‘2022 පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදවලින් පසුව, පළමු මැතිවරණ තරගය ලෙස 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවට තීරණාත්මක පියවරක් විය. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයේ සෑම ප්‍රධාන අදියරකදීම විනිවිදභාවය සහතික කරමින් ස්වාධීනව සහ අධිෂ්ඨානශීලීව එම ක්‍රියාවලිය සිදුකළේය. මැතිවරණය විසින්ම සියලු ඡන්දදායකයන්ට සැබෑ දේශපාලන තේරීම් ලබාදුන් අතර, මැතිවරණ ව්‍යාපාරය බොහෝ දුරට සාමකාමී සහ ජවසම්පන්න විය. එහෙත් කෙසේ හෝ මෙවැනි වටපිටාවන් ගතවෙද්දී රටේ රාජ්‍ය පාලනයේ සිටි ප්‍රධාන නායකයන් තමන්ගේ බලයේ සිටීමේ වාසිය මැතිවරණ තරග පිටිය වෙත නැඹුරු කළ අතර, එහිදී සමහර උපමාරු ඩිජිටල් ප්‍රචාරණ කටයුතු රැසක්ම ඡන්දදායකයන්ගේ මනස ව්‍යාකූල කිරීමට අරමුණු කරගත් බව අවධාරණය කර සිටිමු. මෙම වටපිටාව යටතේදී පවතින ආණ්ඩුව (එවිට පැවැති) සහ ප්‍රචාරණය අතර රේඛාව තවදුරටත් බොඳවී ගියේය…’ (Sri Lanka Latest News)
පසුගියදා නිමාවට පත්වූ 2024 ජනාධිපතිවරණයට අදාළව අසන්නට ලැබෙන මෙම බැරෑරුම් කතාන්දරය කුමක්ද? ජනාධිපතිවරණය ගැන සුබවාදීව අදහස් ප්‍රකාශ වන අතරවායේදීම එම මැතිවරණයට අදාළව අසන්නට ලැබෙන විචාරශීලී නිර්ණය කුමක්ද? මෙම වතගොත අප වෙත කියා සිටින්නේ කවරකු විසින්ද? එම පාර්ශ්වය කවරෙක්දැයි සොයා බැලීමට ප්‍රථම එම කතාන්දරයේ තවත් තොරතුරු සොයා බලමු. එම ප්‍රකාශය තවදුරටත් මෙසේ කියා සිටියි.
‘ආණ්ඩුව සහ ප්‍රචාරණය අතර රේඛාව තවදුරටත් බොඳවී ගිය අතර, එය උත්සන්න වූයේ පැවැති රජයේ රාජ්‍ය සහ අනෙකුත් වගකිව යුතු ප්‍රාදේශීය නිලධාරීන්ද මැතිවරණ රැලිවලට සහභාගි වීමෙනි. මේ අතර රට තුළ තේරීපත්වූ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නොමැති වීම නිසා මේ තත්ත්වය උග්‍ර විය. මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවැති රාජ්‍ය විධායකය සහ රාජ්‍ය මාධ්‍ය අතර සුසංයෝගය ඉතා ධනාත්මක ස්වරයෙන් ආවරණය වූ අතර, වත්මන් (එවිට බලයේ සිටි) ජනාධිපතිවරයාගේ නැවත බලයට තේරීපත්වීමේ ලංසුව සමග පෙළගැසුණු ආකාරය දක්නට හැකි විය. මෙහිදී සැබැවින්ම ජනාධිපතිවරණයට පෙර පැවැති ප්‍රචාරක කටයුතුවලදී මැතිවරණ ක්‍රීඩා පිටිය විකෘති කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීම සිදුකළ හැකිය. මෙම වටපිටාව තුළදී පැවැති රජය යෝජනා කළ රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වන වැටුප් වර්ධක, සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රම, පොලී රහිත ශිෂ්‍ය ණය සැලසුම, කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර වැඩසටහන් සහ තවත් යෝජනා ක්‍රම කිහිපයක්ද ප්‍රචාරයට පත්කෙරිණි. ඒවා සියල්ල ප්‍රකාශිත වූයේ විධායකය සහ රාජ්‍ය මාධ්‍යවල ධනාත්මක ස්වරයෙනි….’
ඔබට දැන් මෙම කතාවේ යම් අන්තර්ගතයක් පැහැදිලි වනු ඇත. එසේ නම් දැන් මෙම කතාව කියා සිටින්නේ කවුරුන් විසින්දැයි සොයා බලමු. මෙම වතගොත කියා සිටින සුවිශේෂ පුද්ලයාගේ නාමය නම් නැචෝ සැන්චෙස් අමොර් (Nacho Sánchez Amor) වෙයි. ඔහු නම් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු 2024 ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නායකත්වය දැරූ ප්‍රධාන නිරීක්ෂකවරයාය. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම මෙහිදී ඉංග්‍රීසි බසින් සඳහන් වන්නේ European Union Election Observation Mission (EUEOM) ලෙසිනි. එනම් ලෝකයේ රට රටවල ප්‍රධාන මැතිවරණයන් නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රධානතම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ යුරෝපා සංගමය (European Union) විසිනි. ඒ අනුව මෙරට ජනාධිපතිවරණය සඳහා විදේශ නිරීක්ෂකයන් 70කින් සමන්විත ජාත්‍යන්තර කණ්ඩායමක් කටයුතු කරනු ලැබුවේය. ඔවුන් දිවයිනේ සියලු පළාත් 9 ආවරණය වන පරිදි පුළුල් නිරීක්ෂණයක නිරත වූයේය. ඒ අනුව එම කණ්ඩායමේ ප්‍රධානියා වන නැචෝ සැන්චෙස් අමොර් විසින් ඉහත නිර්ණායන් සිදුකර තිබුණේ බොහෝ වගකීමකින් යුතුවය. එනම් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම වෙනුවෙන් මූලික නිගමනයක් ලෙස මෙම ප්‍රකාශ්‍ය සිදුකළේ මෙයට දින කිහිපයකට පෙරදීය. ඔවුන් තමන්ගේ සම්පූර්ණ නිල වාර්තාව ඉදිරි දිනවලදී ප්‍රකාශ කිරීමට නියමිතය. නැචෝ සැන්චෙස් අමොර් යනු ස්පාඤ්ඤ ජාතිකයකු වන අතර, ඔහු යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දැනට කටයුතු කරයි. 64 වැනි වියේ පසුවන ඔහු වසර 47ක් දේශපාලනයෙහි නිරතව ඇත.
ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණයේ අතිසුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ, යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම විසින් මෙසේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති මූලික වාර්තාව තවදුරටත් සුවිශේෂ කරුණු රැසක් සඳහන් කර තිබෙයි. එම ප්‍රකාශයන් මෙසේ දැක්වෙයි.
‘EUEOM විසින් නිරීක්ෂණය කරන ලද සියලු ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සඳහා මනා පුහුණුව ලත් ඡන්ද පොළ කාර්යමණ්ඩලය කාර්යක්ෂමව පහසුකම් සලසා දෙනු ලැබූ අතර, මැතිවරණ දිනය ක්‍රමවත් සහ සන්සුන් බවකින් අපි නිරීක්ෂණය කළෙමු. සමහර අවස්ථාවලදී පරිශ්‍රයන් ජනාකීර්ණ වුවද ක්‍රියාවලියේ අඛණ්ඩත්වය සහතික කරමින් පළමු ඡන්ද ගණන් කිරීම එක හා සමානව හොඳින් සංවිධාන විය. ඡන්ද මධ්‍යස්ථානවල, ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සහ ප්‍රතිඵල ලේඛනගත කිරීමේදී පුරවැසි නිරීක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන්ද සිටීම ක්‍රියාවලියේ විනිවිදභාවයට එක් විය. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම (Election Commission of Sri lanka) පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය දිනාගනිමින්, විනිවිදභාවයෙන් යුතුව සිය වගකීම් කළමනාකරණය කළේය. සීමිත බලාත්මක කිරීමේ බලතල තිබියදීත්, කොමිසම සිවිල් සමාජය සමග සමීපව කටයුතු කළ අතර, ඡන්ද ව්‍යාපාරය හොඳින් නිරීක්ෂණය කළේය. එය රාජ්‍ය සම්පත්වල අවභාවිතයට එරෙහිව මහජන ස්ථාවරයන් ගත් අතර, අනෙකුත් ප්‍රචාරක උල්ලංඝනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. එම ක්‍රියාවලීන් සඳහා යුරෝපා සංගම් නිරීක්ෂණ මෙහෙයුම දැඩි අවධානයක් යොමු කළේය…’
මෙම සුවිශේෂ ජාත්‍යන්තර මූලික වාර්තාව තවදුරටත් මෙසේ කරුණු සඳහන් කර සිටියි.
‘නීතිමය රාමුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සඳහා ඉතා ශක්තිමත් පදනමක් සපයයි. මෑතකාලීන නීති ප්‍රතිසංස්කරණ විසින් පුද්ගලිකත්ව ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ප්‍රචාරක මෙහෙයුම් මූල්‍ය නියාමනයද සිදුකරනු ලබයි. කෙසේ වෙතත් නව සහ යෝජිත නීති දේශපාලන නිදහස සීමා කළ හැකි බලතලද නිර්මාණය කරයි. මැතිවරණ මෙහෙයුම තරගකාරී වූ අතර, මූලික නිදහසට පුළුල් ලෙස ගරු කරන ලදී. ජනාධිපතිවරණ තරගයේ මාධ්‍ය ආවරණය සජීවී වූ නමුත් මාධ්‍ය විසින් ඉතා සීමිත නිර්පාක්ෂික විමර්ශනයක් සහ විශ්ලේෂණයක් ලබාදුන්නේය. එය ඡන්දදායකයන්ට දැනුවත් තේරීමක් කිරීමට උපකාර වූයේය. ජාතික කරුණු පරීක්ෂකයන් සහ සිවිල් සමාජ විසින් මැතිවරණයේ විවිධ අදියරයන් සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදුන් අතර, විනිවිදභාවයද ශක්තිමත් කරන ලදී. ඔවුන් සාවද්‍ය තොරතුරු සලකුණු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා නිරීක්ෂණය කිරීම සහ වත්මන් ධුරය අනිසි ලෙස භාවිත කිරීම කෙරෙහි මහජන අවධානය යොමුකිරීම සඳහා ඉතා කඩිසර විය. මැතිවරණ රාමුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට සහාය දෙන අතරම, දේශපාලන මූල්‍යකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහාද උපකාර වෙයි. එසේම දේශපාලන ජීවිතය තුළ කාන්තා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළුව මැතිවරණ ක්‍රියාවලිය පිරිපහදු කිරීම සඳහා වැඩිදියුණු කිරීම්ද සිදුකළ හැකිය. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් මෙම කරුණු කාරණා ගැන දැඩි අවධානය යොමු කළේය….’
EUEOM නොහොත් යුරෝපා සංගමයේ ජාත්‍යන්තර මැතිවරණ මෙහෙයුම් ආයතනය, 2005 දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ අනුමත කරන ලද සංවිධානයකි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මැතිවරණ නිරීඛ්ෂණ සඳහා වූ මූලධර්ම ප්‍රකාශනයට අනුකුලව පිහිටුවන ලද පිළිගත් ජාත්‍යන්තර ආයතනයකි. මෙම සංවිධානයේ නිල නිරීක්ෂකයන් මෙවර ජනාධිපතිවරණයට සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි අතර, මැතිවරණය නිමවී පශ්චාත් කටයුතු නිරීක්ෂණය සඳහා නැවත මැතිවරණයෙන් සති දෙකක් ගතවන තුරුද මෙරට රැඳී සිටිනු ඇත. දැනට ඉහත ආකාරයට මෙම දූත මණ්ඩලය ජනාධිපතිවරණයට අදාළව මූලික සොයාගැනීම් සහ නිගමනයන් ප්‍රකාශයට පත්කළ අතර, අවසන් විස්තීරණ වාර්තාව තව දින කිහිපයකින් ප්‍රකාශයට පත්කරනු ඇත. ස්වාධීන්තවය, මැදිහත් නොවීම සහ අපක්ෂපාතීත්වය යන මාර්ගෝපදේශක මූලධර්ම තුනට ගරු කරමින් මෙම ජාත්‍යන්තර දූත කණ්ඩායම කටයුතු කරන බව ප්‍රකාශ වෙයි.
දැන් ඔබ මෙම කතාන්දරයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එනම් යුරෝපා සංගමයේ මෙම සුවිශේෂ වාර්තාවෙන් පැහැදිලිවම කැපීපෙනී ඇත්තේ කුමක්ද? එය නම් 2024 ජනාධිපතිවරණයේ යම් කටයුතු සඳහා එකල ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් බලපෑමක් සිදුකළ ආකාරය ප්‍රකාශ වී ඇත. යුරෝපා සංගමයේ එම කණ්ඩායමේ ප්‍රධානී නැචෝ සැන්චෙස් අමොර් මහතා ඒ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. මෙම සොයාගැනීම් නිසා එය අප රටට යම් අපකීර්තියක් ඇතිකරන බවද, දෙස් විදෙස් දේශපාලන විචාරකයන් කියයි. කෙසේ හෝ මෙම වටපිටාවේදී අසන්නට ලැබුණු අලුත්ම පුවතක් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ප්‍රියන්ත හෙට්ටිගේ









