ඇතිකර ගැනීම සජිත්ගේ අරමුණ වී තිබේ.

විමලුත් තනිවම

මේ අතර, පසුගිය මහමැතිවරණයට තරග නොකළ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ. ඒ, කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනි පක්ෂයක් ලෙස එළඹෙණ පළාත් පාලන මැතිවරණයට තරග වැදීමටය. පසුගිය ජනාධිපතිවරණයේදී විමල් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සර්වජන බලය යටතේ තරග වැදුණු දිලිත් ජයවීරට සහාය දැක්වීමට කටයුතු කළද ජනාධිපතිවරණ පරාජයෙන් පසු විමල් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත. එහිදී ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් මින් ඉදිරියට කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වීමට කටයුතු කරන්නේ නැතැයි කියාය. ඒ අනුව විමල් මෙවර සූදානමින් සිටින්නේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් ලෙස තනිවම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන් සියයක් හෝ පළාත් පාලන ආයතනවලට ඇතුල් කරගැනීමටය. ඒ හරහා විමල්ගේ සැලසුම වී ඇත්තේ පක්ෂයක් ලෙස බිම් මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කරගෙන දිගු දේශපාලන ගමනක් යෑමටය.

නාමල්ව ගනීද?

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ගිය විශාල රාවයකින් කියැවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවකි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගුවන් යානා මිලදී ගැනීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතාගේ ප්‍රකාශයක් මත මෙසේ නාමල්ව අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කියැවිණි.

නිමල් පෙරේරා යනු එකල කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සමග ව්‍යාපාර කටයුතුවල නිරත වූවෙකි. එවකදී නිමල් පෙරේරා නාමල් ඇතුළු රාජපක්ෂවරුන් සියලු දෙනාම සමීපව ආශ්‍රය කළ බවද කියැවිණි. කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමග නිමල් පෙරේරා සිටියේ ඔස්ටේ්‍රලියාවට ගොස්ය. නමුත් පසුගිය දිනෙකදී නාමල්ට පණිවුඩයක් තබමින් නිමල් සඳහන් කොට තිබුණේ තමන් යළි ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවත්, එසේ ආපසු පසුගිය කාලයේදී ආන්දෝලනයට ලක්වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තමන් කටයුතු කරන බවත්ය. ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් කියා තිබුණේ ‘බොහොම ස්තුතියි’ යන්න පමණි. කෙසේ වෙතත් කී ආකාරයටම නිමල් ලංකාවට පැමිණ පරීක්ෂණ පවත්වන නිලධාරීන් හට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. නාමල් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වූ රාවය දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගියේ එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නාමල්ද නිකන් සිටියේ නැත. නැවත වතාවක් දේශපාලන බලපෑම් මත දේශපාලන පළිගැනීම් ආරම්භ කොට ඇති බව වටහාගත් නාමල් වහාම කළේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කැඳවා මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමය. එහිදී නාමල් ඇතුළු සියල්ලන්ම කියා සිටියේ වහාම මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මෙසේ දේශපාලන පළිගැනීම්වලට ලක්වන සියලු දෙනාට නොමිලේ නීතිඥ සහාය ලබාදීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව ඒ සඳහාම පෙනී සිටීමට පොහොට්ටුවේ නීතිඥ කමිටුවක් පත්කිරීමට නාමල් කටයුතු කළේය.

‘මේ හදන්නේ පළාත් පාලන ඡන්දේ කිට්ටු වෙද්දී මාව කොහොම හරි ඇතුළට දාලා පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක අඩපණ කරන්න. පහුගිය ජනාධිපතිවරණයෙදීයි, මහ ඡන්දෙදීයි මාලිමාවට සහාය දක්වපු අපේම සමහර කට්ටිය මේ වෙච්ච වැරැද්ද තේරුම් අරගෙන ආපහු අපිත් එක්ක එකතු වෙන්න පටන් අරගෙන ඉන්නේ. ඒකෙන් කොටසක් සජබයටත් යනවා. අපිටත් කොටසක් එකතු වෙනවා. ආණ්ඩුව දැන් මේකට බයවෙලා. ඒ අය හිතන්නේ මම එළියේ හිටියොත් මේක ඒගොල්ලන්ට අවාසියක් වෙයි කියලා. හැබැයි මම ඒවට බය නෑ. මම මේවට මුහුණ දෙනවා….’ යනුවෙන් නාමල් කියද්දී යම් හෙයකින් නාමල් අත්අඩංගුවට ගතහොත් පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද පිරිස මෙහිදී පියවර ගත්හ. ඒ අනුව බොහෝ දෙනා කියා සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය භාරගත යුතු යැයි කියාය. ඒ අනුව මහින්ද සමගද ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට පිරිස තීන්දු කළහ.

අලුත්ම ආතල් එක

ආණ්ඩුවේ ඇතැමුන් මේ දිනවල දවසින් දවස ජනතාවට ‘ආතල්’ දෙන ආකාරයක් දැකගැනීමට පුළුවන. මුලින්ම ආණ්ඩුව ජනතාවට දුන්නේ ‘ආචාර්ය‘ ආතල් එකය. ඒ ආතල් එකේ පළමු පරිච්ඡේදය ඉවර වුණේ මාලිමා ආණ්ඩුවේ පළමු කතානායක වූ අශෝක රංවලට කතානායක ධුරයද අහිමි කරමිනි. රංවල එහිදී තමන්ගේ ආචාර්ය උපාධිය රටට ඉදිරිපත් කරන බව කියා සිටියද තවමත් එම උපාධිය ඔහුගේ පාර්ශ්වයෙන් රටට ඉදිරිපත් කර නැත.

ආචාර්ය ආතල් එකේ දෙවැනි කොටස ආරම්භ කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරය. ඒ, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමන්ගේ නම ඉදිරියෙන් ආචාර්ය තනතුරක් දමා ඇති බවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට චෝදනා කරමිනි. එතැනින් නොනැවතී හර්ෂණ එම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යෑමට පියවර ගත්තේය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබූ අතර, ඔවුන් සඳහන් කර තිබුණා යැයි කියන්නේ ආණ්ඩුවේම සභානායක කාර්යාලයෙන් නිකුත් කර තිබූ ලිපියකට අනුව අම ආචාර්ය තනතුර හර්ෂණගේ නමට ඉදිරියෙන් දමා තිබූ බවකි. කෙසේ වෙතත් තවමත් මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන අවසන් වී නැත.

මේ ආකාරයට රටට මාතෘකාවක් වූ හර්ෂණ පසුගිය සතියේ නැවත වතාවක් සමාජ මාධ්‍යයේ අවධානය දිනාගත්තේය. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලයක් සේවය කළ නිලධාරීන්ට උපහාර පිදීමේ උත්සවයක් මුල්කර ගෙනය. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආරාධනා ලැබ තිබුණේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරය. වසර 37කට අධික කාලයක් සේවයේ නිරත වීම හේතුවෙන් හිටපු බන්ධනාගාර හිටපු කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාද මෙහිදී හර්ෂණ අතින් සම්මාන ලැබ තිබිණි. මෙය ප්‍රශ්නයක් බවට පත්වූයේ එමිල් රන්ජන් එම සම්මාන ලබාගැනීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ඡායාරූප සමග සටහනක් තැබීමත් සමගය.

එමිල් රංජන් යනු 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල සිදුවන විට එහි හිටපු කොමසාරිස්වරයාය. එම වසරේ නොවැම්බර් නව වැනිදා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුළු වූ තුන්සීයක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බළකායේ (ීඔත්‍) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග ගැටුම ඇතිව තිබිණ.
සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව ප්‍රකාශය විණි.

පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ සුප්‍රකට ඛ වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකතන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බළකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන ‘චැපල් වාට්ටුව’ නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුළු වීමත් සමග තත්ත්වය නරක අතට හැරුණි.

එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමග එය ගැටුමක් බවට පෙරළුණ බව ඇතැම් රැඳවියෝ පවසා තිබුණි. එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් නව වැනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.

එසේම එය 1983 ජූලි කලාහල සමයේ දෙමළ ජාතික සිරකරුවන් මරාදමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදුකරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් හඳුන්වා දෙනු ලැබ ඇත. 1983 ප්‍රහාරයේ දී වැලිකඩ සිරගෙය තුළ මරාදමන ලද දෙමළ ජාතික සිරකරුවන්ගේ සංඛ්‍යාව පනස් තුනකි.

2012 දී මෙම ඝාතන සිදු කෙරෙන විට වැලිකඩ සිරගෙය තුළ හාර දහසක් පමණ රැඳවියන් වූ බව වාර්තා වී ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් එමිල් රන්ජන් ළමාහේවා 2018 වසරේ දී අත්අඩංගුවට ගත් අතර 2022 වසරේ දී අදාළ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඔහුට මරණීය දණ්ඩය නියම කළේය. වැලිකඩ සිරකරුවන් ඝාතනය සම්බන්ධව අධිකරණය ඉදිරියේ චෝදනා ලැබූ විත්තිකරුවන් තිදෙනාගෙන් දඬුවම් ලැබූ එකම විත්තිකරු හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා වීම විශේෂත්වයකි.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනුකළ අතර ඉන් ඔහුව මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් 2024 දී තීන්දු කරන ලදී.

කෙසේ වෙතත් එකල මෙම සිදුවීමට එරෙහිව කතාකිරීමට බොහෝ දෙනා බිය වූ අවධියක ඊට එරෙහිව නොබියව අදහස් දැක්වූයේ ජවිපෙ ක්‍රියාකාරීන්ය. අධිකරණය හමුවට ගියේ ජවිපෙට සම්බන්ධ නීතිඥවරුන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස එමිල් රන්ජන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක විය. නමුත් අධිකරණ ඇමැතිවරයා විසින් මේ කියන එමිල් රන්ජන්ට සම්මානයක් දීමත් සමගම මාධ්‍යවේදියකු මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන කසුන් පුස්සවෙල සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබිණ. එහි සටහන්ව තිබුණේ මෙවැන්නකි.

‘ජනාධිපතිතුමනි, අධිකරණ ඇමතිතුමනි, ලැජ්ජයි, කැතයි, නින්දිතයි,
පුනරුදයෙන් උපහාර…

Anura Kumara Dissanayaka ජනාධිපතිපතුමනි, මා අතින්ම ඔබ ඉල්ලාගත් වැලිකඩ පොත තවමත් පැලවත්තේ පක්ෂ මූලස්ථාන පුස්තකාලයේ සුරැකිව ඇත. ඔබේ ආණ්ඩුවේ ගරු අධිකරණ ඇමති Harshana Nanayakkara ඔබද එහි පිටු ඉතිහාසයේ කුණු බක්කියට අත පිහදා විසිකරන්න.
ස්තුතියි’

කෙසේවෙතත් මේ සිද්ධිය සමාජයේ මාතෘකාවක් බවට පත්වෙද්දී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මාධ්‍යට පවසා තිබුණේ අධිකරණ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි කියාය. නමුත් මේ දක්වා හර්ෂණ ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නැත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

අනුරාධපුරෙන් ආපු සජබ අලුත් තරුණ මන්ත්‍රී කට අරී! අපේ නායකයා සජිත් පැරැද්දුවේ රනිල්! රනිල්ට ඕන වුණා අනුර ජනාධිපති කරවන්න! රනිල් ඒ වැඩේ නොකරා නම් අද ජනාධිපති සජිත් ප්‍රේමදාස! ඒ නිසා අපේ නායකයාට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

පනත ඉක්මනට සම්මත කළොත් පළාත් පාලන ඡන්දය සිංහල අවුරුද්දට පෙර! මැතිවරණ කොමිසම වැඩේට ලෑස්තියි! වියදම බිලියන 10ක්! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.