රට තුළ මතුව ඇති ආර්ථික අවපාතයෙන් මිදීම සදහා සේවක අර්ථසාධක අරමුදල් ශේෂයෙන් කොටසක් සාමාජිකයින්ට සෘජුවම මුදා හැරීමේ උපායමාර්ගය අනුගමනය කළ යුතු බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කොට ඇත.
රුපියල් බිලියන 2,500 ක් පමණ වන EPF අරමුදල් ශේෂයෙන් 20%ක් (රුපියල් බිලියන 500 ක් පමණ) සාමාජිකයින්ට ඍජුවම නිදහස් කිරීම කළ එම යෝජනාව වෘත්තීමය, තාක්‍ෂණික හා විද්‍යාත්මක එකක් බව ඒ මහතා පෙන්වා දේ.
එවැනි යෝජනාවක් ක්‍රියාත්මක වුවහොත්, EPF සාමාජිකයින්ට, රටේ මූල්‍ය පද්ධතියට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ලැබිය හැකි ප්‍රතිලාභ කබ්රාල් මහතා එළි දක්වා තිබුණේ මෙසේය.
පසුගියදා, මා එම යෝජනාව ඉදිරිපත් කළේ (සහ ඉදිරි දින කිහිපය තුළ තවත් යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ) හිටපු මහ බැංකු අධිපතිවරයකු වශයෙන්, කොවිඩ්-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ ජන ජීවිතය නැවත ගොඩ ගැනීමට, ඉදිරි උපාය මාර්ග පිළිබඳ දැන් සිටම සාකච්ඡාවක් ආරම්භ කළ යුතු යැයි මා තරයේ විශ්වාස කරන බැවිනි.
2006-2014 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය බොහෝ දැවැන්ත අර්බුදයන්වලට මුහුණ දුන් බව අප සියලු දෙනාම දන්නා කරුණකි.
ගෝලීය මූල්‍ය කඩා වැටීම, ගෝලීය ආර්ථික පසුබෑම, ගෝලීය තෙල් අර්බුදය සහ ගෝලීය ආහාර හිඟයට අප මුහුණ දුන්නේ එම කාල පරිච්ඡේදයේදීය. ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී යුද්ධයක් පැවති අතර, එය අවසන් වූ වහාම විශාල ප්‍රතිසංස්කරණ ඇති කිරීමටද සිදු විය.
එවන් දැවැන්ත අර්බුද මධ්‍යයේ, මහ බැංකුවේ අධිපතිවරයා ලෙස මා සේවය කළ බැවින්, දුෂ්කර කාලවලදී ආර්ථිකයක් කළමනාකරණය කිරීම පිළිබඳ මට යම් අත්දැකීමක්, විශේෂඥතාවයක්, පළපුරුද්දක් සහ දැනුමක් තිබිය හැකි බව කෙනෙකුට නිගමනය කළ හැකැයිද මා සිතමි. ඇත්ත වශයෙන්ම, එම කාලය තුළදී ඉහත කී විශාල අභියෝගයන්ට මුහුණදීමට සිදු වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය ඇ.ඩො.බි. 24 සිට ඇ.ඩො.බි. 79 දක්වා වර්ධනය කිරීමට අපට හැකි වූ අතර, වසරක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6% ඉක්මවිය. දිළිඳුභාවය සැලකිය යුතු අන්දමකින් පහළ වැටීය. යටිතල පහසුකම් වර්ධනය වීය. එමෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අඩුම ක්ෂය වීම වාර්තා වුයේද එම කාල සිමාව තුළය. තවද, විදේශ සංචිත හතර ගුණයකින් වැඩි වූ අතර පොලී අනුපාත තනි ඉලක්කම් කරා ගෙන එන ලදී. ඒ නිසා, සියලු ව්‍යාපාර ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් සමෘද්ධිමත් විය. විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට අඛණ්ඩව ප්‍රේශනය වීය. මීට අමතරව, මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යන ලද අතර, එක් බැංකුවක් හෝ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්වත් කඩා වැටීමට ඉඩ නොදුනි.
පසුබිම මෙසේ තිබියදී, කෝවිඩ්-19 වසංගතයෙන් ඉදිරියේ දී සිදු වෙන ආර්ථික අවපාතයෙන් ජය ගැනීම සඳහා මා මේ අවස්ථාවේ දී ඉදිරිපත් කොට ඇති තාක්ෂණික සහ වෘත්තිමය අදහස්වලට සමහර දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සහකරුවන් දේශපාලන කෝණයකින් විවේචනය කිරීම හේතුවෙන්, මා කිසිසේත් අමනාප වෙන්නෙත්, අධෛර්ය වන්නෙත් නැති බව කිව යුතුය.
ඒ සමගම, මා ඔවුනට තවදුරටත් කියන්නේ මේ නව ගෝලීය අර්බුදය ඉදිරියේ, සාම්ප්‍රදායික “රාමුවට පිටතින්” සිතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය රැක ගැනීමට අප කටයුතු නොකළහොත්, අප සියලු දෙනාටම ඉතා විශාල පීඩනයකට ලක් වන්නට සිදුවන බව ය.
මා සිතන ආකාරයට, අප රට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ අප මහජනතාවගේ සහ ශ්‍රම බළකායේ යහපැවැත්ම සහතික කිරීමට මා දැනට ඉදිරිපත් කර ඇති සහ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ග බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත්, වෙනත් පුද්ගලයකු හට ඊට වඩා හොඳ අදහස් හා උපාය මාර්ග තිබිය හැකි බවද මා නිහතමානීව පිළිගනිමි. එවැනි අදහස් සහ උපාය මාර්ග තිබේ නම්, එවැනි ප්‍රතිපත්ති හෝ උපාය මාර්ග ක්‍රියාත්මක කරන ලෙසත් මා ඔවුන්ගෙන් සාදරයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
අජිත් නිවාඩ් කබ්රාල්










