ස්වාධින අපෙක්ෂකයෙකු ලෙස 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඉදිරියේදී පැමිණිමට නියමිතව තිබෙන්නේ ජනාධිපති මැතිවරණය බවත් ජනාධිපති මැතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ පැවැති රැළියේදී ප්‍රකාශ කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවැසීය.
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රතිවාදියෙක් ලෙස පෙනෙන්නේ නැති බවත් කුලියාපිටියේ පැවැති රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ සම්පුර්ණ කතාව හරහා සමගි ජනබලවේගයට වාග් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු සාමාන්‍යයෙන් නොකියන දේවල් එම කතාව තුළ අඩංගු වූ බවත් සුජීව සේනසිංහ මහතා කීය.
අද (11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහභාගි වෙමින් මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද පැවැසීය.
‘‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වන මංගල රැළිය කුලියාපිටිය ප්‍රදේශයේ පැතැත්වීමට කටයුතු කරලා තිබුණා. සමගි ජන බලවේගයට ප්‍රහාර එල්ල කිරීම තමයි මෙම රැළියේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජනබලවේගය විශාල කරදරයක් වෙලා තිබෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. සියලුම පාර්ශ්ව ප්‍රහාර එල්ල කරන්නේ සමගි ජනබලවේගය ඉලක්ක කරලා. ඒ ප්‍රහාර එල්ල වෙන්නේ දිනන කණ්ඩායමට. අපි බලාපොරොත්තු වෙනවා සමගි ජනබලවේගය තවදුරටත් ශක්තිමත් කරලා ජයග්‍රහනය කරන්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුරුණෑගල පැවැති රැස්වීමේදී විශාල වාග් ප්‍රහාර එල්ල කළා. ඔහු සාමාන්‍යයෙන් නොකියන දේවල් කතාව තුළ දකින්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කතාවේ යම් යම් ප්‍රකාශවලින් වෛරී සහගත ප්‍රකාශත් නිකුතු වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජි.එල් පීරිස්ට සාමාන්‍යයෙන් ප්‍රහාරයක් එල්ල කරන්නේ නෑ. ජි.එල් පීරිස්ට වාග් ප්‍රහාර එල්ල කරමින් ඔහු සට්ටබිරාලගේ කාර්යය ඉටු කරන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
සමගි ජන සන්ධානය හරහා විශාල ශක්තියක් , බලයක් සමගි ජනබලවේගයට පැමිණෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගිටම උත්සහ කරන්නේ ජි.එල් පීරිස් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගයට එකතු වීම වළක්වන්න. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල ප්‍රයත්නයක් දරනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුරුණැගල පැවැති රැස්වීමේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පිළිබඳවත් අදහස් දැක්වූවා. විශේෂයෙන්ම කියන්න ඕන රටේ පැවැති දේශපාලන අර්බුදයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සෘජුව ප්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් ඉවත්වෙන්න කැමැතිනම් ජනාධිපතිධූරය භාරගන්න කැමැතියි කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා රාජපක්ෂවරු සමඟ කිසිදු ගණුදෙනුවක් ඇති කරගත්තේ නෑ.
ඒ වගේම නාමල් රාජපක්ෂගේ , බැසිල් රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ සහයෝගයෙන් තමයි සට්ටම්බිරාලගේ කාර්යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරගෙන යන්නේ.
ජනාධිපතිවරයා පැවැසුවා ඔහු සත්‍ය ප්‍රකාශ කිරිම හේතුවෙන් බිංදුවටම වැටුණා කියලා. ඔහු බිංදුවට වැටුණේ එක්සත් ජාතික පක්ෂයට සිදුකළ හානිය නිසා. එක්සත් ජාතික පක්ෂයට සිදුකළ හානියට එක්සත් ජාතික පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පිළිතුරු දීලා තිබුණා.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු නොවුනානම් රටේ ජනාධිපති වෙන්නේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. නමුත් ඒ සියල්ල පසෙක තමා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සහ රට ඉදිරියට යා යුතුයි කියලා හිතපු ජනතාව සමගි ජනබලවේගයට විශාල ජන වරමක් ලබාදුන්නා. එක්සත් ජාතික පාක්ෂිකයින් රනිල් වික්‍රමසිංහව බිංදුවට බස්සලා ජනතාව රනිල් වික්‍රමසිංහට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පිළිතුරු දීලා තිබුණා.
ස්වාධින අපෙක්ෂකයෙකු ලෙස 2024 ජනාධිපතිවරණයට සහභාගි වන බව කුලියාපිටියේ පැවැති රැළියේදී ජනාධිපතිවරයා සඳහන් කළා. ඔහු විසින් රට තුළ ඇති කළ දේශපාලන ව්‍යාකූලත්වය පැත්තකින් තියලා ජනාධිපතිවරණය පැමිණෙන බව ප්‍රකාශ කළා. ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සඳහන් කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහව අපිට ප්‍රතිවාදියෙක් ලෙස පෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ සම්පුර්ණ කතාව පාවිච්චි කළේ සමගි ජනබලවේගයට පහරදීමට. සමගි ජනබලවේගය දේශපාලන කරළියේ ඉදිරියෙන්ම සිටින පක්ෂය බව එයින් පෙනී යනවා.
ඉදිරි මාස කිහිපය තුළ රටේ ජනතාවගේ ජන මතය වෙනස් කරන්න රට පුරා ජන රැළි පවත්වන්න සමගි ජනබලවේගය වැඩකටයුතු සූදානම් කරලා තිබෙනවා. රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩා වැඩි හැකියාවක් සමගි ජනබලවේගය සතුව තිබෙනවා. සමගි ජනබලවේගය කියන්නේ පිරිසිදු පක්ෂයක්. රටේ ආර්ථිකය දියුණු කිරිමේ හැකියාවත් සමගි ජනබලවේගය සතුව තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුලියාපිටිය ජන රැළියේදී ඩීස්. එස්ලා ,ඩඩ්ලිලා ගැන කතා කළා. ඔහුට කිසිදු අයිතියක් නෑ ඩීස්.එස්ලා ,ඩඩ්ලිලා ගැන කතා කරන්න. ඔවුන් ගැන කතා කරන්න අයිතිය තිබෙන්නේ අපිට. ඔවුන්ගේ නමට සහ එක්සත් ජාතික පක්ෂයට කැළලක් කළේ රනිල් වික්‍රමසිංහ. 1994 න් පසුව ප්‍රේමදාස කෙනෙක් , ගාමිණි දිසානායක කෙනෙක් , ලලිත් ඇතුළත්මුදලි කෙනෙක් , ජේ ආර් කෙනෙක් බිහිකරන්න රනිල් වික්‍රමසිංහට බැරි වුණා. 1994 න් පසුව මහවැලි ව්‍යාපෘතියක් , ගම්උදාවක් , ඇඟලුම් කර්මාන්තයක් ඇතිකරන්න අවස්ථාවක් ලැබුනේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දක්ෂයින්ට කවදාවත් තැනැක් දුන්නේ නෑ. ඔහු මූලිකත්වය දුන්නේ ඔහුගේ ගෝලයන්ට. රට සංවර්ධනය කරන්න පුලුවන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බිහි කළේ නෑ.
අවුරුදු 30 ක් තුළ ඡන්ද 6 ක් , ජානාධිපතිවරණ 6 ක් පැවැත්වුවා. ඒ මැතිවරණ කිසිවක් තුළ එක්සත් ජාතික පක්ෂය දිනවන්න රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබුනේ නෑ. ඔහුගේ දේශපාලනය බිංදුවට බැස්සට පස්සේ තමයි නැවත දේශපාලනය ආරම්භ කරන්නේ.
මහවැලි ව්‍යාපෘතිය , ගම්උදාව , ඇඟලුම් කර්මාන්තශාලා ඇති කිරිමට එහා ගිය ව්‍යාපෘති බිහිකරලා රට දියණු කරන්න හැකි සැලැසුම් සමගි ජනබලවේගය විසින් නිර්මණය කරලා තිබෙනවා. දැනට රට ගොඩනගන , ජනතාවට සහන දෙන සහ ජනතාව ජීවත් කරවන සැලසුම් 30 ක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අනුව රට ගොඩගන්න හැකි ශක්තිය ලබාදෙන්න සමගි ජනබලවේගයේ කණ්ඩායම සුදානම්.‘‘
Sri Lanka Latest News










