කාලවර්ණ ගතින් යුත්, අඩක් තට්ටය පෑදුණු මෙම දේහධාරී මිනිසා ගැන අද සමාජයේ ඇතිවන කතාබහ බොහෝය. ඔහු එසේ, මෙසේ මිනිසකුත් නොවේ. හෙතෙම සමාජය පිළිගත් විද්වතෙකි. එස්. රත්නජීවන් එච්. හූල් ඔහුගේ සම්පූර්ණ නාමයය. ඒ නම මුලින්ම මහාචාර්ය පට්ටමක්ද ඇත. ඔහු මෙරට තුළ දරන රාජකාරී තනතුර බොහෝ සුවිශේෂී එකකි. එනම් මහාචාර්ය රත්නජීවන් හූල් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සිටින සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයකු වෙයි. අද අප රටේ නැවැතත් මැතිවරණ හුටපටයක් මතුවෙමින් ඇති හෙයින්, මෙම ‘හූල් මහත්තයා’ ගැන ඇති වී තිබෙන කතාබහද බොහෝය. හෙට, අනිද්දාම පැවැත්වීමට යන ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය ගැන ඔහු දරනා මතිමතාන්තරය වන්නේ එය මෙකල පැවැත්වීමට නොසුදුසු ක්‍රියාදාමයක් යන්නය. ඒ නිසාම ඔහුට විවිධ පාර්ශ්වවලින් එල්ල වන ගල් – මුගුරු ප්‍රහාරයන්ද බොහෝය.
මෙවන් වාතාවරණයක් යටතේ ‘හූල් මහත්තයාට’ පසුගියදා මුහුණ දෙන්නට සිදුවූයේ අපූරු අකරතැබ්බයකටය. මහාචාර්ය රත්නජීවන් හූල්ගේ දියණිය වන ඉලිලිනි හූල් අධ්‍යාපනය ලබන්නේ එංගලන්තයේය. ඇය එම රටේ විශ්වවිiාලයක ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යයන කටයුතු කරමින් සිටින්නියක් වන අතර,
පසුගියදා මෙම කොරෝනා අර්බුදය හමුවේ ඇය එරට සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ දිනවල විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිසේත්ම නිකම්ම දිවයිනට ඇතුළු වීමට නොහැක. ඔවුන් සියල්ලන්ම වහාම දින 14ක නිරෝධායනයකට යොමු කෙරේ. ඒ අනුව මහාචාර්ය හූල්ගේ දියණිය ඉලිලිනිද ඇයගේ කැමැත්තට අනුව දැනට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙන මීගමුවේ තරුපහේ සුපිරි හෝටලයක් වන ‘ජෙට්වින්ග් බ්ලූ’ හෝටලයේ දින 14ක නිරෝධායනයකට යොමුවිණි.

මේ කතන්දරයේ ඉතිරි පිටු පෙරළෙන්නේ එතැන සිටය. මහාචාර්ය හූල්ගේ දියණියගේ කැමැත්තට නිරෝධායනය සඳහා සුපිරි සංචාරක හෝටලයක් තෝරා ගත්තද, නිරෝධායන නීතිය යටතේ දින 14ක් අනිවාර්යයෙන්ම එම නිරෝධායනයට යොමු විය යුතුය. ඒ ආකාරයටම මහාචාර්යවරයාගේ දියණියද මීගමුවේ ‘ජෙට්වින්ග් බ්ලූ’ හෝටලයේදී මෙම නිරෝධායනය සාර්ථකව නිම කරන ලදැයි පැවසෙයි. එහෙත් පසුගියදා එක්තරා ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් දීර්ඝ ලිපියක් ප්‍රකාශ කරමින් කියා සිටියේ මහාචාර්යවරයාගේ දියණිය ඉලිලිනි මෙම නිරෝධායනය නිසි ලෙස අවසන් නොකර තම පියා සමඟ පිටත්ව ගොස් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයටද පැමිණි බැව්ය. සුපිරි හෝටලේ දින 14ක නිරෝධායනය අවසන්ව පසුව, තවත් දින 14ක් තමන්ගේ නිවෙසේ නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද, එම නිරෝධායන නීති – රීති කඩකරමින් මෙම දියණියත්, පියාත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම අතිශය අර්බුදකාරී තත්ත්වයක් යැයි ඉහත ඉංග්‍රීසි පුවත්පත අවධාරණය කර සිටියේය. එම ගමන සඳහා මහාචාර්ය හූල්ගේ පුත්‍රයාද සහභාගි වූ බැව් තවදුරටත් කරුණු ප්‍රකාශ වී තිබිණි.
මහාචාර්ය හූල්ගේ දියණිය සිටින නිවෙස පිහිටා ඇත්තේ යාපනයේ, නල්ලූර්හි, චෙම්මිනි පාරේ බවත්, දෙවැනි නිරෝධායනයේ දින 14ක කාලය මෙම නිවෙසේ ගතකළ යුතු බවත් ඉංග්‍රීසි පුවත්පත් ලිපිය ප්‍රකාශ කර තිබිණි. එහෙත් එවැනි තත්ත්වයක් තිබියදීත් මෙම පියාත්, දියණියත් නිරෝධායන නීති කඩකරමින් කටයුතු කර ඇතැයිද ලිපියෙන් චෝදනා කර තිබිණි. මහාචාර්ය හූල් පසුගිය මැයි 17 වැනිදා ඩබ්ලිව්.පී./පී.එෆ්.7802 අංක දරන මිට්සුබිෂි ඩබල් කැබ් රථයෙන් යාපනයේ සිට කොළඹට පැමිණ මැයි 18 වැනි සඳුදා සිය දියණිය ගෙන යෑම සඳහා මීගමුවට පැමිණ ඇත. මහාචාර්යවරයා සමඟ ඔහුගේ පුත්‍රයාද යාපනයේ සිට පැමිණ ඇත.
මහාචාර්ය හූල් ඉන්පසුව සිය දියණිය සහ පුත්‍රයා සමඟ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඇත. දෙවැනි දින 14 නිවෙසේදී නිරෝධායනයට ලක්වීමට ඉලිලිනි හූල්ට උපදෙස් ලබා දී ඇතත්, ඇය තම පියා සමඟ මෙසේ වගකීම් විරහිතව ක්‍රියා කිරීම වෙනත් කිසිදු වෛද්‍ය පාර්ශ්ව වගකිවයුතු නිලධාරියකු හෝ නොදැකීම පුදුමයට කරුණක් බවත්, ඉංග්‍රීසි පුවත්පත චෝදනා කර තිබිණි. විදෙස් රටවල සිට පැමිණෙන සියලුම පිරිස් මේ ආකාරයේ නිරෝධායන ක්‍රියාවලියකට නිරත වන බවත්, එහෙත් මෙම සිදුවීමේදී එය කඩකිරී ඇතැයිද වැඩිදුරටත් එහි ප්‍රකාශ වී තිබිණි.
ඉංග්‍රීසි පත්තරයේ මෙම කතාව ගිනි ජාලාවක් මෙන් ඇවිළී ගියේය. එහෙත් මේ කතා අසමින් ‘හූල් මහත්තයාද නිකම් සිටියේ නැත. ඔහු ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රකාශය හෙළා දකිමින් සහ ප්‍රතික්‍ෂේප කරමින් තරයේම කියා සිටියේ තම දියණිය අදාළ හෝටලයේ පැවැති නිරෝධායන කාලය නිසි ලෙස අවසාන කළ බවත්, ඒ සඳහා ඇයට නිරෝධායන සහතිකයක්ද ලැබුණු බවත්ය. එම සහතිකය සඳහා අත්සන් තබා ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවත් මහාචාර්ය හූල් ප්‍රකාශ කර සිටියේය. මේ අනුව එය සත්‍ය සහතිකයක් බවත්, ඉන් ඉදිරියට නැවැත නිරෝධායනය වීමට උපදෙසක් ලබාදී නොතිබුණු බවත්, මහාචාර්යවරයා මාධ්‍ය ප්‍රකාශයක් ලබාදෙමින් අවධාරණය කර සිටියේය.
ඉහත ඉංග්‍රීසි පුවත්පතේ විශේෂාංගය තවත් කරුණු ප්‍රකාශ කරමින් කියා සිටියේ, මහාචාර්ය හූල් සහ ඔහුගේ දියණිය සහ පුතා පසුගියදා මැතිවරණ කොමිෂන් ප්‍රධාන කාර්යාලය වෙත යන විටදී එම කාර්යාලයේ සේවක මණ්ඩලය විසින් ඔවුන්ගේ පැමිණීම දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළ බැව්ය. එම කාර්යය මණ්ඩලය මහාචාර්ය හූල්ට චෝදනා කරමින් ප්‍රකාශ කර ඇත්තේ, දියණිය ඉලිලිනි හූල් නිසි ලෙස නිරෝධායනය අවසන් නොකර මෙසේ තම කාර්යාලය වෙත පැමිණ ඇති හෙයින් එම පැමිණීම ප්‍රතික්‍ෂේප කරන බැව්ය. එම පුවත්පත් වාර්තාවට අනුව තවදුරටත් ප්‍රකාශ වූයේ මහාචාර්ය හූල් ඇතුළු දරුවන් දෙදෙනා එම ප්‍රධාන කාර්යාලයෙන් නික්ම ගිය පසුව කාර්යාලය විෂබීජහරණයටද ලක්වූ බවත්ය.
කෙසේ හෝ මෙම සිදුවීම සිදුවන විටදී මහාචාර්ය රත්නජීව හූල් තම දියණියගේ නිරෝධායන සහතිකය වහාම මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඉදිරිපත් කර ඇත. ඔහු එය බොහෝ දැඩි අවධානයෙන් නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව වහා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙම සිදුවීම දැඩි අනවබෝධයක් නිසා සිදුවූ එකක් බැව්ය. ‘ජෙට්වින්ග් බ්ලූ’ හෝටලයේදී රජය විසින් නිකුත් කරනු ලැබූ නිරෝධායන සහතිකය එයට හොඳම උදාහරණය විය. මෙම සිදුවීමේදී මහාචාර්ය හූල් තවත් සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ, තම දියණිය එම නිරෝධායනය වෙනුවෙන් හෝටලයේ බිල වශයෙන් රුපියල් 1,75,000 (එක් ලක්‍ෂ හැත්තෑපන් දහසක්) ද ගෙවූ බැව්ය. එසේම හෝටලයෙන් පිටත්වන විටදී තවත් දින 14ක් නිවෙසේදී නිරෝධායනය වීමට උපදෙස් ලබා නොදුන් බවද මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් සාමාන්‍යයෙන් නිරෝධායන කඳවුරක දින 14ක නිරෝධායනය නිම කරන ඕනෑම කෙනකු තවත් දින 14ක් තම නිවෙසේදීද නිරෝධායනයක් සිදුකළ යුතු බවට තිබෙන නීතියක්ද හේතුකරගෙන මැතිවරණ කාර්යාල සේවක පිරිස කලබලයට පත්වී ඇත.
කෙසේ හෝ මහාචාර්ය හූල් සහ දරුවන් දෙදෙනා මැතිවරණ කාර්යාලයට පැමිණි විටදී ඇති වූ නාටකයේ ජවනිකා තවම නිමවී නොමැත. ඒ සමඟම අපූරු ගිනි ගෙඩියක් ‘හූල් මහත්තයාගේ’ හිසට කඩාගෙන වැටුණේය. මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු මහාචාර්යවරයාට පවසා ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු රැස්වීම් අවලංගු කර ඇති බවත්, මහාචාර්යවරයා සහ ඔහුගේ රියැදුරු තැනට සති දෙකක (දින 14ක්) නිරෝධායනයක් සඳහා යොමුවීමට කටයුතු කරන ලෙසත්ය. මේ කතාව ඇසූ විට මහාචාර්යවරයා මහත් පුදුමයටත්, ශෝකයටත් පත්වන්නට විය. එහෙත් මේ සියල්ල සිදුවන්නේ යම්කිසි බලවේගයක් හරහා බැව් ඔහු අවබෝධ කරගත්තේය. එහෙත් ඔහු කිසිදු කලබලයකට පත්නොවී තමන්ට සිදුවී ඇති අකරතැබ්බය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කළේය.
වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා යම් උසස් බුද්ධි මට්ටමකින් ක්‍රියා කරන නිලධාරියකු බවට ප්‍රකටය. ඔහු ඉක්මනින්ම තත්ත්වය අවබෝධකර ගත්තේය. ඉලිලිනි හූල්ගේ නිරෝධායන සහතිකයේ සත්‍යතාව ඔහු වහා අවබෝධකර ගත්තේය. අනෙකුත් පාර්ශ්ව විසින් සිදු කළ ප්‍රතිචාරයන්ද අවබෝධයට ගත්තේය. ඔහු ඇති වූ සිද්ධියට සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටියේය. මහාචාර්ය හූල්ද ප්‍රකාශ කර සිටියේ මහින්ද දේශප්‍රිය මහතා බොහෝ නිරහංකාරව මෙම සිදුවීමට සමාව ඉල්ලා සිටි බැව්ය. එසේම තමන්ට සහ තම රියැදුරුට සති දෙකක කාලයක් නිරෝධායනය වන්නට යැයි කියූ ක්‍රියාවලියද අනවශ්‍ය එකක් යැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිදුවූ කලබැගෑනිය ගැන මහාචාර්ය හූල්ගේ වදනින් මෙසේ කියයි.
‘මම එදා ඊට පසු දහවල් ආහාරයට ගිහිල්ලා නැවැත කාර්යාලයට එන විට එය සේවකයන්ගෙන් හිස් වෙලා තිබුණා. මට හමුවුණු ටික දෙනාත් හරියට දෙවැනි තට්ටුවෙන් බිමට පනින්න වගේ ලෑස්ති වෙලා බයවෙලා හිටියේ. මුළු කාර්යාලයම විෂබීජහරණය කරලා තිබුණු බව පෙනුණා. දොරවල් සියල්ල විවෘත කරලා දාලා තිබුණා. ඒ වෙලාවේ කාර්යාලය ඇතුළත හිටියේ එක සේවකයකු පමණයි. අනෙක් ඔක්කොම ගිහිල්ලා. මේ දර්ශන දුටු මගේ හිත හරියට කලකිරීමකට පත්වුණා. කනගාටුවට පත්වුණා.’
මෙම සිදුවීම ගැන දැන් පොලිස් පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත. මෙහිදී මහාචාර්ය රත්නජීව හූල් තවදුරටත් අවධාරණය කර සිටියේ දින 14ක නිරෝධායනයක තමන් යෙදවීමෙන් යම් පාර්ශ්ව බලාපොරොත්තු වන්නට ඇත්තේ, තමන් සහභාගි වන මැතිවරණ කොමිසමේ රැස්වීම් කඩාකප්පල් කිරීමට කටයුතු කිරීමය. එසේම එලෙස සිදුවූ විට සාමාජිකයන් තිදෙනා සහභාගි වීමේ කොමිසමේ ගණපූර්ණ නීතිය කැඩෙන බැව්ද ඔහු ප්‍රකාශ කර සිටියේය. මෙය සිතාමතාම සිදුකළ කූට උපක්‍රමයක් බව තමන් විශ්වාස කරන බැව් මහාචාර්යවරයා අවධාරණය කළේය.
මහාචාර්ය රත්නජීවන් හූල් මුහුණු දුන් මෙම විශ්මයජනක කතාවේ පිටු තවද අවසන්ව නැත. කාර්යාලයේ සිදුවීම්වලින් පසුව ඔහු තම දරුවන් සමඟ නැවැත යාපනයට පිටත්වීමට කටයුතු කළේය. කොළඹ සිට පුත්තලමට ඔහු යම් නිදහස් ආකාරයකින් පැමිණියත්, පුත්තලමේ සිට යාපනයට යන තෙක්ම ඔහුට මුහුණ දෙන්නට වූයේ මහත් පීඩාවන් රැසකටය. එනම් පුත්තලමේ සිට යාපනයට යනතෙක්ම මහාමාර්ගයේ යොදා තිබුණු සෑම මාර්ග බාධකයකම ඔහුගේ මෝටර් රථය නතර කරන්නට විය. පොලිස් සහ හමුදා නිලධාරීන් සිටින මාර්ග බාධක සියල්ලටම මහාචාර්යවරයාගේ මෝටර් රථයේ අංකය ලබාදී තිබිණි. ඔහුගේ මෝටර් රථයේ සොයා ගන්නට රහසිගත යමක් නොවූවද, යම් ඉහළ බලවේගයකින් ලැබුණු නියෝග මත පොලිස් හා හමුදා නිලධාරීන්ට එසේ සිදුකරන්නට විය. ඕමන්තේ පොලිස් මුරපොළෙහි සිටි එක් පොලිස් නිලධාරියකු මහාචාර්ය හූල්ගෙන් සමාව අයැද සිට ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථය සම්බන්ධයෙන් හෝ එහි පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ කුමක් සොයා බැලිය යුතු දැයි තමන් නොදන්නා බැව්ය. සාමාන්‍යයෙන් මෙතරම් අධික දුරක් ගෙවා ගමන යද්දී සෑම මුර කපොල්ලකින්ම වාහන පරීක්‍ෂා කිරීම සම්මතයක් නොවූවත්, මෙම ගමනේදී යාපනය දක්වාම සෑම මුර කපොල්ලකදීම අදාළ වාහනය පරීක්‍ෂාවට ලක්කර ඇත. මෙයින් පෙනී යන්නේ මෙම සිදුවීම අප සිතනවාට වඩා බැරෑරුම් එකක් ලෙස විකාශය වීමය.
මෙම පුවත මුලින්ම පළකළ අදාළ ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා, මෙම සිදුවීම් ගැන කිසි විටක තමන්ගෙන් විමසීමක් සිදු නොකළ බවත්, ඒ ගැන නිවැරැදි කිරීමක් තමන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර ඇත. මහාචාර්ය රත්නජීව හූල් යනු සැබෑ ලෙසම අද සමාජයේ ඉතාමත්ම ආන්දෝලනාත්මක චරිතයකි. ඔහුගේ මතිමතාන්තරවලට එරෙහි ප්‍රබල පාර්ශ්වයක් සිටින අතර, ඔවුන්ගේ උකුසු ඇස් නිරන්තරයෙන්ම ඔහු වෙත එල්ලවී ඇති බව මේ හරහා දැකගන්නට තිබේ.
ප්‍රියන්ත හෙට්ටිගේ











