රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ පෙත්සමේ අවසන් තීන්දුව ලබාදීම මැයි 08 වැනිදා සිදුවිය. ඒ, වසර හතරකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් පැවැති නඩු කටයුතුවලින් අනතුරුවය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුස්සකු නොවන බවටය. එසේ නම් දැන් ඩයනා ගමගේට සිදුවන්නේ කුමක්ද? මේ, ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකි. (Sri Lanka Latest News)
‘නිදහසින් පසු බි්‍රතාන්‍ය ජාතිකයෙක් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රථම අවස්ථාව’
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වනු ලැබීය.
‘නිදහසින් පසු පළමු වතාවට බි්‍රතාන්‍ය ජාතිකයෙක් අවුරුදු හතරකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා. ඇය ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද ලැබුවා. පසුගිය වසර ගණනාවකම මම ගෙනගිය සටනට අද හොඳ උත්තරයක් ලැබිලා තිබෙනවා.’
‘අධිකරණ නියෝගය ලැබුණු වහාම ක්‍රියාත්මක වෙනවා’
රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හරහා සිදුවන්නේ කුමක්දැයි විමසීමට අප ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජනකාන්ත ද සිල්වා සම්බන්ධ කරගන්නා ලදී. එහිදී ඔහු පැවැසුවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත අධිකරණ නියෝගය ලැබී නොමැති බවත්, එය අද දවස තුළ පාර්ලිමේන්තුව වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
‘අධිකරණ නියෝගය එනතෙක් අපට කරන්න වෙන්නේ මොකක්ද කියන එක ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බෑ. අධිකරණ නියෝගයේ තිබෙන විධිවිධාන මොනවද කියලා බලලා තමයි අපට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් මියගිහින් හෝ ඉල්ලා අස්වෙලා හෝ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ වහාම අපි මැතිවරණ කොමිසමට දැනුම්දීම සිදුකරනවා. නමුත් මේ අවස්ථාව විශේෂ සිදුවීමක් නිසා අපට නියෝගය ලැබෙන තෙක් ඒ ගැන කියන්න හැකියාවක් නෑ’ සන්නිවේදන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
‘අපට කරන්න කිසි දෙයක් නෑ’
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙලෙස අදහස් පළ කළේය.
‘මේ ගැන අපට කරන්නවත් කියන්නවත් කිසි දෙයක් නෑ. අධිකරණ නියෝගය දීලා ඉවරයි. එතැනින් පස්සේ අපට කරන්න දෙයක් නෑ. අධිකරණයෙන් එන්න එපා කියනවා නම් එයාට පාර්ලිමේන්තුවට එන්න බෑ. එච්චරයි….’
සජබට හිමි වූ ආසනය සහ ඩයනාගේ නිහඬතාව
ඩයනා ගමගේ 2020 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි. කෙසේ නමුත් ඇය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වූ අතර, මෙම තීන්දුව ලැබෙන විට ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යටතේ රාජ්‍ය ඇමැති ධුරයක් දරමින් සිටියාය. අධිකරණ තීන්දුවට අනුව ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි වන නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් වෙනත් අයකු යෝජනා කිරීමේ අවස්ථාව නැවත සමගි ජන බලවේගයට හිමිව තිබේ.
මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණේ එම මන්ත්‍රී ධුරය නීතිඥ මුජිබර් රහුමාන්ට ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බවයි. සමගි ජනබලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා මන්ත්‍රී ධුරය සඳහා වන යෝජනාව මැතිවරණ කොමිසමට යවන බවය.
මෙලෙස මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා ගමගේ විසින් ඉදිරියට සිදුකරන්නේ කුමක්ද, ඇයගේ අනාගත දේශපාලන කටයුතු සිදුකරන්නේ කෙසේද යන කාරණා පිළිබඳ විමසීමට ඇයව සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී උත්සාහ කළ නමුත් ඇය දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.
මන්ත්‍රී ධුරය දැරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පූර්ණ තීන්දුව කුමක්ද?
ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මැයි 8 වැනිදා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය. එමෙන්ම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වගඋත්තරකාර ඩයනා ගමගේට නියෝග කරන ලදී.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඕෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි. එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග විය. එහි තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය. එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
‘බලය අයුතු ලෙස පරිහරණය කරලා’
එසේම ඩයනා ගමගේගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
දීර්ඝ විභාගයකින් අනතුරුව ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ ‘වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බි්‍රතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝබර් තම මස 05 වැනිදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණ වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ විසින් බි්‍රතාන්‍ය පුරවැසිභාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා’ යනුවෙන් සඳහන් කළේය.
තීන්දුව වැඩිදුරටත් ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා ‘වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වගඋත්තරකාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහෙස්ත්‍රාත්වරයා විසින්ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වගබලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියකුම සමාන සැලකිලි ලැබිය යුතු බව ත් අවධාරණය කර තිබෙනවා’ යනුවෙන්ද සඳහන් කළේය.
(copy paste) තීන්දුව
ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරූ අතර එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එය ප්‍රතික්ෂේප කිරීමටද නියම කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ ‘අභියාචනාධිකරණය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී එම නඩුකරයට අදාළව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනීයනවා එම අධිකරණයට වගඋත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුළත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරැදිසහගතයි’ යනුවෙන් සඳහන් කර සිටියේය.
වගඋත්තරකාර ඩයනා ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.
‘මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්‍යාවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්හළ බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යනුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා’ යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා, ඒ අනුව ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල ශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශ කර තිබූ තීන්දු සියල්ල ඉවත දමන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
ඒ අනුව ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් ‘කෝ වොරන්ටෝ’ රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එසේම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර ඩයනා ගමගේට නියෝග කරන ලදී.
මෙහිදී පෙත්සම්කාර ඕෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් පෙනීසිටි අතර, වග උත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි










