මාධ්‍ය නිදහස ලංකාවේ ප්‍රධාන සටන් පාඨයක් වූ පළමු මැතිවරණය 1994 මහ මැතිවරණයය. ඊට පෙර 1965 මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ලේක්හවුස් පුවත්පත් සමාගම ජනසතු කිරීමට ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය නිදහස ප්‍රධාන මාතෘකාවක් වුවත් ආණ්ඩු වෙනස් කරන සටන් පාඨයක් ලෙස මාධ්‍ය නිදහස කරළියට ආවේ 1994 දීය. ඒ, ප්‍රේමදාස පාලනයේ මාධ්‍ය මර්දනයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිහිකරමිනි. පක්ෂ අර්බුද නිසා දුර්වලව පැවැති ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයට ඔක්සිජන් දුන්නේත් මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයය. එවක විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය 70-77 ආණ්ඩු කාලයේ මාධ්‍ය මර්දනය කළ නිසා ඇයට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටීමේ ගැටලුවක් තිබිණි. මේ ගැටලුවට විසඳුමක් ලෙස බණ්ඩාරනායක මැතිනිය සහ චන්ද්‍රිකා නිදහස් මාධ්‍ය ව්‍යාපාර රැස්වීමකට පැමිණ මාධ්‍ය මර්දන අතීතය වෙනුවෙන් සමාව ඉල්ලා අනාගත ආණ්ඩුවක් යටතේ නිදහස් මාධ්‍ය රකින්න පොරොන්දු වූවාය. මේ වෙනකොටත් මෙරට මාධ්‍ය රටේ චන්ද්‍රිකා රැල්ල නිර්මාණය කරමින් සිටියහ. ඇය 1994 බලයට ආවේ මාධ්‍ය කරපිටිනි.Sri Lanka Latest News
බලයට ආවාට පසු ඇය මාධ්‍ය විවේචන ඉවසුවේ නැත. ඇය පළමුවෙන්ම හැප්පුණේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමගය. ඇය ඇගේ ජනාධිපති ආරක්ෂක අංශය ලවා මාධ්‍යවේදීන්ට පහර දුන්නාය. මෙය දැක එවක විපක්ෂ නායක රනිල් මරු කතාවක් කීවේය.
ඔහු කීවේ ඉන්දියාවේ ටජ්මහල් හදපු සාජාහාන් රජු ටජ්මහල් නිර්මාණය කරපු ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කපා යළි ටජ්මහලක් ඔවුන්ගේ අතින් නිර්මාණය නොකරන්න වැඩේ කළා සේ චන්ද්‍රිකා ඇයව බලයට ගෙන ආ මාධ්‍ය ඇය වගේ තව ජනාධිපතිවරයෙක් බලයට ගෙනෙයි කියන බයට මාධ්‍ය මර්දනය කරනවා කියාය.
මෙහෙම කියපු රනිල් 2022 ජනාධිපති වූයේ අරගලයට පින් සිදුවෙන්නටය. අරගලය ගෝඨාව පැන්නුවේ නැතිනම් රාජපක්ෂවරුන්ට රනිල්ව ජනාධිපති කරන්න අවශ්‍යතාවක් පැනනගින්නේ නැත. අරගලයෙන් ජනාධිපති වූ රනිල් ජනාධිපති වී පළමු පැය විසිහතරේ කළේ අරගලය මර්දනය කිරීමය. ඒ අරගලය තමාව පන්නා අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගනී කියන බයටය. ඒකත් ඔහුම කිව්වා වගේ සාජාහාන් රජු ටජ්මහල හදපු ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ඇඟිලි කැපුවා වගේ වැඩක්ය.
වත්මන් ජනාධිපති අනුරව ජනාධිපති කළේ සමාජ මාධ්‍යය. අනුර රැල්ල රටේ හැදුවේ සමාජ මාධ්‍යයෙන්ය. දැන් ඒ සමාජ මාධ්‍යම අනුරවත් අනුරගේ ආණ්ඩුවත් විවේචනය කරන්න පටන්ගෙන තිබේ. පසුගියදා අනුරගේ ආණ්ඩුව කොටි උතුරේ ප්‍රභාකරන්ව සමරනවා කියා පුවත් සමාජ මාධ්‍යවල පළකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තේය.
‘ඇයි අනුරගේ ආණ්ඩුව මේ පෝස්ට්වලට මේ තරම් කලබල වුණේ…?’
අනුරව ජනාධිපති කළ අනුරගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දුන් 68 ලක්ෂය අහසින් කඩාවැටුණු මිනිස්සු 68 ලක්ෂයක් නොවේ. මේ 69 ලක්ෂයට පොඩ්ඩක් අඩු 68 ලක්ෂය 1994 සිට රනිල් කොටියා කියා යූ.ඇන්.පී.ය කොටින්ට ඔක්සිජන් දෙනවා කියා චන්ද්‍රිකාගේ ආණ්ඩුව කී ජාතිවාදී කතාවලට චූන් වෙලා ඡන්දය දුන්න ශ්‍රී ලංකාකාරයන්ය.
එලෙස චන්ද්‍රිකාව අදහාගෙන හිටපු මේ ශ්‍රී ලංකාකාරයන් 2005 චන්ද්‍රිකා ප්‍රභාකරන් එක්ක සුනාමි සහන ගිවිසුම අස්සන් කළ විට චන්ද්‍රිකා කොටින්ට කඩේ යනවා කියා සටන් විරාම ගිවිසුම ඉරනවා කී මහින්ද – ජවිපෙ සන්ධානයට චූන් වෙලා ඡන්දය දුන්හ.
2010 ජනාධිපතිවරණයේදී ජවිපෙ මහින්දට එරෙහි වෙද්දී ජවිපෙ රනිල් එක්ක කොටින්ට කඩේ යනවා කියලා මේ ශ්‍රී ලංකාකාරයෝ මහින්දව දිනවා මහින්දට තුනෙන් දෙකකට ආසන්න බලයක් අරන් දුන්හ.
2015 බලයට ආ මෛත්‍රී-රනිල් ආණ්ඩුව මුස්ලිම් ත්‍රස්තවාදයට සහ කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා කියා ගෝඨාව ජනාධිපති කොට තුනෙන් දෙකකට ආසන්න බලයක් දුන්නේත් මේ ශ්‍රී ලංකාකාරයන්ය.
2022 තෙල්, ගෑස් නැතිවෙන විට ඔවුන්ට ජාතිවාදය අමතක විය. ඔවුහු දමිළ සහ මුස්ලිම් ජනතාව සමග කරේ අත දමාගෙන ගෝඨාව පැන්නූහ. ගෝඨා වෙනුවට රාජපක්ෂ පවුල ජනාධිපති කළ රනිල්ට ඔවුන් කැමැති නොවුණේ රනිල්ට ගහපු කොටි හංවඩුව ඔවුන්ගේ හදවත් තුළ මැකී නොතිබුණු නිසාය. ඔවුන් රාජපක්ෂ පවුලට පයින් ගහලා රනිල්ට හෝ සජිත්ට බලයට එන්න නොදී අනුරව ගෙන ආවේ 1994 සිට 2005 දක්වා චන්ද්‍රිකාත් 2005 සිට 2020 දක්වා මහින්දත් හදපු යූ.ඇන්.පී. වෛරය හිතේ තියාගෙනය. මේ 69 ලක්ෂයට ආසන්න 68 ලක්ෂය ඇත්තටම ජාතිකවාදීන්ය. ජාතික සමගිය, ජාතික ඒකාබද්ධතාව ඔවුන්ගේ කටට හුරු මාතෘකා නොවේ. අනුරත් අනුරගේ ආණ්ඩුවත් හිතන්නේ තමන් ඔවුන්ව ජාතිවාදයෙන් බේරාගත්තා කියාය.
1994 බලයට ආ චන්ද්‍රිකාත් එහෙම හිතුවාය. ඇය එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා පටන්ගත්තේත් පසුව උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස පැකේජය ගෙනාවේත් තමා ශ්‍රීලනිප පාක්ෂිකයන් ජාතිකවාදයෙන් මුදාගත්තා කියා හිතාගෙනය. වැඩි කලක් ගත නොවී ඇය යුද්ධය පටන්ගෙන රටේ යුද උන්මාදයක් ඇතිකළේ ශ්‍රී ලංකා පාක්ෂිකයන්ව ගලේ ගහලාවත් වෙනස් කරන්න බැරි බව දැනගෙනය.
චන්ද්‍රිකා වගේම අනුරත් හිතන්නේ තමාට ලැබුණු ජන වරමේ ජාතිකවාදීන් නැහැ කියාය. හැබැයි උතුරේ මහවිරු සමරන පෝස්ට්වලට අනුරගේ ආණ්ඩුව කලබල වුණේ යළි ජාතිකවාදය ඇවිස්සුණොත් මේ ලක්ෂ 68 තමන්ට අහිමි වෙයි කියන බයටය. අනුරගේ ආණ්ඩුව මේ සමාජ මාධ්‍ය පෝස්ට්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉක්මන් වූයේ ඒ නිසාය.
අනුරගේ ආණ්ඩුව ඔවුන්ව බලයට ගෙන ආ සමාජ මාධ්‍ය මර්දනය කරන්න යනවා නම් ආයෙත් මතක් වන්නේ රනිල් කියපු සාජාහාන් කතාවමය.
මේ සමාජ මාධ්‍ය රැල්ල පටන්ගත්තේ 2015දීය. 2015 මෛත්‍රිපාල දිනන්නේත් මේ සමාජ මාධ්‍ය රැල්ලෙනි. හොරුන්ට එරෙහි රොබින් හුඩ් කෙනෙක් ලෙස භෞතීස්ම කළ මෛත්‍රිපාලව වැඩි කලක් යන්නට පෙර මේ සමාජ මාධ්‍යම ජෝකර් කෙනෙක් කළේය. විරුවෙක්යැයි කියා ගෝඨාව බලයට ගේන රැල්ල හැදුවේත් මේ සමාජ මාධ්‍යමය. අන්තිමේදී ඔවුහු ඔහුව පරයෙක් කළහ. සමාජ මාධ්‍ය නායකයන් හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේය. මෛත්‍රී ජනාධිපති වූ අලුත ඔහු ගෙදරින් කෙහෙල් කොළේ බත් ගෙන ඒම ජනාධිපති මන්දිරයේ පදිංචි නොවීම මේ සමාජ මාධ්‍යය රට හදන නිවුස් විය. ගෝඨා ජනාධිපති වූ අලුත පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙලට එක වාහනයකින් පැමිණීම, ගෝඨා ජනාධිපති නිල නිවෙසේ පදිංචි නොවීම, ගෝඨාගේ බිරිය තනියම කඩේ යෑම රට පෙරළන මහා නිවුස් විය. අන්තිමේදී මේ සමාජ මාධ්‍යයේ රට පෙරළන නිවුස් එක වූයේ ගෝඨා රට පනින විට ජනාධිපති මන්දිරයේ දමා ගිය යට ඇඳුමය.
සමාජ මාධ්‍ය පාවිච්චි කොට රැලි හැදීම යක්කුන්ගෙන් වැඩ ගත්තා හා සමානය. වැඩ වරද්දා ගත්තොත් පනින් වෙන්නේ මුහුදටය.










