රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් රේගු භාරයේ තිබූ වටිනා මැණික් ගල් තොගයක් ටෙන්ඩර් කිරීමට යෑමේදී ව්‍යාපාරිකයන් බියවද්දවා අඩු මිලට ගැනීමට ඊයේ (02 වැනිදා) ගත් උත්සාහයක් රේගු නිලධාරීන් මැදිහත්වී නවත්වා ඇත.Sri Lanka Latest News
රුපියල් කෝටි 29 කට මෙම මැණික් ගල් තොගය ගැනීමට ව්‍යාපාරිකයකු ඊයේ (02 වැනිදා) සූදානම් වී ඇති අතර, මෙම ව්‍යාපාරිකයාට පෙර රුපියල් කෝටි පනහකට ටෙන්ඩර් පත්‍රිකාවක් දමා මිලදී ගැනීමට ගිය ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයන්ට බලපෑම් කර මෙය ගන්නට යන බවට ලද පැමිණිල්ලක් මත මෙම ටෙන්ඩරය අවලංගු කර ඇත.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩගේ ප්‍රධානත්වයෙන් එහි පැමිණි නිලධාරීන් පිරිසක් රජයට වන්නට ගිය රුපියල් කෝටි හැත්තෑඑකකට වඩා වැඩි පාඩුව වළක්වා ටෙන්ඩරය අවලංගු කළ බව රේගු ආරංචි මාර්ග සඳහන් කළේය. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති බලතල ප්‍රකාරව මෙම ටෙන්ඩරය අවලංගු කළ බව එම නිලධාරියා සඳහන් කළේය.
රේගුවට නොදන්වා රටින් ගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100 කට වඩා වටිනා බව කියන මෙම මැණික් ගල් තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පසුගිය සතියේදීය.
එහිදී වැල්ලම්පිටියේ ව්‍යාපාරිකයකු රුපියල් කෝටි පනහකට ටෙන්ඩරය ගැනීමට ටෙන්ඩර් පත්‍රිකාව ටෙන්ඩර් පෙට්ටියට දමා ඇත. අනෙක් ව්‍යාපාරිකයා රුපියල් විසිනවකෝටි විසි ලක්ෂයක් මිල සඳහන් කර ටෙන්ඩර් පත්‍රිකාව දමා ඇත.
අනෙක් ව්‍යාපාරිකයන් එහිදී ටෙන්ඩරයට ඉදිරිපත් වී නොමැති අතර වැඩි මිල සඳහන් කළ ව්‍යාපාරිකයාට රුපියල් කෝටියක් දෙන පොරොන්දුව මත ටෙන්ඩර් පත්‍රිකාව යළි ඉවත් කර ගැනීමට අනෙක් පාර්ශ්වවලින් බලපෑම් කර ඇත. ඒ අනුව වැඩි මිල සටහන් කළ ව්‍යාපාරිකයා වැරදීමකින් රුපියල් කෝටි පනහක් සටහන් කළ බවට ලියුමක් ඉදිරිපත් කර තම ටෙන්ඩර් පත්‍රිකාව ඉවත් කරගෙන තිබේ.
මෙම වාතාවරණය මැද අඩු මිලට ඉල්ලූ ව්‍යාපාරිකයා හැර කිසිවකුත් ටෙන්ඩරයට ඉදිරිපත් නොවීම නිසා ටෙන්ඩර් පෙට්ටිය විවෘත කර ඇත.
ඒ අනුව ඊයේ (02 වැනිදා) රුපියල් කෝටි 29 කට මැණික් තොගය මිලදී ගැනීමට යෑමේදී රේගු නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත පදනම්ව ටෙන්ඩරය අවලංගු කර තිබේ.
තමන් දේශපාලන අධිකාරිය සමග මෙය බලාගන්නා බවට කියමින් ව්‍යාපාරිකයකු ටෙන්ඩරය ගැනීමට නොහැකිව පිටව ගිය බවත්, රේගු නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා රජයට රුපියල් කෝටි 71 කට වඩා ඉතිරිවූ බවත් රේගු නිලධාරීහු පවසති.
මෙය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ගෙන නියම මිල සටහන් කර ටෙන්ඩර් කරන ලෙස ව්‍යාපාරිකයන් ඉල්ලා ඇත. –










