ශ්‍රී ලාංකේය ප්‍රහසන කලාව නව මගකට යොමුකළ රංගන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය යූටියුබ් චැනලය වන Chooty Malli Podi Malli වෙත නවතම වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ‘විවාදය වෙන හැටි’ ලෙස නම්කර ඇති එම වීඩියෝවේ ඇති විනෝදාත්මක බව නිසාම, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එය මෙලෙස ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)
නෝනාවරුනි, මහත්වරුනි අද කතාව, ‘විවාදය වෙන හැටි’.මොන විවාදෙද?
මේක මනඃකල්පිත විවාදයක්.
ඒක ජුනි 6 වෙනවනේ.
නෑ නෑ.
ඒකට දින දීලා ඉවරනේ දැන්.
නෑ, ඒක නෙවෙයි මේ. මේක ඇවිල්ලා මනඃකල්පිත විවාදයක්. ඔන්න දැන් විවාදයට සහභාගි වන එක නායකයෙක් හමුවෙන්න මාධ්‍යවේදියෙක් එනවා. මේ තියෙන්නේ ඒ දෙන්නා අතර ඇතිවෙන සංවාදය.
මාධ්‍යවේදියා
විවාදේ හරි නේද එහෙනම්?
නායකයා
මෙහෙමයි. විවාද කරන්න ඕනෙ වෙලාවක ඕනෙ තැනක මම ලෑස්තියි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. විවාද කරන්න එයාට එන්න කියන්න මගෙත් එක්ක වැඩ කරන්න. අයියෝ… විවාද කරන්නත් මම ලෑස්තියි. වැඩ කරන්නත් ලෑස්තියි. වැඩ කරලා පුළුවන් නම් මාව පරද්දන්න කියන්න.
මාධ්‍යවේදියා
මොනවද වැඩ?
නායකයා
කුඹුරක් දෙන්න මට හාන්න. කුඹුරු යායක් තනියම හාන්න පුළුවන් මට. එහෙම නැත්නම් ගැට බෙරයක් දෙන්න. ගැටබෙරයක් ගහලා පෙන්නන්නං මං. ෆුට් බෝලයක් දීලා දෙන්නටම ගහන්න කියන්න ගෝල් එකට හරියට එයා 10යි මම 10යි ගානේ. කවුද හරියට ඉලක්කයට ගෝල් එකට ගහන්නේ කියලා බලන්න. එයාට පුළුවන්ද මාත් එක්ක.
මාධ්‍යවේදියා
මහත්තයා මෙතන ෆුට්බෝල් ගහන්නයි, ගැටබෙර ගහන්නයි නෙමෙයිනේ කතා කරන්නේ, විවාදෙකටනේ කතා කරන්නේ?
නායකයා
හරි ඉතිං. විවාදෙට මම ලෑස්තියි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එයා මොනවද මට. එයාව මම හක්කේ තියලා සෙම අරිනවා. එයාට එන්න කියන්න මාත් එක්ක හැප්පෙන්න ඕනෙ නම් වැඩවලින්. ගැටබෙරයක් ගහන්න එන්න කියන්න.
මාධ්‍යවේදියා
මොකක්ද මේ කොච්චරවත් ගැටබෙරයක් ගැන කියන්නේ…?
නෝනාවරුනි, මහත්වරුනි අද කතාව, ‘විවාදය වෙන හැටි’. එක මහත්තයෙක් විවාදෙට ලෑස්තියි කියලා කිව්වා. මේ අනෙක් නායකයාව හමුවෙන්න මාධ්‍යවේදියෙක් ගියාම ඇතිවන සංවාදය.
මාධ්‍යවේදියා
ආයුබෝවන්
නායකයා
ආයුබෝවන්
මාධ්‍යවේදියා
කොහොමද ඔබතුමාගේ සූදානම විවාදයට?
නායකයා
ඒක හරිනේ. ඕනෙ දවසක මම රෙඩී. එයාට එන්න කියන්න. තැනයි වෙලාවයි දිනයයි කියන්න කියන්න. නැත්නම් මම තැන කියන්නම්, එයාට වෙලාව කියන්න කියන්නකෝ.
මාධ්‍යවේදියා
ඔයා තැන කියනවා, එයා වෙලාව කියනවා?
නායකයා
ඕනෙ වෙලාවක.
මාධ්‍යවේදියා
හෙට අනිද්දා වුණත් ඔබතුමා අනිවාර්යයෙන් ලෑස්තිද?
නායකයා
හෙට අනිද්දා නම් බෑ.
මාධ්‍යවේදියා
ඇයි ඒ?
නායකයා
කොහොමත් පෝය පහුවෙලා.
මාධ්‍යවේදියා
ඇයි පෝය පහුවෙන්නේ?
නායකයා
වැස්සනේ. වැස්ස තුරල් වුණාම කරමු.
මාධ්‍යවේදියා
ඇයි වැස්සේ ප්‍රශ්නේ මොකක්ද?
වැස්ස නැවතුණු ගමන් කරමු. ඒකෙ ප්‍රශ්නයක් නෑ. මේක ටීවී එකෙත් යනවනේ. ඉතිං වැස්ස වෙලාවේ මිනිස්සුන්ට වීවී එකවත් බලන්න බෑනේ. හෙණ ගහනවනේ. ඒ වෙලාවට ටීවී දාගෙන ඉන්න හොඳ නෑනේ. අනිත් එක මට පීනසේ. මට පොඩි පොදයක් වැටුණත් කිඹුහුම් යනවා සීයක් විතර. විවාදෙ වෙලාවේ කිඹුහුම් යන්න ගත්තොත් සීයක් විතර ගිහින් තමයි නතර වෙන්නේ. ඒක හින්දා වැස්ස අඩුවුණාම කරමු. නැත්නම් මම බය නෑ, ඕනෙ වෙලාවක පුළුවන්.
මාධ්‍යවේදියා
ආ… බය නෑ නේ ඔබතුමා….
නෝනාවරුනි, මහත්වරුනි අද කතාව, ‘විවාදය වෙන හැටි’. මේක මනඃකල්පිත කතාවක්. ඔන්න අපේ මාධ්‍යවේදියා ආයෙත් යනවා අර මුලින්ම කතාකළ නායකයා හම්බවෙන්න.
මාධ්‍යවේදියා
මහත්මයා, දැන් හරි නේද එහෙනම්?
නායකයා
හරි හරි. මම ලෑස්තියි. මෙහෙමයි. එයාට කියන්න ඕනෙ විදියකට මම කැමැතියි. තනියම වුණත් කැමැතියි. ටීම් එක එක්ක නම් ඒත් කැමැතියි. මට ප්‍රශ්නයක් නෑ. මට තව වැඩ තියෙනවා හැබැයි. මිනිස්සු වෙනුවෙන් වැඩකරන්න තියෙන වෙලාවෙ තමයි මට මේ විවාද කරන්න වෙලා තියෙන්නේ. මොනවද අනේ එයා එක්ක විවාද කරනවා කියන්නේ. ඔය මනුස්සයට කියන්නකෝ විවාද කරන්න එන්න කියලා. වැඩ කරලා හරි මාත් එක්ක හැප්පෙන්න එන්න කියලා. දෙන්නා දෙපැත්තේ ඉඳන් ගැට බෙරයක් ගහමුද?
මාධ්‍යවේදියා
කොච්චරවත් ගැටබෙරයක් ගහන එකමයි කියන්නේ?
නායකයා
මම කියන්නේ මම ගහන පදය එයා ගහනවා. එයා ගහන පදය මම ගහනවා. ඒක තරගයක්. මොකද කියන්නේ?
මාධ්‍යවේදියා
මෙතන විවාදයක්නේ ඕනේ. ගැටබෙර ගැහිල්ලක් නෙවෙයිනේ.
නායකයා
විවාද කරමු. ඒක ප්‍රශ්නයක් නෑ. මම ලෑස්තියි.
මාධ්‍යවේදියා
කවදාද කරන්නේ එතකොට?
නායකයා
ඔයා කියන ඕනෙ දවසක මම කැමැතියි.
මාධ්‍යවේදියා
වෙසක් දවසේ?
නායකයා
මෙහෙමයි. වෙසක් දවසේ එපා. වෙසක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ සිත් සුවපත් වෙන දවසක්නේ.
මාධ්‍යවේදියා
ඉතිං
නායකයා
වෙසක් දවසේ මොහිදීන් බෙග් මහත්තයගේ සින්දුවක් එහෙම අහලා මිනිස්සු සිත් සුවපත් කරගන්න ඕනනේ. විවාදයකින් වෙන්නේ හිත්වල ද්වේෂය ඉස්මතු වෙන එකනේ. විවාදයක් වුණාම එතන තර්ක වාග් ප්‍රහාර එහෙම තියෙනවනේ.
මාධ්‍යවේදියා
ඒ කියන්නේ බෑ කියලානේ කියන්නේ?
නායකයා
නෑ නෑ. මම ඕනෙ තැනක, ඕනෙ දවසක, ඕනෙ කෙනෙක් එක්ක ලෑස්තියි. තනියම ඕනෙ නම් තනියම. එනවා නම් කියන්න ටීම් එකම. ඒත් මම ලෑස්තියි. ඕනෙ නම් කියන්න අපි ගැටබෙරේ ගහන්න. ගැටබෙරේ ගහමුද අහන්න…
නෝනාවරුනි, මහත්වරුනි අද කතාව, ‘විවාදය වෙන හැටි’. මාධ්‍යවේදියා යනවා නැවත වතාවක් නායකයෙක් හමුවෙලා විවාදය ගැන කතාකරන්න.
මාධ්‍යවේදියා
ඔබතුමාට දවස් දෙකක් යෝජනා කරලා තියෙනවා.
නායකයා
හරි. ඕනෙ දවසක්. හැබැයි වැස්සෙන් පස්සේ.
මාධ්‍යවේදියා
හරි. දවල් වරුවේ සහ හවස් වරුවේ වැඩ අධික නිසා, පාන්දර 4.30ට මේ දවස් තුනෙන් එකක විවාදෙට එන්න කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා.
නායකයා
පාන්දර 4.30ට විවාද කරනවද අනේ. නිදියන වෙලාවනේ…?
මාධ්‍යවේදියා
ඒගොල්ලෝ කියනවනේ ඒක ප්‍රශ්නයක් නෑ පැය 24ම වුණත් සූදානම් කියලා.
නායකයා
අනිත් එක පාන්දර 4.30ට මිනිස්සු ඕවා බලනවද?
මාධ්‍යවේදියා
එයා කියනවනේ පැය 24ම එයා සූදානම් කියලා ඕනෙම දේකට.
නායකයා
හරි හරි. මමත් පැය 24ම සූදානම් ඕනෙම එකකට. පාන්දර නැගිට්ටාම පීනස් අමාරුව නිසා කිඹුහුම් යනවා පින්නට. ඒකනේ කේස් එක.
මාධ්‍යවේදියා
ඒ කියන්නේ ඔබතුමා විවාදෙට සූදානම් නැද්ද?
නායකයා
ඈ…. ඕනෙ වෙලාවක සූදානම්. හැබැයි පාන්දර බෑ.
නෝනාවරුනි, මහත්වරුනි අද කතාව, ‘විවාදය වෙන හැටි’. අර මාධ්‍යවේදියා දැන් ආයෙත් ගිහින් අනෙක් නායකයා මුණගැහෙන්න. එතැනදී දෙන්නා අතර මේ විදියේ සංවාදයක් ඇතිවෙනවා.
මාධ්‍යවේදියා
මහත්තයා, අරගොල්ලෝ කිව්වනේ වැස්ස ඉවර වෙන්න ඕනේ කියලා විවාදෙට එන්න. එතකොට මේ මාසේ නෙවෙයි. ලබන මාසෙත් නෙවෙයි. ඊළඟ මාසේ මුල්ම බදාදා තමයි දවස.
නායකයා
ඈ….?
මාධ්‍යවේදියා
ඒ කියන්නේ මැයි නෙවෙයි. ජුනිත් නෙවෙයි. ජූලි මාසේ මුල්ම බදාදා.
නායකයා
බදාදා නේද? බදාදා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. බදාදා බෑ.
මාධ්‍යවේදියා
එහෙනම් සෙනසුරාදා.
නායකයා
සෙනසුරාදත් බෑ.
මාධ්‍යවේදියා
ඒ කියන්නේ බයේනේ?
නායකයා
බයේ නෙවෙයි. මම මොකද එයාට බය?
මාධ්‍යවේදියා
ඇයි එහෙනම් බදාදා බැරි?
නායකයා
බදාදයි සෙනසුරාදයි කෙම්මුර දවස්නේ. කෙම්මුර දවස් මට හොඳ නෑ. කෙම්මුර දවස්වලට මට යක්ෂයා ආරූඪ වෙනවා වැඩියි. විවාදෙ අස්සේ අරයා මට වඩා හයියෙන් කතා කළොත් මට කේන්ති යනවා. එයා නැගිටලා මට පාරක් ගහලා මම එයාට පාරක් ගහලා මිනිහා මළොත් මොකද වෙන්නේ? එතන ලොකු කේස් එකක්නේ. ඝාතනයක් සිද්ධ වෙන්න පුළුවන්.
මාධ්‍යවේදියා
බෑ කියන එකනේ කියන්නේ?
නායකයා
මට මොකද බැරි? හක්කේ තියලා සෙම අරින්නේ. ගැටබෙරේ ගහමුද අහන්න….









