”දැන් කතාවක් යනවා හදිසියේ හතළිස් දාහක් දාන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවා කියලා. මේක මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය දෙයක්ද? මම දන්නේ නැහැ බන්දුල ගුණවර්ධන මහත්තයා මොකක් හරි මොළේ අමාරුවකට කිව්වාද කියලා මේ කතාව. මොකද අපි ගාව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ තුනක් තියෙනවා. හම්බන්තොට, පල්ලේකැලේ සහ ඛෙත්තරාම. අපිට ලෝක කුසලාන තරඟ සහ T 20 වුණත් ගහන්න පුළුවන් ලංකාවේ. දැනට ලංකාවේ ක්‍රීඩාංගනවල තරඟාවලි තියගන්නත් බැහැ. ඒ නිසා මේ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම දන්නේ නැහැ එතුමා ඇයි ඒ යෝජනාව කරේ කියලා. ඒක අදාළ නැහැ. මම හිතන්නේ නෑ ජනාධිපතිතුමා ඒ සඳහා රජයේ මුදල් සත පහක්වත් දෙයි කියලා ඒක හදන්න.” යැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
‘මේ කව්ද මොනවද කරන්නේ’ යන වැඩසටහන යටතේ ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර කළ විමසීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සදහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේදී කියා තිබුණේ ඩොලර් මිලියන 40ක වියදමින් හෝමාගම ප්‍රදේශයේ ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇති බවකි.
මෙහි සම්පූර්ණ සම්මුඛ සාකච්ජාව ඉදිරි සතියකදී ‘මව්රට’ පුවත්පතේ පළවේ.










