• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් එකක් ගහපු වෙලාවේ තත්පර 30න් පාර්ලිමේන්තුව කල් තියපු හැටි… මිරිස් කුඩු-පුටුවලින් ගහගද්දි සභාව පවත්වා ගෙන ගිය හැටි… අරගලය වෙලාවේ පාර්ලිමේන්තුවට පනින්න ආපු අරගලකරුවන්ව බය කරපු හැටි… මන්ත්‍රීවරු සෙංකෝලය අරන් දුවද්දී ආරක්ෂා කරපු හැටි… පාර්ලිමේන්තුවේ අවුරුදු 42ක අත්දැකීම් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පළමුවරට රටට හෙළි කරයි I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලුතිනන් ජෙනරල්වරයකුගේ නිලයට සමාන නිලයක් දරන, පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ආයුධයක් රැගෙන යෑමේ නිල අවසරය හිමි එකම නිලධාරියා වන වර්තමාන පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42ක සේවා කාලයක් ඇති පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ධුරය දරන ඔහු වේත්‍රධාරී තනතුරට පත්වූ පසු මන්ත්‍රීවරු වැඩිම අවස්ථා ගණනකදී සෙංකෝලය පැහැර ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කිරීමේ අත්දැකීමට මුහුණ දුන්නේය.(Sri Lanka Latest News)

මිරිස් කුඩු ප්‍රහාරය සහ ග්‍රෙනේඩ් ප්‍රහාරය සිදුවූ සමයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු විශේෂ කාර්යයක් ඉටුකළ අතර, අරගලය පැවැති අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීමට සහ පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ බොහෝ අභියෝගයන්ට මුහුණ දීමටද ඔහුට සිදුවිය.

ඔහු සතු එම අත්දැකීම් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා BBC සිංහල සේවය සමග පසුගිය දිනෙක පැවැති සාකච්ඡාවක දී විස්තර කළේය. එම සාකච්ඡාව බීබීසී සිංහල වෙබ් අඩවියෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

ඔබේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 42ක්. මුලින්ම කියන්න ඔබ පාර්ලිමේන්තුවට සම්බන්ධ වුණු ආකාරය ගැන?

ඉසිපතන විද්‍යාලයේ මම පළමු වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. මම පාසලේ ප්‍රථම පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඊට අමතරව මම මලල ක්‍රීඩා අංශයේ ජාතික මට්ටමේ තරග දිනලා තියෙනවා. ඒ වගේම මම කලම්බෝ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා. උසස් පෙළ විභාගය සමත් වෙලා වාණිජ අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න මට අවස්ථාව හිමිවුණා. පාසලෙන් ඉවත් වෙනකොටම මට ආරාධනාවක් ලැබුණා මහාරාජා සමූහ ආයතනයෙන්. එහි කනිෂ්ඨ විධායක නිලධාරියෙක් විදියට සේවයට එක්වෙලා එහි ක්‍රිකට් කණ්ඩායම නියෝජන කරන්න. මට ඒ සඳහා රුපියල් 750ක වැටුපක් ගෙවන්න එකඟ වුණා.

ඒ කාලේ මගේ තාත්තා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරකවරයෙක් වශයෙන් සේවය කරලා විශ්‍රාම ගිහින් හිටියේ. තාත්තා මට කිව්වා පාර්ලිමේන්තුවේ දෙවැනි ශ්‍රේණියේ ලිපිකරු තනතුරක පුරප්පාඩුවක් තියෙනවා, ඒකට ඔයා යන්න කියලා. ඒ අනුව 1981 දෙසැම්බර් මාසේ මට පාර්ලිමේන්තුවේ දෙවැනි ශ්‍රේණියේ ලිපිකරු තනතුර ලැබුණා. ඒ කාලේ පාර්ලිමේන්තුවේ තිබුණේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවත්, පරිපාලන දෙපාර්තමේන්තුවත්, හැන්සාඩ් දෙපාර්තමේන්තුවත් විතරයි. 80 දෙනකුගේ විතර කණ්ඩායමක් තමයි ඒවායේ සේවය කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 168 දෙනෙක් හිටියා. ඒ 168 දෙනාට අපි 80 දෙනා තමයි සේවය කළේ.

එදා 80 දෙනාගේ කණ්ඩායමේ හිටපු ඔබ, අද කීදෙකුට නායකත්වය දෙනවද?

අද මගේ දෙපාර්තමේන්තුවේ විතරක් ඉන්නවා 140 දෙනෙක්. මේක පාර්ලිමේන්තුවේ තියෙන පැරැණිතම දෙපාර්තමේන්තුව. එය ඇතිකළේ 1947දී. ඒ කාලේ ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වේත්‍රධාරියා වෙලා ඉඳලා තියෙන්නේ එම්. ඉස්මයිල් කියන මහත්මයා. ඔහුගෙන් පටන් අරගෙන ආර්.ජේ. ද සිල්වා, රොනී අබේසිංහ, විජය පල්ලියගුරුගේ, අනිල් පරාක්‍රම සමරසේකර යන වේත්‍රධාරිවරු ලෙස කටයුතු කළා. දැන් මම හයවැනි වේත්‍රධාරියා ලෙස කටයුතු කරනවා. ඒ අවුරුදු හැත්තෑ ගානටම අද වනතුරු ඉඳලා තියෙන්නේ වේත්‍රධාරිවරු 6 දෙනයි. පසුගිය 11 වැනිදා ‘වේත්‍රය’ට ඒ කියන්නේ සෙංකෝලයට වසර 75ක් සම්පූර්ණ වුණා.

සෙංකෝලය බොහොම වටිනා දෙයක්. 1949දී ඇස්තමේන්තු කරලා තිබුණා එය බි්‍රතාන්‍ය පවුම් 2,500ක් වටිනා බවට. එය මැණික් ඇතුළු වටිනා ද්‍රව්‍ය රැසක් යොදාගෙන සාදපු විශිෂ්ට නිර්මාණයක්. මේ සෙංකෝලය කොච්චර විතර බරයිද?

මේක රාත්තල් 28ක් බරයි. කිලෝවලින් ගත්තොත් 13.2ක් විතර. දිගින් අඩි 4ක් පමණ වෙනවා. කැරට් 18 රත්‍රන් එහි තියෙනවා. පලිඟු තියෙනවා. පිරිසිදු රිදී තියෙනවා. නිල් මැණික්වලින් කරපු වළලු දෙකක් තියෙනවා. කළුවර ලී කැබැල්ලක් තියෙනවා. සෙංකෝලය කොටස් 28කට ගලවන්න පුළුවන් කියලා කියනවා. නමුත් අපි තවම එය ගලවලා නැහැ. මම ඇතුළු හිටපු වේත්‍රධාරීවරු හැම කෙනෙක්ම මේ සෙංකෝලයට කිසිදු හානියක් වෙන්න නොදී අද වෙනතුරු ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා.

පසුගිය කාලේ ඇතිවෙච්ච විවිධ කලබලකාරී අවස්ථාවලදී ඔබතුමා සෙංකෝලය ආරක්ෂා කරගත්තා. එවැනි සිදුවීම් අතර තියෙන අමතක නොවන විශේෂම සිදුවීම මොකක්ද?

එවැනි අවස්ථා කිහිපයක් තියෙනවා. එක් අවස්ථාවක මම හිටියේ සහකාර වේත්‍රධාරීවරයා විදියට. වේත්‍රධාරීවරයා හිටියේ විජය පල්ලියගුරුගේ මහත්මයා. එදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් සෙංකෝලය උස්සගෙන දිව්වා. අපි ඒ වෙලාවේ අනෙක් පැතිවලින් ගිහින් එතුමාව නතර කරගෙන සෙංකෝලය ලබාගන්න කටයුතු කළා. තවත් අවස්ථාවක විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් සෙංකෝලය අරගෙන දිව්වා. ඒ වෙලාවෙත් ඔහුට සභා ගර්භයේ ආලින්දයෙන් පිටතට යන්න නොදී අපි සෙංකෝලය ආරක්ෂා කරගත්තා.

පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී සිදුවීමක් වෙනකොට මන්ත්‍රීවරු විශාල පිරිසක් ඊට මැදිහත් වෙනවා. ඒ වගේ වෙලාවට ඔබතුමා තනිවම කොහොමද සෙංකෝලය ආරක්ෂා කරගන්නේ?

ඒ වගේ සිදුවීමක් වෙන්න යන බව තේරෙනකොට මම කරන දෙයක් තමයි එක කකුලක් එළියට දාන එක. මම වාඩිවෙලා ඉන්න ආසයේ ඉඳලා දුවන්න සූදානම් වෙනවා. ඒ වගේම මම මුළු සභාගර්භය දිහාම හොඳ විමර්ශනයකින් ඉන්නවා. මන්ත්‍රීවරු කරන්න යන්නේ මොකක්ද කියන එක ගැන. එක් අවස්ථාවක මන්ත්‍රීවරු දහ දෙනෙක් විතර මා සමග පොරබැදුවා. ඒ වෙලාවේ සෙංකෝලය තියෙන ආධාරකයේ ඉඳලා අඩි 10ක් විතර මාව ඇදගෙනත් ආවා. නමුත් මම සෙංකෝලය අතහැරියෙම නෑ. ඒ වෙලාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට මම තදින් කිව්වා ‘ඔබතුමාවත් මේක නවත්තන්නේ නැද්ද?’ කියලා. ඒ අනුව එතුමා අනෙක් මන්ත්‍රීවරුන්ට යම් සංඥාවක් කළාම තත්ත්වය ටිකක් යහපත් වුණා.

තවත් අවස්ථාවක හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, චමින්ද විජේසිරි කියන මන්ත්‍රීතුමන්ලා ඇතුළු පිරිසක් ඇවිත් කලබලයක් කළා. මාව බිම ඇදෙගන වැටුණා. නමුත් මම සෙංකෝලය උඩට ගත්තා. අතහැරියෙම නැහැ. වේත්‍රධාරීගේ ප්‍රධාන කාර්යභාරය සහ වගකීම තමයි සෙංකෝලය ආරක්ෂා කරගැනීම. ඒ වෙලාවේ නියෝජ්‍ය වේත්‍රධාරිවරයා සහ සෙසු කාර්යමණ්ඩලය එකතු වෙලා මාව උඩට ඇදලා ගත්තා. ඇතැම් අවස්ථාවල මට ජීවිත තර්ජන පවා එල්ල වෙලා තියෙනවා.

තවත් වෙලාවක අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා ආවේගශීලී වෙලා සෙංකෝලය ළඟට එන්න හැදුවා. ඔහු එනකොටත් මම සෙංකෝලය ළඟට දුවලා ඉවරයි. ඔහු ආපු ගමන්ම සෙංකෝලෙට ගැහුවා. මම ඒ වෙලාවේ සෙංකෝලය තදින් අල්ලගෙන හිටියේ. ඒත් එක්කම මගේ සහායකයෙක් ඇවිල්ලා මාව ඇදලා ගත්තා. මේ වගේ වෙලාවට අපි කරන දෙයක් තමයි අපට තර්ජනය එන පැත්ත මොකක්ද කියලා බලලා, ආරක්ෂිත තැනකට යන එක. එක් අවස්ථාවක මට විශාල ප්‍රශ්නයක් වුණා. මොකද පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් සෙංකෝලය, එහි ආධාරකයෙන් පිටතට අරගෙන නෑ, ඒ ආධාරකයේ තියෙද්දීම තමයි ආරක්ෂා කරගන්නේ.

නමුත් ලොකු තර්ජනයක් එල්ලවුණු අවස්ථාවක මම සෙංකෝලය ආධාරකයෙන් අරගෙන, ආණ්ඩු පක්ෂයේ මහලේකම්වරු ඉන්න පැත්තට ගියා. ඒ වෙලාවේ ඒක ලොකු ආන්දෝලනයක් බවට පත්වුණා පාර්ලිමේන්තුව ඇතුළේ. වේත්‍රධාරිවරයා සෙංකෝලය ආධාරකයෙන් අරගෙන ගිය නිසා පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බෑ කියලා. ඒ වගේම එදා පැවැති විවාදවල නීත්‍යනුකූල බව ගැනත් පුවත්පත්වලින් ප්‍රශ්න කරලා තිබුණා. නමුත් මම ඒ ගැන කරුණු පැහැදිලි කළා. 17 වැනි ශතවර්ෂයේ එංගලන්ත පාර්ලිමේන්තුවේත් මෙවැනිම සිදුවීමක් වෙලා තියෙනවා. එහි සෙංකෝලය අරගෙන ගිහින් පාර්ලිමේන්තුව අසලින් ගලායන තේම්ස් නදියට වීසි කරලා තිබුණා.

එය හොයාගන්න දින 3ක් ගතවෙලා තිබුණා. ඒ කාලේ එංගලන්ත පාර්ලිමේන්තුවේ හිටපු කතානායක ඇතුළු බලධාරීන් කියලා තිබුණා, සෙංකෝලය බලෙන් පැහැරගැනීමක් නිසා විවාද අහෝසි වෙන්නේ නෑ කියලා. ඒ අනුව එවක ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ මහත්මයා තීන්දු කළා ඉහත සිදුවීම පාදක කරගෙන, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාවක් සිදුවෙන්නේ නෑ කියලා. මොකද වේත්‍රධාරිවරයා සෙංකෝලය පිටතට අරගෙන ගියොත් පමණක් පාර්ලිමේන්තු කටයුතු අහෝසි වෙන්නේ. නමුත් එදා අපේ පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් නෙවෙයිනේ සිදුවෙලා තිබුණේ.

මම තරම් අභියෝගවලට මුහුණ දීපු වේත්‍රධාරියෙක් ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තවත් නැතුව ඇති. ඒ වගේම මගේ කාලසීමාව තුළ විතර සෙංකෝලය පැහැරගන්න මන්ත්‍රීවරු උත්සාහ කරපු අවස්ථා තවත් නැතුව ඇති. ඒ නිසාම එවක හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා ස්ථාවර නියෝගවලට වගන්තියක් ඇතුළත් කළා සෙංකෝලයට අත තැබීම, සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීම කළොත් ඔහුගේ පාර්ලිමේන්තු කාලය මාසයකට අත්හිටුවන්න. ඒ අනුව තමයි විමල් වීරවංශ, ප්‍රසන්න රණවීර, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තාවකාලිකව තහනම් කෙරුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෙංකෝලය පැහැරගන්න උත්සාහ කරද්දී සෙංකෝලයට හානි වුණු අවස්ථා තියෙනවද?

ඔව් එවැනි සිදුවීම් නිසා අපේ සෙංකෝලයේ පළිඟුවේ මුදුන පලුදු වෙලා තියෙන්නේ. ඒ වගේම එහි ගෝලාකාර කොටසෙත් තැන් තැන්වල පලුදුවීම් දකින්න ලැබෙනවා.

එය අලුත්වැඩියා කරන්න අදහසක් නැද්ද?

දැනට අලුත්වැඩියා කරන්න අවශ්‍යතාවක් පැනනැගිලා නැහැ. ඉදිරියේදී මීට වඩා හානියක් වුණොත් එය අලුත්වැඩියා කරන්න එංගලන්තයට රැගෙන යන්න වේවි.

පාර්ලිමේන්තුවට එක් අවස්ථාවක බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ගැනත් කිව්වොත්?

ඒ කාලේ හිටියා ඊ.එල්. සේනානායක කියලා කතානායකවරයෙක් 1987 දී විතර. ඔහු මගේ දස්කම් දැකලා මාව ඉල්ලුවා ඔහුගේ පුද්ගලික සහකාරවරයා හැටියට. ඒ කාලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද තරම් ප්‍රශ්න තිබුණේ නෑ. නමුත් ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල වෙලා ලොකු සිදුවීමක් වුණා. මම ඒ වෙලාවේ කතානායකතුමාට කතා කරලා කිව්වා ඔබතුමා එන්න එපා පාර්ලිමේන්තුව ඇතුළට, ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා.

එතුමා ඇහුවා එතකොට පාර්ලිමේන්තුවට කොහොමද කියලා. මම කිව්වා කිසි දේකට බයවෙන්න එපා, මම ඒ වගකීම ගන්නම්, පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙක් මම කොහොම හරි ඒ ආසනයට යවන්නම් කියලා. ඒ සමගම මම ක්ෂණිකව ආවා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01ට. නියෝජ්‍ය කතානායක නෝමන් වෛද්‍යරත්න මහත්තයා ඒ කාමරේ හිටියේ නැහැ. එතුමා බෝම්බ ප්‍රහාරයෙන් තැතිගැනීමට ලක්වෙලා පුස්තකාලයට ගිහින් ඉන්නවා කියලා මට ආරංචියක් ආවා.

ඒත් එක්කම මම එතැනට ගිහින් එතුමාව එක්කගෙන මහලේකම්තුමා ළඟට ගියා. මහලේකම්තුමා නියෝජ්‍ය කතානායකතුමාට කිව්වා ඔබතුමා කියන්න ඇතිවෙලා තියෙන බරපතළ තත්ත්වය නිසා පාර්ලිමේන්තුව කල්තබනවා කියලා. මම හිතන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තත්පර 30ක් 40ක් ඇතුළත පාර්ලිමේන්තුව අවසන් වෙච්ච එකම දවස එදා වෙන්න ඇති. එදා මගෙන් වෙච්ච රාජකාරිය ඒක තමයි.

පසුගිය අරගල සමයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න ආවා. එහිදී ආරක්ෂක අංශ විශාල සටනක් දුන්නා ඔවුන්ව වළක්වන්න. ඒ අත්දැකීමත් විස්තර කළොත්?

මුලින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයයි, නාවික හමුදාවයි, එස්.ටී.එෆ්. එකයි විතරයි පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට හිටියේ. මම ආවට පස්සේ කොමාන්ඩෝ ඒකක, ස්නයිපර් ඒකක, ගුවන් හමුදාව, ඩ්‍රෝන යානා, බුද්ධි අංශ ඒ සියල්ල ස්ථාපනය කරන්න කටයුතු කළා. ඒ අතරවාරයේ තමයි අරගලය ක්‍රියාත්මක වුණේ. එවක හිටියා මංජුල සෙනරත් කියලා මහත්මයෙක්. ඔහු දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. එතුමා මා සමග ඉතාමත් සහයෝගයෙන් මෙහි ආරක්ෂාවට විවිධ පියවර අනුගමනය කළා.

අපේ බුද්ධි අංශවලින් මට උපදෙස් ලැබුණට, මම හැම වෙලාවෙම කටයුතු කළේ උපකල්පනය කරලා. 1000ක් එනවා කියලා කිව්වොත් මම හිතන්නේ 5000ක් වත් එයි කියලා. තත්ත්වය බරපතළ වෙන දවස්වල කතානායක නිල නිවෙස අසල තිබුණේ එක බැරියර් එකයි. මගේ පෙරැත්ත නිසාම තවත් බැරියර් එකක් එතැනට දැම්මා. ඒ වගේම හැම පිවිසුම් මාර්ගයකටම අපි බැරියර්ස් දාලා ගත හැකි සියලු ආරක්ෂිත පියවර අරගෙන තිබුණේ. ඔය අතර 5000කට වැඩි පිරිසක් ආවා පාර්ලිමේන්තුව අල්ලාගන්න. අපිට පණිවුඩයක් ආවා බැකෝ යන්ත්‍රයක් ගෙනැල්ලා කතානායක නිල නිවෙස අසල බැරියර් කඩාගෙන ඔවුන් ඉදිරියට එනවා කියලා.

ඔවුන් තවත් ඉදිරියට ආවා නම් ඔවුන්ගේ ඊළඟ ඉලක්ක වුණේ කතානායක නිල නිවෙස අත්පත් කරගැනීම. ඊළඟ ඉලක්ක තමයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ නිල නිවෙස. මේ ආරංචියත් සමග පාර්ලිමේන්තුවේ හිටපු කතානායකතුමා, පක්ෂ නායකයන් ඇතුළු පිරිස වහාම පිටත් කර හැරීමට අපි කටයුතු කළා. කතානායකතුමාව අපි යැව්වේ ඔහුගේ නිල නිවෙසට නෙවෙයි, වෙනත් ආරක්ෂිත ස්ථානයකට. මමත් තව කිහිප දෙනකුත් විතරයි පාර්ලිමේන්තුවේ ඉතිරි වුණේ. කොහොම හරි ඒ වෙලාවේ අපේ ආරක්ෂක අංශ උපක්‍රමශීලී වෙලා අරගලකරුවන් පිරිස විසුරුවා හරින්න කටයුතු කරලා තිබුණා.

ඩ්‍රෝන යානාවලින් ඒ අවස්ථාවේ මොන වගේ කාර්යයක්ද සිදුකළේ?

අපි අරගලකරුවන් අතර චකිතයක් ඇතිකරන්න ඩ්‍රෝන යානා භාවිත කළා. මොකද ඔවුන්ට ඒ අතරතුර උඩ බලන්නත් සිදුවෙනවා. ඒත් එක්කම ඔවුන් බයවුණා. ඔවුන්ට හිතාගන්න බැරි වෙන්න ඇති මොකක්ද වෙන්නේ කියලා.

ඒ අවස්ථාවේ එල්ල වෙච්ච චෝදනාවක් තමයි ඇතැම් ආරක්ෂක ප්‍රධානීන් පාර්ලිමේන්තුව රැකගැනීමේ තීන්දු ගන්න ප්‍රමාද වුණා කියලා?

නැහැ, පාර්ලිමේන්තුව රැකගැනීම සම්බන්ධයෙන් නම් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. ක්ෂණිකව ක්‍රියාත්මක නොවුණා නම්, අරගලකරුවන් දෙවැනි බැරියර් එකත් කඩනවා. ඒක කඩන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා තමයි අපට පාර්ලිමේන්තුව රැකගන්න පුළුවන් වුණේ. මම කල්පනා කළා ඔවුන් බැරි වෙලාවත් දෙවැනි බැරියර් එකත් කැඩිවොත් මොකක්ද කරන්නේ කියලා. මම හිතාගත්තා එහෙම වුණා නම්, පාර්ලිමේන්තුවේ තියෙන වටිනාම වස්තුව තමයි සෙංකෝලය. මම සෙංකෝලය මගේ වාහනයට දාගෙන පිටිපස්සේ මාදිවෙල පිවිසුමෙන් පිටවෙලා යනවා කියලා. මොකද පාර්ලිමේන්තුව වෙනත් තැනක වුණත් පවත්වන්න පුළුවන්, ඒ සඳහා සෙංකෝලය ආරක්ෂා කරගත යුතු නිසා.

තවත් විශේෂ සිදුවීමක් කියන්නම්. මට හිතවත් මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ටත් ඕනේ සෙංකෝලය ආරක්ෂා කරගන්න. දවසක් මට ඔවුන් කතාකරලා කිව්වා, ඔබතුමාට කාර්යාලයේ දොරෙන් එළියට යන්න නොදී ඉන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන ඔබතුමාව දැනුවත් කරන්නයි මේ කියන්නේ කියලා. මම මගේ සහකාර වේත්‍රධාරීතුමාටයි, නියෝජ්‍ය වේත්‍රධාරීතුමාටයි කිව්වා එදා උදේ 6 වෙනකොට පාර්ලිමේන්තුවට එන්න කියලා.

මමත් උදේම පාර්ලිමේන්තුවට ඇවිල්ලා සංකෝලය අරගෙන ගිහින් යම් තැනක හැංගුවා. හංගලා මම කාර්යාලයේ හිටියා. මේ කාර්යාලයේ තියෙනවා පැති ජනේලයක්. මම සූදානම් වෙලා හිටියේ යම් කලබලයක් වුණොත් මේ ජනේලයෙන් හරි පැනලා ගිහින් සෙංකෝලය ආරක්ෂා කරගන්නයි. කොහොම හරි මගේ මේ සැලැස්ම මන්ත්‍රීවරුන්ට ආරංචි වෙලා තියෙනවා. මොකද මම කතානායකතුමාටත් කියලා තිබුණා මෙහෙ සිදුවීමක් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා උදේ 7 වෙනකොට පාර්ලිමේන්තුවට එන්න කියලා.

ඒ වගේ තවත් දවසක අපි විපක්ෂයේ ආලින්දයට ඇවිල්ලා හිටියා. එදත් සෙංකෝලය පැහැරගැනීමේ සූදානමක් ගැන ආරංචි වෙලා තිබුණේ. ඒ වෙලාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා විපක්ෂයේ හිටියේ. එතුමා මගෙන් ඇහුවා දැන් මොකක්ද වෙන්නේ කියලා. මම එතුමාට තත්ත්වය පැහැදිලි කරලා අපේ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන්ට සෙංකෝලය භාරදීලා කිව්වා මෙතැන තමයි ආරක්ෂිතම තැන මෙතැනින් හෙල්ලෙන්න එපා කියලා.

එහෙම කියලා මම ගියා කතානායක කරු ජයසූරිය මහත්මයාගේ කාමරයට. යද්දී ඒ කාමරේ මන්ත්‍රීවරු 20ක් විතර පිරිලා හිටියා. කතානායකතුමා මගෙන් ඇහුවා ‘නරේන්ද්‍ර මොකද අපි කරන්නේ, පාර්ලිමේන්තුව පවත්වන්න පුළුවන්ද?‘ කියලා. මම කිව්වා ‘සර් අපි පාර්ලිමේන්තුව පවත්වන්න ඕනේ’ කියලා. ඔහු ඇහුවා ‘කොහොමද පවත්වන්නේ?’ කියලා. ඒ වෙලාවේ මන්ත්‍රීවරු කිව්වා ඔබතුමාට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මගේ හිතේ තිබුණා යම් වැඩපිළිවෙළක්. නමුත් මන්ත්‍රීවරු පිරිසක් ඉන්න නිසා මට ඒක කතානායකතුමාට කියන්න බැහැ. මොකද අදහස් විවිධ අයනේ ඉන්නේ. ඒ නිසා ඒ පිරිස එතැනින් ඉවත් කරන්න කියලා මම කතානායකතුමාට කිව්වා.

ඔවුන් ඉවත්ව ගියාට පස්සේ මම කතානායකතුමාගෙන් ඇහුවා ඔබතුමාව ආරක්ෂිතව සභාගැබට එක්කගෙන යන්න පුළුවන්, ඔබතුමා මාත් එක්ක එන්න කැමැතිද කියලා. එතුමා කිව්වා, ‘මම හිටපු හමුදා නිලධාරියෙක්. ඔබතුමා ගන්න ඕනෑම තීරණයකට මම එකඟයි’ කියලා. මම කිව්වා ‘එහෙනම් මට පොලිසිය ඕනේ, ඒ වගේම ඔබතුමාගේ අනුමැතිය ලිඛිතවත් ඕනේ’ කියලා. ඒකත් ලියාගත්තට පස්සේ මම කිව්වා මට පොලිසියේ 40ක් ඕනේ, කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනකුත් ඕනේ කියලා. මොකද මට රූපවාහිනියෙන් පේනවා උද්ඝෝෂණයට මන්ත්‍රීවරියනුත් එකතු වෙලා ඉන්න ආකාරය. කාන්තාවන්ව හසුරුවන්න පිරිමි පොලිස් නිලධාරීන්ට බැහැනේ.

ඊට පස්සේ මට කල්පනා වුණා කතානායකතුමා ගියාට කොහොමද අසුන්ගන්නේ කියලා. ඒ අනුව මම පුටුවක් සූදානම් කරලා ඒ වෙලාවේ හිටපු ආරච්චි මහත්මයාට කිව්වා මේක අහවල් ස්ථානයෙන් තියන්න කියලා. ඊට පස්සේ මම අපේ ඉංජිනේරු ලලිත් අධිකාරි මහත්මයාට කියලා සභාගැබේ ශබ්ද විකාශන පද්ධතියට එෆ්.එම්. මයික් එකකුත් සම්බන්ධ කරගත්තා. ඔය ඔක්කොම සූදානම් කරගෙන අපි ඇතුළට යන්න හදනකොටම රතන ස්වාමින්වහන්සේයි තවත් කිහිප දෙනෙක් ආවා එතැන මොකක්ද වෙන්නේ කියලා බලන්න. මට තේරුණා ඔවුන් ආපු කාරණාව. එතකොට කතානායකතුමා මගෙන් ඇහුවා දැන් මොකක්ද කරන්නේ කියලා.

මම උපක්‍රමයක් විදියට එතුමාට කිව්වා යනවා නම් ප්‍රධාන දොරෙන් තමයි යන්නේ. ඒත් යන්න වෙයිද දන්නේ නෑ කියලා. කතානායකතුමාට මගේ උපක්‍රමය තේරුණේ නැහැ මම හිතන්නේ. එතුමා ඇහුවා ‘ඔයා ඉස්සෙල්ලා කිව්වේ වෙන කතාවක්නේ’ කියලා. මමත් ඒ විදියට උත්තර දුන්නා. කොහොම හරි මගේ උපක්‍රමය සාර්ථක වුණා. මට දැන් ටීවී එකෙන් පේනවා මන්ත්‍රීවරු ඔක්කොම ප්‍රධාන දොරටුව පැත්තට යනවා, අපි ඒ දොරෙන් ඇතුළු වෙයි කියලා හිතාගෙන.

ඊළඟට කතානායකතුමා මගෙන් ඇහුවා අපි දැන් යන්නේ කොතැනින්ද කියලා. මම කිව්වා අපි යන්නේ විපක්ෂ ආලින්දයේ පළමු පැති දොරෙන් කියලා. ඔය විදියට පොලිස් ආරක්ෂක වළළු මැද අපි සභාගැබට ගියා. මහලේකම්වරුවත් දන්නේ නෑ අපි කොහොමද ඇතුළට ආවේ කියලා. හැබැයි අපට එක ප්‍රශ්නයක් ඇතිවුණා. අපි එවපු ආසනය විපක්ෂයේ ග්‍රහණයට ගිහින්. දැන් කතානායකතුමාට වාඩිවෙන්න පුටුවක් නෑ. මම එතුමාට කිව්වා එහෙනම් අපේ සේවා සහායකයකුගේ පුටුවකවත් ඉඳගන්න කියලා. එතුමා ඉතාම නිහතමානීව අසුන්ගෙන පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 7ක් විතර පවත්වාගෙන ගියා. ඒ අතර අපේ පැත්තට පොත්පත්, මිරිස් කුඩු වගේ විවිධ දේවල්වලින් ප්‍රහාර එල්ල වුණා. අපේ නිලධාරීන් පුටුවල කුෂන්වලින් ඒවා වැළැක්වූවා.

ඊට පස්සේ අපි දැන් එළියට යන්න සූදානම් වුණා. එතකොට අපට ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. නියෝජ්‍ය වේත්‍රධාරීතුමයි, මමයි කතානායකතුමයි දුවගෙන ගියා. මම සෙංකෝලයත් අරගෙන දිව්වේ. එතැන ලිෆ්ට් එකක් තියෙනවා කවුරුත් වැඩිය දන්නේ නෑ ඒක. ඒකෙන් අපි පහළට බැස්සා. දැන් මන්ත්‍රීවරු අපිව හොයනවා. ඒ වෙලාවෙම කතානායකතුමාව වෙනත් රථයක නග්ගලා ආරක්ෂිත ස්ථානයකට යැව්වා. මමයි නියෝජ්‍ය වේත්‍රධාරීතුමයි අධ්‍යක්ෂතුමාගේ කාමරේ විනාඩි 45ක් විතර හැංගිලා හිටියා තත්ත්වය සමථයකට පත්වෙන තුරු.

පසුදාත් මට ආරංචි වුණා ඇතැම් මන්ත්‍රීවරු විවිධ හානිකරන්න පුළුවන් යම් යම් දේවල් පාර්ලිමේන්තුවට ගේන්න සූදානමින් ඉන්නවා කියලා. ඒ නිසා එදත් උදේම කතානායකතුමාව අපි පාර්ලිමේන්තුවට ගෙන්වා ගත්තා. එතුමාගේ බලතල අනුව සභාගැබට පිවිසෙන දොරටුව අසලදී මන්ත්‍රීවරුන්ව පරීක්ෂා කරන්න කටයුතු කළා. මට පස්සේ ආරංචි වුණා විවිධ දේවල් අරගෙන ආපු මන්ත්‍රීවරු මගදීම හැරිලා ගියා කියලා. ඔවුන්ව පරීක්ෂා කරන බව දැනගෙන. මම හිතනවා එදා පාර්ලිමේන්තුව ඇතුළේ සිද්ධ වෙන්න ගිය ලොකු කලබැගෑනියක් වළක්වාගන්න ඒ හරහා මට පුළුවන් වුණා කියලා.

අපි හැම මන්ත්‍රීවරයෙක් එක්කම හොඳ සහසම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. අපට පක්ෂ විපක්ෂ නෑ. අපි හැමෝටම එක ආකාරයෙන් සලකන්නේ. ඒ නිසා ඔවුන් හැමෝම මට ළෙන්ගතුයි. ඒ නිසා මගේ රාජකාරිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්නත් ඔවුන් උදව් කරනවා.

Sri Lanka Latest News

සැකසුම-චානක ලියනගේ

SendShareShare
Previous Post

රිමාන්ඩ් කරපු ඇමැති කෙහෙළිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි!  I Sri Lanka Latest News

Next Post

තායි අගමැති දවල් ලංකාවට ආවා! හවස ශ්‍රී ලංකා-තායිලන්ත‌ වෙළෙඳ ගිවිසුමට අත්සන් කළා! තවත් ගිවිසුම් කීපයක්ම ගහලා!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.