කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ උන්වහන්සේලා හමුවේ පැහැදිළි කර ඇති ජනාධිපතිවරයා රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්වයන් දුන් සහාය අතිමහත් බව අවධාරණය කොට තිබේ.
තමන් හට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය සහ අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ද ජනාධිපතිවරයා උන්වහන්සෙලාට පෙන්වා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තබා තිබූ සටහන මෙසේය.
සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට මම අපේක්ෂා කරමි. ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් රුවන්වැලි සෑය අභියසදී මෙන්ම ජනාධිපති ධූරයේ වැඩභාරගනිමින් මම ප්‍රකාශ කළ පරිදි මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මගපෙන්වීම සැමදා උතුම්කොට සලකමි.

සමස්ත මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය මා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කළහ.
පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය අවධාරණය කළහ.
පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවසූහ.
වෛරසය මර්දනයට සහ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මා ගෙන යන ක්‍රියාමාර්ග දෙස අවධානය යොමු කිරීමේ දී නව චින්තනයක් රට තුළ ක්‍රියාත්මක බව දිස් වෙන බවත් එය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට “සෞභාග්‍යයේ චින්තනය” මැයෙන් එකතුවිය යුතු උප නියැදියක් වශයෙන් ගතයුතු බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ කියා සිටියහ.

කොරෝනා වෛරසය මර්දනයේදී මා ගෙන යන වැඩපිළිවෙළෙන් ලොව සෙසු රටවලට ද පාඩමක් උගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. රටේ තරුණ පරපුර සහ විවිධ කණ්ඩායම් නව නිර්මාණ රැසක් සිදුකර ඇත. එය ඉදිරි අනාගතයට මග පෙන්වන ස්වර්ණමය අවස්ථාවක් බවත්, මාගේ වැඩපිළිවෙලට මහා සංඝරත්නය නිරන්තරයෙන් ශක්තියක් වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මාතෘ භූමිය ආරක්ෂා කරගැනීමට ඉවහල් වන කරුණු 12ක් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කළහ.
මෙවර වෙසක් උත්සවය විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිවරු පෙන්වා දුන්හ. ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ.

යාචක පිරිසට ද උණු බත් කෑමට අවස්ථාව සලසමින් සියලු ජනතාවගේ කුසගින්න නිවීමට මා ගත් ක්‍රියාමාර්ග මහා සංඝරත්නයේ ප්‍රශංසාවට නිතැතින්ම ලක්වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පැවසූහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටියහ.










